තාදී – 01

0
1963

“තාදී ” කලුබෝවිල පිහිටි Spar එකට ගොඩවූයේ දුරකථනයේ සඳහන් කරගෙන තිබූ බඩු ලැයිස්තුව දෙස අවධානය යොමු කරමිනි. ඇගේ ජීවිතය බඳු වූ ” සෙවණ ” ළමා නිවාසය සඳහා අවශ්‍ය කරන බඩු බාහිරාදිය මිලදී ගැනීම සඳහා තාදී ඉතා ආසාවෙන් සුපිරි වෙළඳසැල පුරා සැරිසරුවාය.

” තාදී වර්ණකුලසූරිය ” . එම වාසගම තමාට පැමිණියේ කොහෙන්දැයි වයස අවුරුදු විසි අටක් වනතුරුත් තාදී දැන උන්නේ හෝ දෙමවුපියන් ලෙස හැඳින්වූ දෙදෙනෙක් දැක තිබුනේ හෝ නැත. උප්පැන්න සහතිකයේ මව සහ පියාගේ නම් සඳහන්ව තිබුණත් මතක ඇති කාලයක සිටම තාදී හැදී වැඩුනේ ” සෙවණ ” ළමා නිවාසයේ ය. ළමා නිවාසයේ හැදී වැඩුණු විවිධාකාරයේ ළමුන් අතර තාදීට තිබුණේ කෙදිනක හෝ තමා සේම දෙමව්පියන් අහිමි වූ අහිංසක දරුවන්ට සෙවණක් වීමේ බලාපොරොත්තුවය. ඇඳුම් නිර්මාණය කිරීම කෙරෙහි ඇල්මක් දැක්වූ නිසා අවුරුදු විසි දෙක වන විට තමාගේම ඇඳුම් නිර්මාණ ව්‍යාපාරයක් ආරම්භ කළ එයින් ලබන ආදායමෙන් බොහෝ කොටසක් වෙන් කළේ ” සෙවණ ” වෙනුවෙනි.

දුරකථනයේ සටහන් කරගෙන තිබූ බඩු ලැයිස්තුවට අනුව තාදී අවශ්‍ය ද්‍රව්‍ය තෝරමින් උන්නාය. දුරකථනය නාද වූයේ ඔය අතරය.

” කියන්න නැනෝ අම්මා ” 

නැනෝ අම්මාගෙන් ඇමතුම එන්නේ කුමක් හෝ යමක් මතක් කරන්නට බව තාදී අත්දැකීමෙන්ම දනී.

” නෝනා , එනකොට පුළුවන් නම් අන්නාසි ගෙඩියක් අරගෙන එනවද ? ” 

” මොකටද නැනෝ අම්මේ අන්නාසි ? “

” ඊයේ හම්බවෙච්ච කෙසෙල් ඇවරි දෙකකුයි අඹ වගේකුයි තියෙනවා. නෝනා අන්නාසි ගෙනාවොත් සලාදයක් හදලා මේ දරුවෝ ටිකට දුන්න හැකි. වෙන මොනාහරි පලතුරක් උනත් කමක් නැහැ  ” 

තාදී දුරකථන ඇමතුම විසන්ධි කළේ තනියම සිනාසෙමිනි. නැනෝ අම්මා ” සෙවණ ” ළමා නිවාසයෙහි වැඩ කරන්නේ එය ආරම්භ කළ කාලයේ සිටමය. තවත් සේවක සේවිකාවන් කිහිප දෙනෙක් එහි සිටියද එහි පැරණිම සේවිකාව වූයේ නැනෝ අම්මාය. තමා තරුණ වියට පත්වන විට වියපත් වෙමින් හුන් නැනෝ අම්මා සැබෑවටම අම්මා කෙනෙකුගේ ආදරය තාදීට නොඅඩුවම ලබා දුන්නාය.

” ඒ බන් මේ. මේ ඇති වෙයිද ? උඹ දන්නවනේ ඉතින් අපේ එවුන් බොන්න ගත්තම ” 

ධීර ඇසුවේ ආයුශ් ගෙනි. ධීරගේ උපන්දිනය යෙදී තිබුණේ පෙර දිනයේ ය. මිතුරන් සාදයක් ඉල්ලා සිටි නිසාම ධීර ඒ සඳහා සති අන්තය යොදාගත්තේ කාගෙත් පහසුව ගැන සිතාය.

” ඔය ඇති බන්. උඹලගේ අම්මා ඩිනර් රෙඩි කරනවා කිව්වද නැත්තම් හොටෙල් එකෙන් ගේනවා කිව්වද ?” 

ආයුශ් ඇසුවේ ය. 

” තාත්තා හොටෙල් එකෙන් ඔක්කොම එවනවා කිව්වා බන්. අපි ඔය නිකන් හපන්න මොන හරි අරන් යන් ” 

ධීර වට පිට බැලුවේ තවත් වුවමනා දෙයක් ඇත්දැයි මතක් කර ගැනීමටය . ඔවැනි සාද නිතරම පැවැත්වෙන්නේ ධීර ගේ නිවසේය.නැත්තම් ඔහුගේ පියාට අයත් හෝටලයේ ය. මිතුරන් අතරින් ධනවත්ම මිතුරා ධීර නිසා විශේෂ අවස්ථාවන් වලදී ඔහුට මිතුරන්ගෙන් ගැලවීමක් තිබුණේම නැත. 

ධීර ඔහුගේ ප්‍රියතම ” ජම්බො පීනට්ස් ”  පැකට් කිහිපයක් කරත්තයට දමා ගෙන මුදල් ගෙවන කවුන්ටරයේ පෝලිම වෙත එක් වූයේ වෙලාව පරීක්ෂා කරමිනි. දුරකථනයෙහි රාත්‍රී 7 ලෙස සටහන් වී තිබූ අතර ධීරට ගෙදර යාමට හදිස්සිය දැනුනේ එවිටය.

” ඒ හතත් වෙලානේ බං. මේ වෙලාවේ ට්‍රැෆික් එකට අහු උනාම ගෙදර යනකොට කීය වෙයිද ? ” 

ආයුශ් කිසිවක් නොකියා මුහුණ නරක් කරගෙන බලා සිටියේ සාදයට ප්‍රමාද වන බැවිනි. කවුන්ටරයේ පෝලිමේ ධීරට ඉදිරියෙන් උන් තාදී ගේ කනට එවදන් ඇසුනෙන් ඇය හැරි බැලුවේ මේ හදිසි කාරයන් කවුදැයි දැක බලා ගැනීමටය. පෝලිමෙහි තමාට පසුව සිටියේ කඩවසම් තරුණයන් දෙදෙනෙකි. 

” Excuse me ? ” 

තාදී කතා කලේ ධීර ටය. ධීර හැරී බැලුවේ මදහසක් පාමිනි

” Yes ? ” 

” ඔයාට පරක්කු වෙනවනං එන්න. මොකද මගේ කාර්ට් එකේ තියෙන බඩු ටික බිල් කරනකොට තවත් වෙලා යයි ” 

ධීර බැලුවේ තාදීගේ බඩු කරත්තය දෙසය. එය පිරෙන්නටම බොහෝ දෑ තිබුණු අතර ඇය සතියකට හෝ දෙකකට සරිලන්නට නිවසට  බඩු මිලදී ගෙන ඇතැයි ධීරට සිතුනි.

” එහෙම කමක් නැද්ද ? ” 

ධීර නැවතත් ඇසුවේය.

” අපෝ කමක් නැහැ එන්න ” 

තාදී ඇගේ බඩු කරත්තය පසෙකට කර ධීරට සහ ආයුශ් ට ඉඩ දුන්නාය. ධීර තාදීට ස්තූති කරමින් මිලදී ගත් බඩු වලට මුදල් ගෙවා සුපිරි වෙළඳසැලෙන් පිටතට විත් වාහනයට නැග මොහොතක් බලා සිටියේ ය

” යමන්කෝ බන් ” 

ධීර වාහනය පණ නොගන්වා සුපිරි වෙළඳ සැල දෙස බලා සිටින විට ආයුෂ් කීවේ ඒ වන විටත් ප්‍රමාද වී ඇති බැවිනි 

” පොඩ්ඩක් හිටපන් ” 

” ඇයි මොනව හරි අමතක උනාද ? ” 

” ඔව් මට මිස් වෙච්ච පොඩි දෙයක් තියෙනවා “

” මොකද්ද ? ” 

ආයුෂ් එසේ ඇසුවත් ධීර පිළිතුරක් නොදී නිහඬව බලා සිටි අතර තවත් විනාඩි කිහිපයක් ගතවන විට තාදී බඩු කරත්තය තල්ලු කර ගෙන සේවකයකු සමග වාහන අංගනය වෙත පැමිණියා ය.

” ආ.. මේකද උඹට මිස් උනා කිව්වේ ? ” 

ආයුෂ් ධීර ගේ පිටට පහරක් ගැසුවේ එසේ අසමිනි. ධීර කිසිවක් නොකියා තාදී දෙස බලා උන්නේය. බඩු කරත්තයේ තිබූ බෑග් එකින් එක සේවකයාගේ සහාය ඇතිව සුදු පැහැ ඇක්වා රියට දමා ගත් තාදී මුදල් පසුම්බිය හැර සේවකයාට යම් මුදලක් ලබාදී ඔහුට ස්තුති කරන අයුරුද ධීර දුටුවේය.

” දැන් උඹට පරක්කු වෙන්නෙ නැද්ද එතකොට ?” 

ආයුෂ් අසන්නෙ සමච්චලයට බව ධීර දනී. මෙරූන් පැහැයකින් තැනින් තැන පාට කරන ලද දිගු කොණ්ඩයක් හිමි , අහිංසක පෙනුමැති මේ තරුණිය බැලූ බැල්මට ධනවත් පවුලක තරුණියකැයි ධීර අනුමාන කළේය.

තාදී වාහනය පැදවූයේ නුගේගොඩ දෙසටය. ධීර කළුබෝවිල සිට කොහුවල තෙක් තාදී පසුපස පැමිණි අතර කොහුවල මංසන්ධියේ දී තාදී වාහනයේ වේගය වැඩි කල බැවින් ධීරට ඇයව මඟ හැරුණි.

” ඒකි යනව නෙමෙයි විදිනවානේ බං “

ආයුෂ් සිනාසෙමින් කීවත් ඇයගේ වාහනය මග හැරීම පිළිබඳව ධීර උන්නේ කණස්සල්ලෙනි.

තාදී නාරහෙන්පිට පිහිටි ” සෙවණ ” ට පැමිණෙන විට රාත්‍රී අටට ආසන්න විය. අතරමගදී කර ගැනීමට තවත් වැඩ කිහිපයක් තිබු නිසා ඇය පැමිණෙන විට නැනෝ අම්මා සෙවණෙහි දොරකඩ සිට බලා සිටින ආකාරයත් තාදී දුර සිටම දුටුවාය.

සෙවණෙහි ආරක්‍ෂාව සඳහා සිටින පියදාස ගේට්ටුව විවෘත කරගෙන බලා සිටියේ තාදී සෙවණ ආසන්න වන විට ලබා දුන් දුරකථන ඇමතුමට අනුවය.

” මං බැලුවා නෝනා පරක්කු මොකද කියල ” 

” මේ දවස් ටිකේ දාන එහෙම අඩු නිසා මම ටිකක් වැඩිපුර බඩු ගත්තා නැනෝ අම්මේ. ඔයා  රාණි ආවම කෑම හදන වැඩ ටික පිළිවෙලට කරගන්න ” 

පියදාස වාහනයේ තිබූ බඩු මලු සියල්ල එළියට ගත් පසුව තාදී නැවත වාහනය පණ ගන්වා ගෙන Anderson flats වෙත පැමිණියේ තවත් විනාඩි කිහිපයක් ඇතුළතය. වෙනදා නම් සෙවණෙහි දරුවන් සමග යම් කාලයක් ගත කර නිවසට ආවත් අද උදෑසන සිටම කාර්යබහුල නිසා තාදී උන්නේ දැඩි ලෙස වෙහෙසට පත් වීය.

ධීරගේ නිවසේ ඔහුගේ උපන්දින සාදය ඉතා ඉහලින්ම සූදානම් කර තිබුණත් ඔහුගේ සිත තිබුනේ සුපිරි වෙළඳ සැලේ දී හමුවූ තරුණිය ලඟය. මුදල් ගෙවීම සඳහා ඇයට තිබූ අවස්ථාව ඇය තමාට ලබා දීම නිසා ඔහුගේ සිතේ තාදී ඒ වන විටත් ලැගුම් ගෙන උන්නාය.

” උඹ මෙතන හිටියට උඹේ හිත තියෙන්නේ වෙන කොහේ හරි නේද ? ” 

ආයුශ් ධීර ගෙන් ඇසුවේ අන් අයටත් ඇසෙන  සේය.

” ඒ මොකක්ද ඒ සීන් එක ? ” 

ඒ ගිහාන් ය. ධීර ආයුශ් දෙස බැලුවේ රවමිනි.

” මූට අපි දන්නේ නැතුව කෙල්ලෙක්වත් සෙට් වෙලාද? ” 

ගිහාන් නැවත ඇසුවේය. මිතුරන් සියල්ලගේම අවධානය ධීර වෙත යොමු වූයේ එවිටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here