තාදී – 12

0
2421

 

” ඔයා කැමති තරං කාලයක් අර ගන්න. මං බලාගෙන ඉන්නවා ” 

ධීර දුරකථන ඇමතුම අවසන් කලේ තාදී ගෙන් පිළිතුරක් නැති තැනය. තාදී නින්දක් නැතිව කල්පනා කළේ අහම්බෙන් තම ජීවිතයට පැමිණි තරුණයා ඇත්තටම අහම්බයක් නොවූ හැටි ගැනය.

එහෙත් ඉක්මන් විය නොහැක. ධීර යනු ව්‍යාපාර හිමි ධනවත් පවුලක එකම පුත්‍රයාය. ඒ අතින් බැලූ කල තමා සන්තකයේ ඇත්තේ තම ව්‍යාපාරයත් මෙතුවක් කල් රැකගෙන ආ නමත් පමණි. ඉතින් මෙවැන්නකට ධීර ගේ පියා කිසිසේත්ම කැමැත්ත පළ නොකරන බව තාදී අනුමාන කළාය.

” නෝනා ඕක ගැන වැඩිය හිතන්න එපා. ළඟින් ආශ්‍රය කරලා බලද්දි නෝනා කසාද බඳින්න හොඳ කෙනෙක් කියලා ඒ මහත්තයට හිතෙන්න ඇති. ඒක කියන එකේ වැරැද්දක් නෑනෙ. ඒත් ඉතින් හදිසි වෙලා තීරණ ගන්න යන්න එපා. සමහර විට නෝනාට කවුරුත් නෑ කියලා දන්න නිසා එනවද දන්නෙත් නෑනේ ” 

නැනෝ අම්මා කියා ගෙන ගියාය. එහෙත් ධීර එවැනි අවස්ථාවාදී තරුණයෙක් යැයි සිතන්නට කරුණු කාරණා පසුගිය කාලය පුරාවට තමාට ලැබුණේ නැත. අනෙක් අතට ඔහු ගැන එහෙම සිතන්නට ද තාදීට පුළුවන්කමක් ඒ වනවිට තිබුණේ නැත.

” හරි මට මේක කියලා ඉන්නකෝ නෝනේ? ” 

” මොකක්ද නැනෝ අම්මා ?” 

” නෝනගෙ හිතේ ඒ මහත්තයා ගැන බලාපොරොත්තුවක් හරි කැමැත්තක් හරි තියෙනවද ? ” 

නැනෝ අම්මාගේ ප්‍රශ්නය හමුවේ තාදී මොහොතකට නිහඬ වූවාය.ධීර පිළිබඳව තම සිතෙහි තිබෙන්නේ කැමැත්තක්ද නැතහොත් පැහැදීමක්ද එසේත් නැත්නම් ආදරයක්දැයි කියා තෝරා බේරා ගැනීමට තාදීට හැකි වූයේ නැත. 

” මං අහපු ප්‍රශ්නෙ ඔය තරම් හිතන්න දෙයක් නම් නෝනා කල් අරගෙන හිතන්න. ඉක්මන් කොටයි කියනවනේ ” 

” මං කැමති උනත් ඒ මිනිස්සු මට කැමති වෙයිද නැනෝ අම්මේ ? “

තාදී තම සිත තුළ වද දෙමින් තිබූ දෙය නැනෝ අම්මා වෙත කියා පෑවේ දෑසට කඳුළු උනා ගෙන එද්දීය. තම ජීවිතය පිළිබඳව තීරණයක් ගැනීමට සිදු වන මෙවන් වැදගත් අවස්ථාවකදී තමන්ට දෙමාපියන්වත් සිටියා නම් යැයි කියා තාදීට ප්‍රථම වතාවට සිතුණි. 

” නෝනෙ මේ නිවාසේ හැදිච්ච එක ඇරෙන්න වෙන අමුතු කාරණාවක් නැති එකේ සමහරවිට ඒ මහත්තයා ගේ ගෙදරින් කැමති වෙන්න බැරි කමකුත් නැහැ. කෝකටත් ඔය වෙන දේවල් වලට වෙන්න ඇරල බලාගෙන ඉමු ” 

නැනෝ අම්මා කීවේ එවැන්නකි. එහෙත් මෙය සුළු දෙයක් යැයි සිතා අතහැරිය හැක්කක් නොවේ. තමා පිළිබඳව සියල්ල දැන ගෙනත් ධීර තමාට ආදරය කරන්නට පටන් ගන්නට ඇත්තේ හදවතින්ම බව තාදී සිතුවාය. එහෙත් ඔහුගේ වත් පොහොසත් කම් සහ පියාගේ ක්‍රියාකලාපය පිළිබඳව සිතන විට මෙය ප්‍රශ්න වැලක ආරම්භයක් විය හැකි යැයි තාදීට සිතුණි. 

 ධීර ගෙන් ඇමතුමක් ආවේ එවිටය

” ධීර ” 

” ඔයා ශොප් එකේ නැහැ නේද තාදී ? “

” ඇයි ධීර ? ” 

” මං හොටෙල් එකට යන්න කලින් ඔයාව පොඩ්ඩක් බලල යන්න කියලා හිතුවේ. shop එක ඉස්සරහ වාහනේ නැති නිසා ඇහුවේ ” 

” මං නිවාසෙට ආවා ” 

” හරි. එහෙනම් මං ඔයාව හවසට හම්බවෙන්නම් තාදී ” 

ධීර එසේ කීවේ හවස හමුවීම තමන් තීරණය කර ඇති බව කීමට මෙනි. තාදී එයට කිසිවක් කීවේ නැත. තවත් සුළු වේලාවක් ” සෙවණේ ” රැඳී සිට තාදී ” Clothez ” වෙත ආවේ ජයමිණි කොයි මොහොතේ හෝ තමා හමුවීමට පැමිණිතයි සිතමිනි.

” මිස් ” 

ගයාත්‍රී කාර්යාල කාමරයට ඔලුව දැම්මේ තාදී මුහුණු පොත මත එහා මෙහා යමින් සිටියදීය.

” එන්න ගයාත්‍රී ” 

” මිස්.. උදේ ධීර සර්ගේ වාහනේ ශොප් එක ඉස්සරහා ටික වෙලාවක් තිබ්බා ” 

” ඔව් ධීර මට කෝල් කලා  ” 

ගයාත්‍රී යන්නට හැරුනාය. තාදී හදිසියේ යමක් සිහිවූවා සේ දුරකථනය මේසය මතින් තබා පුටුවෙන් නැගිට්ටාය.

” ගයාත්‍රි ” 

” මිස් ” 

” අර මිසිස් ගජනායක ආවොත් එහෙම ඔෆිස් රූම් එකට එවන්න ” 

” මොකක් හරි ප්‍රශ්නයක්ද මිස් ? ” 

” නෑ ඇයි ? ” 

” නෑ.. ඊයේ ධිර සර් ඉන්න වෙලාවෙම මිසිස් ගජනායක ත් ආවනේ.ඒකයි ” 

” එහෙම මුකුත් ප්‍රශ්නයක් නැහැ ගයාත්‍රී. ඔයා එයා ආවොත් එවන්නකෝ ” 

ගයාත්‍රී පිටව ගිය පසු තාදී නැවත කල්පනාවට වැටුණේ පුටුවෙන් ඉඳගනිමිනි. 

ගජනායක හෝටලයට යාමට සූදානම් වෙමින් උන්නේය. ජයමිණි කල් බලමින් උන්නෙ කතාබහට මුල පුරන්නේ කෙසේදැයි සිතමිනි.

” වසන්ත ” 

” ම්ම් ” 

වසන්ත කණ්ණාඩිය ඉදිරිපිටට වී කමිසයේ බොත්තම් දැම්මේය. 

” අර කටයුත්තට පුතා කැමතිද කියල බලල හිටියනම් හොඳයි නේද ? ” 

” ඇයි ? ධීර ඒකට කැමති නෑ කිව්වද ? ” 

” එහෙම කිව්වේ නැහැ. ඒ වුනාට එයාගේ හිතේ වෙන කවුරු හරි ඉන්නවද කියලා අපි දන්නේ නෑනේ  “

” ඉන්නවනං එයා අපිට කියන්න එපැයි. මොකෝ ඕව හොරෙන් කරන්න එයා ඉස්කෝලෙ යන පොඩි එකෙක් නෙමෙයි නේ ” 

” හරි ඒ වුනාට අපි පොඩ්ඩක් පුතාගේ කැමැත්තත් අහලා බලලා ඉමු නේද ? මොනා උනත් කසාදයක් කියන්නේ ජීවිතේටම එක පාරයි නේ ” 

” ඔයා පුතා ගැන මොනව හරි දන්නවද ? ” 

වසන්ත ජයමිණි දෙස එක එල්ලේම බලමින් ඉදිරියට ආවේය. ජයමිණි බිම බලා ගත්තේ එසැණිනි. තාදී ගැන එක වරම වසන්ත හා කිව නොහැකිය. 

” මං අහපු දේට උත්තර දෙන්න ජයමිණි ” 

” එහෙම දෙයක් නෙමෙයි වසන්ත, ඒ වුණාට පුතාගෙනුත් අහලා බලලා හිටියනම් හොඳයි කියලා මට හිතුනා ” 

” ජයමිණි මේ. එයාට එහෙම මොකක් හරි තියනවනම් එයා ඊයෙ හරි මට කියන්න ඕනේ. එයා කරබාගෙන හිටියේ එයාට එහෙම දෙයක් නැති නිසානේ. ඔයා මේ අනවශ්‍ය දේවල් ළමයගේ ඔළුවට දාන්න ලෑස්ති වෙන්න එපා. රූපේගේ දුව වගේ දැන උගත්, දේපල අතිනුත් අඩුවක් නැති ළමයෙක් අපිට හොයා ගන්න හම්බවෙන්නේ නැහැ ” 

වසන්ත එසේ කියමින් කන්නාඩි මෙසේ මත තිබූ වාහනයේ යතුරත් දුරකථනයක් ගෙන කාමරයෙන් පිටවූයේය. ජයමිණි ඔහු පසු පසින් ගොස් තරප්පුව බැස්සේ ධීර ගැන සිතමිනි.

වසන්ත දොරෙන් පිටවන්න ඔන්න මෙන්න කියා තිබියදී දුරකථනය නාද විය.ඇමතුම එන අංකය දුටු සැනින් වසන්ත මදක් කලබල වූ නමුත් එය සඟවා ගන්නට තැත් කරමින් ජයමිණි දෙස බැලුවේය.

” කියන්න කොස්තා ” 

” බොස් මාර වැඩේනේ උනේ ” 

කොස්තා කලබලයෙනි. ඔහුගේ හඬ ඇසුණු විගස වසන්තද කලබල විය.කුමක් හෝ සිදුවී ඇති බව ඔහුට ඉවෙන් මෙන් දැනුණි.

” ඇයි මොකද්ද ප්‍රශ්නේ ? ” 

” පොලිසියට මාට්ටු වෙන්න ඔන්න මෙන්න තියලා බේරුනා සර්. මම හිතුවේ අද නම් ඉවරයි කියලා තමයි “

” ඇයි ? ” 

 ” අපිව පොලිසියෙන් නැවැත්තුවා. එක පොලිස් කාරයෙක් ඇවිල්ල විස්තර අහන කොට මං ශේප් එකේ උත්තර දුන්නා. පස්සේ මෑන් කිව්වා චෙක් කරන්න ඕනේ කියලා. එතකොටම තව පොලිස් කාරයෙක් එතනට ඇවිල්ල කිව්වා හොටෙල් එක ගැන එයා දන්නවා ලොරිය යවන්න කියලා. අනූ නමයෙන් බේරුනේ සර් ” 

” මං තමුසෙට කියල තියනවනේ මිනිහෝ කල්පනාවෙන් යන්න කියලා. තමුසේ මට ලොකුකම දානවා ඇරෙන්න පරිස්සම් වෙන්නෙ නෑ නේ. බලනවා තව පොඩ්ඩෙන් ඉවරයිනෙ ඔක්කොම ” 

” හරි හරි සර් කොහොම හරි මාට්ටු උනේ නෑ නේ ” 

” දැන් තමුසෙ කොහෙද ඉන්නේ? ” 

” හොටෙල් එක කිට්ටුව සර් ” 

” හරි තමුසෙ එනවකෝ මං දැන් පිටත් වෙන්න හදන්නේ ” 

ජයමිණිට මේ කතාබහ තේරුනේ නැත.එහෙත් කුමක් හෝ සිදුව ඇතැයි පමණක් ජයමිණි අනුමාන කළාය.

” ඇයි වසන්ත මොකක් හරි ප්‍රශ්නයක්ද ? “

ජයමිණි තමා පිටුපස සිට සියල්ල අසා ඉන්නට ඇතැයි වසන්ත සිතුවේය. එහෙත් මේවා තම බිරිඳට කිවහැකි ප්‍රශ්න නොවේ.

” ඇයි  ? ” 

තමන්ගේ හොරය සඟවා ගන්නට මෙන් වසන්ත ඇසුවේ සැරෙනි

” නෑ ඔයා කලබල වෙලා “

” ඇයි මට කලබල වෙන්නත් දැන් ඔයාගෙන් අවසර ගන්න ඕනෙද ? ” 

වසන්ත කේන්තියෙන් එසේ අසමින් වාහනයට නැග්ගේ ජයමිණිගේ මුහුණ මග අරිමිනි.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here