පොළොවෙ මැට්ටෙ තිබිච්ච රතු පාට කකුල්වල යටිපතුල් tattoo කරපු, හවස් වෙද්දි අහස රත්තරන් පාට වෙන හඳුන්ගමුව කියන ගමේ උන්නා එක්තරා කාන්තාවක්. එයාගෙ නම සුන්දරී. සුන්දරීගේ නම තරම්ම සුන්දරී සුන්දරයි ආයෙ කියන්න වචන නෑ හරියට මැටියෙන් අඹලා පින්තාරු කරා වගේ.
ගමේ උදවිය සුන්දරී නැති තැන්වල සුන්දරීට කතා කරේ මැට්ටි කියලා. සම වයසෙ හරි වැඩි මහල් හරි බලවත්තු බවලත්තු මැට්ටි කියද්දි අනික් උදවිය තම තමන්ගෙ වයස් අනුව මැට්ටි අක්කා, මැට්ටි නංගි, මැට්ටි නැන්දා කියලා තමයි සුන්දරීට කතාකරේ. එහෙම කතාකරන්න හේතුවක් සුන්දරීට තිබ්බා. ඒක සාධාරණ හේතුවක්ද අසාධාරණ හේතුවක්ද කියල කියන්න අපිට මේ එළියෙන් ඒ කතාව කියවල බැරි බව ඇත්ත උනාට ගමේ උදවිය නම් තමන් ගෙ කතාව සාධාරණීකරණය කරේ “මැටි වලං හදන එකීට ඉතින් මැට්ටි නොකිය මක්ක කියන්නද?” කියලා.
මැට්ටි එහෙම නැත්තම් සුන්දරී ඔය මැටි කර්මාන්තෙ ඉගෙන ගත්තෙ පරම්පරාවෙන් ආව හන්දමයි. සුන්දරී අප්පා, අත්තා, මුත්තා, කිරිකිත්ත ඔක්කොම කරේ මැටි වැඩ. සුන්දරීගෙ අප්පට පුතෙක් උන්නෙ නැති හන්දා පරම්පරාවෙන් ආව මැටි කර්මාන්තෙ අන්තිමේ භාර උනේ සුන්දරීගේ සුන්දර සුකොමල අත් දෙකට.
සුන්දරීගේ ළඟ තිබිච්ච ගෑණු ගතිය කොච්චරද කියන්නෙ කොච්චර තමන්ගෙ සුකොමල, සිනිදු අත් දෙකෙන් මැට්ට කැරකෙව්වත් සුන්දරීගෙ අත් දෙකේ නෙවෙයි රටා මැකුණෙ.
කොච්චර සුන්දර උනත් සුන්දර්‍රී ජීවත් වුනේ තනියෙන්. ගමේ පන්සල පිටිපස්සෙ පුංචි ගේක සුන්දරී මැටියෙන් වැඩ කරන ගමන් ජීවත් වුණා.මිනිස්සු නම් කිව්වෙ සුන්දරීගේ ජීවිතේ “හරි නිස්කලංකයි” කියලා. ඒ වුනාට ඒ නිස්කලංක බව හොයාගන්න කොච්චර දේවල් තමන්ට නැති උනාද කියන එක දැනගෙන උන්නෙ සුන්දරී විතරයි.
සුන්දරීගේ පළමුවෙනි පුරුශයා හරිම sweet talker කෙනෙක්. ඒ මනුස්සයා සුන්දරීට නිතරම මෙන්න මෙහෙම දෙයක් කිව්වා. “මං ඔයාව තෝරගත්තෙ ඔයා අනිත් ගෑණුන්ට වඩා වෙනස් හන්දා” කියලා. මුලින් නම් ඔය තමන් අනිත් ගෑණුන්ට වඩා වෙනස් කියන එකේ තේරුම මොකද්ද කියන එක තේරුම්ගන්න සුන්දරීට පුලුවන් කමක් තිබ්බෙ නෑ. ඒ හන්දා සුන්දරී මනුස්සයගෙන් “මොකද්ද වෙනස?” කියලා ඇහුවා ඒ මනුස්සයා විහිලුවට වගේ හිනා වෙවී “මගේ මැට්ටි” කියලා කිව්ව මිසක ඒ ප්‍රශ්නෙට හරියාකාර උත්තරයක් දුන්නෙ නෑ.
හැබැයි තමන් වෙනස් කියලා කිව්ව මනුස්සය තමන් හිතුවට වඩා වෙනස් මනුස්සයෙක් විත්තිය සුන්දරීට තේරුණේ මිනිහා කසිප්පු බීලා ඇවිල්ලා තඩිබාන්න පටන් ගත්තයින් පස්සෙ.
“උඹ වගේ මැට්ටියෙක්ව කසාද බැඳගත්තට මට සලකන්නෙ මෙහෙමද?” කියල “ඇයි මෙහෙම බොන්නෙ?” කියල අහපු සුන්දරීටත් පාරක් දෙකක් ගහලා සුන්දරී සෑහෙන දවසක් තිස්සේ මැට්ට කරකෝල, අව්වට කරවෙලා හදවගත්ත මැටි කල ඔක්කොම පොඩි කරපු මිනිහා ගෙයින් එලියට බැහැලා යන්න ගියා.
සුන්දරී කඳුලු බිංදු බිඳිච්ච මැටි වලං කෑලි අස්සෙ හංගන ගමන් බිම අතුගාලා දැම්මා.
ඊලඟට සුන්දරීට හම්බුනේ ඉස්කෝලේ මහත්තයෙක්. හම්බුවෙච්ච මුල් කාලෙ නම් මිනිහගෙ පුදුමාකාර කරුණාවක් තමයි තිබ්බේ කාන්තා පාර්ශවේ වෙනුවෙන්.ටික ටික තමයි මිනිහගෙත් ඇත්ත පාට පේන්න ගත්තෙ.
“තමුසෙ වගේ මැට්ටියෙක්ව කරගහ ගත්ත මං ගොනෙක් ඕයි” කියලා තමන්ගෙ උගත්කමයි සුන්දරීගෙ මැටි වැඩයි දෙක පෑහෙන්නෙ නෑ කියන ගමන් ඉස්කෝලේ ගුරා සුන්දරීට රිද්දුවෙ අතින් පයින් නෙවෙයි වචන වලින් හිතට.ගෙදර එන එක නතර උනා, ඉස්කෝලෙ තමයි වැඪි හරියක් කාලෙ ගෙව්වෙ. අන්තිමේ එහෙම ගිහින් මිනිහා දවසක් අන්තරස්දාන වෙලාම ගියා. ඒ යන්න කලින් “උඹ උඹේ ලෙවල් එකෙන් උන්න නම් මං මගේ ලෙවල් එකෙන් නතර වෙන්න තිබ්බා” කියලා සුන්දරී දිහාවට අත උස්සල කිව්වා.
එදාත් සුන්දරී කලෙ තමන්ගෙ ඇස් වලින් වැටිච්ච කඳුලු මැටි කල අස්සෙ හංගලා දාපු එක තමයි.
මිනිස්සු ඕවට ඉතින් දාහක් කතා කිව්වා.
“මැට්ටිට කවද්ද මිනිහෙක් හරි ගියේ”
“තිස්සෙම ඇඟ පුරා මැටි ගාන් ඉන්න ගෑණියෙක් එක්ක දීග කන්න කැමති මොකාද?”
“මැට්ටිට කවදහරි කසාද පුරුසයෙක්ව හොයාගන්න වෙන්නෙත් මැටියෙන් අඹලා තමයි” වගේ දාහක් කතා ඇහෙද්දි සුන්දරී කලේ තමන්ගෙ ඇස්වලින් වැටිච්ච කඳුලු මැටිවලං අස්සෙ හංගපු එක.
තමන්ට මිනිස්සු මෙන්න මේ වගේ කතන්දර කියනවා කියන එක දැනගෙන උන්නත් සුන්දරී නෙවෙයි ඒවට වචනයක්වත් කිව්වේ. ඒ වෙනුවට සුන්දරී කලේ එහෙම කියන මිනිස්සු වෙනුවෙනුත් මැටි වලං, කල එහෙම හදපු එකම තමයි. හිත අස්සෙ තියෙන වේදනාව දියවෙලා යනකම් කඳුලුවලින් තෙම තෙම සුන්දරී මැටි වලං හැදුවා. කල හැදුවා. ඒව විකිණුවා.
ඔය විදියට කාලෙ මහ ගොඩක් ගෙවුණා. සුන්දරී ආයෙ කවදාවත් පුරුශයෙක්ව හොයාගත්තෙ නෑ. මිනිස්සු කිව්ව විදියට සුන්දරී මැට්ටෙන් මනුස්සයෙක්ව ඇඹුවෙත් නෑ. ගෑණි ගමේ මිනිස්සු මොනවා කිව්වත් ඒවට උත්තර දෙන්න ගියේවත් ගමෙන් පිටමං උනේවත් නෑ.හැබැයි මිනිස්සුන්ට වෙනසක් පේන්න පටන් ගත්තා.
හැබැයි ඒ සුන්දරීගෙ නෙවෙයි. සුන්දරීගෙ අත් දෙකෙන් ඇඹිච්ච, කඳුලුවලින් තෙමිච්ච මැටි කල වල. ඒව ඉස්සර වගේම, එහෙමත් නැත්තම් ඉස්සරටත් වඩා ලස්සනට, පෙනුමට, හැඩේට තිබ්බ බව ඇත්ත. හැබැයි මිනිස්සු කොච්චර උත්සහ කරත් මිනිස්සුන්ට ඒ කිසිම වලඳක, කොරහක, කලේක කිසිම දෙයක් පුරවන්න නම් පුලුවන් උනේ නෑ.කොච්චර හාල්, වැහි වතුර, වතුර, පොල් කිරි අරව මේව පුරවන්න හැදුවත් ඒ කල පුරවන්න මිනිස්සුන්ට පුලුවන් උනේ නෑ.
ඒවයි හිල් තිබ්බෙ නෑ. පලුදු තිබ්බෙත් නෑ.
ඒත් මුකුත් පුරවන්න පුලුවන් උනෙත් නෑ.
මිනිස්සුන්ට හිතාගන්න බැරිවුනා එහෙම වෙන්නෙ ඇයි කියන එක. පන්සලේ හාමුදුරුවො පිරිත් පැන් පුරවන්න හැදුවා. ඒත් බැරිවුනා. ගොවියෙක් අලුත්ම අස්වැන්නෙන් ගත්ත වී වලින් පුරවන්න හැදුවා. ඒත් බැරිවුනා.
ඉන්පස්සෙ මිනිස්සු ඒකටත් කතා කියන්න ගත්තා “මේ මැටිවලං වලට සාපයක් වැදිලා”
සුන්දරී ඒකට උත්තරයක් දුන්නෙ නෑ. හැබැයි වෙනදා වගේ සුන්දරීගෙ ඇස්වලින් කඳුලු වැක්කුරුණෙ නෑ.
මොකෝ එයා දැනගෙන හිටියා “වේදනාවෙන් හදපු දේකට දරාගන්න පුලුවන් වේදනාවම විතරයි” කියන එක!