පිණි මුතු පලසක් – 05

0
1608

එදා රෑ සමුධ්‍යාට නින්ද ගියේ නැත. කරන්න ඕන මොනවගේ දෙයක්ද කියා හිතාගන්න බැරිම තැන අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳව ඉගෙන ගනිද්දී මිතුරු වන්නට ඉඩ ලැබුණ දැනටත් පුහුණු මනෝ උපදේශිකාවක ලෙස කටයුතු කරන දම්සාරා ට සමුධ්‍යා කතා කරේ ඇත්තටම මේ කතාවට තමන් දිය යුත්තේ කුමනාකාරයේ උත්තරයක්ද කියා හිතාගන්න බැරුවය.

“මගෙ ඔලුව පිස්සු වැටුණා දම්මි ඒ දරුවා අඬ අඬ ඒ කතාව කියද්දි. මට හිතාගන්න බැරුව ඉන්නෙ මොකද්ද කරන්න ඕන කියලා” සමුධ්‍යා දම්සාරා එක්ක කියද්දි සත්සරා එදා රැයේත් වෙනදා දුටුව බය හිතෙන සිහින දකිමින් නිදි නොමැති රැයක් ගෙව්වාය. ජීවිතයේ ඇත්තටම මුහුණ දෙන්නට වුණ අත් දැකීමක් සිහිනයෙන් ද පැමිණ තමන්ව නිරත්තරයෙන් මෙසේ බයකරන්නෙ ඇයිද කියන ප්‍රශ්නෙ හිතට තිබ්බද ඒ වෙනුවෙන් කල යුත්තේ කුමක්ද කියන එක සත්සරා දැනගෙන උන්නේ නැත.

එදා ගෙදර අස්පස් කරන උදව්වෙන් මන්ත්‍රී නිවසට ගිය දිනයේ “මෙහෙමම පොඩි මහත්තයගෙත් කාමරේ අතුගාමු කෙල්ලෙ. ඊටපස්සෙ තියෙන්නෙ ඇඳවල්වලට බෙඩ් ශීට් ටික දාන එක විතරනෙ” කියාගෙන මන්ත්‍රී නෝනා ඒ කොරිඩෝව දිගේ ඉදිරියට යද්දී කළින් දවසක වගේම ලකී මහත්තයා කොහෙන් හෝ මතුව තමන්ගේ අතින් ඇදගන්න උත්සහ කරාවි කියන බය සත්සරාගේ හිතට ආවෙ නැතුව නොවේ.  එහෙත් සත්සරා උන්නේ ඒ හැඟීම වදන් කරගන්න බැරුවය. මන්ත්‍රී නෝනා විසින් විවෘත කරන ලද කාමරය ඇතුල දකිද්දී සත්සරාට ආයෙ ආයෙ ඒ වුණ දේවල් මතක් වුණාය.

එදා මන්ත්‍රී නෝනා උන්නේ ගෙදරය. සත්සරාට එදා පැවරුන වැඩේ මන්ත්‍රී තුමාගේ කාමරේ තිබ්බ පරණ කොල වගයක් අරගෙන ගොස් ගරාජ් එක පිටිපස්සේ කුණු වලට දමා ඒ ටික ගිනි තියන එකය. මන්ත්‍රී තුමාගේ කාර්‍යාල කාමරේ තියෙන්නෙ පල්ලෙහා තට්ටු නිසාත්, ලක්ෂිත මහත්තයා ගමේ ආවම පදින බයිසිකල් එක එදා ගරාජයේ පෙනෙන්න තිබුනේ නැති හන්දාත් සත්සරාට ලක්ශිත ගෙදර ඇතිය කියන බය එදා දැනුනේ නැත. එහෙත් ඒ සිතුවිල්ල වැරදි බව සත්සරාට තේරුණේ කොල ටිකට ගිනි තියා ඒ දිහා බලාගෙන ඉද්දී තමන් කාගේ හෝ දැඩි අතකට හසුව, ගරාජයේ පිටුපසට ඇදී යන බවත්, තව අතකින් තමන්ගේ කට සද්දයක් එලියට එන්නෙ නැතිවෙන පරිද්දෙන් වසාගෙන ඇති බවත් සත්සරාට තේරුණාය. දඟලා කොච්චර ඒ ග්‍රහණයෙන් මිදෙන්න හැදුවත් එය කරන්න නොහැකි බව වගේම ඒ දරදඬු අත් අයිති කාටද කියන එක සත්සරාට තේරුණේ එක අතක ඇඳ තිබුන මකරෙකුගේ රූපයේ ටැටූව දැක්කාමය.

“මොකද අප්පේ පොඩි විහිලුවක් කරාමත් ඔහොම බයවෙනවද?” කියා ලක්ශිත මහත්තයා හිනාවෙවී අහද්දී ඒ වනාහී විහිලුවක්ම නොවන බව සත්සරාට හොඳටම තේරුණේ මේ වතාවේය. 

තමන්ගේ දරදඬු දෑත් අණසකෙන් බේරෙන්නට උත්සහ කරන්නට දැඟලූ වෙලාවේ එහෙ මෙහෙ වෙච්ච ගවුම් කරෙන් පේන ළපටි පපුව දිහා ලක්ෂිත බලාගෙන උන්නේ පුදුමාකාර කෑදරකමකිනි. කොළඹට වී තාත්තාගේ සල්ලි වියදම් කරමින් “ස්ටඩීස්” වල නාමයෙන් විවිධාකාරයේ ආතල් ගන්නට හැකියාව තමන්ට තිබුනද එදා සිටම තමන්ගේ හිතේ “පුංචි ළපටි කෙල්ලන්” වෙනුවෙන් වෙනම ඉඩක්, ආසාවක් තිබ්බ බව ලක්ෂිතට රහසක් නොවේ.

“උඹ ඔය ක්ලබ් වලදි චූටි කෙල්ලොන්වම හොයන්නෙ මොකද?”  කියා යාලුවා වෙච්ච තිලේන් ඇහුවේ ඒ වගේ තාවකාලික ආසාවක් සංසිඳවාගනු පිණිස ක්ලබ් එකකදි ලස්සන ලස්සන කෙල්ලන් දිහා බලමින් ඉන්න අතරවාරයේය.

“දන්නෙ නෑ බං මට පොඩි පාට උන්ව මාරට ෆීල් වෙනවා” කියා ලක්ශිත කියද්දී කොච්චර බොන්න කරන වැඩ වලට ආවත් කෙල්ලො සීන් වලට එහෙමට ලොකුවටම බරක් නැති මනුජ් කිණ්ඩි හිනාවක් එක්ක “ඊඊ, පෙඩෝ කෙනෙක්ද බං උඹ?” කියද්දීවත් ලක්ශිත ඒක වරදක් බව දුටුවේ නැත.

“ඔව් ඉතින් ඒක මගෙ කැමැත්තනෙ. මං ඒක එළිපිට කියනවා. මොකෝ ඒක හංගන්න දෙයක් නෑනෙ. ඔය අනිත් මිනිස්සු වගේ මං බොරුවට සුදනා වෙන්න යන්නෙ නෑනෙ. මං නිකන් බොරුවට කියන්නෙ නෑ මම මේ මාර හොඳයි මං හරි අවංකයි එහෙමයි කියලා. ඔව් මං ආසයි ඉතින් පොඩි කෙල්ලන්ට. ඔය සමහරු ඉන්නෙ ඇන්ටිලට ආස උන්, ෆුට් ෆෙටිශ් තියෙන උන් එහෙමත්, උන්ට කවුරුවත් ඔය පෙඩෝ බෙඩෝ වදන් දාන්න එන්නෙ නෑනෙ. එහෙම එකේ මං හිතන්නෙ නෑ මං කරන දේ වැරදි” කියා කියන්නට තරම් ලක්ෂිත උන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වූ තාත්තගේ පවර් එකෙන්ද, සල්ලි වලින්ද උදම් වීය. 

“තාත්තා ප්‍රාදේශීය සභා මන්ත්‍රී ද, පාර්ලිමේන්තු මන්ත්‍රීද, ඇමතිද කියන එක අදාල නෑ බං. වෙන්න ඕන කවුරුහරි පොලිටික්කෙක් වෙලා ඉන්න එක විතරයි. මොකෝ පොලිටික්ස්වලට මොකක් හරි සම්බන්ධයක් තියෙනම් ඕන මජර කේස් එකකින් බේරෙන එක නතින්” කියා ලක්ශිත මිතුරන් අතරෙත් උන්නේ උදම් අනිමිනි. ඒ නිසාම හිතට එන ඕනම අදහසක් එයාකාරයෙන්ම එළියට දාන්නත්, ක්‍රියාත්මක කරන්නත් පෙර ලක්ශිත දෙපාරක් තියා එක පාරක්වත් සිතුවේ නැත. කොහොමත් ගෙදර තිබුණේ තමන්ගේත් තාත්තාගේත් අණසකය.  අම්මා නිතර දෙවෙලේ ගෙදර රැඳෙන්නියක වුවද, අම්මාට තිබුනේ තාත්තාගෙ බලය හන්දා වසාගෙන හිඳින්නට වූ මුවකි. අම්මාගේ හඬට නිවසේ ඉඩක් තිබුනේ සේවක සේවිකාවන් විෂයෙහි පමණක් නිසාත් ගේ ඇතුලේ වුණත් තමන්ගේ අණසක පතුරුවන්න, දෙයක් ඕනෑ නම් එය කුමනාකාරයකින් හෝ ලබාගන්නට ඕනම දෙයක් කරන්නට ලක්ශිතට ඉඩකඩ තිබුණි.

අනෙක් අතට තිබුන ලොකුම වාසනාව නම් අම්මාගේ සුරතලා වූද, අම්මාගේ සියලු යහපත්කම් වලට තම උපරිම සහය දුන්නා වුද, තාත්තාගෙත් තමන්ගෙත් නොපනත්කම්වලට හැකි උපරිමයෙන්ම විරෝධය දැක්වූ අයියා තාත්තා සමග වූ රණ්ඩුවකින් පස්සේ ගෙදරින් ගිය එකය. අයියා වූ, ප්‍රභාත් ඉන්නේ කොතනද, කරන්නේ මොනවද කියා සොයන්නටවත් තමන් සහ තාත්තා මහන්සි නොවුවද අම්මාට අදටත් අයියා සමග සබඳතාවයක් තිබෙන බව ලක්ශිතට නොරහසකි. එහෙත් ඒ වනාහී කවදාවත් තමන්ගේ ලෝකය විනාස කරන්නට හේතු නොවන අන්දමේ බැඳීමක් බව ලක්ෂිත වටහාගත්තේ අයියා තාත්තා එක්ක රණ්ඩු වෙච්ච දවසේ තාත්තාගේ කටෙන් පිටවුණ වදන් වලිනි.

“උඹ පුංචි කාලෙ ඉඳල කෑවෙ බිව්වෙ, ඇන්දෙ කරේ ඔය උඹ දැන් කරදඬු උස් වෙලා, විශ්ව විද්‍යාලෙ ගියාට පස්සෙ ඔලුව අස්සෙ ඔබාගත්ත මල විකාර වලට දිරවන්නෙ නැති අප්පා හම්බුකරපු ඒවම තමයි පුතෝ.

හැබැයි උඹ මෙන්න මේක මතක තියාගනින්. උඹ තාම ඉන්නෙ මගෙ වහල යට. මේ වහල යට සද්ද දාන්න පුලුවන් මට විතරයි. උඹට මේ වහල යට ඔලුව නවාගෙන ඉන්න උවමනානම් මං කරන කියන දේවල් වල හොඳ නරක හොයන්න උඹ එන්න එපා.

මතක තියාගනිං උඹ මගේ අප්පා නෙවෙයි. මං තමයි උඹේ අප්පා. අප්පා යන පාරෙ පුතාට යන්න බැරි නම් පුතෝ ඒක අප්පට වඩා ප්‍රශ්නයක් වෙන්නෙ පුතාට බව උඹ මතක තියාගනිං.

මගේ වැරදි හොයන්න කළින් උඹ ඉස්සරවෙලා උඹට කියලා දෙයක් හදාගනිං. මගෙන් කකා බිබී මට අනං මනං කියන්න එන්නෙ නැතුව” කියා එදා තාත්තා කියද්දී ලක්ෂිත ඒ සියලු දේවල්වලින් තේරුම්ගත්තේ එකම දේකි.

ඒ තාත්තා යන පාරේම තමන්ද යන තරමට මොන බාධක ඉස්සරහට ආවත් තාත්තා ඒ සියලු බාධක ඉවත් කර දෙන්නට කටයුතු කරන බවය.

ඉතින් එහෙම එකේ සත්සරාව අල්ලා පොඩි කර, අතේ ගෑවෙන මල් සුවඳ කොයි වගේද කියා බලන්නට තමන්ට බයක් වෙන්න දෙයක් නැති බව ලක්ෂිත දැන උන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here