වසන්ත ගේ අසාධාරණ වචන හමුවේ ධීර සූදානම් වූයේ ඇත්තටම නිවසින් පිටවන්නටය.ඔහු වහාම කෑම මේසයෙන් නැගී සිටියේ එහෙයිනි.
” අනේ පුතා ”
ජයමිණි හඬමින් ධීර ගේ අතේ එල්ලුනාය. ධීර මොහොතකට නතර වූයේ ඒ මව් සෙනෙහස හමුවේය. නිවසේ රැඳෙන්නට එකතු හේතුවක් හෝ තිබෙනවා නම් ඒ තම මව පමණි. මේ නිවස තුළ තමාට සැබෑම සෙනෙහසකින් සැලකුවේ ඇය පමණි. මොහොතකට හෝ නතර විය යුතු නම් ඒ ඇය නිසා පමණි.
” ඔයාට පුළුවන්ද අම්මව දාලා යන්න ? තිස් අවුරුද්දක් ජීවත් වෙච්ච මේ ගෙදර මේ කසාදයක් නිසා දාලා යන්න ඔයාට පුළුවන්ද ධීර ? ඔයා ගියාම මට මොකද වෙන්නේ පුතේ?”
ධීර ගේ හදවත කඩාගෙන වැටුණේ ජයමිණි කී අවසන් වාක්‍ය නිසාය. තමා මේ නිවසින් පිට වුවහොත් ඇය තවත් තනි වන්නේය. ඇයට කියා මේ නිවස තුළ කිසිවෙකුත් නැති වන්නේය. තීරණයක් ගැනීමට නොහැකිව ධීර නතර වූයේය. මේ මොහොතේ තම පියාට ඕනෑ දෙයක් කියා ගන්නට හැර නිවසින් පිට නොවී සිටින්නට සහ ඕනෑම දෙයක් විඳ දරා ගන්නට ධීර තීරණය කළේ ජයමිණි නිසාමය.
Clothez හී අලුත් වැඩියා කටයුතු සිදු වෙමින් පවතින නිසා අවශ්‍ය අවස්ථා වලදී අවශ්‍ය දෙයකට පමණක් එහි ගොස් තාදී දෙදිනක් පමණ නිවසෙහි ගත කළාය. ධීර සහ ගයත්‍රි ඇතුළු අනෙකුත් සේවිකාවන් පැමිණ තාදී ගේ සුව දුක් විමසා බැලූ අතර කිසිවිටකත් ඇයව තනි නොකරන්නට සියලු දෙනාම වග බලා ගත්හ.තාදී ගේ මානසික තත්ත්වය එතරම් යහපත් නොවූවත් ඇය එය කිසිවෙකුට පෙන්වන්නට ගියේ නැත. පුරුදු පරිදි ඇය කළේ සියල්ල දරා හිඳීම පමණි.
නැනෝ අම්මා ගෙන් තාදී හට දුරකථන ඇමතුමක් ලැබුණේ තාදී නිවසට වී පොතක් කියවමින් සිටි මොහොතකය.
” නෝනේ ”
” නැනෝ අම්මා. අනේ මට දවස් කීපයකින් ඔය පැත්තේ එන්න බැරි උනා. ශොප් එක හදන නිසා සැරින් සැරේ එහෙටත් යන්න වෙනවනේ. ඊටත් වඩා තාමත් මගේ හිතට හරි නෑ. මොනවා හරි තිබ්බොත් කියන්න මං අනිවාර්යෙන්ම එනවා හරිද ”
කිසිදු හේතුවක් මත වත් ” සෙවණ ” ට යාම තාදී අතපසු නොකරන නිසාත් , මේ දිනවල තාදී ගේ තත්ත්වය හොඳින්ම අවබෝධ කරගෙන හුන් නිසාත් තාදීගේ දින කිහිපයක නොපැමිණීම පිළිබඳව නැනෝ අම්මා අහිතක් සිතුවේ හෝ කියන්නට ගියේ හෝ නැත.
” අනේ ඒකට මක් වෙනවද නෝනේ. මං මේ කතා කළේ පොඩි කාරණාවක් කියන්න ”
” මොකක්ද නැනෝ අම්මේ ? මොකක් හරි හදිස්සියක්ද ? ”
” හදිසියක්මත් නෙමෙයි ”
” එහෙනම් ? ”
” නෝනව හොයා ගෙන අද උදේ මෙහෙට කෙනෙක් ආවා”
” මාව හොයාගෙන ? කවුද ? ”
තාදී සිතුවේ මිෂෙල් තමා පිළිබඳව තොරතුරු සොයා ගෙන ” සෙවණ ” ට ගොස් ඇති බවය. නමුත් මේ වන විටත් වසන්ත තමා පිළිබඳව සියලු තොරතුරු දන්නා නිසා මිෂෙල් තමාගේ තොරතුරු සොයා ගියත් එහි වෙනසක් වන්නේ නැත.
” ටිකක් තරුණ නෝනා කෙනෙක්. තරුණයි කිව්වට අවුරුදු පනහක විතර. හරි ලස්සනයි. සල්ලි එහෙම හොඳට තියෙන පාටයි. හොඳ වාහනයකින් තනියම ආවේ ”
නැනෝ අම්මා විස්තර කළාය. එහෙත් පැමිණියේ කවුරුන්දැයි අනුමාන කර ගන්නට තාදී ට නොහැකි විය. තමාගෙන් සේවය ලබා ගත් අයකුවත් තමාගේ පෞද්ගලික තොරතුරු නොදන්නා නිසා තමාව සොයා ඒ ආකාරයට ” සෙවණ ” ට ගියා යැයි සිතන්නටද නොහැක.
” මොනාද කිව්වේ? ”
” නෝනා ගැන විස්තර ඇහුවා. මං කිව්වා නෝනා මෙහෙ නෑ ,තනියම ඉන්නෙ කියලා. කොහෙද ඉන්නේ කියලා ඇහුවා. මං කිව්ව නාරහෙන්පිට පැත්තෙ ඉන්නවා ,ඉන්න තැනක් නම් මං හරියට දන්නේ නෑ කියලා ”
” ඊට පස්සේ ? ”
” මගෙන් ඇහුවා නෝනා වැඩ කරන්නේ කොහෙද කියලා. මං කිව්වා නෝනා කොහෙවත් වැඩ කරන්නේ නෑ නෝනට නෝනගෙම බිස්නස් එකක් තියෙනවා, ඒකේ විස්තරත් හරියටම දන්නෙ නෑ කියලා ”
තාදී මොහොතක් නිහඬව උන්නාය. මේ තරම් තමාගේ විස්තර හොයන්නට කෙනෙකු තමාගේ ජීවිතයේ නැත. මෙය තවත් අනතුරක සේයාවක් දැයි තාදී කල්පනා කළාය.
” ඒ ආපු කෙනා නමක් කිව්වද නැනෝ අම්මේ ? ”
” නමක් නං කිව්වේ නැහැ. හැබැයි නෝනට දෙන්න කියලා ටෙලිෆෝන් නම්බරයක් දීලා ගියා. පුළුවන් ඉක්මනින් කෝල් කරන්න කියලත් කියන්න කිව්වා ”
” එයා ගැන වෙන මුකුත්ම විස්තරයක් කිව්වේ නැද්ද ? කොහෙද ඉන්නේ මොකටද ආවේ කියලවත් ? “
” එහෙම මොකුත් විස්තරයක් කිව්වේ නැහැ නෝනේ. මං ඇහුවා වෙන මොකක් හරි පණිවිඩයක් දෙන්න ඕනෙද කියල. ටෙලිෆෝන් නම්බරේ දීල කෝල් එකක් දෙන්න කියන්න කිව්ව පුළුවන් ඉක්මනට. මං නෝනාට නම්බරේ කියන්නන් ලියාගන්නවද ? ”
” එපා නැනෝ අම්මේ. මං ඔය පැත්තට එන්නම් ”
නැනෝ අම්මා ගේ දුරකථන ඇමතුමෙන් පසුව තාදී මදක් කලබලයට පත් වී උන්නාය. ඕනෑම දෙයකදී ඉවසීමෙන් කටයුතු කරන නමුත් මෙය තරමක් සැක සහිත දෙයක් බැවින් තාදී බොහෝ වේලාවක් තමා සොයා හදිසියේම “සෙවණ ” ට පැමිණි අමුත්තිය පිළිබඳව කල්පනා කළාය. පසුගිය දින වල සිදු වූ සිදුවීම් අනුව ඕනෑම දෙයක් ඕනෑම මොහොතක සිදු විය හැකි බැවින් මෙය කුමන ආකාරයේ සිදුවීමක ආරම්භයක් දැයි තාදී සිතුවාය.
ධීර තාදී ගේ නිවසෙහි ප්‍රධාන දොර ඉදිරියෙහි පෙනී සිටියේ තාදී කල්පනාවේ නිමග්න වී සිටියදීය. ධීර විනාඩි පහක් පමණ ඉවත බලාගෙන කල්පනා කරන තාදී දෙස බලා උන්නේය.
” තාදී ? ”
ධීර නිවසට ඇතුළු වූයේ තාදී තිගැස්සෙද්දී ය. ඒ තිගැස්සීම පරදවා ඒ මොහොතේදීම තාදී ගේ මුහුණෙහි සිනහවක් මතු වූයේ ධීර ව දැකීම නිසාය.
” කොහෙදෝ දුරක ගිහින් නේද හිටියේ ? ”
ධීර සිනාසෙමින් තාදී අසලින් වාඩි වූයේ ඇයගේ උකුල මත වූ පොත අතට ගෙන බලමිනි.
” දුරක නම් තමයි හිටියේ ”
” කොහෙද ? ”
තාදී පිළිතුරු දුන්නේ නැත. මොහොතක් කල්පනා කළා පමණි.
” ඇයි තාදී ? ”
” අද මාව හොයා ගෙන කවුද ගෑණු කෙනෙක් සෙවණට ගිහිල්ලා ”
” කවුද ? ”
” දන්නේ නැහැ. නැනෝ අම්මා කතා කරලා කිව්වේ. මං ගැන විස්තර ඇහුවලු. නම්බර් එකක් දීල ගියාලු මට කෝල් කරන්න කියන්න කියලා. නමක් වත් කියලා නැහැ. පුළුවන් ඉක්මනට කෝල් කරන්න කියන්න කියලා තමයි කියලා තියෙන්නේ “
ධීර කිසිවක් කීවේ නැත. ඔහුට තාදී පිළිබඳව දැනුනේ බියකි. මෙය සමහර විටක මිෂෙල් ගේ ඊළඟ පියවර වුවද විය හැක.
” අපි ගිහින් බලමුද ? ”
” ඒක තමයි මාත් හිතුවේ. ඒත් මට හිතා ගන්න බැරි මේ ආවේ කවුද කියලා? ”
” ඔයා නැනෝ අම්මගෙන් නම්බර් එක ඉල්ල ගත්තේ නැද්ද? “
” නෑ ධීර. මං හිතුවේ ටිකක් එහාට ගිහිල්ලම විස්තර අහලා බලනවා කියලා. හැබැයි… ”
තාදී කියන්නට ගිය දේ ගිල ගත්තාය.
” ඇයි ? ”
” කවදාවත් කවුරුවත් මාව හොයාගෙන එහාට ගිහිල්ලා නැහැ. ආපු කෙනෙක් ආවේ ශොප් එකට තමයි. ”
” හරි. ඔයා බය නැතුව ඉන්නකෝ. අපි දෙන්නම ගිහිල්ලා බලමු.එන දේකට දෙන්නම එකතු වෙලා මූණ දෙමු. බය නැතුව ඉන්න තාදී.මං ඔයත් එක්ක ඉන්නවනේ ”
තාදී ගේ සිතේ වූ දෙගිඩියාව පහව ගියේ නැත. සාමකාමීව ගලාගෙන ගිය ජීවිතයට හිටි හැටියේම මේ සිදුවන දේවල් පිළිබඳව තාදී සිටියේ අපැහැදීමකිනි. කෙසේ වුවත් මේ සියල්ලටම තමා මුහුණ දිය යුතුව ඇත.
” කල්පනා කරන්න එපා තාදී. ඉස්සෙල්ලා අපි ගිහින් බලමුකෝ. සමහර විට මේක අපේ තාත්තගෙ වැඩක්ද දන්නෙත් නෑනේ ”
” තාත්තා දැන් කොහොමත් මං ගැන දන්න එකේ තවත් හොයන්න තියෙන උවමනාව මොකක්ද ධීර ? අනික අපිට හැමදේටම තාත්තව සැක කරන්න බැහැ. මං හිතන්නේ නෑ මිෂෙල්ගේ සිද්ධියෙන් පස්සේ තාත්තා වුනත් මොනවත් කරයි කියලා ”
” එහෙනම් ඔයාට හිතෙන්නෙ මේ ආව කෙනා කවුරු වෙන්න පුළුවන් කියලද ? ”
ReplyForwardAdd reaction |