සමුධ්‍යා දවස් කීපයක්ම පාසල් ඇරී පමා වී හෝ වෙන කවුරුන් එක්කා හෝ ගෙදර එන්නට කටයුතු කරේ ලක්ෂිතගේ බයිසිකලය ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ඉස්කෝලේ ළඟ පාරේ එහෙ මෙහෙ යනවා ඇහෙනවත් එක්කය.ලක්ෂිත ගැන ඇත්ත දන්න අය ඉන්නේ කීපදෙනක් උනත් ලක්ෂිත සෙල්ලක්කාරයා බව ගමේ බොහෝ මිනිස්සුන්ගේ අදහස බව ගෙවුන මාස කිහිපයට මිනිස්සු කියන දේවල් වලින් තේරුම්ගන්න සමුධ්‍යාට අපහසු උනේ නැත. ඉතින් එහෙම මනුස්සයෙක් එක්ක තමන් කතා බස් කරමින් ඉන්න එක ප්‍රශ්නයක් වෙන්න පුලුවන් බවත් කතාවක් අහගන්න ඉඩක් හැදෙනවා වෙන්න පුලුවන් බවත් අමතක කරන්න සමුධ්‍යා කැමති උනේ නැත.
සමුධ්‍යා ලක්ෂිතගේ ඇහැ ගැටෙන්නේ නැතිවෙන්න ගෙදර එන්නට හැමතිස්සෙම කටයුතු කලේ ඒ නිසාය. පෝය වැටුණේ බදාදා දවසක වෙච්ච හන්දා බ්‍රහස්පතින්දාත් සිකුරාදාත් නිවාඩු දා ගෙදර යන්න සමුධ්‍යා හිතුවේ නැත. ඒ වෙනුවට නිවාඩු දවසේ ඉස්කෝලෙ මහත්තයාගේම ගෙදර නතරවුණ සමුධ්‍යා උදේම ඇහැරි කාමරය අස්පස් කර දමා, දහවලේ උයමන් වලට ඉස්කෝලෙ නෝනටත් අත් උදව් දී දහවල් කෑමෙන් පස්සෙ නිදාගත්තේ “හවස් පන්සලට යන්න මාත් එන්නම්” කියා ඉස්කෝලෙ නෝනාට පොරොන්දු වෙමිනි. ඉස්කෝලේ මහත්තයාලගෙ නිවසේ සිට පරමාකන්ද රජමහා විහාරයට තිබෙන්නේ ඇවිදගෙන යන අන්දමේ දුරකි. අනෙක් අතට මේ ගමේ කෙළවරේම ඉන්නා මනුස්සයා පවා පන්සලට එන්නේ ඇවිදගෙන නිසාවෙන් පන්සලට යන පාර දිගෙ වාහන දකින්න එහෙමකට කියා අවස්තාවක් මේ ගම්මුන්ට එන්නෙ නැත.
සමුධ්‍යා ඉස්කෝලේ නෝන පස්සේ පන්සල දෙස බලා පියවර තැබුවේ එක අතක නෙලුම් මල් මිටියකුත්, අනෙක් අතින් හඳුන්කූරු, පහන් තිර සහ තෙල් බෝතලයක් තිබුණ මල්ලකුත් අරගෙනය. ගම දිශාවේ සිට පන්සල දිශාවට යන බොහොමයක් දෙනා “මැණිකෙ” කියා ඉස්කෝලෙ නෝන එක්ක කතා කර කරම පන්සල වෙත පියවර තබන්න වූ නිසා ගමන ප්‍රමාද උනත් සමුධ්‍යා ඒ කතාබස් ද, බැස යන ඉරේ ලා රත්තරන් පාට වැටුණු කුඹුරු යායවල් දිහාද බලමින් උන්නේ නිවී සැනසුණු සිතකිනි.
“ඉස්කෝලේ නෝන පළවෙනි වතාවට නේ මේ ගමේ පන්සලට යන්නේ?” කියාගෙන ගමේ මිනිස්සු තමන් එක්ක කතා කරද්දිත් සමුධ්‍යා ඒ කතාවන්වලට එක්කහු උනේ සන්තෝසයෙනි.
පරමාකන්ද පන්සල ඓතිහාසික අතින් වැදගත් තැනක් ගන්නා පන්සලක් බව සමුධ්‍යා දැනගත්තේ සද්ධානන්ද ලොකු ඉස්කෝලෙ මහත්තයා එක්ක කල කතා බස් අතරවාරයේය. පරමේශ්වර කන්ද යන නම පසුකාලීනව පරමාකන්ද වුන බවත්, සමහරු එය පරමකන්ද නැතිනම් උතුම් කන්ද යන තේරුම සහිතව කියන බවත් කියාදුන්නේද සද්ධානන්ද මහත්තයාය. ක්‍රි.ව. 89-77 කාලයේ දී වළගම්බා රජතුමා විසින් මෙම විහාරය කරවූ බවත් සමුධ්‍යා දැනගත්තේ ඒ කතාබස් අතරය. පරමාකන්ද පන්සලේ පන්සල් භුමියට යන්නට තිබූ පඩිපෙල නගිඳ්දී ඒ පඩිපෙල කෙළවරේ මන්ත්‍රී නෝනාත්, ලක්ෂිතත් උන්නා දුටුවාම සමුධ්‍යා තප්පර ගානකට පඩි උඩ නතර වුණු බව ඇත්තකි. පඩිපෙල ඉහල සිට ගෙන තමන් දෙසම බලාගෙන උන්නු ලක්ෂිතගේ දෙනෙත් අස්සේ රැඳී තිබුන බැල්මත්, දෙතොලේ ඇඳී තිබුණ සිනාවත් කියන කතාව සමුධ්‍යාට තේරුම්ගන්න අපහසු වූයේ නැත. සද්ධානන්ද ඉස්කෝලේ හාමිනේ ආපසු හැරී තමන් දෙස බැලුවේ “මොකද දූ අපි කරන්නෙ?”කියා ප්‍රශ්නාර්තය ඇස් දෙකේ ඇඳගෙනය. ආපසු හැරී යන්නට හැටියක් නොමැති බව දන්න හන්දාම “අපි යන්” කියා සමුධ්‍යා ඉස්කෝලේ නෝනාට ඉඟියක් දුන්නාය. ආයෙමත් පියවර එසවුනේ දෙදෙනා අතර හුවමාරු වුණු ඒ නිහඬ කතාව සහ එකඟතාවය නිසාවෙනි.
ලක්ෂිත උන්නේ තමා බලාපොරොත්තු වුන අන්දමින්ම සමුධ්‍යා පන්සලට ඇවිත් තිබුන නිසාවෙනි.සමුධ්‍යා ඉස්කෝලේ ගෙදර මිනිස්සු එක්ක පන්සල් එන බව ලක්ෂිත සැක කර තිබුනේ ඉස්කෝලේ ගෙදර මිනිස්සු කොහොමත් ආගමට දහමට ලැදි මිනිස්සු බව දන්න නිසාවෙනි. අනෙක් අතට ලක්ෂිත උන්නේ සමුධ්‍යා ඇඳ ගෙන උන් ලා රෝස පාට සරල ගවුමත්, ගොතාපු කොණ්ඩයත් නිසාවෙන් කැපී පෙනෙන කුඩා කෙල්ලකගෙ පෙනුමෙන් අමන්දානන්දයට පත් වීය. ඒ අමන්දානන්දය අස්සේ ලක්ෂිතට උවමනා උනේ සත්සරාවත්, කොළඹදී හමුවුන අනෙක් කුඩා කෙල්ලන්වත් අල්ලා සුවඳ බලන ආසාවක් පමණක් නොවේ. අයිතිකරගැනීමේ ආසාවකි. උවමනාවකි. තණ්හාවකි.
“මං මේ ඒත් මග නතරවෙලා උන්නේ ඉස්කෝලේ නෝනලා එනවා දැක්ක නිසා” කියා අනෝමා හිනාවක් එක්කම කතාව අරඹන ගමන් සද්ධානන්ද ඉස්කෝලේ නෝනාව එතන නතරකරගත්තාය. ඒ මොහොතේදිත් ලක්ෂිතගේ දෙනෙත් තිබුණේ සමුධ්‍යාගේ නෙලුම් මලක් වන් සුන්දර මුහුණ මත ඇලවී ගෙන මෙනි.
“අද එන්න ටිකක් පරක්කු උනානෙ නෝනා” කියාගෙන අනෝමා එක්ක සිනාසුනාට සද්ධානන්ධ ඉස්කෝලෙ නෝනා වෙනදා මෙන් ලක්ෂිත වෙත සිනාවන් පෑවේ නැත. කොහොමත් ලක්ෂිත උන්නේ ඒ කිසිවක් ගැන සිහියකින් නොවන නිසා ඉස්කෝලේ නෝන තමන් දිහා බැලුවාද නැද්ද සිනාසුනාද නැද්ද කියන වගක්වත් ලක්ෂිතට තිබුණේ නැත. අම්මාත් ඉස්කෝලේ නෝනත් කතා කරමින් පඩිපෙල නැග පන්සල් භූමියට යද්දී ඒ දෙදෙනා පිටුපසින් ගිය සමුධ්‍යා හා එක පෙලට වැටෙන්නට වීම ගැන ලක්ෂිත උන්නේ සන්තෝසයෙනි.
“මේ ටිකේ ඉස්කෝලේ ගියේ නැද්ද ඔයා?” කියා ලක්ෂිත අහන්නේ ඇයි කියා වටහාගන්නට සමුධ්‍යාට අපහසු උනේ නැත. ලක්ෂිතගේ බයිසිකලයේ හඬ ඇසුණ නිසාවෙන්ම තමන් පරිස්සම් වුන බවත්, ඔහුගෙන් මිදෙන්නට උවමනා නිසාවෙන්ම බව කියන්න බැරි හන්දාම සමුධ්‍යා පන්සල් භූමිය බව නොසිතාම මුවින් බොරුවක් පිට කරන්නට හිතුවාය.
“නෑ ගියා. ඇයි එහෙම ඇහුවෙ?”
“නෑ මම ඉස්කෝලේ පැත්තෙ ආව දවස් කීපයක්ම. ඔයාව දැක්කෙ නෑනෙ”
“ආහ් ඔව් මම පොඩ්ඩක් දවල් වෙනකම් ඉස්කෝලෙ හිටියා මේ ටිකේ වැඩ වගයක් තිබුණා. ඇයි හදිසියේ ඉස්කෝලෙ පැත්තෙ ආවෙ? ලොකු සර්ව හම්බුවෙන්නද?”
“ම්ම්ම්ම් කෙනෙක්ව හම්බුවෙන්න නම් තමයි හැබැයි ලොකු සර් නෙවෙයි” කියා ලක්ෂිත කියද්දි ඒ කටහඬේත්, ඔහුගේ දෙනෙත් අස්සේත් රැඳී තිබුණේ කුළුඳුලේම පෙම් කරන, කුළුඳුලේම කෙල්ලක හා කතාකරන කොල්ලෙකුගේ හඬේ තැවරී තිබේ යැයි සමුධ්‍යා විසින් සැක කරන්නට යෙදුණ අන්දමේ හැඟීමකි. එහෙත් ඒ වනාහී වෙස් මූණක් විනා ලක්ෂිත විසින් මුලු මහත් සමාජයෙන්ම හංගා ගෙන ඉන්නා ඔහුගේ හැබෑ ප්‍රතිරූපය නොවන බව දැන හුන් නිසාවෙන්ම සමුධ්‍යා ඒ වෙස් මූණට රැවටුනේ නැත.
ලක්ෂිත හිතුවේ තමන් “ම්ම්ම්ම් කෙනෙක්ව හම්බුවෙන්න නම් තමයි හැබැයි ලොකු සර් නෙවෙයි” කියා කිව්වයින් පස්සෙ “එහෙනම් කවුද?” කියා අහවි කියා නමුත් ඒ වනාහී සියතින්ම බෙල්ල මිරිකාගන්නා තැතක් බව දන්න නිසාවෙන්ම සමුධ්‍යා ඒ ප්‍රශ්නය නොඇසු තැන ඊලගට කිව යුත්තේ කුමක්ද කියන ප්‍රශ්නෙ ලක්ෂිතට තිබුණේය.
“මම ඇත්තටම ආවේ ඔයාව බලන්න” කියා ලක්ෂිත කිව්වේ ලැජ්ජාවක අංශු මාත්‍රයක් හෝ හිතේ තිබුනා නම් එයද අමතක කර දමා මෙනි.
ලක්ෂිතගේ වෑයම කුමක්ද කියන එක තේරුම්ගන්න සමුධ්‍යාට අපහසු උනේ නැත. ලක්ෂිත කිව්ව දේට මද සිනාවක් පෑවා මිසක උත්තරයක් දෙන්නවත් යමක් අහන්නවත් සමුධ්‍යා කටයුතු නොකලේ ඒ නිසාවෙන් මය.
“ඇයි මුකුත් කියන්නෙ නැත්තෙ?” කියා තමන් ඇහුවාටවත් සමුධ්‍යා මුකුත් නොකියන්නේ මේ වගේ කතා බහකදි ඕනම කෙල්ලෙක්ගෙ හිතේ ඇතිවන ලැජ්ජාව නිසාවෙන් විය හැකි බව ලක්ෂිත හිතුවේය.
“ඔයා කතා නොකරට කමක් නෑ. මං දන්නවා ඔයා කතා නොකරන්නෙ තරහා හින්දා නෙවෙයි කියලා. ඒ උනාට ඔන්න හිතන්න එපා ඔයා කතා නොකරට මං කට වහගෙන ඉඳී කියලනම් හිතන්න එපා” කියාගෙන ලක්ෂිත හිනාවීගෙන තමන්ට වඩා අඩි කිහිපයක් උසින් අඩු සමුධ්‍යා දෙස බලාගෙන ඉද්දී ඒ දෙදෙනා වෙතම යොමුවුණ වෙනත් නෙත් හතරක් උන්නේ වෙනම අන්දමක කතා බහක නිරත වී ගෙනය.