කදෝකිමි ඇස් -11

0
3708
කදෝකිමි ඇස්

“අද නේහාගේ කේන්තිය ඇවිස්සුවේ මොකක් කරලද?”

මහේන් ගෙඋද්‍යානයට වී පොතක් කියවමින් සිටි මේඝගෙන් ඇසුවේ සිනාවක් අතරිනි.නේහා කඩා බිඳගෙන නිවසට පැමිණ මොනවාදෝ පවසා යන්නට ගිය වග ඔහු දුටුවේ ය.

“දෙන්නෙක් අතර ප්‍රශ්න ඇති වුණාම අම්ම තාත්තලා යාලුවෝ ඒවට මැදි කරගන්න එපා දුව.දෙන්නා එක්ක විසඳා ගන්න.නැත්නම් මේ රටේ ඕනතරම් කවුන්සලර්ලා ඉන්නවනෙ.”

නේහා කේලමක් කියන්නට ආ දවසක මහේන් ඇයට එසේ කීවේ ය.ඉනික්බිතිව මහේන්ට නේහා කිසිවක් ම නොකීවා ය.මහේන්ට මේඝට වඩා කෙනෙකු නැතැයි මේඝට බැන වැදී ඇය සිත සැහැල්ලු කර ගත්තා ය.නමුත් දැන් ඇය මහේන් ට කිසිම කේලමක් නොකියන්නට ප්‍රවේසම් ය.

“අද මට කැෆේ එකකදි ගෑනු ළමයෙකුගේ පර්ස් එකක් හම්බ වුණා.ඒක කැෆේ එකේ අයට නොදී මං ඒ ළමය හොයන් ගියා.මහ ලොකු සල්ලියක් නම් තිබ්බෙ නෑ.කැම්පස් ළමයෙක් ඒ ළමයට ආයේ කාඩ්ස් අයිඩී හදන්න නටන්න වෙන එක අපරාදයක්නෙ.”

මේඝ කතා කරන්නට පටන් ගත්තේ ය.මහේන් අසා සිටියේ ය.ඔහු මේඝට ඇහුම්කන් දෙන්නට කැමති ය.අසා සිටීම තරම් දරුවෙකුට දිය හැකි විශ්වාසයක් නොමැති බව ඔහු තදින් විශ්වාස කරයි.එය ඔහුගේ අම්මා සතුව ද තිබිණි නම් සියල්ල මේ ලෙස අවසන් නොවන වග මහේන් තවම සිතයි.මේඝ පහළොස් හැවිරිදි වියේ හිඳියදී අම්මා මෙලොව අතැර යන්නට ගිය ද මහේන් ට අම්මා තමන් අවිශ්වාස කළ එදවස් තවම අමතක කරන්නට නොහැකි ය.

“නේහා ඉන්නෙ මාර තරහකින්.ඒ ළමයාට ඒක ගිහින් දුන්නා කියල..”

එසේ පැවසූ මේඝ සුසුමක් හෙළා තාත්තා දෙස බැලුවේ ය.

“මට ආදරේ කරන්න තියන හැම තත්පරේම නේහා නාස්ති කරන්නෙ මාව අවිශ්වාස කරන්න තාත්තේ.ඇත්තටම මට එයාව තේරුම් ගන්නම බැහැ.”

මහේන් කිසිත් නොකීවේ ය.ඉතා සුළු කාරණාවලට පවා තමන් අවිශ්වාස කරමින් රණ්ඩුවලට පැටලෙන සැකය පිරුණු දෑසක් ඔහුගේ නෙත් මත ඇඳී මැකී යයි.රණ්ඩු කරන්නට ගත කරන කාලය ආදරය කරන්නට ඉතිරි කරගන්නැයි ඇගෙන් ඉල්ලූ වාර ගණන ඔහු සිහි කළේ ය.මේඝ ද අද එවැනිම තැනකදැයි ඔහු සිතන්නට පටන් ගත්තේ ය.

“ඒක නම් පුතා ගෑනු අයගෙ හැටි වෙන්න ඇති..”

ඔහු අනතුරුව එසේ කීවේ ය.නමුත් මේඝ හිනැහිණ.

“අම්මා එහෙම නෑනෙ තාත්තේ..”

මේඝගේ මඳ සිනාවට මහේන් උස් හඬකින් හිනැහිණ.

“අම්මා සැක කර කර ඉන්නේ නෑ.කෙලින්ම නියෝග දෙනවා.”

ආදරය කරන්නට අම්මා හා තාත්තාගේ ආදර කතාවෙන් ඉගෙන ගන්නා මිතුරන් ඔහුට අනන්තවත් හිඳියි.නමුත් මේඝ මේ නිවස තුළ එවැනි ආදරයක් දැක නැත.ආදරය කියන්නේ කුමක්දැයි හරියට දන්නවානම් නේහාට මීට වඩා ආදරය කරන්නට තිබූ බව ඔහු සිතී ය.

“මං ඒ පර්ස් එක ඇහින්දේ ලෝ ස්ටුඩන්ට් කෙනෙකුගේ..”

මේඝ එසේ කියා මොහොතක් ළතැවිණ.ඊටත් පසු ඔහු ඊළඟ ආරංචිය හෙළි කළේ ය.

“මේකලා මායාදුන්න ඉන්නෙ.එයාගේ දුව.ආරණ්‍යාගෙ පර්ස් එක ඒ.ඒ ළමයගෙ මල්ලිගෙ බර්ත්ඩේ එකත් හෙටලු.පව් ඉතින්..හොඳටම අප්සට් වෙලා ඉන්න ඇති.”

මහේන් ඒ වචන අසා තිගැස්සිණ.මේඝට ආරණ්‍යා මුණ ගැසෙන්නේ අතීතය අලුත් ආකාරයකින් නැවත සිදු වීමටදැයි ඔහු සිතී ය.නමුත් ඔහු ඒ කලබලය පුතුට නොපෙන්වන්නට ප්‍රවේසම් වූයේ ය.

“මට ඒ ළමයා මුණ ගැහුණේ නැහැ.මේකලා ආන්ටිගේ හස්බන්ඩ් ඇවිල්ලා මගෙන් පර්ස් එක ගත්තා.”

තම ජීවිතයේ මිහිරිතම දෑ ඔහුගේ අයිතියට ගත් ජාලියගේ තද බැල්ම මහේන්ගේ මතකයට ආවේ ය.තමන්ගේ රුව එලෙසටම හිමි මේඝ කවුදැයි ඔහු අනුමාන කරන්නට ඇතිදැයි අනතුරුව මහේන් සිතන්නට ගත්තේ ය.

“මං ඒ ළමයට කෝල් කරා තාත්තේ.මේඝ කෙනෙක් මුණ ගැහුණට එයාට සතුටුයි.ලංකාව පුරා ඉන්න මේඝලා ආන්ටිට කතා කරාට පොතේ වයසම මේඝ කෙනෙක් ඔය කතා කරාමයි කියලා ආරණ්‍යා කීවා..”

පරිසරයට අප්‍රමාණව ප්‍රේම කරන තුරුණු දැරියක අනාගතයේ ඇගේ කුසින් ඉපදෙන දරුවන්ට මේඝ සහ ආරණ්‍යා යැයි නම් තබන්නට පෙරුම් පිරූ අන්දම මහේන්ට සිහි වන්නේ ළය දැදිරි කරමිනි.ඔහු පුතු දෙස මොහොතක් බලා සිටියේ ය.

“මට පුතෙක් ඉපදුණා.මං එයාට මේඝ කියලා නම තිබ්බෙ නැහැ.ඔයාගේ මේඝ මං හදන්න හිටිය මේඝ වගේ හොඳ පුතෙක් කරගන්න.”

ඒ දහ අට වසරකට පෙර මේකලා ඔහුට එවූ අවසන් කෙටි පණිවිඩය ය.එතැනින් එහා කතා කරන්නට අප්‍රමාණ දේ තිබුණ ද කිසිවක් ම ඈ නොකීවා ය.මහේන් නළල මත ඇඟිලි තුඩු තෙරපවාගෙන මොහොතක් ගත කළේ ය.

සියල්ල මේඝ හා පැවසිය යුතු ය!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here