අරුමැති  ආදරයක් – 3

0
2328

අලුත්ගම සිට අපූර්වා එහෙමම පැමිණියේ නිවසටය. ඒ එන අතරමගදී ඕ එළවළු වර්ග දෙක තුනකුත් මාළුත් මිලට ගත්තාය. ඇය කලින් සේවය කළ ළදරු පාසල පසු වන්නේ ඒ එන ගමනේදීය. බොහෝ දිනවල සේ එදාත් අපූර්වා විනාඩියක් දෙකක් ත්‍රී රෝද රථය නවතාගෙන එදෙස බලා සිටියාය. ජීවිතයේ හැටි මේ යැයි සිතන්නට තවමත් ඇගේ සිත ඉඩ දෙන්නේ නැත. ජාත්‍යන්තර ළදරු පාසලේ දවස් පහට ඇඳීම සඳහා වර්ණ පහක සාරි ලබාදේ. ඇගේ මතකයේ හැටියට නම් අද දිනයේ ඇත්තේ කහ වර්ණයය. තනි කහපාට කොට්න් වර්ගයේ සාරියට ඒ පැහැයටම ගැලපෙන සිහින් බෝඩරයක් අල්ලා තිබේ. කහ සාරිය ඇඳ අත් බෑගයත් රැගෙන තමා ළදරු පාසල වෙත ඇවිද යන දර්ශනයක් ඇගේ දෑස් ඉදිරිපිට  මැවී නොපෙනී ගියේ ඒ දෑස් කඳුළින් පුරවාලමින්ය. දිගු සුසුමක් මුදා හල යුවතිය යළිත් ත්‍රී රෝද රථය පණ ගන්වා ගත්තේ එක රැයකින් තමාට මේ සියල්ල අහිමි කළ නිශ්ශංක  අබේසිංහ ගැන උපන් කෝපයෙන්ය. නෑකමට ඔහු ඇගේ බාප්පාය. තාත්තාගේ එකම සහෝදරයාය. 

නිවසට යා හැකි කෙටි පාරක් තිබියදී අපූර්වා වෙනත් පාරකින් ගමන් කරන්නේ හිතා මතාමය. ඒ කිලෝමීටර් දෙකක් පමණ වැඩිවන ගමනකි. ඒ සියල්ලටම වඩා බස් රථයක්වත් ගමන් නොකරන පාර අබලන්ව ඇත. ගල් බොරලු මතුවූ මාර්ගයේ ගමනාගමනය ලෙහෙසි පහසු එකක් නොවේ. එහෙත් අලුත්ගම සිට ආපසු එන සෑම වතාවකම අපූර්වා හිතා මතාම ප්‍රධාන පාර මඟ හැර සිටියාය. අක්කර තුනහමාරක් පමණ වූ රබර් වත්තත් කාමර හයකින් සමන්විත වූ සොල්දර ගෙදරත් පිහිටා තිබුණේ ප්‍රධාන මාර්ගය ආසන්නයේමය. ඒ තාත්තාගේ මහගෙදරයි. 

සීයා මියගොස් තිබුණේ අපූර්වා ඉපදෙන්නටත් අවුරුදු ගණනාවකට පෙරය. එතැන් පටන් ජීවිතය ලෙහෙසි පහසු එකක් නොවූ බව තාත්තා පැවසූයේ අතීත කතා සිහි ගන්වමින්ය. රබර් කිරි වලින් ලැබෙන ආදායම තිදෙනෙකුට ජීවත් වන්නට ප්‍රමාණවත් ව තිබුණේ නැත. එනිසාම සිය කැමැත්තෙන් පාසල් ගමන නැවත් වූ තාත්තා තමාට වඩා දක්ෂ වූ සොහොයුරා වෙනුවෙන් තමාගේ අනාගතය කැප කර තිබුණේ කැමැත්තෙන්මය. 

ඔහු විශ්ව විද්‍යාලයට ගොස් රැකියාවක් ලබා විවාහයක් කරගන්නා තුරුම තාත්තා තමන් ගැන සිතා තිබුණේම නැත. 

“ කසාද බැන්ඳට පස්සේ පොඩි එකා අමුතුම මිනිහෙක් උනා. උඹලයි තාත්තට යන කල දසාව ගැන මගේ හිතේ තිබුණේ පුදුම බයක්. අන්තිමට උඹලයි තාත්තට කසාද කීයක්නං බැලුවද..නිසි වයස පැන්නහම ගෑණියෙකුට විතරක් නෙමෙයි  පිරිමියෙක්ටත් කසාද හොයන එක ලේසි නෑ. එන එන මනමාලයට අකමැති වෙවී ඉඳපු උඹලගේ අම්මත් අන්තිමට තාත්තා දැකපු ගමන් කැමති වෙලා. ඒවා ඉතින් ඉරණමේ ලියවෙච්ච විදිහ වෙන්න ඇති…” 

ආච්චී කිහිප වරක්ම එසේ පැවසූ බව අපූර්වාට මතකය. 

“ උඹලයි තාත්තා උඹලයි අම්මව කැන්දගෙන මහ ගෙදරට එන එක ගැන පොඩි එකාගේ හිතේ ලොකු කැමැත්තක් තිබුණෙ නැහැ. ඒ උනාට ඌ මේ තරං නරක වැඩක් කරයි කියලා මට ඒ කාලේ හිතුණේ නෑ බං..”

බාප්පා තැපැල් ස්ථානාධිපතිවරයෙකු ලෙසත්  පුංචි අම්මා රජයේ පාසලක ගුරුවරියක ලෙසත් සේවය කළාය. ඔවුනට දරුවන් තිදෙනෙකි. තිදෙනාම පිරිමි දරුවන්ය. ලොකු අයියා නිමේෂ් ගුරුවරයකු ලෙසත්, දෙවෙනියා ඉෂාර පෞද්ගලික ආයතනයක වැඩ පරීක්ෂකවරයෙකු ලෙසත් තුන්වෙනියා සසංක ඉංජිනේරුවරයකු ලෙසත් සේවය කරයි. නිමේෂ් විවාහකය.

“ ඒ අම්මයි තාත්තයි ළමයි තුන්දෙනයි පස්දෙනාම එකම අච්චුවේ. මහ එවුන් වගේ උන් තුන්දෙනාගේ තියෙන තණ්හාවෙත් නිමක් නෑ…”

තාත්තා අම්මා සමග කිහිප වරක්ම ඒ අයුරින් පවසනු අපූර්වා අසාගෙනය. තමාට ජීවිතයේ සියල්ල අහිමි කළේ ඒ නිමක් නොවන තණ්හාව බැව් විශ්වාසය. 

තාත්තා සමඟ සමග දීග ආ අම්මාට මහ ගෙදර එක දිනක්වත් සතුටින් ජීවත් වන්නට නොහැකි වූවායැයි ඈ පවසා තිබිණ. ඒ වනවිටත් මහ ගෙදර ආධිපත්‍යය තහවුරු කරගෙන සිටියේ පුංචි අම්මාය. ඇය පාසලට පමණක් නොව නිවසටත් ගුරුවරියක වූවාය. මහ ගෙදර වූ  කාමර හයෙන් හතරක්ම ඔවුන්ගේ පරිහරණය සඳහා වෙන්ව තිබිණ. තමා ලැබෙන තුරුම අම්මාට සිදුව තිබුණේ ඔවුන්ගේ දරුවන් බලා  ගන්නටය.

“ ඉස්සර  උඹලයි අම්මා දාසියෙක් වගේ  බං. මං කොච්චරවත් කියනවා මං කුස්සියේ වැඩ ටික කරනවනේ උඹ කාමරේට වෙලා ඉදින් කියලා. ඒ කිව්වට මේකි අහන්නේ නෑ. අර ගෑනි උදේට ළමයි තුන්දෙනාගෙම වැඩ ලිස්ට් එකකුත් කියල තමයි යන්නේ උඹලයි අම්මා ඉවසුවද දරා ගත්තද එහෙම නැත්නම් අපිට දරාගන්න බවක් පෙන්නුවද කියලා දෙයියෝ තමයි දන්නෙ…”

ආච්චී අදටත් එසේ පවසන්නේ සිය දෑස් තුළ කඳුලක් තබාගෙනය. පුංචි අම්මාට කියන්නට වැරදි දහසක් වුවත් අම්මා වෙනුවෙන් එක මැසිවිල්ලක්වත් ඇගේ මුවින් පිට නොවන බව අපූර්වා දනී.

අපූර්වා කණු හතරක් හිටවා සකස් කර තිබූ පොල් අතු වැස්ම යටට ත්‍රී රෝද රථය ඇතුල් කලේ  වසා තබා තිබෙන දොර දෙස බලාගෙනය. සිමෙන්ති ගඩොලින් බැඳ තිබූ කාමර දෙකක කුඩා නිවස පසු කාලයකදී තාත්තා විසින් ඉදිකරන ලද්දකි. තවමත් එහි වැඩ නිමකරවා තිබුණේ නැත. 

පියසීලී දොරඇරියේ ත්‍රී රෝද රථයේ හඬට සවන් දුන්නාට පසුවය.  වයස අවුරුදු හැත්තෑ දෙකක්  වුවත් ඈ අදටත් සිටින්නේ කල්පනාවෙන්ය. 

“ මං ඒත් බැලුවා අද පරක්කු මොකද කියල..”

“ අලුත්ගමට හයර් එකක් ආව ආච්චි…අම්ම නිදිද..”

“ දැන්නම් නින්ද ගිහිල්ල මයෙෙ හිතේ. අද හොඳ ජල්ලියක් ඇල්ලුවනේ. මං කුස්සියට ගිය ටිකට දොරත් ඇරගෙන ගිහිල්ලා. පාරේ ඇවිදන් යද්දි චින්තන පුතා දැකලා තමයි බලෙන්ම අල්ලගෙන ත්‍රීවිල් එකට දාගෙන එක් කරගෙන ආවේ. ඒ දරුවා ගේ ඉස්සරහට ඇවිල්ල කෑ ගහනකල් මම දන්නෙ නෑ….”

“ අනේ ආච්චි උයන්න පරක්කු වුනාට කමක් නෑ චුට්ටක් ඇහැ ගහගෙන ඉන්න. ඔය ඩිමෙන්ෂියා තියෙන අයගේ හැටිනේ. කොයි වෙලාවෙත් බලන්නේ කොහේ හරි ඇවිදගෙන යන්න..”

“ අනේ මන්ද බං..මං ඒ පාර දොර ලොක් කරලා යතුර ඉනේ ගහගත්තා..

මේ සැරේ ක්ලිනික්  එකට ගියාම අහල බලපන් එහෙම නින්ද යන්න බෙහෙතක්වත් දෙන්න තියෙනවද කියල.”

අත වූ එළවලු මාළු මල්ල පියසීලී අතට දුන් අපූර්වා අසුන් ගත්තේ මිදුලේම වූ ලී බංකුවෙන්ය. වෙහෙස වූයේ සිතට මිස ගතට නොවේ. 

කුඩා මිදුලේ පිළිවෙලකට වවා තිබූ මල් බොහෝය. වැට අද්දරට වන්නට තිබුණේ ඉද්ද මල්ගස් පේළියකි. සුදු රෙද්දක් එළුවාවන් වූ ඉද්ද  පඳුරුවල මල් වරදින්නේම නැත. ඉන්පසු කැණීස්, සීනියාස්, කූඩලු, දාස්, ඇන්තූරියම් සහ රෝස පාත්ති වෙන වෙනම විය. මේ සියල්ලට සාත්තු සප්පායම් කරන්නේත් ආච්චීය. පන්සලකට පල්ලියකට යන්නවත් නිදහසක් නොලද ඈ සිත සනසා ගන්නේ මල් වැවීමෙන් විය යුතු යැයි අපූර්වා සිතුවාය. මල් ටිකක් කඩාගන්නදැයි ඇසූ ගැහැණියකට නිර්ලෝභීවම මල් වට්ටියක් කඩා ගන්නට අවසර ලැබේ.

“ මට පන්සලකට යන්න පිනක් නැති එකේ උඹලවත් ගිහිල්ලා මල් ටිකක්  පූජකරහම  ඒ පිනෙන් ටිකක් හරි මටත් ලැබෙයිනේ..”

ඒ බොහෝවර ආච්චි එසේ පවසනු අපූර්වාට  ඇසී තිබේ. මෙම නිවසට වී තමාත් අම්මාත් බලාගෙන ඈ විඳින්නේත් දුකකි. එක කුස උපන් සොහොයුරා ගැන හැඟීමක් නොවූ බාප්පාට තමාගේ මව ගැන හැඟීමක් වේ යැයි සිතිය නොහැක. එවන් මිනිසුන්ටම හරි යන්නේ ඇයි දැයි අපූර්වා  සිතුවේ වරක් දෙවරක් නොවේ.

*******======******======******======

පංචාලි දිගින් දිගටම ඇසූ ප්‍රශ්න වලට යුගාෂ් දුන්නේ කෙටි පිළිතුරුය. පංචාලිගේ පියාත් තම අප්පච්චීත් මිතුරන්ය. මිතුරන්ට වඩා ඔවුන්ට වූයේ ගණු දෙණුය. පංචාලිගේ පියාගේ ව්‍යාපාර නීතිමය ඒවාම නොවේ. පසුගිය දිනවල රක්ෂිතයකින් කපා පටවාගෙන ආ  දැව  තොගයක් නීතියට හසුවූයේ ගාල්ලේදීය. ඒ සෑම වතාවකම අප්පච්චීගේ  මැදිහත්වීම මත පංචාලිගේ පියා නීතියෙන් නිදහස් වූ බව යුගාෂ් දනී. එනිසාම ඔහුට ඇති වටිනාකම මිල  මුදල් වලින් තෑගි බෝග වලින් යුගාෂ්ගේ පියාට ලැබේ. 

නිවසට යන විට අම්මා වූයේ මිදුලේ කෙළවරක වූ බුදු මැදුර තුළය. දල්වා ඇති හඳුන්කූරු සුගන්ධය ගේට්ටුව තෙක්ම විහිද ඒ. ගේට්ටුව වසා දමා  නිවස තුළට ඇතුළු වූ යුගාෂ් අසුන් ගත්තේ ආලින්දයේමය. යළිත් වරක් සිය ජංගම දුරකථනයට එබුණු ඔහුගේ මුවෙහි සටහන් වූයේ සිනහවකි. ඊට පසුවත් නාඳුනන අංකයකින් ඇමතුමක් පැමිණ තිබිණ. එහෙත් යුගාෂ් ඊට පිළිතුරු සැපයූවේත්  නැත. ඔහුට වූයේ යුවතියගේ අංකය මගහැරේයැයි  බියකි.

“ අද කාර් එක නැති නිසා පුතා එනවා දන්නෙත් නෑ..ටැක්සි එකකද ආවේ..”

තමාරා ඇසුවේ බුදු මැදුරේ සිට නිවස තුළට එන අතරේය.

“ අනේ නෑ අම්මා..පංචාලි මට ලිප්ට්  එකක් දුන්නා..”

“ ඉතින් ඒ දරුවාට ගෙට කතා නොකළේ..”

“ ගෙට කතා කළා නම් අද රෑ දහයට එකොළහටවත් එලව ගන්න හම්බ වෙන්නෙ නෑ. මං මුකුත්ම කියන්නේ නැතුව වාහනෙන් බැහැලා තැන්ක් යූ සෝ  මච් කියලා ආවා…”

“ ඔයත් පුතා වෙලාවකට කරන්නේ හරි නරක වැඩනේ..”

“ ඒක නරක වැඩක් වෙන්නේ කොහොමද අම්මා..එයා මේ පාරෙන් යන ගමන් මෙතනින් වාහනය නතර කළා විතරයි.”

“ අනේ මන්දා ඔයත් එක්ක කතා කරලා ඉතින් මට දිනන්න බෑ. මොනවද බොන්නේ..තේ එකක් එහෙම නැත්තං කූල් මොනවා හරි..”

“ කූල් මොනවා හරි බොමු අම්මා රස්නෙයි. නන්දනීට හදන්න කියලා අම්ම ඇවිත් ඉඳ ගන්නකෝ…”

වසර ගණනාවක සිට තාත්තා ජීවත් වන්නේ වෙනමය. යුගාෂ් උසාවියට යන දහවල නිවසේ සිටින්නේ අම්මාත් නන්දනීත් පමණි. 

( යළිත් හමු වෙමු ආදරයෙන්…..)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here