සුසුවඳ සූත්‍ර – 54

0
4062

ඒ ගුවන් ගමන තනිකර ම සිහිනයකි. නූපුර ගිලන් නොවූවා නම් විඳගන්නට තිබූ බොහෝ සොඳුරු තැන්, සුදු කඩදාසියක් සේ හිස් ව ගියේ ය. අන්තරා තුළ වූයේ කොයි මොහොතක නූපුර දෑසින් දැකගන්න ද යන නො ඉවසිල්ලයි. එරටත් මෙරටත් අතරේ දුර අවකාශය අහෝසි වී ගොස් පුතු ඇගේ දෑතින් තුරුලු කරගන්නා තුරු ඇයට සැනසීමක් වූයේ නැත.

නූපුර සිටියේ දැඩි සත්කාර ඒකකයෙහි ය. ඔහු ගේ මොළය ආශ්‍රිතව සිදු කළ සැත්කම සම්පූර්ණයෙන් ම සාර්ථක බව වෛද්‍ය නිගමනය වූයේ ය. නූපුර ආරක්ෂිත ලෙස සුව ලබන්නට නියමිත වූයේ ය.

අන්තරා ට හා දක්ෂිණ ට වරකට එක් අයෙකු බැගින් නූපුර වෙත යන්නට අවස්ථාව ලැබිණි. දක්ෂිණ මුල් වාරය අන්තරා වෙත පරිත්‍යාග කළේ ය.

නූපුර සිටියේ නින්දත් නො නින්දත් අතරේ තත්වයකයි. අන්තරා දැඩි සත්කාර ඒකකයට අදාල ඇඳුම් වලින් ඇතුළු වී, නූපුර ගේ යහන ඉදිරියේ සිටගත්තා ය. ඔහු ගේ හිස වෙළුම්පටි වලින් වෙලා තිබේ. ඒ වෙළුම්පටි නිකට යටින් ද ගමන් කරන නිසා මුහුණේ කොටසක් ද ආවරණය වී ඇත. ඒ මුහුණ මත සනිටුහන් ව තිබෙනුයේ වේදනාවක් දරාගත් බවට සලකුණු ය. අන්තරා ගේ පපුව තුළ සුසුම් කුණාටුවක් හමා යමින් තිබිණ. මහ පොළොව දෙදරා යන තරම් හඬින් කෑ ගසා හැඬිය හැකි සන්තාපයක් ඇගේ හද මඬලෙහි වේ. ඕ ඒ සියල් සංවේග හැඟුම් හදවතෙහි හිරකොට තබා, නූපුර ගේ මුහුණේ නිරාවරණය වූ පුංචි ඉඩක් ඇඟිලි තුඩගින් පිරිමදින්නට වූවා ය.

“දෙයියනේ තමන්ගෙ කියල කවුරුත්ම නැතුව ඔයා කොහොමද මේකට මූණ දුන්නෙ මගෙ පුතේ”

ඇගේ ඇතුළාන්තය කෑගසා ඒ ප්‍රශ්නය විමසත්දී නූපුර දෙනෙතු විවර කළේ ය. ඔහු ට ඒ ස්පර්ශය දැනිණ. අම්මා ගේ ස්පර්ශය දැනිණ. තමන් ඉදිරියෙහි සිටින්නේ අම්මා බව සැක හැර දැනගැනීමෙන් පස්සේ නූපුර ඇගේ අතින් අල්වා එය සිය මුහුණෙහි තද කොට ගත්තේ ය.

“අම්ම”

කියා ඔහු ට කියවී තිබිණ.

“අම්ම ඉන්නව පුතේ. අම්මයි තාත්තයි දෙන්නම ඔයා ළඟ ඉන්නව. මගෙ පුතා තනියම මෙච්චර දේකට මූණ දුන්නනෙ. දැන් බය වෙන්නෙපා. හැම දේටම අපි ඉන්නව. ඉක්මනට ඔයාට සනීප වෙනව. ඩොක්ටර් කිව්ව ඔයාගැන බය වෙන්න දැන් කිසිම හේතුවක් නෑ කියල”

නූපුර කිසිත් කීවේ නැත. කතා කිරීමට ඔහු ට ඕන වුණෙත් නැත. අම්මා ළඟට ඇවිත් තිබේ. මේ ඇත්තක් ද නැත්නම් සිහිනයක් ද කියාත් ඔහු විමසන්නට ගියේත් නැත. ඇත්තට ම අම්මා ඇවිත් නම් හොඳ ය. සිහිනයෙන් හෝ ඇය මෙහෙම ළඟට විත් අත අල්වාගෙන සිටිනවා නම් ඒත් ඇති ය. එහෙම ම නූපුර නින්දට වැටුණේ ය. ඔහු අවදි වෙතැයි බියෙන්, අත ඉවතට නොගෙන අන්තරා බෝ වෙලාවක් ඒ ඉරියව්වේ ම සිටියා ය.

නූපුර කුඩා දරුවෙකු සන්දියේදීත් ඇය එහෙම නොසෙල්වී හිඳ තිබේ. ඒ කාලේ නිදිකරවා උකුලෙන් බිම තැබූ ගමන් ඔහු අවදි වෙයි. එතකොට යළිත් නින්දට වැටෙන්නට හෝරා ගණන් වැය කළ යුතුව තිබේ. එබැවින් අන්තරා ඔහු යහනේ නො තබා උකුලෙහි ම හොවාගෙන හිඳී. කකුල් හිරි වැටී සොලවා ගත නො හැකි වන තුරු ම හිටි ඉරියව්වේ හිඳී. ඒ නූපුර අද තරුණයෙකු බවට වැඩී සිටිය ද අම්මා ගේ හිතේ පුතා ගැන වූ ආදරය බිඳුවකිනිදු වියපත් ව නැත. තවමත් ඇයට ඔහු සිය පුංචි පුතා යි. ඈ නැතිව කිසිත් තනිව කරගන්නට බැරි හුරතල් සුවඳ ගුලිය යි.

නූපුර හිසරදයක් අත්වින්දේ ටික කලක පටන් ය. නමුත් ඔහු ඒ නො සලකා හැරියේ ය. ඊට හේතුව පාඩම් වැඩ වලට දෑස් වෙහෙසීම යයි සිතුවේ ය. ටික ටික ඒ හිසරදය වැඩි වෙන බව දැනුණ ද ඔහු ඒ ගැන අම්මා ට නො කීවේ ඇය කලබල වෙනු ඇතැයි බියෙනි. උපාධිය සම්පූර්ණ කිරීම පසෙක ලා ඈ නැවත ඔහු ව ලංකාවට ගෙන්වාගන්නට සිතනු ඇතැයි නූපුර ට සිතිණ. ඒ නැතත් ඊට පස්සේ ඒ ගැන ම සිතා අම්මා අලුත් හිසරදයක් තනාගනු ඇතැයි ඔහු බිය වූයේ ය. නමුත් ඒ හිසරදය මේ තරම් බරපතල සිදුවීමක පෙරනිමිත්තක් යයි ඔහු සිහිනයෙන් හෝ සිතුවේ නැත.

“මොනා වුණත් හැම දේම හොඳම විදිහට වෙලානෙ. හැබැයි අපි ආපු එකත් මේ වෙලාවෙ පුතාට ලොකු හයියක්. අපි එයා සනීප වෙනකල් ඉන්නව කිව්වහම කොල්ලට හිනාගියා”

දක්ෂිණ පොඩි ළමයෙකු සේ සතුටු වූයේ ය. ඇතැම් විට ඒ ඔහු තුළ වූ දැඩි භීතිය තුනී ව යාමේ සතුට විය හැක. මොළය ආශ්‍රිත ශල්‍යකර්මයක් කියා කියත්දී දක්ෂිණ ට නො සිතුණ දෙයක් නැත. එය බිය වෙන්නට තරම් ලොකු දෙයක් නොවන බව කියමින් අන්තරා ගේ හිත හදන්නට උත්සාහ කළාට ඔහු සිටියේ ද ගින්දරකයි. නමුත් ඒ බිය අන්තරා ට පෙන්වා තවත් ඇය කලබල නොකරන්නට ඔහු වගබලා ගත්තේ ය.

යුගාත්ම ගේ මිතුරෙකු ගේ නිවසක නවාතැන් ගන්නට ඔවුන්ට හැකි විය. මිතුරා ගේ පවුලේ අය නිවාඩුවකට ලංකාවට ගියේ ඔවුන් සිඩ්නි වෙත පැමිණි දිනයේමයි. එබැවින් නිවසේ යතුර යුගාත්ම අතට ලැබිණ. නැවත ලංකාවේ දී එය මිතුරා අතට පත්වෙන්නට නියමිත විය. නවාතැන් වෙනුවෙන් හෝටල් කාමර ගන්නවාට වඩා අන්තරා මේ ගැන සතුටු වූවා ය. නූපුර සුව අතට හැරෙනා තුරු ළඟට ම වී ගෙදර වාගේ ඔහුව බලා කියා ගන්නට ඇයට අවශ්‍ය වී තිබිණ.

දෛවය පුදුම සහගතයි කියා හිතන්නට හේතු හැදෙමින් තිබුණේ ය. ඒ ගෙදර කාමර තුනෙහි ඔවුහු කෙටිකාලයකට ජීවිතය බෙදාගනිමින් සිටියහ. ඉතා කලබල ඉක්මන් ආහාර වේලක් වුව අන්තරා පිළියෙල කළේ යුගාත්මට සේ ම දක්ෂිණ ට ද එක්ක ය. දක්ෂිණ හෝ යුගාත්ම පිටතින් කෑම ගෙන ආවේ වී ද ඔවුන් තිදෙනාට ම ය. ඔවුන් රෝහලට ගියේ ආවේ ද එකට ය. ඉතාම අසීරු දින කිහිපයක් ගෙවමින් සිටියේ වී ද ඔවුන් අතරේ විශේෂ හැඳුනුම්කමක් හා බැඳීමක් ඇති වෙමින් තිබිණ. අවබෝධයක් ගොඩනැගෙමින් තිබිණ.

නූපුරව රෝහලෙන් නිදහස් කිරීමෙන් පසු, ඔවුන් තිදෙනෙකු ඔහු වෙනුවෙන් සිටීම විශේෂ පහසුවක් හා හයියක් විණි. දක්ෂිණ හා අන්තරා අඹු සැමියන් ලෙස නූපුර ද සමග එක ගෙදරක ජීවත් වූ වසර විසි ගණනට ම වැඩිය ඒ දින කිහිපය අවබෝධාත්මක හා සහයෝගී විය. ඔවුන් හැම දේ ම කළේ නූපුර ගේ සතුට හා ඉක්මන් සුවය වෙනුවෙනි. ඔහු වෙනුවෙන් කළ හැකි නො හැකි සියල්ල ම ඔවුහු කෙසේ හෝ සිදු කළහ. නූපුර දවසට දෙකට සුව වෙමින් සිටියේ ය.

“මන්නං කියන්නෙ පුතා අපිත් එක්ක ගිහිං මාස තුනක් රෙස්ට් කරල ආවනං හරි. සෙමෙස්ටර් එකක් රිපීට් වුණාට කමක්නෑ. එහෙම නැත්තං ඒ මාස තුන මං මෙහේ ඉන්න ඕනෙ පුතා ළඟ”

අන්තරා ගේ තීරණය එය විය. නමුත් ඇයව එහි අතැර මව්බිමට එන්නට දක්ෂිණ එකඟ වූයේ නැත.

“ඔයා හිටියත් පුතා යුනිවසිටි යනවනං රෙස්ට් කෙරෙන්නෑනෙ. එහෙමනං නූපුරව එක්කං යමු”

“මට මැනේජ් කරගන්න පුළුවන් අම්ම. ඔයාල යන්න. සෙමෙස්ටර් එකක් පස්සට යනව කියන්නෙ අපරාදෙ”

නූපුර අම්මාටත් තාත්තාටත් එකඟ වූයේ නැත.

“එහෙම නෙවෙයි නූපුර. සෙමෙස්ටර් එකක්ද පස්සට යන්නෙ ඊට වැඩිය ලොකු කාලයක්ද කියන එක අදාල නෑ”

යුගාත්ම නූපුර ගේ ගෙල වටා අතක් දමාගෙන මිතුරෙකු ගේ ළෙංගතු කම තැවරි වචන වලින් පැහැදිලි කිරීමේ උත්සාහයක් ගත්තේ ය.

“මේ අපේ ජීවිතේ මිස රේස් එකක් නෙවෙයි. හරි රේස්නං රේස් දුවන්න ඕනෙ තමයි. හැබැයි එහෙම දුවන්න කලින් අපි ශක්තිය එකතුකරගන්න ඕනෙ. සමහර වෙලාවට අපිටත් වැඩිය සොබාදහම දන්නව පුතා අපිට මොනාද ඕනෙ කියල. මේක ඔයාට විවේකයක් ඕනෙ කියල සොබාදහම තීරණය කරපු වෙලාවක්. බ්‍රේන් සර්ජරි එකක් රිකවර් වෙන්නත් කලින් ආයෙ ස්ටඩීස් වලට ඔළුව වෙහෙසනව කියන එක මන්නං අනුමත කරන්නෑ. සෙමෙස්ටර් එකක් පස්සට ගියාට ජීවිතේ පස්සට යන්නෑ. ඔයාට පුළුවන් ඒ විවේක කාලෙදි රීෆ්‍රෙශ් වෙලා පස්සෙ තව හයියෙන් දුවන්න. ඒක නිසා අපි පොඩි විවේකයක් අරං ඉමු. ඔයාව මෙහෙම තත්වෙකින් මෙහෙ දාල ගිහිං අම්මටයි තාත්තටයි හිත් හදාගෙන එහෙ වැඩක් කරගන්නත් බෑනෙ”

යුගාත්ම ගේ අදහසට නූපුර සැලකිල්ලෙන් සවන් දුන්නේ ය. ඔහු කතාකරන අතරේ ම ඒ අදහස් වල ඇති යථාර්ථවත් බව  හැඳිනගනිමින් සිටියේ ය.

“හරි එහෙනං ලංකාවට ගිහිං ආයෙ එන්නංකො”

නූපුර ගේ ඒ ප්‍රකාශය අන්තරා ගේ මූණට සිනහවක් ගෙනාවේ ය. ඇය යුගාත්ම දෙස බැලුවේ ආදරයත් කෘතඥ බවත් උතුරා හැලෙන බැල්මකිනි.

ඒ සැඳෑවේ දක්ෂිණ හා යුගාත්ම මීවිතක් තොල ගානු රිසි වූහ. අන්තරා ඔවුන් වෙනුවෙන් කටගැස්මක් පිළියෙළ කොට දුන්නා ය. නූපුර ලංකාවට යන්නට කැමති වූ සතුට සමරන්නට දක්ෂිණ ට ඕනෑ වී තිබිණ.

“කොල්ල ගෙදර නොගියනං ඌ සනීප වෙන්න කලින් අන්තරා ලෙඩ වෙනව යුගාත්ම. ඔයා කොල්ලගෙ හිත යන තැනට හදපු එක මාර ලොකු දෙයක්. ඇත්තමයි”

“නූපුරට වුණත් ඉක්මනට සනීප වෙයි අන්තරා ළඟ ඔය මාස තුන ඉන්නකොට. නැත්තං අපි ගිය ගමං කොල්ල මානසිකව වැටෙනව”

“ඒක ඇත්ත. ඇත්තටම මට සතුටුයි යුගාත්ම… උඹ වගේ  කෙනෙක් අන්තරාට ලං වුණ එක ගැන. කවදාවත් අපේ කොල්ලට අම්ම නැති වෙන්නෑ කියල මට ශුවර්”

“පිස්සුද දක්ෂිණ. දරුවො ගැන දෙමව්පියන්ගෙ හිත් වල තියන හැඟීම මං දන්නැද්ද… මටත් කෙල්ලො දෙන්නෙක්ම ඉන්නවනෙ”

“අපිට වැරදුණාට දරුවන්ට වැරදෙන්න ඕන්නෑ බං”

“ඒක ඇත්ත. එක අතකට වැරදුණත් උනුත් වැරදි වැරදි හරි  ඉගෙනගනියි. වැරදෙන්න බය නැති එවුන් වැරදි හදාගන්න බයවෙන්නෙත් නෑ”

“දැං… කවදද උඹල බඳින්නෙ…”

“බඳින්න… පිස්සුද… තාම ඒවට එකඟතා ලැබිල නෑ. වේටින් ලිස්ට් එකේ ඉන්නව මේ”

දක්ෂිණ සේ ම යුගාත්ම ද හඬ නගා සිනහ වූහ. අන්තරා නූපුර ට බෙහෙත් දී නිදන්නට සලස්වා කාමරයෙන් පිටතට එබී බැලුවා ය. යුගාත්ම සේ ම දක්ෂිණ ද ඒ වෙලාවේ නිහඬව බිම බලාගෙන මධුවිත තොලගෑහ. ඇය දොර වසාගත් බව සහතික වූ පසු දක්ෂිණ නැවත ද මුණිවත බින්දේ ය.

“මං මේ මූණිච්චාවට කියනව නෙවෙයි. උඹට හම්බවෙන්න යන්නෙ ලෝකයක් වටින ගෑනියෙක්”

දක්ෂිණගේත් යුගාත්මගේත් ඇස් මොහොතකට හමු විය.

“උඹ හිතනවද මට ඊරිසියයි කියල…”

ඔව් කියන්න ද නෑ කියන්න ද කියා සිතාගන්නට යුගාත්මට ඒ සුළු මොහොත මදි විය.

“ඊරිසියයි තමයි බං. හැබැයි මං කැමතියි එයා ලැබෙන්නෙ උඹට නිසා. උඹ හරි හිත හොඳ එකෙක් යුගාත්ම. ඇත්තමයි. උඹල දෙන්න මැරෙනකල්ම හොඳින් ඉන්න ඕනෙ. මට දෙන්න බැරි වුණ සතුට උඹ අර අහිංසක ගෑනිට දෙන්න ඕන. ටිකක් ඊරිසියා වුණාට… ඈතිං ඉඳං මං පැලෙන්න සතුටු වෙනව බං. දෙයියම්ප. මං මේ කියන්නෙ සහතික ඇත්ත”

රෑ මැදියමක් වනතුරු ම ඔවුහු අවදියෙන් ද දොඩමළු වෙමින් ද සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here