අරුමැති ආදරයක් – 08

0
2332

නාගොඩ මහ රෝහලේ පැවැත්වෙන සායනය සඳහා කාන්තිව රැගෙන ගියේ උදෑසනමය. ඒ ගමනට පියසීලීත් එක් විය. ඊයේ අලුත් ගමට ගිය නීතිඥවරයා රුපියල් පන්දහසේ නෝට්ටුවක් දිගු කළේ තමා අත මාරු නැතැයි කියද්දීමය. අපූර්වා  ත්‍රී රෝද රථයෙන් බැස පන්දහසේ නෝට්ටුවත් රැගෙන අසල කඩයට යාමට කළ උත්සාහය වැලකූයේත් ඔහුය. 

“මේක මං දුන්නේ ඔයාට කියලා  මාරු කරවන්න හිතාගෙන නෙමෙයි. එකක් මේ දවස් දෙකේම ඔයාට මේ ගමන හයර් එකක් උනාට මට උදව්වක්. අනිත් එක තමයි ඔයා හරි ධෛර්යවන්ත කෙනෙක් කියලා මට හිතුනා..මොකද ගෑණු ළමයි මේ වගේ රස්සාවල් කරන්න කම්මැලියි. ඒ හැමදේටම වඩා මේ පර්ස් එක ගැන මට කතා කරලා කියන්න තරම් ඔයා ළඟ අවංකකම තිබුණා. මේක මම සතුටින් දෙන දෙයක් කියලා හිතන්නකෝ.”

ඔහු පැවසූයේ අපූර්වාට කිසිවක් කියන්නට ඉඩක් ලබා නොදෙමින්ය. ඇය හිස ඔසවද්දීත් ඔහු අඩි කිහිපයක් ඉදිරියට ඇවිද ගොස් අවසන්ය. තරුණයා දෙස තත්පර කිහිපයක් බලා උන් අපූර්වා යළි ත්‍රී රෝද රථයට නැගුනේ තම සිතුවිලි වද දෙද්දීය. රුපියල් නවසීයේ ගමනට තවත් හාරදහස්  එක සියයක්ම වැඩිපුර ගන්නට ඇයට සිතුනේ නැත. 

“මම දැක්කා ඊයේ පර්ස් එකෙත් මාරු සල්ලි තිබුනා. සමහරවිට හිතා මතාම මේක මට දෙන්න හිතාගෙන ඉන්න ඇති.”

අවසන ඇය සිතුවාය. තාත්තාත් එක් වරක් දුරකතනය ත්‍රී රෝද රථයේ දමා ගිය පුද්ගලයෙකුගෙන් එවන් සන්තෝෂමක් ලැබුවා මතකය. නීතිඥවරයාට  ස්තූති කරන්නට නොහැකි වීම ගැන ඈ සිතේ ඇති වූයේ පසුතැවීමකි. 

ඒ මුදල නොලැබුනානම් අම්මාගේ බෙහෙත් ගැනීම තවත් දින දෙක තුනක් පමා වනු ඇත. නඩු කියන්නට තාත්තා ජයසේකර මුදලාලිගෙන්  වරින් වර මුදල් ලබාගෙන තිබුණේ සියයට හතේ  පොලියටය. ඒ මුදල නොදැනුවත්වම රුපියල් ලක්ෂය ඉක්මවා තිබිණ. ඔහු පොලී මුදලින් අපූර්වාව  නිදහස් කළ නිසා ගෙවාගෙන යන්නට තිබුණේ ණය මුදල පමණි. ඇයට  තවමත් ඒ ණය මුදල ගෙවා නිම කළ හැකි වූයේ නැත.

වෛද්‍යවරයාගේ තීරණය වූයේත් අම්මාව අංගොඩ මානසික රෝහලට යැවිය යුතු බවය. අපුර්වාට හෙළුනේ දුක් සුසුමකි. අවසන ‘තව ටික කාලයක් බලමු……’යැයි ඔහු පැවසූයේ අපූර්වා දෙස බලාගෙනය.

“විසි හතර පැයේම පේෂන්ට් ගැන ඇහැ ගහගෙන ඉන්න අමාරුයි තමයි. ඒ උනාට අපිට ඒක කරන්න වෙනවා. මෙයාලට දැන් අනතුර ගැන කිසිම හැඟීමක් නෑ. ගෙදරද,  පාරද, පිට්ටනියද, බස් හෝල්ට් එකද මේ හැම තැනම එයාලට එකයි. ඒක තමයි භයානකම දේ. හොඳම දේ තමයි නිතරම ගෙදර දොරවල් වහලා තියන්න. නින්ද යන්න බෙහෙත් දෙනවා කියලා එයාට පැය විසි හතරම නින්ද යන්න බෙහෙත් දෙන්න බැහැ. අපිට ඒක කරන්න පුළුවන් රෑට විතරයි…

ඔහු තවදුරටත් පැවසූයේ රෝඟියාව බලා ගත යුතු ආකාරය ගැන පැහැදිලි කරමින්ය. දවසින් දවස මේ ජීවිතය අසීරු එකක් වන බැව් විශ්වාසය. අපූර්වා යළිත් වරක්  දිගු සුසුමක් මුදා හැරියේ වෛද්‍යවරයා විසින් ඈ වෙත දිගු කළ සායන පොත අතට ගනිමින්ය.

“මේ වගේ පේෂන්ට්ලත් එක්ක  ජීවත් වෙන්න ලොකු ඉවසීමක් තියෙන්න ඕනේ. ඔයා ජොබ් එකක් කරන්නෙ නැද්ද…”

“කරනව ඩොක්ටර්..අම්මා ආච්චිත් එක්ක  තමයි ගෙදර ඉන්නේ..”

“හොඳයි.. මේ තත්ත්වයේ එන්න එන්න වැඩිවීමක් උනොත් තමයි අපිට අම්මව හොස්පිට්ල්  නවත්ත ගන්න සිද්ධ වෙන්නේ. මට තේරෙනවා අපි කවුරුවත් අපේ දෙමාපියන්ට එහෙම කරන්න කැමති නෑ. නමුත් මානසික රෝහලකින් අපි බලාපොරොත්තු වෙන්නේ බෙහෙත්ම නෙමෙයි. රෝගියාගේ ආරක්ෂාව ගැනත් අපි එතැනදී සියයට සීයක්ම වග කියනවා.”

අපූර්වා හිස වනා ඔහුට එකඟ වූවාය.  ඇගේ දෑස් වල කඳුළු පිරී තිබිණ. ඒ  ජීවිතවලින් සතුට සැනසුම පලා ගොස් බොහෝ කල් ගත නොවේ. අදටත් අපූර්වාගේ සිතෙහි වන්නේ මේ අභියෝගය තමාට ජයගත හැකිදැයි බියකි. ඇය වෙහෙස වූයේ මානසික රෝහලකට නොයවාම අම්මාව සුව කරගන්නටය.

යුගාෂ් පංචාලි පැමිණෙනතුරු උසාවි භූමියේ රැඳී සිටියේ හිතා මතාමය. ඇය තවමත් වැඩ කරන්නේ අප්පච්චී යටතේය. මේ අදහස ඔහුට ඇතිවූයේ මින් පැය කිහිපයකට පෙරය. යුගාශ්ව දුටු ඇය පෙරට දිව ආවේ වයින් කළ බෝනික්කියක සේය.

“අම්මෝ…මෙයාව දකින්න තියෙන ආසාවක්. ආවා වැඩේ කළා ගියා..”

“ඇයි පංචාලි අපි පෙරේද හවසත් මුණ ගැහුනේ..”

යුගාෂ් පැවසූයේ වෙනදා නොමැති සිනහවක් මුවෙහි තබාගෙනය.

“හම්බ වුණා තමයි. වාහනයට නැග්ගා එතන ඉඳලා බුම්මට්ටෙක් වගේ බහින තැනට වෙන කල්ම ගියා. අඩුම ගානේ මට තේ එකක් බීලා යන්න කියලවත් කිව්වද..”

“අනේ සොරි පංචාලි..ඇත්තටම මං ඒ වෙලාවේ හිටියේ වෙන කල්පනාවක. ගෙදරට ගියාට පස්සේ අම්මා අහද්දී තමයි මතක් උනේ ඇත්තටම මං ඔයාට කතා කළේ නෑ නේද කියලා..”

“ඒකනේ..ඉතින් ඇයි අද මෙතන…”

“ඔෆිස්  එකට යන්න කම්මැලි හිතුනා..ඔයා එනව දැකලා තමයි මං නතර වුණේ…”

“පුදුමයි..ඔයා කාලද ඉන්නේ..”

“තව ටිකකින් ගෙදර යනවනේ. ඒක නිසා කන්න බෑ අපි මොනවා හරි බොමුද..ඉන්න මං සෙනිතය කොහෙද කියලා බලන්නම්..”

“එයා කැමති වෙලාවක ඇවිල්ල කැමති දෙයක් බොයි අනේ. පොඩි ළමයෙක් නෙමෙයිනේ..මෙන්න මෙහාට එන්න යන්න…ඔයාට සෙනිතගෙන් තොර ලෝකයක් නෑනේ”

පංචාලි එසේ පැවසූයේ තරුණයාගේ දකුණතින් අදිමින්ය. යුගාෂ් ඉදිරියට අඩියක් තැබුවේ වටපිට බලමින්ය. ඔහු අන් සියල්ලම ගැන සේ  ආත්ම ගරුත්වය ගැනත් තම නම ගැනත් ප්‍රවේශම්ය. 

“වාහනේ හරිද…”

“ඔව් ගරාජ්  එකෙන්ම අද  ටවුන් එකට ගෙනත් දීල ගියා..”

“අපරාදෙ…එහෙම නොතිබුනා නං අදත් මට ලිප්ට් එකක් දෙන්න තිබුණා..”

“මොනවද බොන්නේ…”

යුගාෂ් එසේ ඇසුවේ ආපන ශාලාව  කෙළවරෙහි වූ මේසයකින් අසුන් ගත්තාට පසුවය. තමා අසලදී ඇය ඕනෑවටත් වඩා හුරතල් වෙනවායැයි යුගාෂ්ට සිතුනේ අද ඊයේක නොවේ. ඔහු කොහොමටවත් ඇගේ ඒ ස්වරූපයට ප්‍රිය නොකළේය. පංචාලි යනු මාන්නක්කාරකමත් දෙමව්පියන්ගේ මුදලුත් එක සේම සිතට ගත් තරුණියකි. ඇය ජීවත් වූයේ වෙනමම ලෝකයකය.

“මට ඔරේන්ජ් ජූස් එකක්. ඔයාට..”

“මමත් ඒකම බොන්නම්….”

යුගාෂ් නැගිට  ගියේ එසේ පවසමින්ය. ආපන ශාලාව  තුළ කමින් බොමින් උන් කිහිප දෙනෙකුම තමාත් පංචාලිත් දෙස ඕනෑකමින් බලනු යුගාෂ් බලාගෙනය. ඇය තමා බලාපොරොත්තුවෙන් පසුවනබව උසාවියේ බොහෝ අයට ප්‍රසිද්ධ කාරණයකි.

පංචාලි යනු බොහෝ දෙනකු ප්‍රිය කරනා අයකු නොවේ. අසාමාන්‍ය ලොකුකම. අන් සියල්ලෝම පහත් කොට කතා කිරීම තමා සියයට සියයක්ම නිවැරදි යැයි සිතා සිටීම වැනි කාරණා නිසා ඇයට මිතුරන්ට වඩා සිටියේ මුහුණට පමණක් සිනාසෙන හිතවතුන්ය.

“බොන්න….”

යුගාෂ් ඈ ඉදිරිපසින් බීම වීදුරුව තැබුවේ මඳ සිනහවක් ඒ දෙතොලතර රන්දාගෙනය. හිස මඳක් ඇලකොට දෑස් මදක් අඩවන් කරගෙන ඈ උන්නේ ඔහු දෙස බලාගෙනය. පංචාලිට වූයේ තලෙලු පැහැ රුවකි. එහෙත් ඕ නිරතුරුවම විවිධ ආලේපන ගල්වාගෙන උන්නාය. ඒ පෙනුම ලස්සනකට වඩා ඇයට එක්කලේ අවලස්සනක්යැයි යුගාශ් විශ්වාස කළේය.

“යුගාෂ්…ඔයා හරි නෝමල් අනේ..ඒකටමයි  මං කැමති. වෙලාවකට ලෝකෙ පෙරලුනත් කිසි දෙයක් නොවිච්ච ගානට ඔහේ ඉන්නවා..” 

එවර ඇය පැවසූයේ බීම උගුරු කිහිපයක් පානය කලාට  පසුවය. 

“ජීවිතය සරල කරගත්තහම ප්‍රශ්න අඩුයි පංචාලි. අපිට නොපෙනෙන අනාගතයක් ගැන හීන මවල වැඩක් නෑ. අද දවස ලස්සනට ගත කරන්න..”

“ඒකනම් ඇත්තත තමයි..ඒක නෙමෙයි ගෙදරින් ඔයාට ප්‍රපෝසල්ස් ගේන්නෙ නැද්ද. අපේ ගෙදරින් නම් මට හරි කරදරේ යුගාෂ් ඔයාට කියන්න ගිය වීක් එන්ඩ් එකේ තාත්තිගේ යාළුවෙක් කියලා කට්ටියක් ආවා. ඒ අංකල්ගේ පුතාට ඇමරිකාවල සිටිසන් තියෙනවා. ස්ටඩී කරලා තියෙන්නෙත්  එහේ. සෙසාෆ්ට් වෙයාර්  කෙනෙක්..බලන් ගියහම එයාලා ඇවිල්ල තියෙන්නේ යුගාෂ් මාව බලන්න…මට ප්‍රපෝසල්  එකක් අරගෙන. අම්මි කිව්වෙත් නෑ තාත්ති කිව්වෙත් නෑ”

“අපරාදේ ඔයාට තිබුණේ කැමති වෙන්න…”

“හිත වෙන කෙනෙක් ළඟ තියාගෙන තවත් කෙනෙක්ට කැමති වෙන්නේ කොහොමද යුගාෂ්…ඇමරිකාවේ නෙමෙයි දිව්‍යලෝකේ යන්න පුළුවන් උනත් මට වැඩක් නෑ.”

පංචාලි පැවසූයේ ඔහුගේ දෑස් දෙස බලාගෙනය. යුගාෂ් ඉක්මන් වූයේ තම දෑස් බිමට හරවා ගන්නටය. වසරක දෙකක පමණ අතීතයේ සිට  පංචාලි මේ අයුරින් නොකියා පවසන්නේ කුමක්දැයි යුගාෂ්ට හොඳින් වැටහේ. 

“මං එහෙම කිව්වහම ඔයාට දුක හිතුණේ නැද්ද යුගාෂ්…

අවසන ඇය ඇසුවේ මද හඬකින්ය.

“ඇයි මං දුක් වෙන්නේ? සතුටු වෙනවා මිසක්..ඔයාට හොඳක් වෙනවට මං කැමතියි..”  

“ඔයා සමහර වෙලාවට කිසි දෙයක් නොතේරුණා වගේ ඉන්නවා. කිසි දෙයක් දැනෙන්නෙ නෑ වගේ ඉන්නවා. අනේ මන්ද යුගාෂ් ඔයා මෙහෙම කරන්නේ ඇයි කියලා..”

වෙනදානම්  යුගාෂ් මේ සා නිහඬ බවක් රැකගත්තේ නැත. ඇයට දෙන්නට පිළිතුරු ඔහුට ඕනෑ තරම්ය. එහෙත් අද ඔහු හිතා මතාම නිහඬ වූයේය.

“පංචාලි මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕනේ..”

“අපේ මෙන්න මෙයා මගෙන් උදව් ඉල්ලනවා..මොකක්ද අනේ..ඔයාට නොකරන උදව් තියෙනවද..අද වහීද මන්දා….”

ඈ පැවසූයේ වා කවුළු අතරින් පෙනෙන අහස දෙස බලමින්ය.

“මං ඔයාට නඩු අංකයක් මැසේජ් කරන්නම්..ඒ නඩුවට අදාල ෆයිල් එක මට ඕනේ..හැබැයි මේක අපි දෙන්නා අතරේ විතරක් තියෙන්න ඕන රහසක්. ඇත්තටම මගේ යාළුවෙක්ගේ නැන්ද කෙනෙක් සම්බන්ධ නඩුවක් මේක..කාටවත් හානියක් කරන්න නෙමෙයි මට මේක ගැන විස්තර ටිකක් විතරයි හොයාගන්න ඕනේ..”

ඔහු නඩු අංකය ඇගේ දුරකතනයට කෙටි පණිවිඩයක් සේ යැව්වේ  එසේ පවසමින්ය. මේ නඩු අංකය සොයා ගන්නට ඔහු ඊයේ දවස පුරාම වෙහෙසුනේය. 

“මට මතක විදිහට මේක ඉඩම්  නඩුවක්..මතුගම පැත්තේ නේද..මමත් මේ නඩුවට කතා කළා. අංකල් තමයි නඩුව දිනවල දුන්නේ..”

“ඔව් මම දන්නවා..මේක මට ඔයාගෙන් අහන්න ඕන නෑ අප්පච්චිගෙන් අහන්න පුළුවන්. ඒ උනාට  අප්පච්චිගෙන් උදව් ඉල්ලන්න මං කැමති නෑ. ඔයා ඒක දන්නවනේ. අප්පච්චිගෙන්  ඉල්ලන්න ඕන  උදව්වක් ඔයාගෙන් ඉල්ලගත්තා කියන්න කැමතිත් නෑ…”

“මං දන්නවා ඔයාගේ ආඩම්බරකම ගැන. පුළුවන් තරං ඉක්මනට මං මේ ෆයිල් එක ඔයාට ගෙනත් දෙන්නම්..මේක සම්පූර්ණයෙන්ම විත්තිය පැත්තට වාසිය යන්න තිබ්බ නඩුවක්. අන්කල් ගත්තට පස්සේ තමයි කනපිට පෙරලුනේ..අංකල් වැඩක් කලොත්  ආයෙ ඉතින් කතා කරන්න දෙයක් නෑ..මේ නඩුවෙන් තමයි මමත් අන්කල්ව හරියටම අදුන ගත්තේ…”

පංචාලි පැවසූයේ සිනහ මුසුවය. මෙතැන් සිට ඕ තමාටත් වඩා මෙම කාර්‍යයට  උනන්දු වන බව යුගාෂ්ට විශ්වාසය. ඔහු අවසන් බීම  උගුරත් පානය කළේ මුව මත සටහන් වූ සිනහවකින්ය.

( හෙටත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here