අපූර්වාට යාබද නිවසක කාන්තාවකගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේ ත්‍රී රෝද රථ නැවතුමෙහි සිටියදීය.
“අපූර්වා..උඹ දුරක නෙමෙයි නං ඉන්නේ ඉක්මනට ගෙදරට වරෙන් කෙල්ලේ. උඹලයි අම්මා අදත් පාර දිගේ දුවලා. මමත් උඹලගේ ගෙදර දැන් ඉන්නේ. ආච්චිට අම්මව මේච්චල් කරගන්න බැහැ බං…”
දිගු සුසුමක් මුදා හැර අපූරුවා ත්‍රීරෝද රථය පණ ගන්වා ගත්තේ දෑස් වල කඳුළක් තබාගෙනය. අම්මා බලා ගැනීමේ කාර්‍යය වෙනදාට වඩා අසීරු එකක් වී තිබේ. ඊයේ රාත්‍රියේත් අපූර්වාත් පියසීලීත් කාන්තිගේ ඇඟ හේදුවේ බලෙන් අල්ලාගෙනය. නාන කාමරයෙන් එළියට පැමිණෙනතුරු ඕ එකම අයුරකින් කෑ ගැසුවාය. ඒ ශබ්දය රාත්‍රියේ නිහඬ බව බිඳ දමමින් ගෙවල් කිහිපයක් එහාට යනතුරු ඇසුණු බව විශ්වාසය. ත්‍රීරෝද රථ ගාලෙහි කිසිවෙකු නොසිටි නිසා ඇයට ඉක්මනින් නිවසට පැමිණීමේ හැකියාව ලැබිණ. එසේ සිටියේ නම් මේ කලබලයට හේතු පහදන්නම බොහෝ වේලා ගතවනු ඇත.
ඇය නිවසට පැමිණෙන විටත් අම්මා සිටියේ මහ හඬින් හඬමින්ය. ගුණවතී නැන්දා ආච්චී සමඟ නිවස ඉදිරිපස වූ බංකුවෙන් අසුන්ගෙන උන්නාය.
“අද දොර වහල තියෙද්දිත් බං අම්මා ඇරගෙන ගිහින් තිබුනේ. මං කුණු ටික පිටිපස්සේ කුණු වලට විසි කරන්න ගිය ඩිංගට. ඒකත් අර ඉරිච්ච ගවුම් කෑල්ලත් ඇඳගෙන.”
පපුව ප්‍රදේශයෙනුත්, පසුපසිනුත් මදක් ඉරී තිබූ සැහැල්ලු ගවුම ඇයට ඇන්දවූයේ ඊයේ රාත්‍රියේ ඇඟ සේදුවාට පසුවය. උදෑසන අපූර්වා ඒ ගවුම මාරු නොකලේ දහවල පැමිණ නාවන්නට සිතා උන් නිසාය.
“මොකද බං කරන්නේ?..බෙහෙත් වලින් ගුණයක් නෑනේ..”
ගුණවතී නැන්දා එසේ ඇසුවේ කම්මුලට අතක් තබාගෙනය.
“මේ වගේ රෝඟියෙක් ගෙදර ඉන්නකොට අපි නිතරම එයාගේ ආරක්ෂාවයි, පරිස්සමයි ගැන හිතන්න ඕනේ..”
වෛද්‍යවරයාගේ වදන් අපූර්වාට සිහි වූයේ ඒ හදිසියේය.
“දන්න කියන කෙනෙක් දැක්කොත්නම් ඉතින් පාරෙදි අල්ලගෙන බලෙන්ම හරි ගෙදරට ගෙනත් දාවි. එහෙම කාගෙවත් ඇහැ ගැටෙන්නෙ නැති වෙන්න දිව්වොත් මොකද කෙල්ලේ කරන්නේ. ගෑනියෙක්නේ බං.”
ඇය යළි ඇසුවත් පිළිතුරක් දෙන්නට තරම් මානසිකත්වයක් අපූර්වා වාට වූයේ නැත. සැබැවින්ම ඒ පැනය අබියස ඈ නිහඬ නිරුත්තරය. ආච්චී සිටිනා වයසේ හැටියට මානසික රෝඟියෙකු බලා ගන්නට තරම් හයි හත්තියක් නොමැති බව විශ්වාසය. අදටත් ඈ මේ සියල්ල කරන්නේ සිතේ වීරියෙන්ය..
ගෙතුළින් ඇසුණු හැඬුම් හඬ නෑසී යද්දී යද්දි අපූර්වා ගෙතුලට එබී බැලුවාය. දෑස් පියා ගත් අම්මා සිටියේ නින්දේය. දැන් ඇය බලා ගැනීමට සිදුව ඇත්තේ අල්ලාගෙන නැගිටින්නට සැරසෙන කුඩා දරුවෙකු විලසින්ය.
අපූර්වා ලී බංකුවේ අත්තම්මා අසලින්ම ඉඳගත්තේ ගුණවතී නැන්දා පිටත්ව ගියාට පසුවය. ඕ උන්නේ කොපුළකට අතක් තබාගෙනය. ඒ වියපත් දෑස්තුල වූයේ කඳුළකි.
“උඹලයි අම්මා ගැන හිතද්දි, මගේ හිතට වා වන්නේ නෑ පුතේ… ජීවිතේ හැමදේම දරා ගත්ත ගෑනිට මේ ටික දරා ගන්න බැරි වෙච්ච එකනේ පුදුමේ”
“අනිත් දවසේ මං උදේට උයලා ගෙදර වැඩ ටික කරලා යන්නම්. ආච්චී අම්මා ළඟටම වෙලා ඉන්න. ටී වී එක දාගත්තහම බණ කතාවක් හරි අහන්න පුළුවන්නේ.”
“පිරිමියෙක් වගේ උඹ අපි වෙනුවෙන් නැහෙන නැහිල්ල සුළු පටු නෑ පුතේ.”
“කරන්න දෙයක් නෑනේ ආච්චි එන විදිහකට ජීවිතයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි එහෙමවත් කරලා බලමු.”
එසේ පවසා නැඟී සිටි අපූර්වා ගෙතුළට ගොස් ඉදිරිපස කොටසේ තබා ඇති කාන්ති නිදා උන් ඇඳ කෙලවරකින් අසුන් ගත්තාය. වෙනදා පිළිවෙලකට පීරා තිබූ කොණ්ඩය අවුල් වී තිබිණ. ඒ මුහුණේ වූයේ වෙහෙසකර පෙනුමකි. තත්පර කිහිපයක් ගතව යනතුරු අපූර්වා ඇසිපිය නොගසාම මව දෙස බලා උන්නාය. පංච කල්‍යාණියක තරම් රූප ශ්‍රියාවක් නොතිබුණාට මේ අවට ජීවත්වන බොහෝ ගැහැණුන්ට වඩා ඇය පිරිසිදු පිළිවල ගැහැණියක ලෙස ජීවත් වූවාය. තාත්තා සමග ජීවත්ව සිටියදී කොතරම් අගහිඟකම් වුවත් ඕ ඒවා ලෝකයට කෑ ගසා පැවසූ අයෙකු නොවේ. ඇය සකසුරුවම් ගැහැණියකයැයි ආච්චී ආඩම්බරයෙන් පවසනු අපූර්වාද ඕනෑ තරම් ඇසී තිබේ.
දෙපා ඉහළට ඇදගෙන මදක් උස් වූ යුවතිය කාන්තීගේ හිස අත ගෑවේ සිය දෑස් වලින් කඳුළු බේරී යද්දීය. බාප්පා විසින් ගිනි ගොඩක් කර දැමුවේ පන්සලක් සේ නිවී තිබූ ජීවිතය. කිසි දිනක ඇගේ මුවින් කිසිවෙකු අරභයා කෝපයෙන් වදනක් පිටවනු අපූර්වා අසා තිබුණේ නැත.
අම්මාව තදකර වැළඳ ගන්නට සිතුණු සිතුවිල්ල අපහසුවෙන් වාවා ගත් යුවතිය ඇගේ නළලත මත තම දෙතොල් තැබුවාය.
“ලොකු එකා කජු ගහේ එල්ලිලා ඉන්නව දැක්කේ මේ ළමයා නේ ඉතින්. ‘අම්මේ…’ කියලා යටි ගිරියෙන් කෑ ගහනවා ඇහුණා. මං හිටියේ උදේට කෙල්ලට කාල යන්න කිරිබත වඩන ගමන්. මං දුවගෙන එද්දිත් මේකි බිම වාඩිවෙලා අත් දෙකම කජු ගහ දිහාට දික් කරන් ඉන්නවා. ඒ අස්සෙ සට සට ගාලා වෙව්ලනවා…ඒ වෙලාවේ ඉඳලා එක වචනයක් කතා කළේ නෑ බං…”
ආච්චි ඒ දිනවල නිතර පවසන වදන් අපූර්වාට කට පාඩම්ය. සොල්දර ගෙදර කජු ගහ වූයේ අපූර්වා වර්තමානයේ සිටින මේ නිවසට මීටර් කිහිපයක් එහායින්ය. දැන් සොල්දර ගෙදර ඉඩමත් මේ බිම් තීරුවත් වෙන්ව තිබෙන්නේ කටු කම්බි වැටකින්ය. තාත්තාගේ මළගමේ කටයුතු කෙරුණේ ඉන් දෙදිනකට පසුවය. ඒ දෙදිනේම අම්මා ගැන විමසිල්ලේ සොයන්නට තරම් ඉස්පාසුවක් අපූර්වාට නොවූවාය. ඇය එකඳු වදනක්වත් කතා නොකළද අපූර්වා ගොස් කාන්තීව බදා වැළඳගෙන හඬා වැටුණු ආකාරය ඇයට අදමෙන් මතකය. අම්මාගේ අසාමාන්‍යතාවය අපූර්වාට මුලින්ම වැටහුම් වූයේ තාත්තාගේ දේහය මිහිදන් කල දා සවසය.
“අනේ කතා කරන්නකෝ අම්මේ…..”
මුලින්ම අපූර්වා එසේ පැවසූයේ ප්‍රශ්න කිහිපයක්ම ඇගෙන් අසා ඒවාට පිළිතුරු නොලැබුනාට පසුවය.
“කතා කරහං නංගියේ… එක්කෝ අඬා වැටිලා හරි දුක පිට කරහං. ඔහොම දරාගෙන ඉන්න එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි.”
කවුරුන් හෝ එසේ පැවසුවාත් අපූර්වාට මතකය. එහෙත් අම්මා නොහැඬුවාය දුක පිට නොකළාය. මුලදී අපූර්වා දැක්කේ ඔහේ නිනව්වක් නොමැතිව බලා ගත් අත බලා සිටිනා ගැහැණියකි. ඇයට ඇතිව තිබූ කම්පන තත්ත්වය සුවවෙන එකක්යැයි ඕ විශ්වාස කළාය. ඒ නිහඬකම අද ඈ කෑ ගසන්නේත්, හඬා වැටෙන්නේත් වේලාවක් අවේලාවක් නොමැතිවය.
“ළමයෝ මෙන්න මේ සමන් පුතා ඇවිත්…..”
අපූර්වා අම්මා අසලින් නැගිට එළියට ගියේ ආච්චිගේ උස් හඬට අවනතවය. ත්‍රී රෝද රථය කඩුල්ල අසල නතර කළ සමන් මාමා ඉන් බැස ඉදිරියට එමින් සිටියේය.
“මං එද්දි උඹ හිටියේ නෑ. දෙපාරක් තුන්පාරක් ෆෝන් එකට ගත්තට කතා කළෙත් නෑ. ඒ නිසා මං කෑමට යන ගමන් මේ පැත්තෙන් ආවේ. මොකද අවේලාවේ ගෙදරට ආවෙ..”
තම ජංගම දුරකතනය ත්‍රී රෝද රථයේ බව අපූර්වාට පසුක් වූයේ එවේලෙහිය
“අපේ ලෙඩා අදත් පාර දිගේ දිව්වනේ පුතේ. මං එපා කියද්දී ගුණවතී කෝල් කරලා කෙල්ලට එන්න කියලා කිව්වා. ඔහෙන් වාඩි වෙයං මං තේ ටිකක් හදන් එන්නම්.”
“එපා පියසීලි නැන්දේ..දැන් මේ කන්න යන ගමන්නේ. දැන් තේ බිව්වොත් දවල්ට කන්න බැරුව යනවා..මොකක්ද අපූර්වා මේ ප්‍රශ්නෙට අපි කරන්නේ.”
“මටත් හිතාගන්න බෑ මාමේ. ආච්චිට කිව්වේ මං උදේට ගෙදර වැඩ ටික කරලා යන්නම්. ආච්චි අම්මා ගාවටම වෙලා ඉන්න කියලා.”
“අනේ මන්ද බං…..”
සමන් එසේ පැවසූයේ ගෙතුළට එබෙමින්ය. මේ මින් වසරකට පමණ එහා ගිය අතීතයේදී මිතුරා සමග සතුටින් ජීවිතය බෙදා ගත් ගැහැණියයි.
“අපූර්වා අර දොස්තර කියපු දේ ගැනවත් හිතල බැලුවොත් නරකද. අම්ම ගෙදර තියාගන්න එක ඒ වගේ තැනක ඉන්නවට වඩා බයානකයි නේද..ඔහොම ගිහිල්ලා කොහෙදි හරි කරදරයක් උනොත්..”
සමන් මේ පවසන්නේ කුමක්දැයි අපූර්වාදනී. එහෙත් එවැන්නක් සිතද්දී පවා ඕ වෙවුලා ගියාය.
“හරි බං එහෙනං මං යන්නම්. දැන් ඉතින් ආයෙ උඹ ත්‍රීවිල් පාක් එකට යන්න ඕන නෑ. හිතත් හරි නැති එකේ ගෙදරට වෙලා විවේකයක් ගන්න. හැන්දෑවට යන ගමන් මං මේ පැත්තෙන් ඇවිත් යන්න එන්නම්.”
අපූර්වා හිස වැනුවේ සමන්ට එකඟවය. ‘හැන්දෑවට යන ගමන් මේ පැත්තෙන් එන්නං..’ යනුවෙන් ඔහු පවසන්නේ අපූර්වාට රස්සාවට යාමට නොහැකි දිනවලදී ලැබෙන බඩු මල්ල ගැනය. කොතරම් එපා කිව්වත් සමන් මාමා හෝ අනිත් අය එය වරද්දන්නේ නැත. අම්මා සමග නාගොඩ සායනයට යන බොහෝ දිනවල සවස ඒ බඩු මල්ල ඔවුන්ගේ අතින් අපූර්වාට ලැබේ. මිනිසුන් තවත් මිනිසෙකුගේ අසරණකම් වෙනුවෙන් පෙනී සිටියදී ලෝකය කොතරම් සුන්දර එකක් වනවාදැයි අපූර්වා සිතුවේ තනිවමය. විය යුත්තේද එයයි. එහෙත් බාප්පා වැනි ආත්මාර්ථකාමී මිනිසුන් ජීවත් වන්නේත් ඒ ලෝකය තුලය.
******************
උසාවියේ සිට නිවසට පැමිණ පැය කිහිපයක් ගතව ගොස් තිබිණ. බොහෝ දිනවල උඩුමහලේ සඳැල්ලට වී පොල් රුප්පාවෙන් එහා පෙනෙන සාගරය දෙස බලා සිටීම යුගාශ්ගේ දින චර්‍යාවේ කොටසක්ව තිබේ. අම්මා මෙවේලෙහි බුදුගෙය තුළ විය යුතුය. විනාඩි කිහිපයකට පෙර නන්දනී විසින් ගෙන ආ කිරි තේ කෝප්පය හිස්කර කෙටි බැම්ම මතින් තැබූ තරුණයා සිය ජංගම දුරකථනය අතට ගත්තේ අත් ඔරලෝසුවට එබුනාට පසුවය. යුගාෂ් ඇඳගෙන සිටියේ ව්‍යායාම කරන්නට ඇදගෙන යන කෙටි කලිසමත් ස්කිනි වර්ගයේ ටී ෂර්ට් එකත්ය. පුරුද්දක් ලෙස ඔහු පැයක් පමණ ගාලු පාර දිගේ දිව ගොස් ආපසු පැමිණේ.
යුගාෂ්ට අපූර්වාව සිහි වූයේ දුරකතන තිරය මත ඇඟිලි තුඩු දුවවද්දීය. පසුගිය දින දෙක තුනම ඔහු වෙහෙස වූයේ නිශ්ශංකගේත් අපූර්වාගේ පියාගේත් නඩුව පිළිබඳව විස්තර සොයන්නටය.
ජංගම දුරකථනය නාද වූයේ නාඳුනන අංකයක් සටහන් කරමින්ය. ඔහු ඇමතුම හා සම්බන්ධ වූයේ සවනතක පලදාගෙන උන් ශ්‍රව්‍ය උපකරණයක් මාර්ගයෙන්ය.
“මේ යුගාශ් මහත්තයා වෙන්න ඕනේ..”
“ඔව්.. මේ කවුද……”
“මම නඩුවක් ගැන කතා කරන්න ගත්තේ. මේ වෙලාව ඔබතුමා කාර්යබහුල වේලාවක් නං මට පස්සේ කතා කරන්න පුළුවන්.”
“සමාවෙන්න නඩුවක් ගැන කතා කරන්නනම් ඔබ තුමාට හෙට උදේට ඔෆිස් එකට තමයි එන්න වෙන්නේ.”
“මට ඔෆිස් එකට එන්න බැරි වෙයි යුගාෂ් මහත්තයා. මේ වෙලාවේ මට විනාඩි දෙක තුනක් සවන් දෙන්න පුළුවන්නම් ඒක ලොකු උදව්වක්.”
“ඔව්… ඉක්මනට කියන්නකෝ..”
යුගාෂ් පැවසූයේ ඉවසීමෙන්ය.
“ලෝයර් මහත්වරුන්ට ඉතිං කාලය කියන්නේ සල්ලි තමයි. ඒක මං නොදන්නවා නෙමෙයි. ගෙවන්න බැරි කමකුත් මට නැහැ.”
“එහෙම කතාවක් තියෙනවා තමයි. හැබැයි ඉතින් මම ගැන ඔබතුමා අහල නැතුව ඇති. මොකද මාව දන්න ගොඩක් අය දන්නවා මට කාලය කියන්නේ සල්ලි නෙමෙයි කියලා.”
අවඥා සහගත සිනහවක් දෙතොල් අතර රඳවාගෙන යුගාෂ් එසේ පැවසූයේ කෝපයෙන්ය. අවේලාවේ මේ අයුරින් කතා කර මුදල් ඉස්සර කරගන්නා දුරකථනය එහාපස උන් පුද්ගලයා පිළිබඳව ඒ සිතෙහි ඇතිව තිබුණේ අපැහැදීමකි.
“මං යුගාශ් පුතාගේ අප්පච්චිව නං හොඳටම අඳුනනවා. යුගාශ් පුතා මාව නොදන්නවනං අප්පච්චිගෙන් අහන්නකො සේනක මන්ත්‍රීතුමා කවුද කියලා…”
මේ යුගාෂ් අපේක්ෂාකල ඇමතුමකි. එනිසා ඔහුට පුදුමයක් වූයේ නැත.
“ඔව් මං අහල තියෙනවා..නඩුවක් ගැන කතා කර ගන්නනම් මන්ත්‍රීතුමා මගේ ඔෆිස් එකට එන එක තමයි හොඳම දේ.”
ඔහු පැවසූයේ එහා පස උන් පුද්ගලයාව ගණනකට නොගෙනය. ඔහු කොහොමත් එහෙමය. තමා වෙත එන සේවා දායකයන්ට උපරිම සාධාරණයක් ඉටු කරනු විනා ඔවුන්ගේ තරාතිරම පිළිබඳව යුගාෂ්ට වගක් වූයේ නැත.
“අපි වැඩිදුර කතා නොකර කාරණයට බහිමුකෝ මොකද අපි දෙන්නටම කාලය කියන්නේ බොහොම වටින දෙයක්. අපේ පුතා අතින් පොඩි අත් වැරදීමක් වෙලා තියෙනවා. ඒ පැත්තෙන් නඩුව බාරගෙන තියෙන්නේ යුගෂ් මහත්තයා කියලා තමයි මට ආරංචි වුණේ. සමාවෙන්න ඕනේ මං මෙහෙම ඉල්ලීමක් කරනවට. යුගාෂ් මහත්තයා තාත්තගෙ අඩි පාරේ ගිහිල්ලා ලෝයර් කෙනෙක් උනා වගේ තමයි. මගේ පුතත් කවද හරි මගේ අඩි පාරේ ගිහිල්ලා මන්ත්‍රී කෙනෙක් වෙනවා. ඉතින් ඒ නමට කැළලක් ඇතිවෙන්න හොඳ නෑ. මං කියන දේ යුගාශ් පුතාට තේරෙනවනේ. මම උවමනා දේට සල්ලි විසිකරන මිනිහෙක්. පුතා මං ගැන දන්නෙ නැත්තං අප්පච්චිගෙන් අහන්න. ඒ අතින් කරන දේ මේ අතටවත් දැනගන්න ඉඩක් තියන මිනිහෙක් නෙමෙයි මම”
“මන්ත්‍රීතුමා….මම අල්ලස් ගන්න කෙනෙක් නෙමෙයි. ඒ නිසා කරුණාකරලා අපි මේ කතාව නතර කරමු. මං බොහොම වැදගත් ගමනක් යන්න ලෑස්ති වෙලා හිටියේ. ඔබතුමාට තවදුරටත් යමක් කතා කරගන්න අවශ්‍ය නම් මගේ ඔෆිස් එකට ආවට කමක් නෑ. නමුත් අල්ලස්වලින් මාව නතර කරන්න හදන්න එපා. ඒක ඔබතුමා කරන ලොකු වරදක්.”
දැඩිවූත් පැහැදිලි වූත් හඬකින් එසේ පැවසූ යුගාශ් දුරකථනය විසන්ධි කළේ එහා පසින් තවත් යමක් පවසද්දීය. අපූර්වාව අමතන්නට හේතුවක් සොයමින් සිටි තරුණයා පඩිපෙළ පහත මාලයට පැමිණියේ මෙවේලෙහි ඊට සිතක් නොවූ නිසාය. අවසන ඔහු ගේට්ටුව වසා දමා ගාලු පාරට පිවිසියේය.
( හෙටත් හමුවෙමු ආදරයෙන් )
ReplyForwardAdd reaction |