ආදර සැලසුම් – 12

0
3105

ආදිත්‍යය නිවසට පැමිණි පසුව නාන කාමරයේ කණ්ණාඩියෙන් පෙනෙන තම රූපය දෙස බලා සිටියේය. පාසල් යන වයසේ සිටම තරුණියන්ගේ ආකර්ෂණයෙන් අඩුවක් නොවූ තම රූපය මේ වන විටත් අඩු නැතිවම ඇත. මිතුරන් අතරේ පවා සිටින කඩවසම්ම තරුණයා තමා බව එකල කීවේද මිතුරන් විසින්මය. තරුණ වියට පත්වන විට එකී කඩවසම් බව වැඩි මිසක් අඩු වුයේ නැත. එහෙත් එහි කුමක්දෝ සැඟවුණු මළානික බවක් සහ විඩාබර බවක් ඇතැයි ආදිත්‍යයට සිතුණේ මෞර්යා ඇසූ පැනය යළි සිහිපත් වීමෙනි.

” ඔයා මොකක් හරි අවුලකින්ද ඉන්නේ ආදිත්‍යය ? ” 

සන්ධ්‍යාවේදී මෞර්යා එසේ අසන්නට ඇත්තේ තම සිතෙහි වූ විඩාබර බව මුහුණෙන් පෙනෙන්නට ඇති නිසා විය හැකිය. රැකියාවේ කටයුතු නිසා තමා සිටින්නේ වෙහෙසකර බවකින් බව කියා එකී පැනයට පිළිතුරු දුන්නද මෞර්යා ඒ පිළිතුර භාර ගත්තා දැයි ආදිත්‍ය හට සිතා ගත හැකි වූයේ නැත.

දේවක දේවපුර මාස දෙක තුනකට පසුව නිවසට ගොඩ වූයේය. ඒ සඳහා විශේෂ හේතුවක් නොවූවත් අශිකා ඔහුව පිළිගත්තේ හිතේ කිසිදු කහටකින් තොරවය. මතක ඇති කාලයක සිටම තම පියා විසින් මවගේ සිත රිද වූ නිසාත් , ඇය බොහෝ පීඩන වලට ලක්වූ නිසාත් දේවක නිවසට පැමිණෙනවාට අභිමන් තුළ එතරම් කැමැත්තක් වූයේ නැත. එහෙත් ව්‍යාපාරික කටයුතු වලදී සහ වෙනත් අත්‍යවශ්‍ය කටයුතු වලදී පියා ගේ තීරණ වලට මුල් තැන දීමට අභිමන් මෙන්ම ආදිත්‍යද පුරුදු වී සිටියහ.

අශිකා මුළුතැන්ගෙයට වී කෝපි පිළියෙල කරන අතරතුර අභිමන් දේවක හා කතාවට වැටුණේය. තම පියා සමග කතාබහ කිරීම දරුවෙකු හට මොනතරම් සුන්දර දෙයක් වුවත් අභිමන් හට එවැනි අවස්ථාවන් ගෙන දුන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ අපහසුතාවයකි.

” කම්පැනි එකේ වැඩ කෙරීගෙන යනවද අභිමන් ? ” 

දේවක ඇසුවේ ආයතන ප්‍රධානියෙකු තම සේවකයෙකු ගෙන් ආයතනයේ කටයුතු පිළිබඳව විමසන ආකාරයටය.

” ඔව් තාත්තා. හැමදේම හොඳින් කෙරීගෙන යනවා ” 

” මට ආදිත්‍යයට කතා කරන්න වෙලාවක් නැති වුණා. එයා ඔෆිස් එකේ වැඩ බලනවනේ ? ” 

” අයියා තමයි තාත්තා ලොකුම සපෝට් එක දෙන්නේ. අලුත් ප්‍රොජෙක්ට් වගයක් ගේන්න අයියා හුඟක් මහන්සි වුණා පහුගිය ටිකේ ” 

දේවක මොහොතක් කල්පනා කළේය. පුතුන් දෙදෙනාම සිටින්නේ දැන් සියලු වගකීම් භාර දිය හැකි වයස් වලය. තමා සතුව වෙනත් ව්‍යාපාර කටයුතු ඇති නිසා Advertz හි නීත්‍යානුකූල අයිතිය පුතුන් දෙදෙනා වෙත පවරා දෙන්නට දේවක සිතුවේය. 

අශිකා උණු උණුවේම කෝපි කෝප්පයක් දේවක වෙත පිළිගැන්වූ අතර අභිමන් වාඩිවී සිටි තැනින් නැගී සිටියේය.

” මට තව ටිකකින් ක්ලයන්ට් කෙනෙක් එක්ක online meting එකක් තියෙනවා තාත්තා. මං උඩට යන්නම් ” 

අභිමන් අශිකාට සහ දේවකට කතා කරන්නට ඉඩ තබා තරප්පුව නැග කාමරයට පැමිණියේය. මව සහ පියා අතර එතරම් හොඳ ගනුදෙනුවක් නොවූවත් ඉඳ හිටක හෝ ඔවුන් දෙදෙනාට මෙසේ කතා කිරීමට සහ ඔවුන්ගේ නිදහසට බාධා නොකළ යුතු යැයි අභිමන් ගේ අදහස විය.

පසුගිය අවුරුදු ගණනාව තුළ ගෙවුණු විවාහ ජීවිතයේ දේවක තමා සමඟ විරසක වන්නට විශේෂ හේතුවක් වූයේ නැත. විවාහ වී මාස කිහිපයක් ඇතුළත ආදිත්‍ය උපත ලැබීමත් ඉන් වසර පහකට පසුව අභිමන් උපත ලැබීමත් නිසා මවක වශයෙන් අශිකා ඉතා කාර්යබහුල වුවද බිරිඳකගේ යුතුකම් ඇය කිසිවිටෙක අත්හළේ නැත. සමහර දිනවලදී ව්‍යාපාර මිතුරන් අතරේ සාද සහ විශේෂ අවස්ථාවන් සඳහා සහභාගී වීම අශිකා ප්‍රතික්ෂේප කරන විට දේවක එය මහා ලොකු හේතුවක් කොට ගෙන දින ගණන් අශිකාව නොසලකා හරිමින් සිටියේය. දේවක බොහෝ විට පළිගත්තේ වචන වලට වඩා ක්‍රියාවන් වලිනි.

දේවකට පෞද්ගලික ලේකම්වරිය සමග අනියම් සම්බන්ධයක් ඇතැයි විවිධාකාරයෙන් ආරංචි ලැබුණද ඉන් එකකටවත් ඔප්පු කළ හැකි තරමේ සාක්ෂි තිබුණේ නැත. ඉඳහිටක හෝ එවැනි කාරණාවකදී තදින් හිත රිදුණු විට ඒවා පිළිබඳව දේවකගෙන් විමසා සිටීමේදී ඇතිවුණු දරුණු ගැටුම් දරුවන්ද පීඩාවට පත් කළ අවස්ථා බොහොමයක් විය. සැබැවින්ම අශිකා එය සියල්ලම ඉවසා දරාගෙන සිටියේ දරුවන් වෙනුවෙන් සහ විවාහ ජීවිතය රැක ගනු පිණිසය. එහෙත් ඒ ඉවසීම ගඟට ඉනි කැපුවාක් මෙන් කරමින් එක් දිනයකදී දේවක ඔහු සන්තකයේ වූ සියල්ල රැගෙන නිවසින් පිට වූයේය. 

ඉන්පසුව දේවක නිවසට ගොඩ වැදුනේ ඉඳහිටය. නොගැළපෙන විවාහයක රැඳී සිටීම පළක් නැති බව පැවසුවත් දේවක කිසි දිනක අශිකා ගෙන් දික්කසාදය ඉල්ලා සිටියේද නැත. පියෙකු ගෙන් සහ සැමියෙකු ගෙන් ඉටුවිය යුතු යුතුකම් කෙසේ වුවද මුදලින් අඩුපාඩුවක් නොකළ දේවක සේවකයන් අතේ නිවසට අවශ්‍ය බඩු බාහිරාදිය එවීම මෙන්ම අශිකාගේ බැංකු ගිණුමට වරින් වර මුදල් තැන්පත් කිරීමද සිදු කළේය. ඔහු මෙසේ යුතුකම් ඉටු කරමින් නිවසින් පිටව ජීවත් වීමේ අර්ථය වටහා ගන්නට මේ වනතුරුත් අශිකාට හැකිව තිබුණේ නැත. 

” මං හිතුවා බිස්නස් එක ළමයි දෙන්නගෙ නමට ලියන්න. මං නැතත් ඒ දෙන්නා එක හොඳට කරගෙන යනවනේ ” 

මඳ නිහඬියාවකින් අනතුරුව දේවක හඬ අවදි කළේය. සැමියෙකුගේ යුතුකම් කෙසේ වුවද ඔහු පියෙකු ලෙස දරුවන් දෙදෙනා වෙනුවෙන් කළ හැකි සියල්ලම කරන්නේය. හරියන්නට හෝ වරදින්නට සිතා ආදිත්‍යගේ විවාහය කර දුන්නේද ඒ අනුවය.

” ඒක කොච්චර හොඳද දේවක. ඒ දෙන්න කොහොමත් හරිම උනන්දුවෙන් බිස්නස් එක කරගෙන යනවා ” 

” ඒක මම දන්නවා. හැම මාසෙම එන්න එන්නම ප්‍රොෆිට් එක වැඩි වෙනවා. මං ඕකට අත ගැහුවේ නැති උනාට මට monthly report එකක් හම්බ වෙනවා ” 

විවාහ ජීවිතය තුළ තමාට අසාධාරණයක් සිදු වුවද දෙදරුවන්ට එසේ සිදු නොවීම පිළිබඳව අශිකා සිත යටින් සතුටු වූවාය. 

” ආදිත්‍යය එහෙම ආවේ නැද්ද මේ පැත්තේ? ” 

දේවක කෝපි උගුරක් තොල ගාන අතරේ ඇසුවේය. 

” අද දවල් ඇවිල්ල ගියා ” 

” දවල් ? ඇයි මිනිහා අද ඔෆිස් ගිහිල්ලා නැද්ද ?”

” ගියා ගියා. ෂෙහාරා ට පොඩ්ඩක් සනීප නෑ කියලා එයාට බෙහෙත් වගයක් දෙන්න ගෙදර ගිහින් එන ගමන් මේ පැත්තෙ ඇවිල්ල ගියා ” 

” ආදිත්‍යයට ඔය වගේ පවුලකින් කසාදයක් කර ගන්න හම්බුන එක හොඳයි. නැත්තං ඉතින් මොනවා කර ගනීද දන්නේ නෑනේ ” 

දේවක කීවේ ආඩම්බරයෙනි. ඔහු ආදිත්‍ය වෙනුවෙන් යුතුකම් ඉටුකළ බව සැබෑය. එහෙත් ආදිත්‍ය ඉන් විඳවන ආකාරය දන්නේ ඔහුම පමණකි.

” ඔයා හිතනවද ඔයා ආදිත්‍ය ගැන ගත්ත තීරණය හරි කියලා ? “

අශිකාගේ මුවින් එවදන් පිටවූයේ ඉබේටමය. දේවක ඇය දෙස බැලුවේ පුදුමයට පත් වීය.ඔහු කෝපි කෝප්පය ටීපෝව මත තබා අශිකා දෙසට හැරුනේය.

” ඇයි මොකක්ද වෙලා තියෙන්නේ? ” 

දේවක ඇසුවේ රුදු ලෙසය.ඒ ඔහුගේ ස්වභාවය වුවත් අනවශ්‍ය ප්‍රශ්නයක් මතු කළ යුතු නැත. ආදිත්‍යය ඔහුගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධව තවමත් තමා සමග ඍජු ලෙස කතාබහ කර නොමැති නිසා දේවකට කිසිවක් අඟවන්නේ නැතිව සිටින්නට අශිකා තීරණය කළාය.

” නෑ මම නිකං ඇහුවේ ” 

අශිකා කතාව මග හැරියාය. නමුත් ඇය එලෙස අසන්නට හේතුවක් අනිවාර්යයෙන්ම තිබිය යුතු යැයි දේවක සිතුවේ සාමාන්‍යයෙන් අශිකා ආවාට ගියාට වචන පිට නොකරන කාන්තාවක වූ නිසාය.

” මොකක් හරි ප්‍රශ්නයක් නම් කියන්න.හිතේ තියං හිටියා කියලා මම දන්නේ නැහැනේ ” 

දේවක එසේ කීවේද තරහෙනී. ඔහු බොහෝ විට කළේ ප්‍රශ්නයක් ඉදිරියේ තම කෝපය පෙන්වීම හෝ මගහැර යාමය.ඒ නිසා ආදිත්‍ය පිළිබඳව සහ ඔහු පත්ව සිටින තත්ත්වය පිළිබඳව දේවක සමග කතා කිරීමෙන් ඵලක් නැත.

” අනිත් එක ආදිත්‍යයි ෂෙහාරායි අතරේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඒගොල්ලො විසඳගත්තාවේ. ඔයා ඕවට අත දාන්න යන්න එපා. පවුල් වල ප්‍රශ්න ඇති වෙනවා තමයි. ඒවා විසඳගන්න ඒගොල්ලෝ දැන ගන්න ඕනේ ” 

” එහෙනම් ඇයි අපිට අපේ ප්‍රශ්න විසඳ ගන්න බැරි වුණේ ? “

කියා දේවකගෙන් අසන්නට සිත් වූවත් අශිකා එවදන් වචන වලට පෙරලූයේ නැත.ඇයට විවාහ ජීවිතය පිළිබඳව තිබෙන්නේ කලකිරීම මුසු වූ හැඟීමකි. ඒ හැඟීම ආදිත්‍ය හටත් දැනේ යයි බියක් ඇය තුළ විය. ඒ හැරුණු කොට තමාට සහ දේවකට එක්ව ගෙවීමට ජීවිතයක් දැන් ඉතිරිව නැත. දේවක අන් අයෙක් සමග සතුටින් ජීවිතය ගෙවීමට සිතනවා නම් එයට ඉඩ දීමට පවා අශිකා හිත හදා ගෙන උන්නාය. 

” මං යනවා ” 

දේවක වාඩිවී සිටි තැනින් නැගිට ජංගම දුරකථනය සාක්කුවේ දමා ගත්තේය. ඔහු ප්‍රධාන දොරටුව වෙත යන විට අශිකා ද ඔහු පසු පසින් ගියේ බලාපොරොත්තු සුන් වූ හැඟීමෙනි.රාත්‍රී ආහාරය සඳහා වත් ඔහු සිටීවි යැයි බලාපොරොත්තුවෙන් හුන් නිසා දේවක වාහනයට නැගී පිටව යන අයුරු අශිකා දොරකඩට හේත්තු වී බලා සිටියේ වේදනාවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here