පෙඟුණු මල්පෙති 05

සුදු බතට, පරිප්පු තෙම්පරාදුවකුත්, සැමන් බැදුමකුත්, අතේ සෑදූ පොල් සම්බෝලයකුත් හොඳටෝම ප්‍රමාණවත්‍ ය.

අද නිවාඩුය, හෙටත් නිවාඩුය. ඉතින් කැමති යමක් කා බී කැමති දෙයක් බලා සැනසෙන්නට කාලය හොඳටෝම ප්‍රමාණවත්‍ ය.

උදෑසනම පැයක් පමණ චරිත්‍රා සමග කතා බහ කරන්නට අවස්තාව ලැබුනේ වෙනදා මෙන් උදෑසන අවදිව රැකියාවට යෑමේ අවශ්‍යතාවක් නොවුණු නිසා ය. තමාට නිවාඩු දිනයක් වුවත් චරිත්‍රාට රැකියාවට යාමට තිබේ.

ඇය හැඳ පැලඳගන්නා අතරේත් අනතුරුව ත්‍රී රෝද රියේ රැකියාවට යන අතරවාරයේත් ඇය සමග කතා බස් කරන්නට ලැබීම හොඳ ය. ඇයව මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍යා වැඩ කටයුතු වලින් දැන් ඉතිරි වී ඇත්තේ ලංකාවෙන් කර ගත යුතු දෑ පමණි.
ලංකාවේ රාජ්‍ය සේවය පිළිබඳව සලකන විට ඉතින් එය වන්නට තව මාස කිහිපයක් ගෙවෙනු ඇත.

මේ වසර අවසානයේ හෝ ලබන වසර මුල ඇයට මෙරටට එන්නට හැකි වේයැයි ගණන් සාදා බැලුවේ රාජ්‍ය සේවයේ අකාර්‍යක්ශමතාව ගැනද ගණන් බලා තබා ය.
කාර්‍යාලය අසලට යන තුරුම දුරකතනයේ රැඳී සිටි චරිත්‍රා කාර්‍යාලයට ගිය පසු කරන්නට එහෙමකට කියා දෙයක් නොතිබුණි. උදෑසනටත් දිවා කාලයටත් එක සේ සරිලන අයුරින් කෑම පිසගත් පසු කා නා අහවර වී නෙට්ෆ්ලික්ස් බලමින් සුවදායී නින්දක් දාන්නට ඉඩකඩ ඕනවටත් වඩා ඇත.

සැඳෑවේ නැවතත් චරිත්‍රා හා කතා බස් කරන්නට ඉඩකඩ සාදා ගැනීම එවිට ගැටලුවක් නොවේ.
රයිස් කුකරයට හොඳින් සේදූ සහල්ද, ලුණුද දමා බැසිල් කොලයක් එකතු කලේ මෙරට දී රම්පෙ සොයා ගැනීම අපහසු බැවිනි.

ඇතැම් ශ්‍රී ලාංකිකයින් නම් තම කුඩා නිවස්න වලම හැකි පරිදි එදිනෙදා ඉවුම් පිහුම් කටයුතු සඳහා අවැසි රම්පෙ කරපිංචා වවාගෙන හිටියද තනිකඩයකු වන තමාට එසේ කිරීමේ අවශ්‍යතාවක් ඇතැයි මිහිකට නොසිතේ.
චරිත්‍රා මෙරට ආ දිනක ඇය කැමති අයුරින් නිවස වෙනස් කරගන්නටත්, සරසා ගන්නටත් ඇයට හැක.සහල් ආදිය අඩු මිලට ගන්නට හැක්කේ ඉන්දියන් කඩවලින් වුවද ලංකාවේදී මෙන් රතු කැකුලු, සුදු කැකුලු හෝ සම්බා වැනි සහල් සොයා ගැනීම අපහසුය. කෝකටත් ඇත්තේ බාස්මතී ය. සැකසූ විට සුන්දර පෙනුමක් ගෙන ආවද කරවල කෑල්ලක් පොල් සම්බෝලයක් සමග රස විඳින්නට නම් බාස්මතී සහල හොඳ නොවේ යැයි මිහිකගේ අදහසයි.

නෙට්ෆ්ලික්සි මිහික වඩා ආසාවෙන් බලන කතා මාලාව වන්නේ ෆ්‍රෙන්ඩ්ස්‍ ය. සැබෑ ජීවිතයේ සෑම අප් ඇන්ඩ් ඩවුන් එකකදීම ගෙදර විත් සිහිල් දියෙන් ඇඟ පත දොවාගෙන, උණුසුම් ආහාරයක් රස විඳිමින් ෆ්‍රෙන්ඩ්ස් බලන්නට ලැබීම මිහිකට අනුව වාසනාවකි. නමුත් චරිත්‍රා එහි අනික් පසය. ඇගේ ප්‍රියතම චිත්‍රපට ශානරය වන්නේ ත්‍රිලර් සහ ක්‍රයිම් ය. එයිනුත් දාම ඝාතකයන් ගැන ලියවුනු, බිහිවුනු කතාන්තරවලට ඇය දක්වන්නේ ඉමහත් රුචිකත්වයකි. ලංකාවේ රැඳී සිටින කාල වකවානුවලදී ඇය සමග චිත්‍රපට බලන සෑම අවස්තාවකම මෙවන් දාම ඝාතකයන් පිලිබඳ ලියවුණු කතා බලන්නට තමා නැඹුරු වූයේත් ඇය නිසාවෙනි.

ආදරය කරන්නට සර්ව සමාන පුද්ගලයන් සොයා ගන්නට අපට හැකියාවක් නැත.

සැමවිටම අප සෝල් මේට් හෝ පර්ෆෙක්ට් පාට්නර් යැයි කියාගන්න බොහෝ අය අතර කොපමණ නම් නොගැලපීම් තිබේද?
තමා ඉතාම පිළිවෙල ජීවිතයකට රුචිකත්වයක් දක්වන්නෙකි.ඉවූ පිහූ විට මෙන්ම කා බී අවසන් වූ සැණින් අදාල මෙවලම් උපකරණ, කුස්සිය සහ සින්කය පිරිසිඳු කර තබන්නට අමතක වීම දැඩි ලෙස අප්‍රිය කරන තමා චරිත්‍රා වැනි කලබලකාරී, කා බී අවසන්ව ඉඳුල් පිඟන් එලෙසම සින්කය තුල බහා තබන, නිදියාගත් ඇඳ පිලිවෙලක් නොකරම රැකියාව සඳහා නිවසින් පිටත්ව යන, මාස ගණනාවකින් නාන කාමරය පිරිසිඳු නොකර අයෙක් සමග ජීවිතය බෙදාගන්නට තීරණය කලේ එකී නොගැලපීම් හමුවේ වුව හද පත්ලෙන් පිපී ආ ආදරය නිසාවෙනි.

මෙලොව තමන්ට එක්ව ජීවත් වන්නට වඩාත්ම අපහසු තමන්ට සර්වසම පුද්ගලයෙක් බව තේරුම් ගත් විට ජීවිතය වඩාත් පහසුය. මට ඇයගේ අපිලිවෙල හිසට කරදරයක් සේම මගේ අධික පිලිවෙල චරිත්‍රාටද කරදරයක් විය හැකි බව තේරුම්ගන්නට තරම් මිහික පරිණත ය.

විවාහයක වේවා ප්‍රේම සබඳතාවයක වේවා වඩාත්ම වැදගත් කරුණ වන්නේ එකිනෙකා දරාගැනීමයි, සමාව දීමයි, හිත නොරිදවීමයි.
ඉතාම ඉක්මනින් කෝප ගන්නා චරිත්‍රා සමග කෝප ගන්නට බොහෝ අවස්තා වුවද එකී හැම අවස්තාවක කුඩා කාලයේ දහම් පාසලේදී උගත් ඉවසීම පළිහක් කොට ගත්තේ පෙර කී දරාගැනිම සිහි තබා ගනිමිනි.

ඉතා ඉක්මනින් කලබලයට පත් වන, කෝපයට පත් වුවද චරිත්‍රා තමන්ට ඉතාම තදින් ආදරය කරන බව මිහික හොඳාකාරවම දනී. නොඑසේනම් තම සුබසෙත උදෙසා විවාපත් වී මසකටත් වඩා අඩු කලකදී සැමියාට වසර කිහිපයක් ව්‍යාපෘතියක් උදෙසා දුර රටකට යාම සිනා සී අවසර ලබා දෙන්නෙ කවුරුන්ද?
ආදරයේ සොඳුරුතම පලයන් බුදින්නටත්, එහි රසය සිත් සේ විඳින්නට ආදරය නැමති බීජයන් සිත නම් උයනේ තැන්පත් කල දින සිට එයට ඉවසීම නම් සිහිල් දියත්, තේරුම්ගැනීම නම් හිරු එළියත් දෙදෙනාටම නොහැකිනම් අඩුම තරමින් එක් අයෙකු හෝ නොඅඩුව ලබා දිය යුතු බව මිහික දැන් අත්දැකීමෙන් දනී.

දැන් තමන් විවාපත් වී වසරකට ආසන්න කාළයක් ගත වී ඇත. එකී මාස ගණනාවෙන් බොහෝ කලක් තමා වාසය කලේ ඈත රටක බව සැබෑවක් වුව සැබෑ ආදරයත්, පවිත්‍ර ප්‍රේමයකටත් දුර බාධාවක් බව මිහිකට නොසිතේ.

“වැද හමන මඳ පවන් විඳ
දිගු නෙරිය පට දෙපට කොට බලා
වට මට සිළිටි වටොර පිට තබා
රන් පෙඳක් සදිසි සුර සිරියාවි සොයා
ආවෙමි බොහෝ කල් ගෙවා
දුර නොදුර නොබලා නොඅසා මිහිරාවී”

සජිත ඇන්තනීගේ ගීතවත් කටහඬිනුත්, බුවී ගේ මනහර රුවිනුත් සොඳුරු වූ සිලිලාරේ ගීතයෙන් සජිත කියන්නේ එකී ආදරය කතාවම නොවේද?
තමා වෙනුවෙන් දුර නොදුර නොබලා නොඅසා මෙහි එන්නට ඉටා ගෙන සිටින මිහිරාවිය චරිත්‍රා ය. සජිත මෙන් ගී ගයන්නට නොහැක එනමුත් ආදරයේ අඩුවක් නැත.

ලබන සතියේ පමණ ලංකාවට යවන්නට නියමිත බඩු පාර්සලයේ අම්මාට, තාත්තාට සහ මල්ලීට ගත් දේ මෙන්ම චරිත්‍රාගේ මව් දෙමව්පියන්ට ද ගත් දේ අතර බොහෝ ඉඩක් වෙන්වූයේ චරිත්‍රා වෙනුවෙන් මිල දී ගත් තෑගි බෝග වලට ය.
අම්මලාට නම් චොකලට්, චීස්, ටින් කල පලතුරු ආදිය යැවීම ප්‍රමාණවත් වුවත් චරිත්‍රා සඳහා විශේෂයෙන්ම මිල දී ගත් දේවල් වූයේ ශිපින් කොස්ට් එක සමග ලංකාවට ගෙන්වා ගැනීමට අපහසුතා තිබූ රුව වඩවන ආලේපන සහ ශෙයින් සහ එහ් ඇන්ඩ් එම් වෙතින් මිල දී ගත් ඇඳුම් පැලඳුම් ආදියයි.

ක්‍රිස්ටියන් ඩියෝර් වෙතින් මිල දී ගත් සුවඳ විලවුන්, මැක් සහ ක්ලිනික් කොස්මෙටික්ස් ආදිය පිරවූ මල්ලක් මෙන්ම ශෙයින් සහ එච් ඇන්ඩ් එම් වෙතින් මිල දී ගන්නයැයි පවසා චරිත්‍රා එවූ ස්ක්‍රීන් ශොට් වල තිබූ ඇඳුම් පැලඳුම් රැසක්ද එහි අඩංගු වේ.

මේ තකහනියෙ ඔව්වා ලංකාවට යැව්වට යළි දිනෙක ඇය මෙහි පැමිනෙන විට මෙතෙක් කලක් යැවූ සියලු දේ නැවත මෙරටට ගෙන්වා ගැනීමට වෙනම ගුවන් යානයක් ගන්නට වේයැයි මිහික සිතන්නේ සිනාසෙමිනි.

කෙල්ලන් කොපමණ වයසට ගියද අන් සැමදේටම වඩා ආලේපය සහ ඇඳුම් පැළඳුම් කෙරේ ඉක්මනින් ආශක්ත වේ. එය වරදක් නොවේ. අනිත් අතට සැමියා හෝ පෙම්වතා දුරු රටක සිටින විට ඔය වැනි එක එක සුකුරුත්තම් ඉල්ලා සිටීම ඕනම ගැහැණියකගේ හැසීරීම නොවේද?
කෑම අවසන්ව පිඟන් ආදිය අස් පස් කරමින් කල්පනා කරන්නට මිහිකට ඕනෑ තරම් දේ ඇත.

ඒ සියලු සිතුවිලි වල කේන්ද්‍රය චරිත්‍රා ය.
එය අරුම පුදුම කාරණාවක් නොවේ. සැමියෙකුට තම බිරිඳව තරම් සිහි කරන්නට වෙනත් දෙයක් මෙලොව තියෙන්නට හැකිද?
අනෙක් අතට සැමියා බිරිඳ ලෙස දෙදෙනාටම යුතුකම් වගකීම් ඉටු කරන්නට තවමත් හරියාකාරව ඉඩක් නොලැබුණ බැවින් එකට එක්ව එක් වහළක් යට ගෙවන දිවිය ගැන කෙතරම් නම් දකින්නට සිහිනයන් තිබේද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles