ආදර සැලසුම් – 13

0
2349

මෞර්යා ලැප්ටොප් පරිගණකයට මුහුණ යොමා ගෙන ඇයට ලැබී තිබුණ ඊමේල් පරීක්ෂා කරමින් උන්නාය. නිර්මාණය කළ යුතු දෑ පිළිබඳව සම්පූර්ණ විස්තරය ඇයට ලැබෙන්නේ ඊමේල් හරහාය. එම නිසා ඕනෑම කටයුත්තකට ප්‍රථම ලැබෙන ඊමේල් හොඳින් කියවා එහි ඇති උපදෙස් සහ තොරතුරු අනුව අදාළ නිර්මාණය සිදු කළ යුතුය. තමාගේ රාජකාරිය දේව කාරිය කොට සලකන නිසා මෞර්යා උන්නේ වෙනම ලොවකය.

ආදිත්‍ය විදුලි සෝපානයෙන් පිටතට විත් කොරිඩෝව දිගේ පැමිණ නතර වූයේය. ඉන් අනතුරුව ඔහු දිගට පෙනෙන කාර්යාලය පුරා බැල්මක් හෙළුවේය. එහි එහා කෙළවරේ මෞර්යා යමක් වෙත අවධානයෙන් සිටින ආකාරය පෙනුණු අතර ඇය ආදිත්‍ය ගේ සේයාවක් වත් දුටුවේ නැත. තප්පර කිහිපයක් ඇය දෙස බලා සිට ආදිත්‍ය තම කාර්යාල කාමරයට පැමිණ අසුන් ගත්තේය.තවමත් මෙම ආයතනයෙහි අනෙක් ප්‍රධානියා තමා බව මෞර්යා දන්නේ නැත. දැන ගතහොත් ඇගේ ප්‍රතිචාරය කුමක් වනු ඇති දැයි ආදිත්‍ය කල්පනා කළේය.

” මෞර්යා , ඔයාට මිස්ටර් අභිමන් කතා කරනවා ” 

මෞර්යා කාර්යබහුල වී හුන් මොහොතක හදිසියේ පැමිණි නෙහාරා කීවාය.මෞර්යා මොහොතකට තමා කරමින් හුන් කාර්ය නතර කොට නෙහාරා දෙස බැලුවේ පුදුමයෙනි. 

” ඇයි දන්නෑ නේද ? ” 

” ඒකනම් දන්නෙ නැහැ. ගිහිල්ලම බලන්නකො”

මෞර්යා අසුනින් නැගී සිටියාය. අතින් හිසකෙස් සකස් කර ගනිමින් මෞර්යා හෙමින් සීරුවේ අභිමන්ගේ කාර්යාල කාමරය වෙතට පියවර තැබුවේ හිතේ චකිතයක් ඇතිවය.

” Excuse me ” 

මෞර්යා දොර විවෘත කරගෙන කාර්යාල කාමරයට ඇතුළු වූ අතර ඒ වනවිට අභිමන් සිටියේ යම් කාර්යයකය. ඔහු හිස ඔසවා මෞර්යා දෙස බලා සිනහවක් පා ඇයව පිළිගත්තේය.

” වාඩිවෙන්න මෞර්යා ” 

අභිමන් ඔහු ඉදිරිපස ඇති අසුන මෞර්යාට පෙන්වූ අතර මෞර්යා අභිමන් ඉදිරියෙන් අසුන් ගත්තේ පෙර තිබූ චකිතයෙන්මය.

” මොකද මේ බය වෙලා වගේ? ” 

” න්..නෑ මිස්ටර් අභිමන්.මට හදිසියේම එන්න කිව්වේ? ” 

අභිමන් සිනාසුනේය.ඒ සිනහවේ ඇත්තේ කුමක්දෝ හුරුපුරුදු බවකි. එහෙත් මෞර්යා ඒ පිළිබඳව සිතන්නට නැවතුනේ නැත.

” ආ. ඒකට බය වුණාද ? මං කතා කළේ ඔයාගේ වැඩ කොහොමද කියලා අහන්න ” 

” වරදක් නෑ මිස්ටර් අභිමන්.කරගෙන යනවා ” 

මෞර්යා පිළිතුරු දුන්නාය. අභිමන් කොහොමටත් සේවකයන් සමඟ ඉතා සමීපව කටයුතු කරන බව ඇය දුටුවේ කාර්යාලයට පැමිණි පලවන මොහොතේ සිටමය.මෙයද එවැනි අවස්ථාවක් විය හැකිය.

” ඔයාට දීපු පළවෙනි වැඩේම හිතුවටත් වැඩිය හොඳට ඔයා කළා කියලා මට මිස්ටර් හේමන්ත කිව්වා. මමත් ඒක බැලුවා ” 

අභිමන් කතාව නතර කළේය.මෞර්යා දීප්තිමත් දෑස් දල්වා බලා හිඳින්නීය. ඇය හැඳ සිටි කහ පැහැති බ්ලවුසය ඇගේ මුහුණේ එළිය තව තවත් වැඩි කරන බව අභිමන්ට සිතුනේය. මෞර්යා බලා සිටියේ අභිමන් තවත් යමක් කියන තුරුය.

” මේ. මං කිය කිය හිටියේ මෞර්යා.. මං සාමාන්‍යයෙන් කෙනෙක් අලුතෙන් වැඩට ආවම එයාගේ වැඩ කොහොමද කියලා පළවෙනි දවස් ටිකේදි observe කරනවා. හැබැයි ඉතින් ඔයා ගැන නං මට එහෙම observe කරන්න දෙයක් නෑ කියලයි මට හිතෙන්නේ. ” 

මෞර්යා මදහසක් පෑවාය. ඒ , කිව යුතු වන්නේ මොනවා දැයි සිතා ගත නොහැකි නිසාය.

” එහෙනම් මෞර්යා වැඩ ටික කර ගෙන යන්නකෝ. අනිත් එක , HR එකට ගිහිල්ලා ඔයාගේ පර්සනල් ඩීටේල්ස් ෆයිල් එක හදන්න ඕන කරන information ටිකත් දෙන්න “

මෞර්යා කාර්යාල කාමරයෙන් පිට වූවාය.අභිමන් තප්පර කිහිපයක් ඇය පිටව යන දෙස ඇසිපිය නොහෙලා බලා සිටියේය. මෞර්යා සියුමැලිය.මෘදුය. ඒ මෘදු බව අභිබවමින් ඇය තුළ කුමක්දෝ ශක්තිමත් බවක්ද පෙනෙන්නේය. ඊටත් වඩා ඇය දක්ෂය.නිර්මාණශීලීය. ඒ සියල්ලටම වඩා ඇය තුළ මේ යැයි කිව නොහැකි තරමේ සුවිශේෂීත්වයක් ඇතැයි අභිමන්ට සිතුනි.

ආදිත්‍ය නෙහාරා සමග කාර්යාල කාමරයේ සිට පිටතට පැමිණියේ සේවා දායකයකු සමඟ සූදානම් කර තිබුණු රැස්වීමකට සහභාගී වීමට කාර්යාලයෙන් පිටතට යාමට ඇති නිසාය.බොහෝවිට මෙවැනි රැස්වීම් සඳහා ආයතනය නියෝජනය කරනු ලබන්නේ ආදිත්‍ය විසින් වන අතර නෙහාරාද ඔහුගේ සහායට යන්නීය.

කාර්යාල කාමරයෙන් පිටතට පැමිණි ආදිත්‍ය මෞර්යා සාමාන්‍යයෙන් වැඩ කරන ස්ථානය දෙස බැලුවද ඒ මොහොතේ ඇය එතන සිටියේ නැත. නෙහාරා රැස්වීමට යාමට සූදානම්ව ආදිත්‍ය කරා පැමිණියේ ඒ මොහොතේය.

” අතන වැඩ කරන ගර්ල් කොහෙද ? ” 

ආදිත්‍ය අත දිගු කර පෙන්වූ ස්ථානය දෙස නෙහාරා හැරී බැලුවාය.

” ආ. එයාව HR එකට යැව්වා මිස්ටර් ආදිත්‍යය. Personal file එකට ඩීටේල්ස් ගන්න ” 

ආදිත්‍ය කොරිඩෝව දිගේ පැමිණ නෙහාරා සමග විදුලි සෝපානයට ගොඩ වූයේය. ඒ කොරිඩෝවම පසු කරගෙන මෞර්යා ඇගේ ආසනයට ගොස් වාඩි වූයේද ඒ මොහොතේමය.  ආදිත්‍යය නෙහාරා සමග පැමිණ වාහනයට ගොඩ වූයේ හිස් හැඟීමෙනි. ජීවිතයේ තමා පැතූ සියල්ලම ඉතාම තරුණ වයසින් තමාට හිමි වූවත් හිතේ සැනසීම පමණක් තමාට අහිමි වී ඇත. අඩුම තරමේ වැඩ අවසන් වී නිවසට යන විට දැනිය යුතු නිවසක හැඟීමවත් තමාට දැන් දැනෙන්නේ නැත. විටෙක මව වෙත ගොස් ඇගේ උකුලෙහි හිස හොවාගෙන සියල්ලම ඇය වෙත කියා හිත නිදහස් කර ගැනීමට ආදිත්‍යයට සිතෙයි.එහෙත් ඉන්පසුව නැති වන්නේ ඇගේ හිතේ නිදහසය. ඒ නිසා තමාට එසේ කිරීමද කළ නොහැක. 

ආදිත්‍ය වාහනය Grand monarch හෝටලය වෙත පැද වූයේ කල්පනා බරවය. වෙනදා මෙවැනි රැස්වීම් වලට යන අතරමගදී ඒ පිළිබඳව කතා කරන්නට බොහෝ දෑ ආදිත්‍ය හට ඇත.ඔහු රැස්වීමකට සහභාගී වන්නේ ඉතා හොඳ පෙර සූදානමක් සහිතවය.එහෙත් අද අඩුම තරමේ ඔහු ඒ රැස්වීමට අදාල ලිපි ගොණුව සූදානම් ද කියා වත් නෙහාරා ගෙන් ඇසුවේ නැත.

මෞර්යා තමාට අදාළ රාජකාරිය නිමා කොට දහවල් ආහාරය ගැනීම සඳහා අසුනින් නැගිටින විට වේලාව දහවල් දෙක පසු වී තිබිනි.කාර්යාල සඟයන් සමඟ දහවල් ආහාරය ගැනීම මෞර්යා කාරුණිකව ප්‍රතික්ෂේප කළේ තමා නිරත වී හුන් කාර්ය මඟදී නතර කිරීමට අකමැති වූ නිසාය. නිල්මිණි විසින් සකස් කර දුන් බත් පත ද රැගෙන මෞර්යා කෑම කාමරය වෙත පියමැන්නාය. සාමාන්‍යයෙන් ඒ වෙලාව වන විට සියලු සේවකයන් දහවල් ආහාරය ගෙන අවසන් නිසා තමාට නිදහසේ ආහාර ගැනීමට හැකි වනු ඇතැයි සිතමින් මෞර්යා කෑම කාමරයේ දොර විවෘත කළාය.

කෑම කාමරයේ ඇති දිගු මේසයේ කෙළවරක හිඳ ආහාර ගනිමින් සිටියේ අභිමන්ය. ඔහු එක් අතකින් බත් අනමින් අනෙක් අතින් ජංගම දුරකථනය එහා මෙහා කරමින් උන්නේය. ඔහු සිටින නිසා මෞර්යා සූදානම් වූයේ නැවත හැරී ගොස් මද වේලාවකින් පැමිණෙන්නටය.

” මෞර්යා ” 

මෞර්යා හැරී යන්නට සූදානම් වන විටම අභිමන් ඇයව දුටුවේය. මෞර්යා ඔහුගේ හඬ ඇසී නතර වූ අතර අභිමන් ජංගම දුරකථනය මේසය මතින් තැබුවේය.

” කොහෙද යන්නේ? ලන්ච් ගන්න නේද ආවේ?”

” මේ. මං තව ටිකකින් එන්නම් මිස්ටර් අභිමන්”

මෞර්යා පිළිතුරු දුන්නේ තමන් අතින් වරදක් සිදු වූ ආකාරයටය.

” තව ටිකකින් කොහෙට කන්නද? ඊළඟට තියෙන්නේ ටී ටයිම් එක. මෙන්න මෙතනට ඇවිල්ලා වාඩි වෙලා කන්න මෞර්යා “

අභිමන්ගේ කීමට අවනත වනු හැරෙන්නට මෞර්යාට කළ හැකි වෙන යමක් තිබුණේ නැත. ඇය සෙමෙන් සෙමෙන් පියවර තබමින් අභිමන්ට එහා පසින් වූ අසුනෙන් අසුන් ගෙන බත් පත දිගහැරියාය.

” අම්මෝ සුවඳ ” 

අභිමන්ට කියවිණි. සම්බා හාලේ බතට, පරිප්පු ව්‍යංජනයකුත් , හාල්මැස්සන් බැඳුමකුත් ,තෙම්පරාදු කරන ලද පොල් සම්බෝලයක් සහ බිත්තරයක් නිල්මිණී විසින් සකස් කරන ලද බත් පතෙහි තිබුණි. 

” අම්මද කෑම උයන්නේ ? ” 

අභිමන් ඇසුවේය.මෞර්යා මදහසක් පා හිස සැලුවේ ” ඔව් ” කියන්නටය.

” අම්මලාගේ කෑම කොහොමත් සුවඳයි. රසයි”

අභිමන් කීවේ ආසාවෙනි. ඒ අතරේ මෞර්යා නිහඬව කෑම ගැනීම ආරම්භ කළාය. නමුත් අභිමන් අසල සිටීම ඇයට ගෙන ආවේ තරමක අපහසුවකි.එහෙත් මේ මොහොතේ තමාට කළ හැකි දෙයක් නැත.

” ඔයා family එකේ only child ද මෞර්යා ?” 

අභිමන් ආහාර ගැනීම නවතා එකවරම ඇසුවේ බලාපොරොත්තු නොවූ පැනයකි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here