“දැන් ඔයා ගියේ ආයෙ ගෙදර එන්න හිතන් නෙවෙයිද? එහෙම නැත්තම් ඔයා ඔය වගේ දේවල් කරාට පස්සෙ මම වෙනස් වෙයි, වෙනස් වෙලා ඔයා බලාපොරොත්තු වෙනවා වගේ ගෙවලයෙක් වෙයි කියලා හිතලා මට පාඩම්ක් උගන්නන්නද?” කියා මලිත් කතාකරේ ජාන්වි ගෙදර ඇවිත් තුන්වෙනි දවසෙ වගේය. තමන් මලිත් සහ තමන්ගේ අපාට්මන්ට් එකෙන් පිට වී ආවේ මහ වැසි ඇති රෑක උනත් අඩුම ගාණේ කසාද ගෑනි පරිස්සමෙන් ගියාද කියලා බලන්නවත් කතා නොකල මිනිහා අද මෙසේ කතාකරද්දී හිතේ එක පැත්තකින් මහා ගින්නක් නැගී එනවා පෙනුණද අනෙක් අතින් මලිත්ගේ හිත රිදෙන්න දෙයක් කියන්න හයියක් ජාන්විට තිබ්බේ නැත.
“පාඩම් උගන්නනවා නම් මං මේ ඔයා එක්ක රණ්ඩු වෙලා ගෙදර ආව හැටියට ඔයා මේ වෙද්දි උපාධියක් අරන් තියෙන්න ඕන” කියා කටෙන් පිටවුණා මිසක හිතලා පිටකරේ නැති විත්තිය ජාන්විට මතක් උනෙත් ඒ වචන කියවුනයින් පස්සේය.
“ඔයාට එන්න කියලා කියන්න නෙවෙයි මම කතාකරේ ජාන්වි. හැබැයි දැන් අවුරුද්දක් විතර මාත් එක්ක එක ගෙදර උන්න, එක ඇඳේ නිදාගත්ත ගෑනි හන්දා මම මගේ මනුස්සකමට හොයල බලන්න ඕන හන්දා කතා කරේ. I may not be a good partner but I am good person ජාන්වි. ඒක ඔය හොඳටම දන්නවා නේ? ඒ නිසා ආයෙ එනවා නම් එන්න හැබැයි මං ඇවිල්ලා කකුල් දෙක ළඟ වැඳ වැටිලා එන්න කියලා අඬාවි කියලා නම් හිතන්න එපා. මොකද මං ප්‍රශ්න විසඳගන්නෙ එච්චර පීචං ලෙවල් එකකින් නෙවෙයි” කියා මලිත් කියද්දීත් මලිත් මේක විසඳගන්න යන්නෙ කොහොමද කියන දේට කිසිම අදහසක් නැති උනත් ජාන්වි කෝල් එක කට් කරාය. මේ කතන්දර අහන තරමට වෙන්නේ හිත ඔද්දල් වෙන එකය. හිත ඔද්දල් වෙන තරමට වෙන්නේ ඇස්වලින් කඳුලු වැක්කෙරෙන එකය.
මලිත් කොහොමත් ඉස්සර සිටම කරේ බණින්නේ නැතුව වචන වලින් රිද්දන්න පුලුවන් උපරිම තරමටම එහෙම කරන එකය. දුරකථනය ඇඳ මතට විසික් කර දැමූ ජාන්වි ඇඳට වැටී දෙනෙත් පියාගත්තේ ඊලඟට කරන්න ඕන මොකද්ද කියා හිතාගන්න බැරුවය. තමන්ගේ මුළු ජීවිතයම මෙහෙම කෙනෙකුට කැපකිරීමට තරම් තමන් මෝඩ වූයේ ඇයිදැයි ජාන්වි උන්නේ හිතාගන්න බැරුවය. මේ කතාව අද ඊයේ පටන් ගත්තක් නොවේ. මලිත් එක්ක ප්‍රේම සම්බන්ධය පටන් ගත්ත මුල් කාලයේදී පවා ඔහු මෙයාකාරයෙන්ම හැසිරුණ බවත් එහෙත් ඒ කාලයේ තමන් එය දැක්කේ ආදරයේ අලුත්ම පාටක් විදියට බව ජාන්විට තාම මතකය.
“නාද රටා” සංගීත උලෙල සූදානම් කර තිබුනේ විශ්ව විද්‍යාලයේ කලා අනු කමිටුව විසිනි. විශ්ව විද්‍යාලයේ මැනේජ්මන්ට් ෆැකල්ටියේ කෙල්ලන් වෙච්ච තමන්ට සහ තමන්ගේ මිතුරියන්ට පවා එයට සහභාගි වන්නට කිසිත් බාධාවක් තිබුනේ නැත. නාද රටා සංගීත උළෙල ඇරඹුනේ පළවෙනි දවසේ ගීත ලිවීමේ හැකියාව සහ වාදනයට හැකියාව ඇති අය වෙනුවෙන්, ඒ වෙනුවෙන් ආරාධනා කර විශේෂ පුද්ගල කමිටුවක්ද සමගිනි.
නාද රටා වැඩසටහනේ දෙවන සහ තුන්වෙනි අදියර වෙනුවෙන් විශේෂ අමුත්තෙකු වී ආවේ මලිත් මංචනායකය. ජාන්වී ඇතුලු පිරිස එනිසාම සැදී පැහැදී උන්නේ ඒ දවස් දෙකේ වැඩසටහනට යනු පිණිසය.
බොත්තම් දෙක තුනක් ඇර දැමූ කමිසය අස්සෙන් පේන රෝම පිරුණු පපුවද, මදක් කපා අලුත්ම ස්ටයිල් එකකට සකසා තිබුණ ඇහි බැමද, මූණ පුරා රිචඩ් ද සොයිසා වගේ වවා තිබුණ රැවුලද, ඒ සියල්ල පරදා දෙනෙත් ඔස්සේ විහිදන්නට වූ ප්‍රේමණීය හැඟුමන්ද තමන්ව නාද රටා උලෙල වෙලාවේ සහමුලින්ම ඔහු වෙතටම ඇද බැඳ තබාගන්නට හේතු වුණ බව ජාන්වි ට තාම මතකය.
“අරූ නම් පුතේ උඹ දිහාමයි බලාගෙන ඉන්නෙ” කියා යෙහෙලියන් සිනාවෙමින් කියද්දිත් ජාන්වි කරේ හිනාවෙන එකය.
“මිනිහගෙ සින්ගින් වගේමයි හැබැයි ලුක්ස් එහෙමත්”
“ලුක්ස් නම් ඕල්ඩ් වෙද්දි යනවා හැබැයි” කියා කට්ටිය කතාවෙද්දිත් කොහොමත් සමනල් වයසේ දඟකාරියක වුණු තමා ඒ සියල්ල භාරගත්තේ සරලව, සැහැල්ලුවෙන් ය.
“කතා කරද්දි නම් කටහඬ හරි ලස්සනයි, බැරිද සින්දුවක් එහෙම කියලා පෙන්නන්න?” කියමින් අති සුන්දර හිනාවක් එක්ක තමන්ට ළං වුන මලිත් මංචනායකගේ නෙත් සරින් මිදෙන්න ඒ වෙලාවේ තමන්ට නොහැකි වූ බව ජාන්විට මතකය.
ආදරයේ නිදහස යනු සීමාවන් බිඳ දමමින් සාම්ප්‍රදායික දම්වැල්වලින් මිදී, ආත්ම දෙකකට තම සත්‍ය ස්වරූපයෙන්ම එකිනෙකාට සමීප වීමට අවකාශය ලබා දෙන්නක් බවට ලියු මිනිසාගේ ඕනවටත් වඩා නිදහස් වූද නිවහල් වූද ආදර කතාව අද්දර තමන් තටු පිච්චුන මෙරුවක් මෙන් ආදරයේ ගින්දරෙන් දැවුන බව ජාන්වි මෙනෙහි කලේ මේ මොහොතේදීමය.
“දැන් මොකද්ද ඔය ළමයා කරන්න හිතාගෙන ඉන්නේ?” කියා අම්මා තේ කෝප්පෙකුත් අතේ තියාගෙන කාමරයට ආවයින් ජාන්වි අතීතය අස්සේ සැරිසරමින් උන් ගමන නතර කර වර්තමානයට ආවාය.
“හ්ම්ම්ම්” කියා කිව්වේද ඉන් එහා කියන්න දෙයක් නැති හන්දාය.
“බකමූණෙක් වගේ හ්ම් කියලා හරියන්නෙ නෑනෙ ජාන්වි. පොඩි ළමයි නෙවේනෙ ඔයාලා. කසාද බන්දලා දුන්නට පස්සෙ අපි හිතුවෙ ඒ කරදර එතනින් ඉවරයි කියලා. අන්තිමේ වියදම් කරලා උගන්නලා, කසාදත් බන්දලා දුන්නයින් පස්සේ ආයෙම මේ ඔයාලා ප්‍රශ්න දාගෙන ආව කියලා අපි පළිද?
අනික මේ මෙහෙම කසාද බන්දල දුන්න කෙල්ලෙක් ආයෙ ආයෙ නිතර නිතර ගෙවල් අස්සෙ තනිපංගලමෙ රිංගන්න තියාගත්තම ගමේ මිනිස්සු මොනා කියාවිද? අපි කරලා දුන්න ඒව නෙවිනෙ ළමයො ඔයාලාම කරගන්න ඕන කියලා මෙතන කරගත්ත ඒවනෙ. එහෙම එකේ එන ප්‍රශ්නත් ඔයාලා විසඳගන්න.
අනික කසාද බැඳපු මුල් කාලේ ගෑනු මිනිස්සු රණ්ඩු වෙනවා. මුල් අවුරුදු දෙකේ ඕවා සාමාන්‍යයයි. එහෙම එකේ මේ මනුස්සයගෙ කටෙන් වචනයක් දෙකක් පිටවුනා කියල ඔහොම ගෑනු කඬන් බිඳන් තමන්ගෙ ගෙවල්වල යනවනම් මෙලහකට මේ කසාද බැන්ද ගෑනු කී දෙනෙක්නම් කසාද කඩාගෙන තියෙන්න ඕන ද?” කියාගෙනම අම්මා තේ කෝප්පෙ කණ්ණාඩි මේසෙ උඩ තබා යද්දී පවා ජාන්වි උන්නේ දෙන්න ඕන උත්තරේ මොකද්ද කියා හිත අස්සෙන් අහන ගමන් ය.
“මට මේ මෙච්චර දුක් විඳින්න පලදෙන්නෙ කාට දුන්න ගින්දරක්ද?” කියා හිතද්දීත් ජාන්විට මතක් උනේ මලිත් එක්ක යාලු වී විශ්ව විද්‍යාලයේ යන කාලයේ අනන්ත දුක් විඳිද්දී පාසලේත් විශ්ව විද්‍යාලයේත් තමන් එක්ක එකටම උන්නු යෙහෙලිය පාරි කිව්ව දේය.
“අනේ කෙල්ලේ, ඔය රැඩිකල් ලව් කියලා කියන ඒවා සින්දුවල අහද්දියි, කවි පොත්වල ලියලා තියෙනවා දකිද්දියි හරිම ලස්සනට පේනවා උනාට ඒවා ඇත්ත ජීවිතේට ආවම ඔය කියන තරම් ලස්සනක් ඒවයි නෑ බං. ඒවා මේ පොත්වල, චිත්‍රපටිවල කියනවා තරං ලස්සන නෑ කරද්දි. ඔය ආදරේ කියන්නෙ නිදහස දෙනවා කියලා කට්ටිය කිව්වට අපි හැදුනෙ එහෙම සමාජෙක නෙවෙයිනෙ බං. ඒවා හොඳ ඇති ඔය යුරෝපියන් කන්ට්‍රි වල හැදිච්ච මිනිස්සුන්ට. ඒ වුනාට අපි හිතන්නෙ පතන්නෙ වෙන විදිහකට. කොච්චර ලව් කරන කාලේ මොන සුරංගනා කතා කිව්වත් කසාද බැන්දට පස්සෙ හැම ගෑනිටම ඕන වෙන්නෙ එකම ජාතියේ සිරිමත් මිනිහෙක්.
එහෙමත් සිරිමත් ලා ඇත්තටම හොයාගන්න අමාරු හන්දා ඒ ලඟින්වත් යන එකෙක්ව බැඳගන්න තමා අපි බලන්නෙ. ඒක උඹට උනත් මට උනත් එච්චරයි. ඔය කියන නිදහස ඇතුළේ තනිවෙන්න, තව කෙනෙක්ගේ නිදහස දරාගන්න, අපි වගේ සාම්ප්‍රදායික විදියට කසාද බැඳලා ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න හිතාගෙන ඉන්න අයට ඇත්තටම දරාගන්න අමාරුයි.
හැමදේම ලස්සනට පේන කාලයක් තියෙනවා තමයි. අලුත් දේවල් අත්හදා බලන්න හිතෙනවා. ඒත් මේ හැම අත්හදා බැලීමක්ම ජීවිතේට එකතු කරගන්න බෑ. ඔයා හිතනවා ඇති මේක තව එක සම්බන්ධයක් විතරයි කියලා. ඔය මලිත් කියන කෙනාව, අනිත් අය වගේ ලේසියෙන් අතඇරලා දාන්න බැරි වෙයි. ඔයා ඒක තේරුම් ගනිද්දි සමහරවිට ගොඩක් පරක්කු වෙලා තියෙන්නෙත් පුලුවන්” කියා පාරි කිව්ව දේ ඉන් වසර කීපකයට පස්සේ ඇත්ත වී තිබෙන බව ජාන්වි කල්පනා කරේ තේකට ඇල් වෙන්නට දී ය.