සන්තාන සුසුම් සර – 18

0
6573

චේතිය සූරියබණ්ඩාර නො සන්සුන් සිතක් දරාගත් සන්සුන් ඉරියව් සහිත පිරිමියෙකු ලෙස පෙනී සිටියේ ය. ඔහු ඒ මේ අත සක්මන් කළේ සිය නො සන්සුන් සිත සන්සුන් කරගන්නටයි. නිලූකා හැසිරෙන්නේ උමතුවෙන් මෙනි. ඒ ඇයගේ ස්වභාවය බව චේතිය දනී. කුඩා දෙයටත් කලබල වී කෙන්ද කන්ද කරගැනීම ඇගේ සිරිතයි. නමුත් ඒ බිල්පත සොයාගැනීමෙන් පසු ඇය මුළුමනින් පිස්සියක වී තිබේ. කොණ්ඩය අවුල් කරගෙන, ඒ මේ අත දුවමින, ගිරිය යටින් කෑ ගසමින ඇය හැසිරෙන්නේ එවැන්නක් දරාගත නො හැකිව ය.

සැබැවින් බිරිඳකට සැමියෙකු ගේ එවන් රහසක් දරාගත නො හැකි බැව් චේතිය නො දන්නවා නොවේ. විශේෂයෙන් ම ඇය පතිවෘත්තාව නො කෙළෙසූ බිරිඳකි. සාමාන්‍ය පැවැත්මේ දුර්වලතා මිස ඈ එහෙම වැරදි කළ ගැහැනියක නොවේ. නිවුණු පුරුෂයෙකු වන සිය සැමියාගෙන් ඈ මෙවැන්නක් සිහිනයෙන් වුව බලාපොරොත්තු වූයේ ද නැත.

ඔහු ඒ මුද්ද මිල දී ගත් බැව් සැබවි. නමුත් එය මේ විදිහට නිලූකා අතට හසු වෙතැයි ඔහු සිතුවේ නැත. එය සැඟවූයේ මුදල් පසුම්බියේ රහස් සාක්කුවක බවත් හොඳට ම විශ්වාස ය. ඇය ඒ තරම් රහසිගත තැන් අවුස්සා බලතැයි ඔහු සිතුවේ නැත. නමුත් නිලූකා චේතිය ට නො දැනෙන්නට ඉඳහිට ඔහු ගේ මුදල් පසුම්බිය අවුස්සන්නී ය. රහස් සාක්කු විමසා බලා, සැඟවූ මුදල් තිබේදැයි සොයන්නී ය. ගෙදර විය හියදම් වෙනුවෙන් ම ඉඳහිට පසුම්බියෙන් මුදලක් සොරකම් කරන්නී ය. නමුත් එය පව් සිදුවෙන සොරකමක් ලෙස අය නො සිතයි.

‘මගෙ හොර වැඩකට නෙවෙයිනෙ. ගෙදර සුමේ  කරන්නම තමයි. දෙන සොච්චමෙං ඔක්කෝම කරගන්න මට නටන්න වෙන දහ අට වන්නම මමනෙ දන්නෙ. ඒක නිසා ඕක හොරකමක් නෙවෙයි’

කියා ඇය ඇගේ හිත රවටාගනී. නැතහොත් සනසාගනී. වසර විසි පහක් පිරීගෙන එන සිය යුග දිවියෙහි කවදාකවත් නිලූකා ට චේතිය ගේ හොරයක් හසු වී නැත. ඔහු ගැන සැකයක් හිතී නැත. ඔහු වරදේ බැඳෙනු ඇතැයි ඇය හීනයෙන්වත් සිතා නැත. එබැවින් මේ ඇයට උමතු වෙන්නට හේතුවකි. පිස්සු වැටෙන්නට කාරණයකි. වැලහින්නක සේ හඬා වැටෙන්නට නිමිත්තකි. යක්ෂණියක සේ ආවේශ වන්නට වරදකි.

‘මං මෙයාව බැඳල අවුරුදු විසි හතරක් මල්ලි. මෙච්චර කාලෙකටත් ඔය රස්සාවමනෙ කළේ. ඔය ඔෆිස් එකටමනෙ ගියේ. හැබැයි කවදාවත් මෙයාගෙ පර්ස් ඇතුළෙං මේ වගේ  හොර වැඩක් එළියට ඇවිත් නෑ’

නිලූකා අස්විද ඉදිරියේ ගතු කීවා ය. ඒ මොහොතේ ඇයට ඔහු පෙනුණේ විනිශ්චයකාරයෙකු වශයෙන් ද ශක්‍ර දේවේන්ද්‍රයෙකු වශයෙන් ද කියා වුව ඇය දන්නේ නැත. ‘ඒ කියන්නෙ නිතරම හොරෙං පර්ස් එකට බැහැල තියනව’ යනුවෙන් හිතේ උපන් සිතිවිල්ල අස්විද පිටතට දැමුවේ නැත.

‘මෙයා හොඳ නිදහසට කාරණයක් කියනව මල්ලි. මෙයා ඒ මුද්ද ගත්තෙ ඔෆිස් එකෙන් අස් වුණ ගෑනු ළමයෙක්ට දෙන්නලු. කට්ටිය සල්ලි එකතු කරලලු ගත්තෙ. බිල මෙයා පර්ස් එකේ දාගත්තලු’

‘එහෙම තමයි ඕයි වුණේ. යකෝ මේක ඉවරයක් නෑනෙ. මේ ගෑනි මං කියන දේ පිළිගන්නැතුව ඒ ගෑනිගෙ හිතේ තියන දේ මං ලවා පිළිගන්නවන්න හදනවනෙ’

එතෙක් ඉවසීමෙන් බලා උන් චේතිය, තුසිතය දෙවනත් වන සේ හඬ නැගුවේ නිලූකා ඒ මුද්ද අල්වාගෙන ඉන්නා කොන ගැන ඉවක් දැනුණ නිසාවෙනි. ඇය හැම චෝදනාවක් ම කළේ ගෙදර නැවතී ඉන්නා ගෑනු ළමයා කෙරේ සැකය එල්ල වන සේ ය.

‘මේ හදිස්සියෙ ඔෆිස් එකෙන් යන කෙනෙක්ට මුද්දක් ගත්ත නෙවෙයි මල්ලි. එහෙනං ඔය රිසිට් එක ඔච්චර හොර සාක්කුවක් අස්සෙ හංගන්න ඕන නෑනෙ. එළිපිට තියන්න තිබුණනෙ’

‘ඕයි. ඕක එහෙ මෙහෙ වෙයි කියල නවල අස්සකින් ගැහුවෙ. මේ ගෑනිගෙ කැත හිත. ගෑනියෙක්ට දෙන්න නෙවෙයි ඕක ගත්තෙ. පොඩි කෙල්ලෙක්ට දෙන්න. මගෙ දුවෙක් වගේ පොඩි කෙල්ලෙක්’

‘ආ… ඔය එළි වෙන්නෙ. හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට කිව්වලු. විශ්වාස කරන්නම බැරි ඇටෙං පොත්තෙං එළියට එන පැඟිරිච්චියො තමයි’

නිලූකා එසේ කීවේ ද යසස්වි දෙස බලාගෙන ය. යසස්වි ට වුව ඒ බැව් නො දැනුණා නොවේ. නිලූකා සිටින්නේ පොට පටලගෙන බව ඇයට ඉර හඳ වාගේ විශ්වාස ය. සිදු වී ඇත්තේ කුමක් වී ද දැන් ඇය සිතන්නේ චේතිය ඒ මුද්ද යසස්වි ට දී ඇතිවා කියා ය. යසස්වි ගේ හිත සිනහ වෙයි. මේ ඉර හඳ යට කිසි දාක එවැන්නක් නොවූ නිසාවෙන්, මුල දී කලබල වී තිබි හිත ඇය සන්සුන් කරගත්තා ය. නිලූකා ට හොඳ දෙකක් කියමියි මුලින් උපන් සිතිවිල්ල වසාගෙන ඈ ගැන අනුකම්පාවක් ද නැගී ආවේ ය.

‘කෙල්ලො වුණාම දැනගන්න ඕනෙ තමුන්ගෙ වයසට ගැලපෙන මිනිහෙක්ව හොයාගන්න. මේ ඉහ නිකට පැහිච්ච එවුංගෙ ඇඟේ එල්ලෙන්න හුරතල් වෙන්න හදන්නැතුව’

නිලූකා ඒ කීවේ ම යසස්වි ට වැදෙන්නටයි. එපා කියත්දීත් ඇය අස්විද සමගින් රිය පුහුණු වෙන්නට යාම ද ඇගේ කෝපය තීව්‍ර කරවා තිබිණ.

‘යකෝ මුන්ට කවුරු වුණත් කමක් නෑනෙ. අපේ මිනිස්සුත් ඉතිං කෙල්ලෙක් ඇදල පැදල කතා කළාම පඬුපුල් ආසනේ උනු කරගෙන ශුගර් ඩැඩීල වෙන්න යනව. මුන්ට ගහන්නෝනෙ පොල් පිත්තක් අරං’

එතෙක්  නිහඬ ව උන් අස්විද සිනහවක් නගාගත්තේ ය.

‘මොනාද හලෝ ඔය කියවන්නෙ… දෙයක් වුණානං ඉවසීමෙං මොකද්ද වුණේ කියල හොයල බලන්නැතුව… හැම පැත්තකටම වදින්න පොලු විසිකරල හරියනවද…’

‘කියල වැඩක් නෑ චූටි පුතා. මොනාහරි කිව්වොත් අපේ එක්කෙනාගෙ පැත්ත ගන්නව කියල දොස් අහගන්න වෙන නිසයි මාත් මේ සද්ද නැතුව හිටියෙ’

එවර වජිරා ද සිය අදහස ඉදිරිපත් කළා ය. එයින් සිදු වූයේ නිලූකා යළිත් දුම්මල වරම අතට ගන්නා එකයි.

‘ආ… අම්මල  ඔක්කොම දැං ඔය එයාව සුද්ද කරන්නෙ හොයල බලලද… අන්තිමට එයා හරි. මේ මමයි වැරදි’

කියමින් නිලූකා ගස්සාගෙන ගෙතුළට ගියා ය. ඇගේ වැළපුම් හා බැණ අඬගැසීම් වරින් වර උස් පහත් වෙමින් ඇසිණ.

තුසිතය ශෝකී අඳුරක ගිලී ගියා සේ ය. ඒ විදිහේ ආරවුලක් කිසි දාක එහි සිදු වී ඇති බවට මතකයක් හෝ නොමැත. වජිරා කණගාටු වූයේ ඒ ගැනයි.

‘අහල පහළටත් ඇහෙන්න ඇති. මිනිස්සු මොනා හිතුවද මන්ද’

හවසට තේ හදා චේතිය ඇතුළු පහත මහලේ අයට බෙදා දී, ඔවුන් ගේ තේ තුනත් සමග මතු මහළට පැමිණි වජිරා කම්පා වූවා ය.

‘ඕව එච්චර හිතන්න ඕන නෑ වජිරා. ගෙවල් වල ප්‍රශ්න ඇති වෙනව… ඒ ප්‍රශ්න විසඳෙනව… කෑ කෝ ගහගන්නව. ඕව හරි සොබාවිකයි. අපිට මෙහෙම දෙයක් ටිකක් ආගන්තුකයි තමයි. ඒත් අපිත් ඉතිං මිනිස්සුනෙ. දෙවි දේවතාවො නෙවෙයිනෙ…’

විජිත ඈ සනසවන බස් දොඩන අතරේ අස්විද ද තේ  එකත් ගෙන මතු මහළට පිවිසියේ ය. ඔහු ගේ මුහුණ මත සරැලි නගනා දඟකාර සිනහවක් යසස්වී හැඳිනගත්තා ය.

‘තව පොඩ්ඩෙන් එක්කෙනෙක් බැනුං අහගන්නව කොහොමද දන්නවද… නිලූකා කොණ්ඩෙන් ඇදල අරං පාර දෙක තුනක් දෙන්න වුණත් තිබුණ…’

ඒ සිනහවෙන් ම හෙතෙම අසුන්ගත වූයේ ය.

‘අර අපිට දාන කට ඒ වෙලාවෙ කොහෙ තිබුණද මන්ද… මං එහෙමනං අත දිගඇරල දෙකක් නිලූකාට දීල’

‘ඔය මටද කියන්නෙ…’

යසස්වි එසේ විමසුවේ අවිනිශ්චිත බව මුසු වූ ලා සිනහවක් එක්ක ය.

‘මාත් බය වුණා නිලූකා මේ මොන හරුපයක් කියනවද කියල. එයා මේ ළමය දිහා බල බල තමයි අර නොහොබිනා කතා ටික කිව්වෙ’

‘මාත් බැලුව ආන්ටි ඇයි එයා එහෙම හැසිරෙන්නෙ කියල. ඒත් ඉක්මනට මං තේරුං ගත්ත. මගෙ සබ්ජෙක්ට් එක සයිකොලොජි නිසාම මේ වගේ ප්‍රශ්නෙකදි කේන්ති ගන්න හොඳ නෑ කියල දැන් දන්නව. ඉස්සර වගේනං කන් වල ඇඟිලි ගහගන්න මාත් බණියි තමයි’

‘එලෝ මෙලෝ බැලිල්ලක් නෑ. කටට ආවට කියෝනව. තමුංගෙ පවුලෙ ප්‍රශ්නයක්නං එ්ක දෙන්න දෙමහල්ලො කතා කරල හෙමින් සීරුවෙ විසඳගන්න ඕනෙ. වලිගෙ පාගගෙන දඟලන්නැතුව’

‘එක අතකට පව් අප්ප ගෑනු’

සුසුමක කෙළවර යසස්වී ට එහෙම කියවිණ. අස්විද වහා හිස හරවා ඇදෙස බැලුවේ ය. ඒ පියුම් පෙති දෑස් මත සනිටුහන් ව තිබුණේ සැබෑ අනුකම්පාවකි.

‘මං නිලූකා අක්ක එක්ක හෙමිහිට කතාකරන්නං’

‘ලොකු පුතා බොරු කියනව කියල මං හිතන්නෑ. ඒ කොල්ල එහෙම ගෑනු පස්සෙ යන එකෙක් නෙවෙයි’

වජිරා ගේ ස්වරයේ වේදනාවක් තැවරී තිබිණ. යසස්වි ඒ මුහුණ දෙස බලා සිටියා ය. අම්මලා සිය දරුවන් ගැන හිතන්නේ එහෙම ය!

හැන්දෑව වෙනදාට වඩා මන්දගාමී හා අලස බවක් දැරුවේ ය. වෙනදාට තුසිතය සීමාවේ කැරලි ගසනා කුරුල්ලෙකු පවා හඬ නො නගා සිටියාද කියා යසස්වි ට සිතිණ. සුළඟක් නැත ද අහසේ සරුංගල් එක දෙකක් පා වෙමින් තිබුණේ ය. ඇය සඳැල්ලට වී ඒ සිදුවීම ගැන යළි යළිත් මෙනෙහි කරමින් සිටියදී අස්විද එහි පැමිණි බව දැනිණ.

‘ඒත් ඔයාට හිතෙන්නැද්ද අයිය… එතන මුකුත්ම නැති වෙන්න බෑ කියලයි මටනං හිතෙන්නෙ. ගෑනියෙක් තමුං විශ්වාස කරන පිරිමිය ගැන ඔහොම වියරු වැටෙන්නෙ අහේතුකව නෙවෙයි කියලයි මට හිතෙන්නෙ. විශ්වාසෙ බිඳීම ගැන පොඩි හරි ඉවක් වැටුණහම’

අස්විද දෑත් පපුව මත බැඳගෙන ඇදෙස නො බලා ම සුසුමක් පිටත් කොට හැරියේ ය.

‘ඔයා තාමත් ඒක ගැන හිතනවද… දැන් ඒක අමතක කරල දාන්න. කොහොමටත් නිලූකා අක්කට ඔයා ගැන ප්‍රශ්නයක් තියනව කියල මං දන්නව. අයියගෙ ඔය කේස් එක ඔයාගෙ පිටිං යවන්න ඇත්තෙත් ඒකයි.  නිලූකා මොනා හිතුවත් මේ ගාබේජ් ට්‍රක් එක ඔයාගෙ ඇඟේ පෙරළෙන්න ඕන්නෑ කියල අපි දන්නව. එච්චරයිනෙ… ම්…’

යසස්වි ට වූයේ එවන් බියක් නොවේ. මනෝ විද්‍යාව හදාරන සිසුවියක වශයෙන් ඒ සිදුවීමේ අක්මුල් දැන ගැනීමේ කුහුලකි.

නිලූකා රෑ කෑම ප්‍රතික්ෂේප කළා ය. පිටත මුළුතැන්ගෙයට වී ඇය කඳුළු සලමින් සිටියදී යසස්වි එහි පැමිණියා ය.

‘අක්කගෙ හිතේ තියන අවුල මට තේරෙනව. ඒත් මේ වගේ වෙලාවක හැමෝටම ඇහෙන දැනෙන විදිහට ඕව ගැන කතා කරන්න ගියාම… සනුකල වුණත් අපහසුවට පත් වෙනව. අක්කට තේරෙනවද මං කියන දේ… දැං ඒගොල්ලො ලොකු ළමයිනෙ. තමංගෙ තාත්ත ගැන එහෙම දෙයක් හිතන්න කොයි දරුවෙක්වත් කැමති නෑනෙ. පව් සනුක එළියට වෙලා කල්පනා කරනව. අනේ ප්ලීස් එයාලට නොදැනෙන විදිහට අයිය එක්ක ඕක කතා කරල විසඳගන්න අක්ක. මං හිතන්නෙ හොඳම දේ ඒක’

‘අනේ යසස්වි…’

කියාගෙන නිලූකා යසස්වි ගේ උරයට බර වූවා ය.

‘මට ඔය පවුල් කඩන එකීව හව්වුණොත්නං මං…’

එසේ  සිටියදීත් ඇය තරහෙන් වෙව්ලුවා ය.

සනුක මිදුලේ බංකුවට වී සිටියේ ය. චේතිය පෝටිකෝවට වී කල්පනා කළේ ය. හැන්දෑවේ ගෙදරින් පිටව ගිය ගමන් දිල්නුක රෑ වන තුරුත් පැමිණ සිටියේ නැත.

‘යං සනුක… කමු…’

යසස්වී ඔහු අසලින් හිඳ ගනිමින් කීවා ය.

‘කන්න බෑ දැන්ම’

ඔහු කොඳුරාගත්තේ ය.

‘යසස්වි’

සනුක උගුර යටින් වාගේ කතා කළේ තවත් ටික වෙලාවකට පස්සේ ය.

‘අනේ සමාවෙනව ඕයි’

‘ඒයි…පිස්සුද… මිනිස්සු ප්‍රශ්න ඉස්සරහ ඔහොම තමයි. මොනාද කියන්නෙ කරන්නෙ කියලවත් හරියටම දන්නෑ. ඒ වෙලාවට ප්‍රශ්නෙං එළියෙ ඉන්න අය ඉවසන්න ඕනෙ. අපි ඉවසල බලං ඉමු. එයාලගෙ හිත් හැදෙන්න අපිට පුළුවං දෙයක් කරමු’

‘අපේ තාත්ත එහෙම කරන්න ඇද්ද ඕයි…’

‘ස… නුක… අනේ ඔහොම වීක් වෙන්නෙපා අනේ. ඒක හරියටම දන්නෙ එයා තමයි. හැබැයි මනුස්සයෙක් මොන දේ කරන්නෙත් ඒ ඒ අවස්ථාව මත කරන්න ඕන හොඳම දේ කියල හිතාගෙන. එයාල වැරදි වෙන්නත් පුළුවන්. හරි වෙන්නත් පුළුවන්. අපිට බෑ පිටින් ඉඳන් ජජ් කරන්න සනුක…’

 ‘මට මේ මුකුත් තේරෙන්නෑ’

‘තේරුං ගන්න අමාරුවෙන් උත්සාහ කරන්නත් එපා. යාළුවෙක් වගේ  මං ඉන්නවනෙ ඔයා ළඟින්.  ම්… අවුල් හිතන්නෙපා’

යසස්වී සනුක ගේ හිස කේ පිරිමැදගෙන බංකුවෙන් නැගී සිටියා ය.

‘තැන්කියු යසස්වි’

සනුක එසේ මුමුණනු ඇසිණ. බරාඳයේ දී  යළිත් ඇයට අස්විද හමුවූයේ ය. චේතිය ද බරාඳ පුටුවක කල්පනා කරමින් සිටියේ ය. යසස්වී ඉක්මන් සිනහවක් දෙතොල් අතරෙහි මවා බිම බලාගෙන ඉක්මන් ගමනින් ගෙතුළට  ගියා ය.

‘එනවකො පොඩ්ඩක් එළියට’

කියාගෙන අස්විද මිදුලට බැස්සේ ය. ඒ මොහොතේ සනුක ඔවුන් දෙස නොබලා ම ගෙතුළට යමින් සිටියේ ය. අයිය මලෝ අඳුරට බැස මිදුලේ මැද හරියට ඇවිද ගියහ. අස්විද අසන්නට යන හරස් ප්‍රශ්න ගැන චේතිය දනී. ඔහු ඊට හිත හදාගෙන සිටියේ ය.

‘ඇත්තටම මොකද්ද ඕයි මේ… තමුසෙ ඇත්තටම එහෙම මුද්දක් ගත්තද… ඒක අර කිව්ව වගේ ඔෆිස් එකෙන් අයින් වුණ කෙල්ලෙක්ටද නැත්තං…’

‘නෑ’

චේතිය පහළ ස්වරයකින්, නමුත් ඍජු තානයකින් සිය පිළිතුර දුන්නේ ය. නො දන්නා හේතුවකට අස්විද මොහොතකට ගල් ගැසිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here