අරුමැති ආදරයක් – 46

0
2891

පංචාලි තීක්ෂණට දුරකථන ඇමතුමක් ලබා දුන්නේ යුගාශ්ගේ වාහනය පිටුපසින් තම රථය ධාවනය කරමින් යන ගමනේදීමය. 

“මං හිතුවා ඕකා  මොනවා හරි ලෙඩක් දා ගනියි කියලා. හොඳ වෙලාවට ඔයා එතැනට ආවේ. මූ හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න බෑ කියයිද දන්නෙ නෑ. අද මූට මේ විදිහට ගහන්න ආපු උන්  හෙට දවසේ නොඑයි  කියලා කොහොමද හිතන්නේ. උන්ට ඕනේ මූ නඩුව කතා කරන එක නවත්තන්න. මං කිව්වා මූ⁣ට”

තීක්ෂණ කියවාගෙන ගියේ කෝපයෙන්ය. ඊයේ  පෙරේදාත් ඔහුට පැවසූයේ තනිවම ගමන් නොයන ලෙසය. තීක්ෂණ මිතුරා ගැන බිය වූයේත් සේනකලා මේ ආකාරයේ ගැටුම් වලට පළාතේ ප්‍රසිද්ධව උන් නිසාය. එනිසාම ඔවුනට විරුද්ධව යමක් කතා කරන්නට මිනිසුන් බියය. 

“දැන් ඔයා කෑ ගහන්න එපා. අපි කරන්න පුළුවන් දෙයක් බලල කරමු.” 

“මූ එක වෙලාවකට මහා හිතුවක්කාරයි පංචාලි..”

“ඔය කියන හැමෝම එක වෙලාවකට එහෙම තමයි. මේ… දැන් අපි ළඟ ඉන්නේ. මමත් කැමතියි යුගාශ් හොස්පිට්ල් ඇඩ්මිට් වෙනවනම්. ඔයා කියලා බලන්නකෝ. සමහරවිට ඔයා කියන දේ අහයි”

පංචාලි දුරකථනය විසන්ධි කළේ එසේ පවසමින්ය. විනාඩි දෙක තුනක් ඇතුළත ඇර දමා තිබූ ගේට්ටුවෙන් යුගාශ් වාහනය තීක්ෂණගේ ගෙවුයනට ඇතුළු කළේය. පංචාලි වූයේ ඒ පසුපසින්ය. 

“මොනවද බං මේ කරගන්නේ….තොට මං කියලා කට ගන්න හම්බ වුණේ නෑ රෑ තිස්සේ තනියෙන් ගමන් බිමන් යන්න එපා කියලා.  මේ කේස් එක දිනුවත්  උං උඹට නිකං ඉන්න දෙන්නේ නෑ.”

යුගාශ් අපහසුවෙන් අඩිය තබා වාහනයෙන් බසින අයුරු පංචාලි බලා සිටියේ මිතුරන් දෙදෙනා පසුපසට වී ගෙනය. ඔහු තමාට අපහසුවක් නැතැයි හඟවන්නට උත්සාහ කළත් ඔහු සිටින්නේ අපහසුවෙනැයි ඇයට සිතුනේ එනිසාය. අවසන යුගාශ් අඩියක් දෙකක් පෙරට තැබුවේ තීක්ෂණගේ සහාය ඇතුවය.

“අහගනිංකො මං මේ කියන දේ හොඳට..දැන් උඹ හොස්පිට්ල් ඇඩ්මිඩ් වෙන්නම ඕනේ. මං උඹට අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑනේ. මේ ඉන්සිඩන්ට් එකම උඹට මාර සාක්ෂියක් වෙනවා. මේ වගේ උන්ට කරන්න ඕනෙත් ඒක. උන් හරක් වගේ වැඩ කරද්දි අපි මොළෙන් ගේම ගහන්න ඕනේ.”

තීක්ෂණ මදක් තදින්  පැවසූයේ යුගාශ්ව ආලින්දයේ වූ පුටුවකින් අසුන් ගැන්වූවාට පසුවය. 

“ඒක කරන්න අමාරුයි බං….උඹ කියන දේ හරි. ඒ උනාට එක පැත්තකින් අම්මා, අනිත් පැත්තෙන් උඹ දන්නවනේ.”

“ඒ කාටවත් අවුලක් වෙන්නේ නෑ බං. අනිවාර්යයෙන් උඹ ඇන්ට්‍රි එකක් දාපු ගමන් උන් අඩියක් පිටිපස්සට ගන්නවා. මොකද මේ වෙලාවේ උඹේ කියලා කෙනෙක්ගෙ ඇඟට මැස්සෙක් වැහුවත් උන් තමයි අහුවෙන්නේ කියලා උන් දන්නවා.” 

යුගාශ් එවර හිස වැනුවේ තම මිතුරාට එකඟවය. පංචාලිට දැනුනේ ජයග්‍රාහී සතුටකි. ඔහු කතා කරද්දී වචන පිට වන්නේත් කෙඳිරිල්ලක් සමගය. ඈ  අවන්හලින් පිට වූයේ යුගාශ්  පැමිණෙනවායැයි පැවසූ වේලාව ඉක්මවා ගොස් විනාඩි විස්සක් පමණ ගෙවී යද්දීය. ඔහු සාමාන්‍යයෙන් වේලාවටම වැඩ කරනා පුද්ගලයෙකි. එනිසාම ඔහුත් පිරිසත් අතර සටන විනාඩි පහළොවක් පමණ පැවතෙන්නට ඇතැයි ඈ අනුමාන කළාය. තනිවූ යුගාශ්ට පහර දෙමින් සිටියේ හැඩි දැඩි පිරිමින් හතර දෙනෙකි.

“මචං පංචාලි වාහනේ නම්බර් එක ලියාගෙන.  ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ.”

“ඒක තමයි ප්‍රශ්නේ. අපිට මෙතනදි පංචාලි ඉස්සරහට දාන්න බෑ බං.”

“මට නම් ප්‍රශ්නයක් නෑ යුගාශ්…”

“ඒක කරන්න බෑ…”

“හරි වාහනේ හිටියෙ මම. ඔය ආපු ඩිපෙන්ඩර් එක ඇතුලේ තව කවුරුවත් හිටියේ නෑනේ. උන් වාහනයක් දැක්කා මිසක් පංචාලිව දකින්න නැතුව ඇති.”

“මේ වෙලාවේ උන් මොනවා කිව්වත් පොලිසිය පිළිගන්නේ උඹ කියන දේ. මෙතනට පංචාලි කොහොමටවත්ම ගාවන්න අවශ්‍ය නෑ. එතනට ආවෙ මම. ඉවරයි නේ.”

“පංචාලි ඊට කලින් කියන්න ඔයා මට මොකක්ද කියන්න ආවේ කියලා.”

පංචාලි තීක්ෂණ දෙස බැලුවේ ඔහු එසේ පැවසුවාට පසුවය. තීක්ෂණ නිවස තුලට ගියේ  අම්මාට ‘තේ සාදන්න..’ යැයි පවසමින්ය. ඒ තමාත් ඇයත් තනි කිරීමේ උවමනාවෙන් බව යුගාශ් දැන සිටියේය.  යුගාශ් හමුවීමට සිතා සිටින බවක් සවස හමුවූයේ වේලේවත්  පංචාලි ඔහුට පැවසූයේ නැත. ඒ බැව් පැවසූයේ මිතුරාය. එනිසාම ඒ කතා බහට තමා අවශ්‍ය නොවන පුද්ගලයෙකුයැයි ඔහු තීරණය කළේය.

“යුගාශ් මේක මට ඇහිච්ච දෙයක්. පුෂ්පානන්ද සර් යටතේ වැඩ කරන ගමන් මේ ඇහෙන දේවල් ඔක්කොම ඔයත් එක්ක ඇවිල්ල කියන එක හරිද කියන්න මම දන්නෙ නෑ. ඒ උනාට ඔයා මේ ගැන දැනුවත් වෙන එක හොඳයි කියලා මට හිතුනා. සර්ගේ ළඟට පැට්‍රිස් එන්න කලින් අපි යාළුවෝ. පුංචි පුංචි හිත් රිදීම් ඇතිවුණත් ඔයාගෙන් කවදාවත් මට වරදක් වෙලා නෑ. ඇත්තටම අපි ඔෆිස් එකේ උනත් ඔක්කොම කැමතියි අමායා මේ නඩුවව දිනනවට. ගෑනු විදිහට අපි හැමෝටම එහෙම නොහිතුනොත් තමයි ප්‍රශ්නේ.”

“කියන්න පංචාලි එහෙම ප්‍රශ්නයක් නෑ. ඔයා මොනවා කිව්වත් ඒ දේවල් මගෙන් පිට යන්නෙත් නෑ. හැමදාමත් අපි අතරේ තියන මේ යාළුකම විශ්වාසය එහෙමම තමයි”

“සර් තමරා  ආන්ටිට තර්ජනය කරලා. ඔයා මේ නඩුවෙන් අයින් උනේ නැත්නම් ආන්ටිව ඩිවෝස් කරනවා කියලා.”

“ඔයා කොහොමද දන්නෙ.”

“සර් කාට හරි කෝල් කරලා කියනවා මම අහගෙන. ඒක තමයි මගේ අන්තිම තුරුම්පුව කියලත් කිව්වා. ඔය ගෑනිට  ඕන උනේ මම යුගාශ්ගේ අප්පච්චි විදිහට ලෝකෙ හමුවේ පෙනී හිටින එක කියලත් කිව්වා. එහෙම නොවෙන එක ගැන ආන්ටි බයයි කියලත් කිව්වා.”

“අම්මා මට එහෙම දෙයක් කිව්වේ නෑ.”

“ඔයාට කියන එකකුත් නෑ යුගාශ්. මම දන්නේ නෑ ආන්ටි මොන තීරණයක් ගනියිද කියලා. අනිත් කාරණය තමයි මට දෙයක් දැන ගන්න තිබුණා. ඒත් මේ ඒක අහන්න වෙලාව නෙමෙයි. අපි ඒක පස්සට කල් දාමු. කොච්චර නෑ කිව්වත් ඔයා ඉන්නේ අපහසුවෙන් යුගාශ්. තවත් පරක්කු කරන්න ඕන නෑ අපි හොස්පිට්ල් එකට යමු. ඔයා තීක්ෂණගෙ වාහනේ එන්න. මම මගේ වෙහිකල් එකෙන් එන්නම්. හිතුවක්කාර වෙන්න එපා තවත්. ඔය වැදිච්ච පාරවල් දැන් නෙමෙයි පස්සට බලපාන්නේ”

“හොස්පිට්ල් එකට යන්න තරම් මට අපහසුවක් නෑ. තීක්ෂණ කියන විදිහට මේ  ඉන්සිඩන්ට් එක මට හොඳ සාක්ෂියක්. අනික් එක අම්මට උනත් මේ වෙලාවේ ආරක්ෂාවක් තියෙයි. පොලිසිය උන් ගැන ඇහැ ගහගෙන ඉදියි” 

“ඔයා වෛර කරන්න පටන් අරගෙනද මන්දා…” 

“එහෙම නෑ පංචාලි. ඒ උනාට මිනිස්සුන්ගේ සමහර දේවල් ගැන මට හරි කලකිරීමක් තියෙන්නේ. මට ලෝකෙම හදන්න බැරි වෙයි. හැබැයි මම උත්සාහ කරනවා හැම තිස්සෙම සාධාරණය වෙනුවෙන් පෙනී සිටින්න. මං හරියි  කියලා හිතනවනම් අඩුම තරමේ මාත් එක්ක  ඉන්න පිරිස හරි හැදෙයි.” 

“එක පැත්තකින් මට ඔයා ගැන හරි ආඩම්බරයි. මේ වෙලාවේ මම ඔයාට සුභ පතනවා.”

තැටිල්ලක තබාගත් තේ කෝප්ප තුනක් සමග තීක්ෂණ ආලින්දයට පැමිණියේ එවේලෙහිය. 

“අම්මට මොනවද බං කියන්නේ.”

“අම්මට මං කතා කරන්නම්. උඹ තරහ නැතුව අපූර්වට  කෝල් එකක් අරගෙන විස්තරේ කියපන්. මතක ඇතුව කියපන් මම ඇඩ්මිට් වෙන්න යන්නේ අමාරුවකට නෙමෙයි මේ ඉන්සිඩන්ට් එක නඩුවට වාසියක් කරගන්න ඕන නිසා කියලා. එයා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ගියොත් බං එක්කො මේ වෙලාවේ මට මාව පෙන්නන්න ඩොක්ටර් ගාවට යන්න කලින්  එහේ  යන්න වෙනවා එහෙම නැත්නම් එයාට මෙහෙ එන්න කියන්න වෙනවා.” 

යුගාශ් එසේ පැවසූයේ සිනහසෙමින්ය. තීක්ෂණට බැලුනේ පංචාලි දෙසය. ඇය මුව අගින් සිනහ සී  දෑස් වලින් පැවසූයේ ඇමතුමක් ලබා ගන්නා ලෙසය. ඒ අතරේම යුගාශ්  ජංගම දුරකථනය කන තබාගෙන අඩි දෙක තුනක් එහාට ඇවිද ගියේ පෙර වූ අපහසුවෙන්මය. තමාරාට සියල්ල තේරුම් කරන්නට මද වේලාවක් ගතවිය. එහෙත් ඔහු ඇයට පැවසූයේ විරුද්ධවාදීන් සුළු රිය අනතුරක් කරන්නට උත්සාහ කළ බවය. 

“නෑ අම්මා මට ලොකු ඩැමේජ් එකක් කරන්න ඒගොල්ලන්ට වුවමනාවක් තිබුණේ නෑ. සමහරවිට උත්සහ කරන්න ඇත්තේ මම නඩුවට එන එක වළක්වන්න. අම්මා මම දැන් ඉන්නේ තීක්ෂණගේ ගෙදර මට කොහොමටවත්ම හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න වුවමනාවක් නෑ. හැබැයි මම එහෙම ඇඩ්මිට් වෙනවා. තීක්ෂණයි පංචාලියි දෙන්නම මේ වෙලාවෙ ඉන්නෙ මමත් එක්ක. උන් කියන්නෙ මට ඇඩ්මිට් වෙන්න කියලා.  හැමදාමත් මිනිස්සුන්ට මේ වගේ දේවල් කරන්න ඉඩ තියන්න බෑ අම්මා. එයාල හිතන් ඉන්නේ දේශපාලනේ කියන්නේ මිනිස්සු එයාලට ඕන ඕන විදිහට පාවිච්චි කරන්න ලැබෙන බලයක් කියලා.” 

“අනේ පුතා මොනව කලත් පරිස්සමෙන් ඔයා ගැන මගේ හිත පුදුම බයකින් ඉන්නේ..තීක්ෂණ පුතාට කියන්න ඔයාගේ ළඟට වෙලා ඉන්න කියලා පුලුවන්නම්. පුතාට ෆෝන් එක දෙන්නකෝ.” 

“ඌ මාව දාලා එන්නේ නෑ අම්මා කීයටවත්. මොනම හේතුවක් නිසාවත් අම්මා මේ වෙලාවෙ ගෙදරින් එළියට බහින්න එපා. විශේෂයෙන්ම මාව බලන්න එන්න ලෑස්ති වෙන්න එපා අම්මා. මං මේ අවධාරණයෙන්ම කියන්නේ මට කිසිම අසනීපයක්වත්, සීරීම්  තුවාලයක්වත් නෑ. ඒ නිසා බය නැතුව නිදා ගන්න. මං අම්මගේ හැටි දන්නවනේ..”

කුඩා සීරීම් තුවාල වුවත් ඒවා රිදුම් දෙමින් තිබිණ. එහෙත් කෙඳිරිල්ලක් නොනගා සාමාන්‍ය අයුරින් අම්මා හා කතා කරන්නට යුගාශ් වෙහෙස වූවේය. එනිසාම ඔහුට උවමනා වූයේ මේ කතා කතාබහ ඉක්මනින් නිමා කරන්නටය. යුගාශ් පංචාලිත්, තීක්‍ෂණත් උන් දෙසට ඇවිද ගියේ තමාරාට සමු දුන්නාට පසුවය. තමා කෙසේ කීවත් ඇයට තමා දකින තුරුම නිවනක්, සැනසීමක් නොවන වග විශ්වාසය.

“අනේ යුගාශ් සර්..  මට ඇත්තම කියන්න ඔයාට අමාරුවක් නෑ නේද..”

තීක්ෂණ ඔහුගේ ජංගම දුරකථනය මිතුරාගේ සවනත අසලට ළං කළේ මං කිව්වට විශ්වාස කරන්නේ නෑ උඹම කියපන් යනුවෙන් පවසමින්ය. 

“අදින් පස්සේ නඩුව ඉවර වෙනකල් මම තනියෙන් කොහෙවත් යන්නේ නෑ. ඊට පස්සෙත් මම පොරොන්දු වෙනවා පරිස්සම් වෙනවා කියලා.  ඔයා හිතන්නකෝ මේකත් ලෝ පොයින්ට් එකක් කියලා. මගේ කටහඬින් ඔයාට ඒක තේරෙන්නේ නැද්ද..”

යුගාශ් සිනහසෙන්නට උත්සාහ දරමින් පැවසූයේ මද වේලාවකින් ඈ අසාවියැයි සිතුණු ප්‍රශ්න වලට පිළිතුරුය. ඉල්ලීම්, පොරොන්දු වලට දිව්රුම්ය.

“එහෙනම් මම හෙට හේෂානි එක්ක එන්නද..”

“එපා අපූර්වා මම අම්මටවත් එන්න එපා කියලා කිව්වා. තීක්ෂණ මමත් එක්ක ඉදියි. පරිස්සමෙන් ඉන්න. ආයෙත් මං කියන්නේ මට කිසිම අපහසුවක් නෑ. මම හොස්පිට්ල් ඇඩ්මිට් උනාට පස්සේ පොලිසිය අනිවාර්යයෙන් එතනට එනවා. ඒ වෙලාවේ ඉඳලම මට වගේම අමායගේ පැත්තටත් ආරක්ෂාවක් ලැබෙනවා.  සමහර විට කාලයක් යනකල්  සේනකලා අසරණ අහිංසක මිනිස්සුන්ට තමන්ගේ මැර බලය පාවිච්චි කරන එකක් නෑ. මම ටිකක් රෑ වෙලා ගන්නම්. මම හොඳින්.”

“අනේ මට බයයි..”

“මම හොඳින් අපූර්වා. පුලුවන් තරම් ඉක්මනට ඔයාව බලන්න එන්නම්. එතකොට බලා ගන්න පුළුවන් මං කියන්නේ ඇත්තද බොරුද කියලා”

යුගාශ් අපූර්වා හා කතා කරද්දී තීක්ෂණ බලාගෙන සිටියේ පංචාලිගේ දෑස් දෙසය. ඒවායේ කඳුළු පිරී තිබෙන අයුරු ඔහු හොඳටම දුටුවේය. තවදුරටත් ඇය ඔහු ගැන බලාපොරොත්තු තබා ගන්නවාට වඩා නතරවීම හොඳයැයි තීක්ෂණ විශ්වාස කළේය. මේ ඒ නතර වීමට හොඳම තැනය. 

ඒ අනුව යුගාශ් පුද්ගලික රෝහලකට ඇතුල් කෙරුණි . පොලිස් නිලධාරියෙකු පැමිණ කට උත්තරයක් ලබා ගන්නා තුරුම සිටි පංචාලි  නික්ම ගියේ මිතුරන් දෙදෙනාගේ බලකිරීමටය. ඒ යුගාශ් පණිවිඩයක් යවා ගෙන්වාගත් හිත මිතුරු රියදුරෙකු සමඟය.

(යළිත් හමුවෙමු ආදරයෙන්……)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here