“ඔයාට මට මෙහෙම නොකර ඉන්න තිබුණා ජාන්වි” කියා මනහාර හඬා වැටෙද්දිත් ජාන්වි හිතුවේ තමන් ගත්ත තීරණයේ කිසිත් වරදක් නෑ කියාය.
ජාන්විට අනුව ආදරය කියන්නේ, හරියට අලුත් ඇඳුමක් ට්‍රයි කරලා බලනවා වගේ දෙයක්ය. ඒ කිව්වේ, එකින් එක ට්‍රයි කරලා බලලා, තමන්ට හොඳම දේ තෝරගන්න ඕන දෙයක් කියලා ය. එතැනදී අනිත් අයගේ හිත රිදෙනවාද නැද්ද කියන එක ගැන ජාන්වි කිසිම දෙයක් හිතලා තිබුණේ නැත. එහෙමත් නැත්නම්, එහෙම හිතන්න තරම් ජීවිතයෙන් ඇය මුහුකුරා ගිහින් උන්නෙ නැත.
ජාන්වි හැම විටම තමන්ගේ සතුට ගැන විතරක් හිතුවා මිසක, තමන්ගේ ක්‍රියාවන් නිසා අනිත් අයට මොන වගේ බලපෑමක් වෙනවද කියලා සිතුවේ නැත. ඇය විශ්වාස කළේ, ජීවිතේ කියන්නේ හැම අත්දැකීමක්ම අත්හදා බලන්න තියෙන අවස්ථාවක් කියලාය. ආදරයත් එහෙම අත්හදා බැලීමක් විතරක් බව ඇය හිතුවාය. ඒ නිසා, කෙනෙක්ව දාලා යන එක හරි, තව කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්න එක ජාන්වි දුටුවේ ඉතාම සාමාන්‍ය සරල දෙයක් ලෙස පමණකි. ඒ වගේම, ඇයට අනුව, මේ හැමදේම සිද්ධ වෙන්නේ, තමන්ට වඩාත්ම ගැලපෙන දේ සොයාගන්නට බව ඇය තදින්ම විශ්වාස කලාය. ඒත් ඇය නොදැන සිටි දෙයක් නම් ඒ ආදරය වනාහී කෙනෙක්ට මහා සතුටක් ගෙනත් දෙන මොහොතකම අනිත් කෙනෙකුට ඉතාම වේදනාවක් ගෙන දෙන්නට හේතුවන බවය.
“මං ඔයාට මුකුත් කරේ නෑ, ගෑනියෙක් වගෙ අඬන්න එපා හලෝ ලැජ්ජ නැද්ද?” කියා මනහාරගෙන් අහන අතරවාරයෙත් ජාන්වි හිස හරව හරව බැලුවේ කවුරුන් හෝ මනහාර අඬනවා දකීවිද කියාය.
“මං මොකද්ද කරපු වරද ඔයා මට මෙහෙම දෙයක් කරන්න?” කියා මනහාර අහද්දිත් ජාන්වි උන්නේ ඉක්මනින් එතනින් මිදී යන අදහසකය. තමන් මනහාරව අතාරින්න හේතුව “ටික කාලයක් යද්දි මට උන්ව එපා වෙනවා” කියා දැනගෙන උන්නද එහෙම කියන එක තමන්ගේ තත්ත්වයට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් බව දන්න හන්දා ජාන්වි ඒ ඇත්ත එළියට ගෙනාවේ නැත. අනික් එක ඔය දැන් නාහෙන් ඇඬුවාට මනහාරත් අනිත් කොල්ලන් වගේ ටික දවසකින් හිත හදාගෙන බැක් ටු නෝමල් වෙයි කියා අදහසක් ජාන්විගේ හිතේ කොහේ හෝ තැනක තැන්පත් වී තිබුණාය.
එදා මනහාරව හැර දමා ආවයින් පස්සේ ආට්ස් විශයන් කරන මනහාර ජාන්වි යන කොමස් පංති අස්සේ දකින්න උනේ නැත. “මිනිහා හිත හදාගෙන ඇති” කියා මනහාර ගැන විමසන පාරිට කිව් ජාන්වි තමන්ගේ හිත ඒ විදියට සුද්ධ බුද්ධ කර ගත් බව ඇත්තකි.
එහෙත් මනහාර උන්නේ ජීවිතේ එසේ පහසුවෙන් බැක් ටු නෝමල් වෙන්න පුලුවන් තැනක නොවන බව දැනගෙන උන්නේ මනහාර පමණකි. උසස් පෙළ හොඳට කරගන්න සිතා ගමේ සිට කොළඹ ආ මනහාර ආයේ ගම බලා ගියේ කොළඹ හරි නපුරු බව තුරුණු හිතකට තේරිච්ච නිසාවෙනි.
කොළඹ ඉගෙන ගන්න ගිය පුතා අඬා වැළපීගෙන ආයෙම වතාවක් ගම ආව එක ගොවියන් වුණ මනහාරගේ අම්මාටත් තාත්තාටත් දරාගන්න පුලුවන් උනේ නැත. අම්මා ඇඬූ කඳුලින් ඉඳ්දී පොළොව එක්ක හැපුණ, ධර්මය ජීවත්වීමෙන්ම උගත් මනහාරගේ තාත්තා නම් කලේ හැකි සැම විටකම කොල්ලාගේ හිත හදන්නට වචන කියන එකය.
“පුතේ, ජීවිතේ කියන්නේ ඔය ගොයම් කපනවා වගේ වැඩක්. අපි කුඹුර හානවා, බීජ හිටවනවා, වල් නෙළනවා, පොහොර දානවා. ඒත් හැමදාම අපිට ඕන විදියට අස්වැන්න ලැබෙන්නේ නෑ. සමහර වෙලාවට නියඟයක් එනවා, සමහර වෙලාවට ගංවතුරක් එනවා, නැත්නම් පණුවෝ ඇවිත් ගොයම් කනවා. ඒ හැම වෙලාවකම අපි කරන්න ඕන මේ සොබාව ධර්මෙට ඉඩ දෙන එකයි. හිත රිදුණාට, දුක් වුණාට කිසිම වැඩක් වෙන්නේ නෑ. මේ ලෝකේ හැමදේම අනිත්‍යයි පුතේ. මලක් පිපුණාම අපි සතුටු වෙනවා, ඒත් ඒ මල පරවෙනකොට අපි දුක් වෙනවා. ඒක තමයි ජීවිතේ සොබාවෙ.
බුදු හාමුදුරුවෝ කිව්වෙත් ඕකමයි. හැමදේම දුකයි කියලා. දුකක් නැති ජීවිතයක් මේ ලෝකේ නෑ. හැබැයි, අපි දුක විඳින විදිය වෙනස් කරගන්න පුළුවන්. දැන් ඔය මයි පුතාට වෙලා තියෙන්නේ, ඔයා හිතපු විදියට දේවල් සිදු නොවීම ගැන කලකිරීමක්. ඒක සාමාන්‍යයි. හැබැයි ඒ කලකිරීම ජීවිතේටම අරන් දුක් විඳින්න එපා. කුඹුරක් නියඟෙන් වේලුණාම, අපි කුඹුර අතහැරලා දාන්නේ නෑනෙ. මයි පුතා ඒක හොඳටම දන්නවනෙ. අපි එහෙම වෙලාවට කරන්නෙ වැස්සක් එනකම් ඉන්නවා, ආයෙත් කුඹුර හදනවා. අලුත් බීජ වපුරනවා. ඒ වගේ තමයි ජීවිතේ. වැරදුණා කියලා අතහරින්න එපා. අලුතෙන් පටන් ගන්න මයි පුතේ.
සොබාවධර්මෙන් පාඩම් ඉගෙන ගන්න. කුඹුරකට ඕන කරන්නේ වල් අයින් කරලා, හොඳට පොහොර දාලා, නියම වෙලාවට වතුර දෙන එකයි. ජීවිතේටත් ඒ වගේමයි. හිතට බව, අනවශ්‍ය දේවල් අයින් කරලා, හොඳ දේවල් එකතු කරගෙන, නියම වෙලාවට නිවැරදි තීරණ ගන්න. එතකොට මයි පුතාට හැබෑවටම සන්තෝසෙ කියන දේ හොයාගන්න පුළුවන්. හිත් වලටත් සමහර වෙලාවට වල් අලි වදිනවා මයි පුතේ, එහෙම වෙලාවල්වල අපි කරන්න ඕන හිත හීලෑ කරගන්න එක. එහෙම පුළුවන් නම්, ජීවිතේ දිනන්න පුළුවන්. ඒකයි ජීවිතේ හැටි.” කියා තාත්තා කියද්දි මනහාර උන්නේ ඒ වචන ඔස්සේ හිත හදාගන්න උපරිම ප්‍රයෝජන ගන්න එකය.
“තව දෙයක් කියන්නම් මයි පුතේ. මයි පුතා ඔය ඉගෙනීම අතහැරලා ආව එක, හරියට ඔය හිත රිද්දපු කෙනාට දුන්න දිනුමක් වගේ තමයි. එයාට ඕන වුණේ ඔයාව දුර්වල කරන්නනේ. ඔයාව බිම දාන්නනේ. දැන් බලපං, උඹ ඉගෙනීමත් අතහැරලා දුකෙන් ඉන්නකොට, එයා හිතන්නේ එයා දිනුවා කියලා. එයාට ඕන වුණේ උඹව මානසිකව වට්ටලා, උඹේ අනාගතය අවුල් කරන්න. උඹ ඒ උගුලට අහුවුණා කියන්නේ, එයාට ලොකු ජයග්‍රහණයක්. හැබැයි මයි පුතේ, අපේ දිනුම තියෙන්නේ වැටුණාම ආයෙත් නැගිටින එකේ.
උඹ ආයෙත් ඉගෙන ගනින්. හොඳට වැඩ කරපං. උඹේ හීන පස්සේ දුවපං. උඹට පුළුවන් කියලා පෙන්නපං. එතකොට උඹ දිනයි. ඒක තමයි උඹ එයාට දෙන ලොකුම පාඩම. අපි වැටුණා කියලා බිමම වැටිලා ඉන්න ඕන නෑ. අපිට පුළුවන් ආයෙත් නැගිටින්න උඹ දන්නවනේ මයි පුතේ, මේ ජීවිතේ වටිනවා. මේ ජීවිතේට තියෙන එකම අරමුණ, සතුටින් ජීවත් වෙන එකයි. ඒ පාඩම තේරුම් ගන්න මයි පුතාට හයිය ලැබෙන්න ඕන. සතුරාට දිනන්න දෙන්න එපා.
අමතක කරන්න එපා මයි පුතේ කවදා හරි එපා කියලා බිත්තියට දමලා ගැහුව පලා මිටත් බේතකට ඕන වුණා කියනවනේ. ආන් ඒ පලා මිට වගේ වෙයන්. බේතකට ඕන වෙන අන්දමේ පලා මිටක් වෙයන්”
මනහාර ජීවිතේ ආයෙ හරි ගස්සගන්න දුක් විඳිද්දී මනහාර පාසල් එන්නෙ නැති බව ජාන්වි දැනගත්තේ පාරිගෙන් ය. පාරිටත් විස්තරේ කියා තිබ්බේ මනහාර එක්ක එක පංතිවල ඉගෙන ගන්න පාරිගේ මිතුරෙකි.
“ජාන්විට ගිහින් කියන්නකො අපි කිව්වා කියල අර අසරණයට කරපු දේ කවදහරි ඕකිට සහගහනවා කියලා. අපි මේ ගොනාට මුලින්ම කිව්ව. මූ ඇහුවෙ නැතුව සිරා ලව් කරන්න ගියා. ජාන්වි කවදහරි හොඳ පාඩමක් ඉගෙන ගන්නව ඔහොම ගිහින්” කියා ඒ කිව්ව කතාව ඇවිත් කියන අතරම “මනහාර ඉස්කෝලේ ඇවිත් නෑ හෙන දවසකින්. පව් බං උඹ මාර පවක් කරගත්තෙ” කියා පාරි කියද්දිත් ජාන්වි කිව්වේ එකම එක දේකි.
“එව් මහ ගොඩයෙක්නෙ. කෙල්ලෙක් තරහ උන කියලා ඔච්චර ඩවුන් ද පල්ලං වෙනවද? හොඳ වෙලාවට මං ඔය ගොඩයව අතෑරියෙ”