අරුමැති ආදරයක් – 48

0
275

“ඔය කියන විදිහට ඒ ලෝයර් මහත්තයා නරක  කෙනෙක් වෙන්නත් බෑ සමන් අයියේ..එහෙමනම් මේ කෙල්ලගෙන් ප්‍රයෝජන ගන්නවා  මිසක්කා උගන්නලා කරලා තැනක තියන්න උත්සාහ කරන්නෙ නැහැනෙ. දන්නෙ නැද්ද අපේ ගමේ උන්ගේ හැටි.  දවසක් මම කාංචනාගේ වදේටම එයාව එක්කරගෙන ආවා අපේ ගේ හදද්දි ඒක බලන්න. කොහොම හරි ඕක කවුරුහරි දැකලා ගිහිල්ලා ගමේ කියලා තිබුණේ මං කාංචනාව හොරෙන් පන්නන් ඇවිල්ල කියලනේ.”

චින්තන පැවසූයේ අඩක් බී නිමකළ දුම්වැටිය සමන් දෙසට දිගු කරමින්ය. 

“දැන් අපූර්වා තමන් ගැන ඇත්ත විස්තරම ඒ මහත්තයට කියල ඇති නේද.. කෙල්ලට හරියකට කාත් කවුරුත් නෑ කියලා දැනගත්තම තමයි මිනිස්සු අයුතු ප්‍රයෝජන ගන්න බලන්නේ..අනිත් එක බං මේවා ප්‍රශ්න ගොඩවල්. ඒ මහත්තයාගෙ දෙමව්පියෝ කැමති වෙයිද මෙව්වට”

“අපූර්වා කියපු විදිහට ඔය  ඔක්කොම විස්තර කියලලු තියෙන්නේ. සමහර විට කෙල්ලගේ වාසනාව වෙන්න පුළුවන් සමන් අයියා. එදා ඉදලම කාටවත් වරදක් නොකරපු කෙල්ලෙක් ඔය. අහිංසක එකී. ඒකි නැති තැන හින්ද මං මේ කියන්නේ,  නන්දසේන අයියා වුනත් කරපු වැඩේ ඒ තරම් හොඳ එකක් නෙවෙයිනේ. මමනං  කියන්නේ කෙල්ලට හරියන්න ඕන සමන් අයියේ. අපිට වැරදුනත් ඒකිට හරියන්න ඕනේ..”

“නන්දසේනට එහෙම කරගන්න හිතක් පහළ වෙන්න තරම් උගේ හෘද සාක්ෂිය ඌට වද දෙන්න ඇති බං. එහෙම නැතුව පව පින නොදන්න මනුස්සයෙක් නෙමෙයිනේ.  ඔය කතන්දරේ කවුරුත් නොදන්න පැත්තක් මම දන්නවා. අදටත් මට ඒක ඔය කෙල්ලට කියාගන්න බෑ බං. එහෙම කිව්වොත් අපූර්වා උනත්  තාත්තට වෛර කරන්න බැරි කමක් නෑ.”

“ඒ කිව්වේ සමන් අයියේ…”

“මේක උඹත් දැනගන්න එක හොඳයි බං. ඔය නිශ්ශංකයා නන්දසේන අයියව සම්පූර්ණයෙන්ම රැවට්ටුවා සහෝදරකම ඉස්සර කරගෙන.”

“ඒ කිව්වේ..”

“නන්දසේන අයියා  අත්සන ගහලම තමයි බං නිශ්ශංකයට මේ ඉඩකඩම් පවරලා දුන්නේ.”

“ඒ කියන්නේ. මට තේරුන් නෑ..”

“ඕවට ඔප්පු හදන්න කියලනේ නිශ්ශංක ලං උනේ. නන්දසේන  අයියා හිතුවා සහෝදරයා තමන්ට වැරැද්දක් කරන එකක් නෑ කියලා. කියවන්නෙ,  බලන්නෙ,  හොයන්නෙ නැතුව නිශ්ශංක  හදාගෙන ආපු  ලියුම් වලට නන්දසේන අත්සන් කලා. නිශ්ශංකගේ නමට මුලින් පවරලා පස්සේ දෙන්න බෙදා ගන්නලු හැදුවේ. නිශ්ශංක ඉල්ලලා තිබුනෙ ඔය දොළ දිහායින් පර්චර් විස්සක්ලුනේ මුලින්. ඊට පස්සෙලුනේ  ග්‍රාම සේවකත් ලියුම දුන්නා කියන්නේ ඉඩම භුක්ති විදින්නේ නිශ්ශංක කියලා. පුෂ්පානන්ද මහත්තයාගේ ඔපීනියන් එකට තමයි වැඩේ ගියේ.”

“මාර මෝඩ කමක් ඒක…”

“ඉඩකඩම්  දේපළ වලට අම්මා තාත්තවත් විශ්වාස කරන්න එපා කියන පාඩම මං  ඉගෙන ගත්තේ  එතනින් බං. මං දන්න තරමින් මේ කතාව කාන්ති අක්කවත් දන්නේ නෑ බං. තමන්ගේ අතින්ම මේ අපරාධය කලා වගේ හැඟීමක් නන්දසේන අයියට තිබුනේ. මොකද ඔය කාන්ති දිගින් දිගටම කිව්වලු නිශ්ශංකව විශ්වාස කරන්න එපා කියලා.”

“ඇත්තනේ මිනිහා ජීවත් වෙච්ච රටාව ගැන නොදන්නවා නෙමෙයිනේ. ඇස්දෙක පියාගෙන ගොං කමක් කරනවා වගේ වැඩක් ඒක.”

“තමන්ට තමන් ගැනම වෛරයක් ඇති වෙද්දී මිනිස්සුන්ට තමන් කරන්න ඕන මොනවද, නොකරන්නේ මොනවද කියලා හැඟීමක් නැතුව යනවා බං. ඔය කජු ගහේ එල්ලෙන්න කලින් දවසේ හැන්දෑවේ කිව්වා ‘මං මගේ බෙල්ල මිරික ගත්තේ  මගේ අතින්මයි’ කියලා. ‘මගේ ගෑනිටයි මගේ දරුවටයි මේ අපරාධෙ කලේ මමමයි’ කියලා.

“ඒ අතින්  බැලුවහම නිශ්ශංකලා මහා බලු මිනිස්සු  නේද අයියේ. මං උනත් මගේ එක බඩවැල  කඩාගෙන ආපු  සහෝදරයව  අවිශ්වාස කරනවද…”

“ඉඩම් ආරවුල් වලට  මරා ගන්න තරමක්  මරාගෙන  තියෙන්නේ සහෝදරයෝනේ  බං. දැන් අපි මේ කෙල්ල ගැන බලමු. කයි  කතන්දර අහගෙන ජීවිතේ නැති නාස්ති කරගන්න ඉඩ දෙන්න බෑ. මෙහෙම කෙල්ලන්ට වරදින තැන්  වැඩියි  බං. ඔය ගේ වැඩේ ඉවර වුනාට පස්සේ ඒ නෝනත් එක්කත් මේ ගැන කතා කරලා ඒ උදවියට එන්න කියමු. ඒ නෝනා උනත් අම්මා කෙනෙක් වගේ මැදිහත් වෙලා බලලා හොයලා යමක් කරලා දෙයිනේ. පියසීලී නැන්දයි කාන්තියි අපි අපිට පුළුවන් විදිහකට බලාගමු බං. කෙල්ලගේ ජීවිතේ ඊට වඩා වටිනවා.”

චින්තන හිස වැනුවේ සමන්ගේ වදන්වලට අවනතවය. යුගාශ් ගැන සොයා බලන්නට ඔහු ඊයේම අලුත්ගම නගරයේ උන් තම මිතුරෙකුට පැවසුවේය. අලුත්ගම උසාවියේ වැඩ කරන අය  ඔහුගේ ත්‍රී රෝද රථයෙන් නිතර නිතර  ගමන් බිමන් යන නිසා ඒ කාර්යය වඩා පහසු වන බව චින්තන දැන උන්නේය. 

යුගාශ් නිවාඩුවක් ලබාගත්තේ හිතාමතාමය. ඇඟට දැනෙන අපහසුතාවය සේම ඔහුගේ සිතටද විවේකයක් අවශ්‍ය විය. දයාල් සහ ඔහුගේ හෙංචයියෝ  පොලිසියට භාර වූවායැයි පැවසූයේ පොලිස් පරීක්ෂක වරයෙකි. පසුගිය දින දෙක තුළදීම යුගාශ් ඉතා ඕනෑකමින් අපූර්වාගේ සොල්දර ගෙදර නඩු තීන්දුව ගැන සොයා බැලුවේය. ඒ වන විටත් ඔහු ඒ පිළිබඳව බොහෝ තොරතුරු එක් රැස් කරගෙන සිටියේය. 

අමායාත් ඇගේ මවත්, පියාත් යුගාශ්ගේ නිවසට පැමිණ ගියේ ඔහුට මැරයන් පහර දීම පිළිබඳව තොරතුරු දැන ගත්තාට පසුවය. 

“එක්කො මේ හැම දෙයක්ම අපි මෙතනින් ඉවර කරමු සර්. සර් කියපු විදිහට මම පිටරටකට හරි ගිහිල්ලා මේ හැම දෙයක්ම අමතක කරලා මගේ ජීවිතේ  හදාගන්න බලන්නම්. මම නිසා සර්ට මොනවා හරි දෙයක් වුනොත් ඒක මට ජීවිත කාලෙම දරා ගන්න බැරි වෙයි.”

අමායා පැවසුවේ ඔහුගේ දෑත් වලින් අල්ලාගෙනය. 

“මම සර්ට ණය ගැතියි සර්. මට ආපහු ඉපදෙන්න ශක්තියක් උනේ  සර්. ඇත්තමයි සර් මම ජීවිතේ අතෑරලා හිටියේ. නඩු කියන්නවත්, දිනන්නවත් උවමනාවක් මට තිබුණේ නෑ සර්. මට නැති වෙන්න දෙයක් නොතිබුණ නිසා. සර් තමයි මට ගැහැනු කෙනෙක්ගෙ වටිනාකම පැහැදිලි කලේ. මට ආපහු ඉපදෙන්න බලාපොරොත්තුවක් දුන්නේ. එහෙම වටින මනුස්සයෙක්ට මම හින්දා සීරීම් තුවාලයක්වත් වෙනවට මම කැමති නෑ සර්.”

ඈ දිගින් දිගටම කියවූයේ සිය දෑස් වලින් කඳුළු බේරී යද්දීය. අමායා අසලට ලං වූ තමාරා ඇගේ  හිස අත ගෑවේ දයාබරවය. 

“අනේ මැඩම්…මැඩම් කියන්න සර්ට මේ හැමදේම අතාරින්න කියලා. සර්ට මේ වගේ වේදනාවක් දීලා මට නඩුව දිනලා වැඩක් නෑ මැඩම්.”

“ඔයා කොච්චර කිව්වත් පුතා මේ පටන් ගත්ත දේ අතාරින්නෙ නෑ දුව. ඔයත් මීට වඩා ශක්තිමත් වෙලා ජීවිතයට මුහුණ දෙන්න ඕනේ. පුතා කියන්න වගේ වරදටම ඉඩ දුන්නොත් කොහොමද මිනිස්සු වැරැද්ද තේරුම් ගන්නේ”

එයට පිළිතුරු දුන්නේ යුගාශ් නොව තමාරාය. මවක ලෙස තමාගේ සිත මේ සා  ශක්තිමත් වූයේ කවදා සිටදැයි තමාරාට නොතේරේ. මවකගේ දුර්වල තැන වන්නේ දරුවන්ය. ආත්මාර්ථකාමී සිතුවිල්ල වන්නේත් දරුවන්ය. සිත රිදුනු, බිය වූ තැන් බොහෝ වුවත් යුගාෂ්ට ශක්තියක් වන්නට ඈ තම සිතුවිලි සන්සුන් කර ගත්තාය. ඔහු සමස්ත කාන්තා වර්ගයාගේම ගෞරවය වෙනුවෙන් පෙනී සිටියදී තමා ආත්මාර්ථකාමී මවක වන්නේ කෙසේදැයි තමාරා බොහෝ වර සිතුවාය. 

අමායලා පිටත්ව ගියේ සවසය. සැබවින්ම ඔවුන් අහිංසක මිනිසුන්ය. දයාල් වැනි ආත්මාර්ථකාමී සෙල්ලක්කාරයන් ප්‍රයෝජන ගන්නේ එවන් අහිංසක මිනිසුන්ගේ ජීවිතවලින්ය. 

“මේ කතාව ඇහුවට පස්සේ මට මං ගැනම ලොකු වේදනාවක් දුකක් ඇති වුණා මැඩම්. තමන්ගේ ගෑනු දරුවා පරිස්සම් කරගන්න බැරි වෙන එක අම්මා කෙනෙකුට ලොකු වේදනාවක්. මට මගේ ජීවිතේ නැති කරගන්න තරම් හිතුනා. මේ දරුවත් බලා ගත්තු අත බලාගෙන කල්පනා කරද්දි මම හිටියේ පුදුම දුකකින්. මහා පුදුම වේදනාවක් මැඩම් ඒ. එතකොට තමයි මට හිතුනේ කිසිම අම්මා කෙනෙක් මේ වගේ දුකක් විඳින්න  ඕන නෑ කියලා. මගේ දුවව කසාද බඳින්න කියලා මං දයාල්  මහත්තයාගේ කකුල් දෙක ළඟට වැඳ වැටුනා. ඒ වෙලාවේ දයාල් මහත්තයා කිව්වා මං ඇඳට  ගන්න හැම ගෑනියෙක්ම කසාද බඳින්න පොරොන්දු වෙලා නෑ කියලා. අම්මා කෙනෙක්  තමන්ගෙ දරුවෙක් ගැන ඒ තරම් පහත් විදිහේ  කතාවක් අහනවා කියලා කියන්නේ ඒක මං කොහොමද මැඩම්ට විස්තර කරන්නේ. අන්තිමට මට හිතුනා අද මගේ දරුවා වගේම හෙට තව දරුවෙක් මේ මනුස්සයාගේ චාටු කතාවලට අහුවෙලා ජීවිතේ නාස්ති කර ගනී නේද කියලා. යුගාශ් මහත්තයා හම්බ වෙන්න කලින් මං ලෝයර් මහත්තුරු තුන් දෙනෙක් ළඟට ගියා. මගේ මහත්තයවත් දන්නෙ නෑ මැඩම්,  මං එදා කෙල්ලට කිව්වෙ මෙන්න මෙච්චරයි. ‘පුතේ  දැන් උඹටවත් මටවත් ජීවත්  වෙලා වැඩක් නෑ ඒ නිසා අපි දෙන්නා එකට මැරෙන්න හරි හිතාගෙන ඊට කලින් තව එක ගෑණු දරුවෙක්ගේ හරි ජීවිතයක් බේර ගමු කියලා. මං දන්නව මගේ නංගි ලඟ මගේ පොඩි උන් දෙන්නට ආරක්ෂාව තියෙනවා. යුගාශ්  මහත්තයා මේ නඩුව බාර අරගෙන අපිට කරපු උදව්ව වචනයෙන් විස්තර කරන්න බෑ මැඩම්. මේ වගේ රත්තරං පුතෙක් හදපු මැඩම්ට මං අත් දෙක එකතු කරලා වැන්දත් පව් නෑ.”

“මොනවද අමායගේ අම්මා මේ කියන්නේ. මට ඉන්න පිරිමි දරුවෙක් උනාට ගෑනු දරුවෙක්ගේ දුක, වේදනාව මට නොතේරෙන්නේ නෑ. අපි හැමෝම ආදරේ ළඟදී අන්ධයි. අද ඉඳලා පුතා විතරක් නෙමෙයි. මමත් ඔයාල එක්ක ඉන්නවා.”

එවර තමාරා පැවසූයේ අමායාගේ මවගේ දෑත් වලින්ම අල්ලා ගෙනය. දරුවන්ගේ ප්‍රශ්න හමුවේ තරම් අම්මා කෙනෙකු අසරණවල තවත් අවස්ථාවක් නොවන  බව විශ්වාසය. දරුවන්ගේ සතුට සැනසීම වෙනුවෙන් අම්මාවරු ජීවිතය කැප කරන්නට දෙවරක් සිතන්නේ නැත. 

                                          *************

හේෂානි පැමිණියේ සවසය. අපූර්වාත් යෙහෙළියත් ඉදි වෙමින් පවතින නිවස වටා රවුමක් ඇවිද ගියේ දෑත් අල්ලාගෙනය.

“ඇස් පනාපිටම හීනයක් හැබෑ වෙනවා වගේ සතුටක් තියෙන්නේ. මේවා පිළිවෙලක් උනාට  පස්සේ යුගාශ් සර්ලට උනත් ඇවිත් යන්න පුළුවන්නේ.”

අපූර්වා පැවසූයේ යෙහෙළිය දෙස බලාගෙනය. අලුත් සිමෙන්ති ගඩොල් වලින් හමන නැවුම් සුවඳ හදවත පුරා ආඝ්‍රහනය කර ගත් යුවතිය සිනහසුනේ සුන්දරවය. 

“මොකක්ද බං තාම සර් කෑල්ල අතෑරගන්න  බැරිි වුනාද. ලොයර් මස්සිනත්  කීප සැරයක්ම කිව්ව නේද සර්.. සර් ගාන්න එපා කියලා.” 

“කිව්වනං තමයි. ඒ උනාට ඒක කියවෙනවනේ. අන්තිමට යුගාශ් සර් කිව්වා මං කිසිම දෙයක් කියන්නේ නෑ ඔයාට කැමති දවසක කැමති නමකින් මට කතා කරන්න කියලා.” 

අපූර්වා  එසේ පැවසූයේ සිනහසෙමින්ය. ඊයේ පෙරේදාත් ඔහු ඇයට තරවටු කළේ ‘සර්’ කොටස ඉල්ලා අස්කර ගන්නට කොපමණ කල් ගතවේදැයි අසමින්ය. සමහර පුරුදු අතහැර ගන්නට ලෙහෙසි පහසු වන්නේ නැත.

“කමක් නෑ දවසක අපේ මහත්තයා,  මගේ මහත්තයා කියලා කතා කරන්න පටන් ගත්තට පස්සේ ඕවා නිකම්ම  ඇරිලා යයි.”

හේෂානි පැවසූයේ යෙහෙළියගේ කොපුලක් අතගාමින්ය. සිතෙහි වන සතුට ඇගේ හැම ඉරියව්වකින්ම විද්‍යාමාන වන්නට විය. යෙහෙළිය දුක් විඳි තරම දන්නා හේෂානිට ඒ සතුට මහ මෙරක් තරම්ය. ගමේ මිනිසුන් ඇය ගැන බොහෝ දේ කතා වෙනවායැයි ඊයේ පෙරේදා පැවසූයේ අම්මාය. මිනිසුන් එහෙමය. ඕපාදූප ඉගිල යන්නේ තටු සලමින්ය. 

“කවද හරි දවසක ඔය කටවල් වලින්ම අපූර්වා  ගැන ආපහු හරි ලස්සන දේවල් කතා කරයි අම්මේ..”

හේෂානි පැවසූයේ එපමණකි. යුවතියගේ ජීවිතය මත්තේ මල් යායක් පිපිය යුතුය. එසේ නොවේනම් මේ ඉර හඳ පවා විශ්වාස නොකරමියැයි ඕ සිතා ගත්තාය..

( හෙටත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here