අරුමැති ආදරයක් – 52

0
151

යුගාශ් අපූර්වාට දුරකතන ඇමතුමක් ලබා ගත්තේ උසාවියේ සිට ආපසු එන ගමනේදීය. පසුගිය දින කිහිපයේම ඔහු අවිවේකී වූ නිසා ඇයව මුණ ගැසෙන්නට තරම් අවස්ථාවක් වූයේ නැත. එහෙත් විටෙක දෙපැයකටත් වඩා දිගු වන දුරකථන සංවාදය තුළ දවසේ සිදුවීම් සියල්ලම හුවමාරු විය.

මහා වැස්සකට පසු නිහඬවන අහස සේ සියල්ල නිහඬ නිසොල්මන්වීම ඔහුගේ සිතට එක් කර තිබුණේ සැකයකි. පසුගිය දිනවල ඔහු අප්පච්චිව උසාවි සංකීර්ණය තුළ නොදුටු තරම්ය. පංචාලි පවා පැවසූයේ අදාල රාජකාරියෙහි නිරත වන ඔහු ඉක්මනින්ම කාර්යාලයෙන් පිටවයන බවය. 

“අංකල්කාරයා දන්නවා  බං දැන් නඩුව පරදිනවා කියලා. කොච්චර උනත් ඉතින් පොඩි අවුලක් හිතේ ඇතිනේ. තමන්ගෙම පුතාට සකන්ඩ් වෙන්න උනා කියන්නේ..”

තීක්ෂණ එසේ පැවසූයේ පෙර දා සැඳෑවේය. තමා මේ පහර ගසන්නේ ඔහුගේ අභිමානයට බව යුගාශ් දැන සිටියේය. විටෙක අප්පච්චී පිළිබඳව ඒ සිතෙහි දුකක් නොවූවාම නොවේ. එහෙත් තවදුරටත් අසාධාරණය දැක දැක නිහඬ වී සිටීමෙහි හැකියාවක් ඔහුට වූයේ නැත. මේ උසාවි භූමිය තුලම ඔහු වරදකරුවන් කල නිවැරදිකරුවන් ගණනත් නිවැරැදිකරුවන්කල වරදකරුවන් ගණනත් විශාලය. සේනක දයාල් වැනි මිනිසුන් වරදට බිය නොවන්නේත් අප්පච්චී වැනි දක්ෂයින් ඔවුන් ආරක්ෂා කරනබැව් දැන උන් නිසාය. පසුගිය කාලය පුරාම යුගාශ්ට ප්‍රශ්නයකට වූයේ අම්මාය. ඇයට දුකක් දීමේ හැකියාවක් ඔහුට වූයේ නැත.

“දරුවෙක්ගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවල්වල අම්ම තාත්තා ජීවත් වෙලත් එකට නැතිවෙනවා කියලා කියන්නේ ඒක කියන්න බැරි තරම් අඩුපාඩුවක්. ලෝකයක් කතා කරන මාතෘකාවක්. මට ඕන උනා ඔයාගේ ජීවිතේ ඒ හැම අවස්ථාවකම අප්පච්චිත් ඔයාගේ ලඟින් ඉන්නවා දකින්න. ඒක තමයි මං අප්පච්චිගෙන් කරපු එකම ඉල්ලීම. ඒ හේතුව නිසාමද මන්දා එයා කවදාවත් ඩිවෝස් එකක් ගැන මමත් එක්ක කතා කළේ නෑ. හැබැයි පුතා අද මං විශ්වාසයෙන්ම කියනවා අප්පචී ඔයාගේ ළඟ පෙනී නොහිටීමට වඩා ලැජ්ජාව වෙන්නේ පෙනී හිටීම කියලා. ඒ මනුස්සයා කරපු වැරදි ඒ තරම්ම තියනවා  පුතේ. ගොඩක් තැන්වලදී මම දරාගෙන ඉවසගෙන හිටියේ ඔයා නිසා. හැබැයි තවදුරටත් එහෙම දරාගෙන ඔයාව නිවටයෙක්  කරන්න මට ඕනේ නෑ. මේ වෙලාවේ මං බය වෙන්නේ ඔයාගේ ජීවිතේ ගැන විතරයි. ඔයා ඔයාගේ ආරක්ෂාව පරිස්සම ගැන මුලින් හිතලා කරන ඕනම දේකට මේ අම්මත් ඔයත් එක්ක ඉන්නවා.”

යුගාශ් තවත් ශක්තිමත් වූයේ තමාරාගේ ඒ වදන් නිසාය. පුතෙකුට ලොවක් දිනන්නට මවකගේ ආශිර්වාදය හොදටම ඇතිය.

“හැමදේම තමන්ගේ බලපෑම් වලට, බලයට, වචන වලට යටත් කරගන්න පුළුවන් කියලා හිතන මිනිස්සුන්ට තැනක වරදින්න ඕනේ. ඔයා කියනවා වගේ පුතා තමන්ගෙ වරද වැටහෙන්නේ නැති තාක්කල් මිනිස්සු හැදෙන්නෙ නැහැනේ. අප්පච්චි ඔයා ලඟ ලැජ්ජ වෙන්න ඕනේ තමයි පුතා. ඒක ස්වභාව ධර්මය එයාට දෙන දඬුවමක්..”

ඇය විශ්වාසයෙන්ම එසේ පැවසීම යුගාශ්ට නියත විවරණයක් බඳු වූවේය.

පළමුවර නාද වී නිහඬ වූ දුරකතනය මිහිරි සංගීත රාවයක් නිකුත් කරමින් යළිත් නාද වූයේ යාබද අසුන මතින් තබන්නට සැරසෙද්දීය.

“යුගාශ් සර්..”

“මොකද හති දාගෙන කොහෙද හිටියේ?”

“එක පාරටම වතුර එන්නෙ නැතුව ගියා. මං මෙච්චර වෙලා ඒක හැදුවා. මට ආච්චි කිව්වා ෆෝන් එක රිං වෙනවා කියලා. සර් කියලා හිතුවට ඉක්මනින් එන්න පුළුවන් කමක් තිබුණෙ නෑ.”

“ආ….දැන් පයිප්ප බාස් කෙනෙකුත් වෙලාද..”

“හැමදේම චුට්ට චුට්ට දන්නවා ඉතින්. තාත්ත නැති උනාට පස්සේ ගොඩක් වැඩ මට තනියම කරගන්න්න උනානේ..” 

“ඒක හොඳයි හදිසියේ මට නඩු නැතුව ගියොත් බය නැතුව කීයක් හරි හොයාගන්න පුළුවන්. ඉතින් අද මොකද උනේ..බාස්ලා ගියාද..”

“බාස්ලා ආයේ එන්නේ හෙට කිව්වනේ..අද තමාරා  මැඩම්ලා ආවා. අනේ මට කැම්පස් යන්න කියලා ඇඳුම් ගොඩක් ගෙනත් තිබුණා. වියදමට තියාගන්න කියලා සල්ලිත් දීලා ගියේ. මං ඒකනම් එපා කිව්වා. ඒත් මැඩම් ආච්චිට දීලා ගිහින්”

“හ්ම්…ඔයාගේ තමාරා වැඩම්ට පුතෙක්වත් ඉන්නවද දන්නෙ නෑ නේද..මෙච්චර ආදරේ කරන්නේ.”

“ඉන්නවා මං හිතන්නේ. දවසක් මට කිව්වා ‘ඔයාට පුතේ කියල කිය වෙන්නේ මගේ කොල්ලට කතා කරලා පුරුද්දට කියලා’. එහෙම උනොත් හොඳයි. මම නම් උඩින්ම කැමති වෙනවා.”

“ළඟ හිටියනම් අනිනවා ටොක්කක් ඔළුව හිල් වෙන්න”

“ඉරිසියාව නේද…අද හරි වැඩක් උනානේ..”

“ඒ මොකක්ද.”

“තමාරා මැඩම් ඉදිද්දිම ආච්චි ඇවිත් කිව්වා ඔයා ගැන මැඩම් එක්ක කතා කරන්න කියලා.”

“ඉතින්…ඔයා මම ගැන කිව්වද?”

“නොකියා ඉන්න බැරි උනා… එහෙම කියද්දි මට ඇඬුනා. ඒ නිසාද මන්දා මැඩම් අප්සෙට් උනා කියලා මට හිතුනා.”

“ඔය කරලා තියෙන්නේ හොඳටම..”

“ඇයි…”

“නෑ…නෑ මේ මං කිව්වේ ඇයි එච්චර ඉක්මන් උනේ ඉතින්. මං කිව්වනේ ඔයාගේ ඩ්‍රිග්‍රි එකෙන්  පස්සෙ මම ගෙදරට ඇවිත්  කතා කරන්නම් කියලා. දැන් කමක් නෑ. ඒ ගැන එච්චර හිතන්න එපා.”

“ඔව් මමත් එහෙම ආච්චිට කිව්වා. ඒ උනාට එයා බය ඇති නේද? ආච්ච හැම වෙලාවෙම හිතන්නේ මම තනිවෙලා කියලානේ.”

“ඒ බය සාධාරණයි අපූර්වා..ඔයාගේ මැඩම් මොනවද කිව්වේ?..”

“පරිස්සම් වෙන්න කියලා කිව්වා. තමන්ගේ සීමාව අවබෝධ කරගෙන ඒ සීමාවේ ඉන්න කියලත් කිව්වා. යම් තැනකදී නතර වෙන්න උනත් ඒ නතර වීම දරාගන්න පුළුවන් තරමට ශක්තිමත් වෙන්න කියලත් කිව්වා. නොගැලපෙන බැඳීම් ඇතුලේ  දුක වැඩියි කියලත් කිව්වා. ඒ කියපු දේවල් මටත් තේරුම් ගන්න බෑ සර්. මගේ ජීවිතයට කරදරයක් වෙයි  කියලා  සමහර විට මැඩම්  උනත්  බයවෙන්න ඇති. සමහරවිට අම්මා අසනීප නොවී හිටියනම් ඔය ටිකම කියයි”

“හ්ම්…අපි දෙන්නා විශ්වාසයෙන් මේ ගමන යමු අපූර්වා. සමහර විට ප්‍රශ්න එයි. හිත් රිදීම් වෙයි. අපි දෙන්නටම දුක් විඳින්නත්  වෙයි. සමහර දේවල් දරා ගන්න අමාරු වෙයි. සටන් කරන්නත් වෙයි. ඒත් අපි දෙන්නා ශක්තිමත්ව ඉමු.  හැම තැනක්ම ගලපන්න අපිට බැරි වෙයි අපූර්වා. ලේසියෙන්ම ලැබෙන  දේවල් ලස්සන නෑ. අපිට හොඳටම අපි ගැලපෙනවා කියලා අපි දෙන්නටම විශ්වාසයිනෙ.”

“සර් එහෙම  කියනකොට මට බයක් හිතෙනවා.”

“හැම දේකටම ඔයත් එක්ක මමත් ඉන්නව කියලා මතක තියා ගන්නකො දැනට ඒ ඇති. මට ඔයාව ඕනේ මං දන්න් එච්චරයි. ඉතින්…කියන්නකෝ ඔයාලගේ මහ ගෙදර හොල්මන් කතාව ගැන.”

යුගාශ්ට උවමනා වූයේ කතාව වෙනතකට හරවන්නටය. සිදුවී තිබුනේ සිදු නොවිය යුත්තකි. 

“අලුත් දෙයක්නම් දන්නෙ නෑ. එදා ත්‍රී වීලර්  පාක් එකේදි කතාවුණු දේවල් තමයි.”

“ඔය හැමදේම හිත. එයාලගේ හිත එයාලට වද දෙනවා ඇති අපූර්වා. එයාලා දන්නවනේ එයාලා කළේ හරි දෙයක් නෙමෙයි කියලා. හෘද සාක්ෂියෙන් ගැලවිල්ලක් නෑ කියන්නේ ඕකට”

“ඒ උනත් එයාලා  මගේ තාත්තට කරන්නේ අපහාසයක් නේද..දැන් ගමේ මිනිස්සු කතා වෙනවා ඇති මගේ තාත්තා  හොල්මනක් වෙලා තියෙනවා. එහෙම උනානම් ඇයි එයා මං ලඟ⁣ට නොඑන්නේ”

“අලුත් මාතෘකාවක් ලැබෙනකල් ඒ ගැන කතා කරයි අපූර්වා”

“තාත්තට පින් ගන්න බැරි තැනක ඉන්නවද දන්නේ නෑ නේද සර්…”

“එහෙම නෑ. ඒ ගෑණු  කෙනා විතරක් දවල් දවසේ ගෙදර ඉන්නකොට එක එක දේවල් හිතෙනවා ඇති.  අනිත් එක ගමේ මිනිස්සු මේ කතා එයාලා එක්ක  කියලත් ඇතිනේ. අපි ආච්චි කියපු විදිහට තාත්තා වෙනුවෙන් දානයක් දෙමු අලුත් ගෙයි පදිංචි වෙලා.”

“මමත් එහෙම හිතුවා. මමත් ඒ වගේ දේවල් නං විශ්වාස කරන්නේ නැහැ. සමහරවිට හිතා මතාම අපිව අපහසුතාවයට පත් කරන්න කියපු බොරුවක් වෙන්නත් පුළුවන්”

“එහෙනම් ඔයා වැඩ ටික කරගන්නකෝ. පයිප්ප වැඩත් ඇතිනේ. මම ටිකක් රෑ වෙලා කතා කරන්නම්. පරිස්සමට කළුවරේ තනියෙන් එහේ මෙහේ දුවන්න එපා. හැබැයි දෙයක්ම හෙමින් විසඳගමු. සතුටුම දවස් එන්නේ ඉස්සරහට.  ඒ නිසා කිසිම දෙයක් ගැන ඕනවට වඩා හිතන්න යන්න එපා. සෙනසුරාදා උදේ මම එනවා ඔයාව එක්කරගෙන යන්න.”

“අනේ එච්චර උදෙන්…ඒකනම් කරන්න එපා. කැම්පස් එකට නවයට යන්න මෙහෙන් පහටවත් යන්න වෙයි මම”

“ඇයි…..එපා කියන්නේ..”

“මේ කරන දේවල් හොඳටම ඇති. උදේ පාන්දර නින්දත් නැති කරගෙන එහෙම ආවහම මට හරි දුකයි. මට පව් පිරෙයි.

“ඉස්සෙල්ලම දවසනේ අපූර්වා. ඔයාගේ ළඟ ඉන්න බැරි උනහම මටත් දුකයි.”

තරුණයා දුරකතනය විසන්ධි කලේ එසේ පවසමින්ය. අපූර්වාට ඕනෑ වූයේ මේ හීනයේම ජීවත් වන්නටය. ඒ ආදරය මේ හදවත තුල  ඉඩ  සොයා යන්නේ අංශුමාත්‍රයකවත් හිස් තැනක් ඉතිරි නොකරමින්ය. විටෙක මේ හදවතට  දරාගත නොහැකි වන්නේත් ඒ නිසාය. මේ ජීවිතයේ සියළු පැතුම් එක්තැන් වූ තැනය. 

දුරකතනය විසන්ධි කළ තරුණයා එහෙමම ඇමතුමක් ලබාගත්තේ තීක්ෂණටය.

“කියහං..”

“උඹ කොහෙද ඉන්නේ..”

“තවම අලුත්ගම.”

“එහෙනම් ඔහොමම අපේ ගෙදරට පලයන්”

“ගිහින්…”

“ඒ ලඟට ගියපු ගමන් ආවා වගේ අපේ අම්මත් එක්ක චැට් එකක් දාලා බලහංකෝ.”

“ඇයි බං මොකද වෙලා තියෙන්නේ?”

“අපූර්වා ඔක්කොම අම්මත් එක්ක කියලනෙ බං.”

“ඒ කිව්වේ..”

“මං ගැන…මං ගැන..”

“අනේ සාධු මං කිව්වා උඹට ඔය ටික වෙයි කියලා. මචං එයා නියමෙට වැඩේ දීලා තියෙන්නේ.”

“ඒකනේ බං.” 

“ඉතින් ආන්ටි මොකද කියල තියන්නේ. එයාව ලේලි විදිහට පිළි අරගෙනද..”

“පිස්සුද බං. අම්ම අවුලෙන් බං.  ඒ ගැන කතා දෙකක් නෑ. උඹ කිසිම දෙයක් නොදන්න විදිහට පලයංකෝ. අම්ම මොනවා කිව්වත් සද්ද නැතුව අහගෙන ඉදපං. උඹ මේ මුකුත් දන් නෑ හරිද..වැඩේ වණ කරගන්න එපා..”

“මම ද යකෝ වණ කර ගන්නේ. තෝ නේ හත්පොළේ ගා ගන්නේ..කොහොමත් ආන්ටි නිකං  ඉන්න එකක් නෑ. පහුගිය දවස්වලත් කීප පාරක්ම උඹට අනතුරු ඇගෙව්වනේ සීමාව මතක තියා ගනින් කියලා”

“මං අම්මට පොරොන්දුත් උනා බං එහෙම දෙයක් වෙන් නෑ කියලා. මාර අවුල බං උනේ. මගේ ප්ලෑන්ස් ඔක්කොම අවුල් වුනා. කතා නොකර හිටියේ එයාගේ ඩ්‍රිග්‍රි එක  ඉවර වෙනකල් බං. මං  අම්මව මේ ප්‍රශ්නෙට සම්බන්ධ කරගත්තෙ මුලින්ම මට තිබුණේ අපූර්වට උදව් කරන්න වුවමනාව විතරක් නිසා.”

“ඒ අනුකම්පාවනේ පස්සේ භූමි කම්පාව උනේ..යසයි. ගිනි ඇවිලිලා යන්න ඔන්න මෙන්න..ආන්ටි අවි අමෝරනකොට තමයි මටනං…මාර හැපී..”

“නොදකිං ගස් බල්ලෝ..මිනිහෙක් අමාරුවෙ වැටුණම ඔහොම හිනා වෙනවද? අනිවාර්යයෙන්ම අම්මා අවුලෙන් ඇත්තේ. මේ දේවල් මම එයාට නොකියා අපූර්වාගෙන් අහගන්න වෙච්ච නිසා.  මචං චුට්ටක් බලලා ෂේප් එකක් දාපං..”

“මහ ලොකු ලෝයර් මහත්තයා..උඹල දාගන්න මේ නඩු බේරන්න වෙන්නේ මට තමයි ඉතින්. අපූර්වත් අනේ මන්දා..ගෑනු ගති ඔක්කොම එකතු වෙච්ච පැකේඡ් එකක්ද කොහේද. රහස් රකින්න කියාපු  බඩු.  යකෝ උඹ ආන්ටිට මේ තරං බයයි කියලා මං දැනගෙන හිටියේ නෑනේ බං.”

“උඹට  වෙන නඩු නැති එකේ මගේ නඩුවවත් බේරපන්කෝ. මේවා ඇස් පනාපිටම ඵලදෙන පින්කම්. මට ඕන්නං පංචාලිත් එක්ක කතා කරන්න පුළුවන්.” 

“අනේ මේ පලයන් මාව අමාරුවේ නොදා..දැන් උඹ කොහෙද ඉන්නේ.”

“මහ මග බං මහ මග…උඹ  ගෙදරට පලයංකෝ ගිහිල්ලා සිටුවේෂන් එක බලලා මට කෝල් එකක් දීපන්. පොඩි වැඩ වගේකුත් තියෙනවා. මං ඒ ටික කරගෙන එන්නම්.”

“පරිස්සමෙන් ඈ හෙට නඩුව..උගේ මේ නිහඬ කමත් මට මාර වදයක්.”

“හරි හරි බං මං ලොකු දුරකට යන්නෙ නෑ. ටවුන් එකේ ඉන්නේ..උඹ බලහං මට ගෙදරට එන්න පුළුවන් වාතාවරණයක් තියෙනවද කියලා”

යුගාශ් වාහනය නිදහස් අවන්හලක් වෙත හැර වූයේ මිතුරා සමඟ සමග කළ දුරකථන සංවාදය නිමා වූවාට පසුවය. අපූර්වා හමුවන තුරුම ඔහුගේ ජීවිතයේ වැදගත්ම චරිතය වී තිබුණේ අම්මාය. අදටත් ඒ දෙදනාට මේ හදවතෙහි ඇත්තේ දෙවිදියක ඉඩකි. ඇයට සඟවන්නට තරම් රහස් යුගාශ්ට වූයේ නැත. මුලින්ම ඔහුට ද  අපූර්වා ගැන වූයේ  දුකකි. අනුකම්පාවකි. උවමනා වී  තිබුණේ අප්පච්චිගේ මැදිහත්වීමෙන් යුවතියට අහිමි කළ සතුට යළි ඇයට ලබා දෙන්නට ය. වෙලාවේ හැටියට ඒ කාර්ය ඉටු කළ හැකි වන්නේ අම්මාට පමණක් යැයි ඔහු විශ්වාස කළේය. 

අපූර්වාව තම ජීවිතයට අහිමි කර ගැනීමට වූ ලෝබකම දැන් වෙනදාට වඩා තරුණයාගේ  සිතට වද දෙමින් තිබේ. ඒ ආදරය බව ඔහු විශ්වාස කළේය. අම්මාගේ සිතෙහි අපූර්වා කෙරෙහි වන්නේ ආදරයත් අනුකම්පාවත් එකට එක් වූ හැඟීමක් බව යුගාශ් දනී. එහෙත් ඒ ආදරයම අපූර්වාට  ලේලියක ලෙස ඒ සිතෙහි තැනක් හිමි වීමට  හේතුවක් නොවන බවද විශ්වාසය. දිගු සුසුමක් මුදාහළ තරුණය විනාඩි කිහිපයකට පෙර ඇණවුම්කල දොඩම් යුෂ වීදුරුව තොල ගාන්නට වූයේ නොසන්සුන් හැඟීම් ගොන්නක් සමඟය. 

( යළිත් හමු වෙමු ආදරයෙන් )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here