ඔබෙ ආදරෙන් මා දැවේ – 15

0
1660

“උඹ කොච්චර ගැණුන්ට උදව් කරත් උන් දිහාව බලන්නෙ මහ අමුතු ඇහැකින්” කියා තුරුණුට කිව්වේ මධුරය. තුරුණු එදා බොන්න හේතුව විදියට කිව්වේ තව නඩුවක් ජයග්‍රහණයකින් අවසන් කර ගෘහස්ත හිංසනයෙන් පීඩාවට පත්වෙමින් උන් ගැහැනියකට නිදහසක් ලබා දෙන්නට හැකි වීම ගැනය.

“ඇයි එහෙම කිව්වේ?” කියා මධුරගෙන් අහද්දිත් තුරුණු උන්නේ ලාවට හීනියට වගේ මත් පතුලක් බලා පිහිනා යමිනි.

“නෑ උඹ උසාවියෙදි අසරණ වෙච්ච ගෑනු වෙනුවෙන් උගුර කඩන් කෑගහනවා. හැබැයි ඒ ගෑනුන්ට උඹ උදව් කරන්නෙ ඒක උඹෙ රස්සාව හන්දා මිසක් උඹ උන් ගැන සිරාවටම අනුකම්පා කරන හන්දා නෙවෙයිනෙ” කියා මධුර කියද්දී තුරුණු කරේ හිනාවෙන එකය.

“උඹ හිතන්නෙ ඔය උසාවියට එන ගෑනු, මිනිහට වෙන ගෑනු ඉන්නවා, මිනිහා ගහනවා කියල මිනිහා පිටම වැරදි දාන්න හැදුවට ගෑනුන්ගෙ වරදක් නෑ කියලද?” කියා තුරුණු අහද්දී මධුර උන්නේ ඒ හරුපෙ කුමක්ද කියා තේරුම්ගන්න බැරුවය.

“දැන් උඹ කියන්නෙ ඔය වෙන මිනිස්සු ඉන්න, මිනිහගෙන් ගුටි කන ගෑනුන්ට එහෙම වෙලා තියෙන්නෙ උන්ගෙ වරද හන්ද කියලාද?”

“ඔව්” කියා තුරුණු කියද්දි මධුර ඇස් උඩ තියාගෙන තුරුණු දිහා බලාගෙන උන්නේ “මොකද්ද බං උඹ කියන්නෙ? මට තේරෙන්නෙ නෑ” කියා අහන්න වගේය.

“ඔය ගොඩක් හස්බන්ඩ්ට වෙන අෆෙයාර්ස් තියෙනව, හස්බන්ඩ් ගහනවා කියල මගෙ ලඟට ආව ගොඩක් ලේඩීස්ලා මැරි කරලා තියෙන්නෙ අෆෙයාර්ස් වලින්. හරිම කලාතුරකින් තමයි එක්කෙනෙක් දෙන්නෙක් වගේ ප්‍රපෝසල් වලින් මැරි කරලා තියෙන්නෙ. ඒ ගොඩක් අෆෙයාර්ස් වලින් බැඳපු කෙල්ලො මේ තමන් කසාද බඳින්න යන කෙනා මෙන්න මෙහෙමයි කියලා පෙනි පෙනි තමයි කසාද බැඳලා තියෙන්නෙ.

මගෙ එක කේස් එකක් ආව දැන් කාලෙකට කලින් ඒ හස්බන්ඩ් ඩ්‍රග්ස් ගන්නවාලු. එහෙම අරගෙන වයිෆ්ව සෙක්ශුවලි ඇසෝල්ට් කරනවාලු. අපි ඔය ඩොමෙස්ටික් වයලන්ස් අරවා මේව කතා කරාට අපි ඔය මැරේජ් එකක් අස්සෙ හස්බන්ඩ් අතින් වයිෆ්ට වෙන සෙක්ශුවල් ඇසෝල්ට්ස් ගැන එහෙම කතාකරන්නෙ නෑනෙ. ඒ කේස් එකත් වින් කරපු එක ඇත්ත. හැබැයි ඒ කේස් එක ඉවර වෙලා උසාවියෙන් එලියට බැහැලා ඒ ලේඩි මට කිව්ව දෙයක් තමයි මචං ගෑනු සමහර වෙලාවට වලට පනින්නෙ වල මෙච්චර ගැඹුරුයි කියලා දැන දැනමයි කියලා.

යාලුවෙලා ඉන්න කාලෙ, ආස්‍රය කරද්දි එහෙම හොඳටම තේරෙනවා තමන් මේ අත වනන්නේ රෙඩ් ෆ්ලෑග් එකකට කියලා. හැබැයි අර ආදරේ නිසා අන්ධ වෙලානෙ ඉන්නෙ. ඒ කාලෙට හිතන්නෙ කොහොමද “අනේ මෙයා වෙනස් වෙයි, මට ආදරේටනෙ මේ ඔක්කොම කරන්නෙ, මට පුලුවන් වෙනස් කරගන්න” කියලා. සමහරු සමාජෙ මොනවා කියාවිද කියලා බයටත් එක්කම සම්බන්ධෙ කොච්චර රෙඩ් සිග්නල්ස් දුන්නත් අයින් වෙන්නෙ නැතුව ඉන්නවනෙ. එහෙම ඉඳලා කසාද බැන්දම, කැලේ මාරු උනත් කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ කියලා තේරෙද්දි ගෑනු මොකද කරන්නෙ ඉවසන්න පටන් ගන්නවා. “ආදරේ වෙනුවෙන් ඉවසන්න බැරිද, එයා මොනවා කරත් මම ආදරෙයිනෙ” කියල ඉවසන්න ගන්නවනෙ. ඒත් මචං ඒ ඉවසීමටත් සීමාවක් තියෙනවා. අන්න එදාට තමයි එහෙම ගෑනුන්ව අපිට උසාවි වලදි හම්බු වෙන්නෙ”

“”එහෙම මිනිස්සුන්ට සෙකන්ඩ් චාන්ස් එකක් හම්බුනොත් උන් වෙනස් වෙන එකක් නෑ කියලා උඹ හිතනවද?”

තුරුණු ඔහුගේ වීදුරුවේ තිබූ ඉතිරි බීම ටික එක හුස්මට බී හිස් වීදුරුව මේසය මත තිබ්බේ මධුරගේ ප්‍රශ්නයට පිළිතුරු සොයාගන්නට අවශ්‍ය විරාමයක් ගන්න ගමන් ය.

“සෙකන්ඩ් චාන්ස් එකක්? සමහර දේවල් වලට මචං සෙකන්ඩ් චාන්ස් කියලා දෙයක් නෑ. එකයි තියෙන්නෙ. ඒක හරියට හිතලා කරලා ගන්න ඕන. ආදරේ වගේ දේවල් අපි කියන්නෙ හිත අස්සෙ ඉපදෙන සිතුවිලි කියල උනාට මැරේජ් එකක් වගේ දේවල්, අෆෙයාර් එකක් වගේ දේවල් ගැන අපි ඩිසිශන්ස් ගන්න ඕන හිතෙන් නෙවෙයි මචං මොලෙන්. මම කිව්වේ අපි වැරදි තීරණ ගන්න විදිය ගැන. ගොඩක් වෙලාවට අපි ආදරේට අන්ධ වෙලා, ‍රෙඩ් ෆ්ලෑග්ස් පෙනි පෙනීත් ඉස්සරහට යනවා. ඒ ගමන නවත්තගන්න හිතෙන්නේ නැහැ. මම ඔය කියන සෙකන්ඩ් චාන්ස් එක ගැන විශ්වාස කරන්නේ නැහැ. මොකද, මනුස්සයෙක්ට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි එයා වෙනස් වෙන්නෙ එයාලාට හිතුණොත් විතරයි. තව කෙනෙක් නිසා වෙනස් වෙන්නේ නෑ. ඒක තාවකාලික දෙයක්. ඔය ලෝකේ කිසිම කෙනෙක් වෙනස් වෙන්නේ තව කෙනෙක් වෙනුවෙන් නෙවෙයි. තමන්ට වෙනස් වෙන්න ඕන නිසා විතරයි.කවුරු කොච්චර කිව්වත් “මට පුලුවන් උනා එයාව වෙනස් කරගන්න” කියලා නෑ මචං නෑ. උන් වෙනස් උනේ උන්ට ඒ උන් කරගෙන ආව විදියෙ අවුලක් තේරිච්ච හන්දා මිසක් අනික් කෙනා කිව්ව හන්දා නෙවෙයි. 

“එතකොට උඹට හිතෙන්නේ නැද්ද, මිනිස්සුන්ට පුළුවන් කියලා, තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් වෙනස් වෙන්න?” මධුර ඇසුවේ තුරුණුගේ මුහුණ දිහා කෙලින්ම බලාය.

තුරුණු හිනා වුනේ ඒ වචන වලටය. ඒ හිනාවේ තිබුණේ කටුක යථාර්ථයක් බව දැන උන්නේ තුරුණු පමණකි.

 “මචං, මම ඇහෙන් දැක්ක කනෙන් ඇහුව දේවල් වලින් මම දැකලා තියෙනවා ගෑනු කොච්චර වාරයක් මිනිස්සුන්ට සෙකන්ඩ් චාන්සස්  දීලා තමන්ගේ ජීවිතේ විනාශ කරගන්නවද කියලා. ඒක අර එයා හොඳ වෙයි, මං හින්දා එයා වෙනස් වෙයි කියලා ගෑනුන්ගෙ හිත්වල තියෙන මිත්‍යාවක්. මට ගෑනු එක්ක තියෙන තරහත් ඒක. උන් වලට වැටෙන්නෙ ඒක වලක් බව දැන දැන කැමැත්තෙන්මයි. ඒ වල ඇතුලෙ සුර සැප තියෙනවා කියලා හිතාගෙන. ආදරේ කරද්දිත්, කසාදයක් කරද්දිත් මචං, පේන රතු එළි නොදැක්කා වගේ ඉන්න හොඳ නැ. සමහර රතු එළි ජීවිතේ  අපිට ඇස් දෙකෙන් දකින්න බැරි පාරවල් පෙන්වන රතු එළි. ඒ රතු එළි දැක්කාම නවතින්න ඕනේ. ආපස්සට හැරෙන්න ඕනේ. නැත්තම් ආයෙ ඒමක් නෑ. ආවත් අර හිටපු තැනටම එන්න පුලුවන් වෙන්නෙ නෑ

අනික උඹ ඔය කිව්ව සෙකන්ඩ් චාන්ස් එක තියෙන්නෙ. සෙකන්ඩ් චාන්ස් එකක් කියන්නේ මචං, හරියට කැඩිච්ච වීදුරු බෝතලෙකට අලුතින් වතුර පුරවන්න හදනවා වගේ වැඩක්. කොච්චර වතුර දැම්මත්, කැඩිච්ච බිඳිච්ච බෝතලයක් අස්සෙ වතුර රඳන්නෙ නෑනෙ බං. එළියට ගලලා යනවා. මිනිස්සුත් එහෙමයි. කෙනෙක් වැරදි කළාට පස්සේ, ආයෙත් ආයෙත් එයාට අවස්ථාව දුන්නම, එයා ඒ වැරද්දම ආයෙත් ආයෙත් කරනවා. මොකද එයා හිතනවා, ‘මම වැරැද්දක් කළත්, මට සමාව ලැබෙනවා’ කියලා. එතකොට ඒක පුරුද්දක් වෙනවා. එහෙම වෙද්දී, ආදරය කියන දේ නැතිවෙලා, බොරු ඉවසීමකුයි වේදනාවකුයි විතරක් ඉතිරි වෙනවා”

“දැන් උඹ මෙච්චර වෙලා කිව්වෙ ගෑනු ගැනනෙ? පිරිමි ආදරෙ හන්දා විඳවන්නෙ නැද්ද එතකොට? පිරිමි කරන්නෙ ගෑනුන්ට දුක් දෙන එක විතරද?” කියා මධුර අහද්දී තුරුණු හිනාඋනේ “උඹ ඔය නොකිය කියන්නෙ මං ගැන නේද?” කියා පවසන්නට මෙන් ය.

ආදරය නිසා රිදුණු හිත් සනසවන්නට, සාධාරණයක් ඉටු කරන්නට උසාවි මේ ලෝකයේ නැත. තමන් ආදරය කළ කෙනා විසින් තමන්ව රවටනු ලැබූ විට හෝ රිදවූ විට, ඒ වෙනුවෙන් නඩු දාන්නට, සාධාරණයක් ඉල්ලා සිටින්නට තැනක් හෝ  ඉඩක් නැත. 

ශරීරයට සිදු වෙන හානි වෙනුවෙන් සාධාරණයට ඉටු කරන්නට ඔසු ද නීතියද තිබුනද හදවතට සිදුවන තුවාල, හිතට දැනෙන වේදනාව මනින්නට කිසිම නීතියක් හෝ උසාවියක් නැත.

අපි ආදරය කරන කෙනා අපිට වංචා කළ විට, අපිව රිදෙව්විට, ජීවිතයට අන්ධකාර වන බව හැබෑවකි. ඒ අන්ධකාරයෙන් එළියට එන්නට අපි කොතෙක් නම් වෙහෙසිය යුතුද යන්න දන්නේ එක දිනකට හෝ එවන් අන්ධකාරයක ගිලී ගිය අයෙක් පමණකි.. ආදරය නිසා රිදුණු හදවතකට සාධාරණයක් ලැබෙන්නේ, තමන්ගේ හිතේ තියෙන වේදනාව තේරුම් අරගෙන, අලුතින් ජීවිතය පටන් ගත්ත දවසට විතරක් ය. ඒ වනාහී ආදරය නිසාවෙන් බිඳුණු හිතක් ඇත්තෙක් තමන්ගේ හිතට තමන් විසින්ම දාන නඩුවක් බඳු ය. ඒ නඩුව දිනන්නට පුළුවන් අපිට විතරමය. ආදරය නිසා රිදුණු හදවතක් තියෙනවා නම්, ඒ වේදනාව වෙනුවෙන් හැඬිය යුත්තේද, දුක් විය යුත්තේද එනිසාමය. 

ආදරයෙන් රිදුණු හදකට කල හැකි උපරිම සාධාරණය එයය.

තුරුණු උන්නේ ඒ හැඟීම වදන් කරන්නට හිතෙන් අවසර ඉල්ලමිනි.

“මචං ආදරෙ නිසා රිදෙන්නේ ආදරය කරපු හිත්වලට මිසක්, ගෑනුන්ටවත් පිරිමින්ටවත් නෙවෙයි. මේක තමයි මචං ඔය ආදරේ කියන දේ තියෙන ඇත්ත. මිනිස්සු ආදරේ කරන්නේ ඇඟෙන් නෙවෙයි, හිතෙන්නෙ. ඒ නිසා රිදෙන්නේත් අපේ හිත්වලට.

ඒක හරියට මම උඹට මගේ හිත දුන්නා කියපංකො. උඹ ඒ හිත පරිස්සම් කරගෙන ඉන්නකොට මට හරි සතුටුයි. ඒත් උඹ ඒ හිත කඩලා බිඳලා දැම්මාම, රිදෙන්නේ මගේ හිතට. ඒ වේදනාව මට තනිවම දරාගන්න වෙනවා. මගේ කඳුළු උඹට පේන්නේ නැහැ.පෙනුනත් උඹට පේන්නෙ කඳුලු උනාට වේදනාව නෙවෙයිනෙ මචං. මගේ දුක උඹට තේරෙන්නේ නැහැ. ගෑනුන්ට හරි පිරිමින්ට හරි ආදරේ කරන්න පුළුවන්. හැබැයි රිදෙනකොට, ඒ වේදනාව දැනෙන්නේ ආදරය කරපු කෙනාට විතරයි. එහෙම නැතුව අපිට කියන්න බෑ මචං ආදරේදි වැඩිපුර රිදෙන්නෙ හෝ කැපකිරීම් කරන්නෙ ගෑනුවත්  පිරිමිවත් කියලා. ඒක කරන්නෙ ආදරේ කරන කෙනා.

ඒ නිසා මචං, ආදරය කියන දේ පරිස්සමෙන් පාවිච්චි කරන්න. හිතක් දුන්නාම, ඒ හිත පරිස්සම් කරන්න. මොකද කෙනෙක්ගේ හිතක් කැඩුවම, ඒ වේදනාව කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒක ජීවිත කාලය පුරාම පොඩ්ඩ පොඩ්ඩ හරි හොල්මන් කරනවා.

ආදරේ කරපු එකාගෙ හිතේ විතරක් නෙවෙයි මචං.

ආදරේ කරපු හිතකට ගින්දර දුන්න එකාගෙ හිත අස්සෙත් ඒ වේදනාව කවදාහරි හොල්මං කරනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here