ආදර සැලසුම් – 39

0
1548

චන්දික රැස්වීමකට යා යුතු බව කියමින් මෞර්යා සමග ගමනට එක් වීමෙන් වැළකී සිටියේ හිතාමතාමය. මෞර්යා තම දියණිය බව අශිකා දැන ගැනීම බොහෝ ගැටලු රැසකට මුල පිරීමක් වනු ඇතැයි චන්දික අනුමාන කළේය. 

ආදිත්‍ය විසින් එවන ලද මං සලකුණු ඔස්සේ මෞර්යා ආදිත්‍යය ගේ මහ ගෙදර වෙත වාහනය පැදවූයේ සිතුවිල්ලේය. දන්නා තරමින් අශිකා යනු තම දෙපුත්‍රයන්ව ලෝකය කර ගත් අහිංසක මවකි.එවන් මවකට තම වැඩිමහල් පුත්‍රයා හට අත් වී ඇති ඉරණම දරා ගත නොහැකි තත්ත්වයකට පත්ව සිටීම අරුමයක් නොවේ. 

ආදිත්‍යය ගේ වාහනය නිවස අද්දර නවතා තිබෙන දුටු මෞර්යා ඒ අසලින්ම වාහනය නතර කර එයින් බැස ආදිත්‍යයට තමා පැමිණි බව සටහන් කරමින් කෙටි පණිවිඩයක් යවා බලා සිටියාය.විනාඩි කිහිපයක් ඇතුළත ආදිත්‍ය පසෙක වූ කුඩා ගේට්ටුව විවෘත කර ගෙන පැමිණියේය

” ඔයා හිටියොත් හොඳයි කියලා හිතුන නිසයි මං එන්න කිව්වේ මෞර්යා. අම්මා ඇහුවොත් එහෙම ඔයාගේ ඕන කමට ආවෙ කියලා කියන්න පුළුවන්ද ? ” 

මෞර්යා මඳ සිනාවක් පාමින් හිස දෙපසට වැණුවේ එයට එකඟ වෙමිනි.ආදිත්‍ය ඉස්සර වූ අතර මෞර්යා ඔහු පසු පසින් පැමිණ නිවසට ඇතුළු වූවාය.ඒ වනවිට අශිකා උන්නේ අභිමන් සමඟ සාලයේ වාඩි වී ය. මෞර්යා නිවසට ඇතුළු වන දුටු අශිකා ගේ මුහුණ සිනහවකින් ආලෝකමත් වූයේ සැණෙකිනි.

” අනේ ඔයාද ආවේ දරුවෝ ? ආදිත්‍ය කිව්වට ඔෆිස් එකේ ළමයෙක් එනවා කියලා මං දැනගෙන හිටියේ නෑ ඔයා කියලා. වාඩි වෙන්න”

අභිමන් සහ ආදිත්‍ය පසෙකට වී හුන් අතර මෞර්යා අෂිකා අසලින්ම අසුන් ගත්තාය.

” අම්මට දැන් කොහොමද ? ” 

මෞර්යා එසේ ඇසූ විට අශිකාගේ මුහුණ වෙනස් වූ අතර ඇය ආදිත්‍ය සහ අභිමන් දෙස මාරුවෙන් මාරුවට බැලුවාය.

” අම්මා ? ” 

මෞර්යා තැති ගත්තාය.මේ තමා ගේ ආයතන ප්‍රධානියන් දෙදෙනා ගේ මවය. තමා ඇය ඇමතිය යුත්තේ අම්මා කියා නොවන බව මෞර්යාට වැටහුණේ පසුවය.

” අනේ සොරි මැඩම්.මට කියවුනා ” 

මෞර්යා සමාව අය දින ස්වරයෙන් කීවාය.අශිකා ආදරයෙන් සිනාසී මෞර්යා ගේ උකුල මතින් අත තැබුවාය.

” ගෑණු දරුවෙක් ගෙ කටින් මට අම්මා කිව්වමයි පුතේ. මං ඒකටයි පුදුම වුණේ ” 

ෂෙහාරා මේ මුළු කාලය පුරාවටම තමාට ඒ ආකාරයෙන් අමතා නැත. ඇත්තටම ගැහැණු දරුවෙකුගේ මුවින් අම්මා යන වචනය තමා වෙත පිට වූයේ මෞර්යා ගෙනි.මෞර්යා යනු වැදගත් පවුලක යහපත් ලෙස හැදී වැඩුණු හොඳ ගතිගුණ ඇත්තියක බව අශිකා වටහා ගත්තේ විනෝද චාරිකාව අතරතුරදීය.ඒ නිසාම මෞර්යා කෙරෙහි ඇය තුළ වූයේ ඉතා හොඳ හැඟීමකි. 

” අම්මට ෂෙහාරා කවදාවත් ඔහොම කතා කරල නෑ මෞර්යා. එයා කියන්නේ ආන්ටි කියලා. ඒකයි ඔය ” 

ආදිත්‍ය කීවේ සංවේගයෙනි. තමා අශිකා ව ඇමතූ ආකාරයට ඇය පුදුම වූ හේතුව මෞර්යා හරියටම වටහා ගත්තේ ඒ මොහොතේ දී ය. 

” මට දුවෙකුත් ඉන්නවා කියලා මං හිතා ගන්නම්කො දැන් ” 

අශිකා ආයාසයෙන් සිනාසුනාය.මෞර්යාව මේ තරම් ළඟකට දකින්නේ දැන්ය.ඇය සුන්දරය.ප්‍රියමනාපය.මෘදු ගතිගුණ සහිතය.මෙවන් දියණියක් තමාට සිටියා නම් මොන තරම් දෙයක්දැයි අශිකා සිතුවාය.

” අම්මා ඔහොම කතා කර කර ඉන්නකෝ මෞර්යා එක්ක. මං අම්මට කොෆී එකක් හදා ගෙන එන්නම් ” 

ආදිත්‍ය මුළුතැන්ගෙය දෙසට යන්නට හැරුණේය. ඒ සමගම මෞර්යා සැණකින් නැගී සිටියාය.

” මිස්ටර් ආදිත්‍ය ” 

ආදිත්‍ය නැවතුනු අතර අභිමන් මේ සියල්ල නිහඬව බලා සිටියේය.

” මං කොෆි හදන්නම්. මිස්ටර් ආදිත්‍යය අම්මා ගාව ඉන්න ” 

” යමුකෝ කිචන් එකට ” 

එසේ කියූ ආදිත්‍ය ඉස්සර වූයේය. අභිමන් සහ අශිකා ඔවුන් දෙදෙනා යන දෙස බලා උන්නෝය.

” සී දේවී කෙල්ලෙක් පුතා ” 

අශිකා මිමිනුවාය.අභිමන් කිසිවක් කීවේ නැත. කුමක් හෝ කාර්යයක් සඳහා මෞර්යා තම සහෝදරයාට අමතා ඒ අනුව ඇය මෙහි පැමිණෙන්නට ඇතැයි අභිමන් අනුමාන කළේය.ඇය කුමන හේතුවකට කුමන ආකාරයෙන් මෙහි පැමිණියත් ඇය ඇස් මානයේ හිඳීමම සතුටට කරුණකි.

ආදිත්‍ය මෞර්යා සමග මුළුතැන්ගෙයට පැමිණි අතර උදෑසන අශිකා අතින් බිම වැටුණු පරිප්පු ඇතිලිය එතනම තිබෙනු දක්නට ලැබුණි. ආදිත්‍ය සූදානම් වූයේ එය පිරිසිදු කිරීමටය.

” මං ඕක කරන්නම් ආදිත්‍ය.ඉන්නකෝ ඔයා ” 

මෞර්යා බිඳුනු වළඳේ කැබලි එකින් එක එකතු කළේ ආදිත්‍ය බලා හිඳිද්දීය.

” මං ඔයාට එන්න කිව්වේ මේ වැඩ කරගන්න නෙමෙයි මෞර්යා ” 

” මොකට හරි කමක් නෑ.ඔයා ගිහින් අම්මා ගාව ඉන්න මං මේක අස් කරලා කොෆි හදන් එන්නම් ” 

මෞර්යා එසේ කීවත් පිරිසුදු කිරීම සඳහා ආදිත්‍ය ඇයට උදව් කළ අතර විදුලි කේතලයට වතුර පුරවා එය ක්‍රියාත්මක කළ ආදිත්‍ය කෝපි සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය ඉහළ කබඩ් එකකින් පිටතට ගත්තේය. අනතුරුව අභිමන්ගේත් , අශිකාගේත් කෝපි කෝප්ප පිළිවලින් තබා ආදිත්‍යය ඔහුගේ කෝප්පයද ඒ අසලින්ම තබා මොහොතක් කල්පනා කළේය. පසුව මදක් නුදුරින් තිබූ තවත් කබඩ් එකක් හැර එහි තිබූ කාඩ්බෝඩ් පෙට්ටියකින් අලුත්ම කෝපි කෝප්පයක් පිටතට ගෙන තැබුවේ මෞර්යා වෙනුවෙන්ය.

මෞර්යා කෝපි සකස් කරන ආකාරය ආදිත්‍ය පසෙකට වී බලා උන්නේ ආදිත්‍ය කෝපි සෑදීම මෞර්යා විසින් වළක්වාලූ නිසාය. සකස් කල කෝපි කෝප්ප හතර ට්‍රේ එකක් මත තබා සාලයට ගෙන ආවේ ආදිත්‍ය විසිනි.

” ඔයාගේ අම්මා තාත්තා මොනවද කරන්නේ පුතේ ? ” 

කෝපි පානය කරන අතරතුර අශිකා හදිසියේ ඇසුවාය.තමාගේ වත් පොහොසත්කම් පිළිබඳව හෝ පියාගේ ව්‍යාපාර කටයුතු පිළිබඳව හෝ මෞර්යා මේ වන තුරු ආදිත්‍ය සමඟ වත් පවසා නැත.ඒ නිසා වැඩිදුර තොරතුරු නොපවසා ඉතා සරල පිළිතුරක් දෙන්නට මෞර්යා සිතා ගත්තාය.

” තාත්තා බිස්නස් එකක් කරනවා.අම්මත් ඒකට උදව් කරනවා.හැබැයි අම්ම නං ගොඩක් වෙලාවට ඉන්නේ ගෙදර ” 

” තාත්ත බිස්නස් එකක් කරනවනම් ඔයා ජොබ් එකක් කරන්නේ ඇයි දරුවෝ ? ” 

අශිකා ඇසුවේ පුදුමයෙනි.

” ඇත්තටම තාත්තට ඕන වුණේ මං මගේ උත්සාහයෙන් ඉස්සරහට යනවා දකින්න. අනිත් එක තාත්ත ගේ බිස්නස් එකේ මට කරන්න දෙයක් නෑ ලොකුවට. ඒලෙවල් කලාට පස්සේ මං ග්‍රැෆික් ඩිසයින් ඉගෙන ගත්තෙ මගේ ආසාවට.මං හිතාගෙනම හිටියේ කවද හරි ඒ පැත්තෙන් ජොබ් එකක් කරනවා කියලා.ඒකට තාත්ත ගේ අකමැත්තක් තිබ්බේ නැහැ අම්මා ” 

මෞර්යා මෙන්ම ඇගේ දෙමව්පියන්ද යහපත් විය යුතුය.එසේ නොමැති නම් මෙවන් නිහතමානී සහ සරල දරුවකු බිහිවන්නට ඉඩක් නැතැයි අශිකා සිතුවාය.

” කෝපි එක රසයි නේද අම්මා ?  ” 

අභිමන් අශිකා දෙස හැරී කීවේ කෝපි එක රස විඳින අතරතුරය.

” ඒකනේ. මේ කොල්ලෝ දෙන්න හදන කෝපි ඇරුනම මං මේ ගෙදරදී වෙන කෙනෙක්ගෙන් කෝපි එකක් බිව්වමයි ” 

කෝපි පානයෙන් අනතුරුව අභිමන් සූදානම් වූයේ කාර්යාලයට යාමටය. ඔහු තරප්පු පේළිය නැග ඉහත මාලයට ගොස් කාමරයේ තිබූ ලියකියවිලි කිහිපයක්ද ගෙන නැවත පැමිණියේය.

” අයියා ඔයා අම්මත් එක්ක ටිකක් ඉඳලා එන්න. අද ලොකු වැඩක් නැහැ ඔයාට.මීටින් එකක් විතරයි තියෙන්නේ.ඒකත් හවස ” 

අභිමන් අනතුරුව හැරුනේ මෞර්යා දෙසටය.

” එහෙනම් අපි යමුද මෞර්යා ? ” 

මෞර්යා ඉක්මනින් කෝපි එක පානය කර අසුන් ගෙන හුන් තැනින් නැගිටින්නට සූදානම් වූවාය.

” අනේ office එකේ හදිසි වැඩක් නැත්නම් මේ කෙල්ල මෙහේ හිටපුවාවේ පුතා ටික වෙලාවක්. අයිය එනකොටම ආපු දෙන් ” 

අභිමන් බලා උන්නේය. තම මව මෞර්යා කෙරෙහි දක්වන්නේ සැබෑම සෙනෙහසකි. එය අව්‍යාජය. ෂෙහාරා කෙරෙහි වත් මේ තරම් ලෙන්ගතුකමක් අශිකා තුළ තිබුණේ නැති බව අභිමන් සිතුවේය.අනෙක් අතට තම මව මේ මොහොතේ සිටින්නේ අසනීපයෙනි. ඇය ඉල්ලා සිටිනා දෙයකට විරුද්ධත්වය පළ කිරීමද කළ නොහැක.

” මං ටිකක් ඉඳලා ආවට කමක් නැද්ද මිස්ටර් අභිමන් ? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here