අරුමැති ආදරයක් – 61

0
47

සමන් සහ චින්තන නිරතුරුවම පැමිණ නිවසේ වැඩ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව සොයා බැලූවේය. සුදු හුණු පිරියම් කළ නිවස කිරි කොකෙකු සේ බැබළෙමින් තිබිණ. අපූර්වා ලවා  නිවස ඉදිවන සේයා රූ ගෙන්වා ගත්තත් තමාරා යළි අපූර්වාගේ නිවසට පැමිණියේ නැත.

“මට හිතෙනවා මැඩම් බලන්න මැඩම්ලගේ ගෙදරට යන්න. ලොකු අසනීපයක් නෙමෙයි කියලා මට බොරු කිව්වට එහෙම සුළු අසනීපයක්නම් නෑවිත් ඉන්නේ නෑ කවදාවත්.”

අපූර්වා හේෂානි හා පැවසූයේ දහම් පාසලේදීය.

“ඒක තමයි.”

“ඒ දවස්වල සතියකට සැරයක් ඇවිත් ගියානේ. මට වඩා උනන්දුවක් තිබුණෙ මැඩම්ට. ෂුගර්, කොලෙස්ට්‍රරෝල් එහෙමත් තියෙනවා කිව්වා”

“එහෙනම් අපි ගිහිල්ලා එමු නේද. කොහොමද ගේ හොයා ගන්නේ?.”

“මං මැඩම්ට කතා කරපු කීප  වතාවකදිම  ඇහුවා ඇවිත් යන්නද කියලා. ඒ වෙලාවේ කිව්වා මහන්සි වෙන්න එපා අපූර්වා සනීප වෙච්ච ගමන් මම එන්නම් කියලා. ඉන්න තැනක් හරි හැටි දැනගන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. මං හිතන්නේ අර කන්ට්‍රැක් බාරව ඉන්න බාසුන්නැහේ මැඩම්ල ගැන විස්තර දන්නවා.”

“එහෙනම් අහගන්න අපි මේ සතියේ ගිහිල්ලා එමු.” 

“උඹ⁣ට  පුළුවන්ද එන්න?”

“දැන් ඉතින් උඹේ  ගමන් ඔක්කොම රෝද හතර උඩින්නේ. වෙනදා අරෙහෙ යමු බං,  මෙහේ යමු බං කියලා මට කතා කළාට දැන් ආසාවටවත් කතා කරනවද.”

“අම්මෝ ඉරිසියාව සර්වාංගෙන්ම බේරෙනවා.”

“ඔය යන එන ගමන් නරකයි යාළුවටත් මොනවා හරි කරලා දෙන්න හිතුවනම්. අපිට ඉතින් ලෝයර්  මහත්තුරුනම් කැමති වෙන එකක් නෑ. ඔය ඔෆිස් එකක වැඩ කරන පියන් කෙනෙක් වුණත් කමක් නෑ. ලස්සන කොල්ලෙක් නම්.”

“ඒ ඇතිද….මං කියන්නම්කෝ.”

“අම්මෝ එපා මට හොඳ ටිකක් අහගන්න වෙයි. ලෝයර් මස්සිනාට තියෙන්නෙත් එසේ මෙසේ කටක් නෙමෙයිනේ.”

යුවතියන් දෙදෙනා පන්සලින් පිටත් වූයේ දරුවන් සියල්ලෝම නිවෙස් වලට යැව්වාට පසුවය. හේෂානි හතරමන්  හන්දියෙන් හැරී ගියාට පසුව අපූර්වා තනිවම නිවසට පැමිණෙන  ගුරු පාර දිගේ ඉදිරියට ඇවිද ආවාය. බාප්පාගේ ගෙදරය ප්‍රශ්න ගොඩක් බව ඇය  දැන ගත්තේ දහම් පාසලේදීය. හවස පුංචි අම්මා පැමිණ පැයකට ආසන්න කාලයක් ලොකු හාමුදුරුවන් සමඟ කතා කරමින් සිටි බව පැවසූයේ පොඩි හාමුදුරුවන්ය. 

“මොනවා හිතිලද දන්නේ නෑ නන්දිතා නෝනා වක්කඩේ කැඩුව වගේ ලොකු හාමුදුරුවෝ එක්ක හැමදේම කියාගෙන කියාගෙන ගියා. ඒත් මට වෙලාවකට හිතුනා ඔළුව හොඳ නැද්ද කියලත්. ඔය මනුස්සයා පන්සලට ආව ගියත් බොරුවට හරි තමන්ගේ පුරාජේරුව  කතා කරනවා මිසක් වැරදිච්ච, වැරදුණු තැන් ගැන කතා කරන කෙනෙක් නෙවෙයිනේ. නිශ්ශංක මහත්තයත් අසනීප ගතියෙන් ඉන්න බව තමයි කිව්වේ. මංනං  කියන්නේ ඔය අපූර්වා අක්කලාට කරපු දේවල්ම ඵල දුන්නා.” 

“මං එහෙම හිතන් නෑ පොඩි හාමුදුරුවනේ. ලොකු හාමුදුරුවෝ කියන්න වගේ අපි ගෙනාපු පින් පව් තමයි අපි මේ සංසාරෙදි ගෙවන්නේ.” 

“තමන්ගේ සහෝදරයටත් පිටුපාලා අනුන්ගේ දෙයක් තමන්ගේ කරගන්න හිතක් පහළ වෙන්නෙත් අපූර්වා  අක්කේ පවටම තමයි.”

පොඩි හාමුදුරුවන් එසේ පැවසූයේ කෙටි තාප්පයේ එල්ලීගෙනය. අපූර්වා දහම් පාසල් දරුවන්ට කවි පාඩම් කරන්නට වේලාව දී තාප්පය අයිනට ගියේත් පොඩි හාමුදුරුවන් වැඩ උන් නිසාය.

“ලොකු හාමුදුරුවෝ මොනවද කිව්වේ පොඩි හාමුදුරුවනේ.”

“අපල කාලයක් වෙන්න ඇති කියලා බෝධි පූජා පවත්වන්න කියලා කිව්වා. ලොකු හාමුදුරුවන්ගේ හිතෙත් ඔය මිනිස්සු ගැන පැහැදීමක් නෑ අපූර්වා අක්කේ..ලොකු හාමුදුරුවෝ නන්දිතා නෝනා ගියා⁣ට පස්සේ  කිව්වා දිව්‍ය ලෝකේ යන්න ඉදපු  මිනිස්සු විහින් අපා ගත උනා කියලා.”

“හ්ම්…”යනුවෙන් පැවසුවා මිස අපූර්වා කිසිවක් නොකීවාය. ඇගේ සිතෙහි දුකක් මිස සතුටක් උපන්නේ නැත. එදවස බාප්පා ඔහුගේ ඇල්ටෝ වර්ගයේ කාරය පදවාගෙන යනු දකිද්දී ‘හැප්පිලා මැරියං..’ යනුවෙන් වරක් දෙවරක්ම මේ මුවින් පිට වූ බව ඇයට සිහි වූයේත් එවේලෙහිය. ඔහු මේ ජීවිතයෙන් බොහෝ දේ උදුරා ගත්තේය. එහෙත් කාලයත් සමඟ බොහෝ තුවාල සුවපත් වී තිබිණ. රත් පැහැයෙන් දළුලා ඇති බෝ ගස  දෙස බලාගෙනම ‘බාප්පා අසනීපයෙන්නම් ඉක්මනින් සුවපත් වේවා’ යැයි  ඕ පැතුවේ   එනිසාය.

                                          ************

සඳැල්ලට වී උන් යුගාශ් වෙත බීම වීදුරුවක් රැගෙන ගිය නන්දනී තත්පර කිහිපයක්ම ඔහු අසල ගැවසෙමින් සිටියේ වුවමනාවෙන්මය. මෙවේලෙහි තමාරා සිටින්නේ බුදු ගේ තුළ බව ඈ දනී. ගෙවී ගිය දින කිහිපයේම මවත් පුතාත් යමක්  කතා කළේ නම් ඒ උවමනාවකට පමණි. බොහෝවර යුගාශ් කෑම මේසයට පැමිණයේත් තමාරා නැගිට ගියාට පසුවය. නිවස තුළ රණ්ඩු සරුවල් නොවූවත් දෙදෙනාම කාලය ගත කළේ එතරම් හිත හොඳකින් නොවේ. 

සීත කළ බීම වීදුරුව එක  හුස්මට පානය කළ යුගාශ් ආපසු හැරුනේ වීදුරුව සඳැල්ලෙහිම වූ පුටුව මතින් තබන්නට වුවත් නන්දනී එතනට වී බලා සිටින අයුරු ඔහු දුටුවේය. 

“ඇයි නන්දනී මොකක් හරි ප්‍රශ්නයක්ද…”

“අනේ සුදු මහත්තයා මං ටිකක් කතා කරන්න බලාගෙන හිටියේ.”

“කියන්න නන්දනී…”

“මං මගේ සීමාවෙ ඉන්නෙ නැතුව මේ ප්‍රශ්න වලට මැදිහත් වෙනව නෙමෙයි සුදු මහත්තයා.”

“මට තේරෙනවා නන්දනී කියන්නකෝ…”

“සුදු මහත්තයත් දුකෙන් ලොකු නෝනත් දුකෙන්..පව් අපූර්වා මිස් සැරින් සැරේ ලොකු නෝනට කතා කරනවා. ඒ හැම සැරේකම ලොකු නෝනා මොනවා හරි බොරුවක් කියලා වචනයක් දෙකක් කතා කරල ෆෝන් එක තියනවා. මොනවද සුදු මහත්තයා මේ වෙන්නේ.”

“අපූර්වා මිස් මට ගැලපෙන්නෙ නෑ කියලා නන්දනීත් හිතනවද..”

“අනේ මං කොහොම එහෙම හිතන්න දෙයියනේ. අපූර්වා  මිස්ට  මං පුදුම තරම් ආසයි. ඒ උනාට…”

“මගේ හිතේ තරහක් නෑ නන්දනී. අම්මා ඇයි අපිව තේරුම් නොගන්නේ කියන ප්‍රශ්නෙයි මට තියෙන්නේ. මෙතනදී මම කැමති කෙනාව තෝර ගන්න මට නිදහස තියෙන්න ඕනේ. එයා එක්ක ජීවත් වෙන්න ඕනෙ මමනේ”

“මහත්තයා කොහොම උනත් මේ ප්‍රශ්නේ ඉක්මනට විසඳගන්න බලන්න. සමහර විට අපූර්වා මිස් අපි හැමෝටම වඩා මේ ප්‍රශ්නයෙන් දුක් විඳිනවා ඇති. අපූර්වා මිස් අපේ ලොකු නෝනට හරි ආදරෙයි. අම්මා ළඟක නැති  නිසාද මන්දා පස්සෙ කාලෙක හැමදේම ලොකු නෝනට කියන්න පුරුදු උනා. සමහර දවස වලට අපි එහේ ගිහිල්ලා එද්දි ලොකු නෝනව බදාගෙන,තුරුල් වෙලා ඉන්නවා මහත්තයා.”

“ඒවා ලොකු නෝන මතක් කරන්නේ නැද්ද නන්දනී.” 

“මුල් දවස් වල නං ඒව කිය කිය ඇඬුවත් එක්ක. ඒ දරුවා මට නැති කළා කියලා මහත්තයට බැන්නත් එක්ක..”

“අපි ටිකක් බලාගෙන ඉමු නන්දනී. කාලය මේ ප්‍රශ්නෙ විසදයි. මට අපූර්වව අතාරින්න බෑ වගේම අම්මව අතාරින්නත් බෑ. ඒ නිසා හොඳම දේ තමයි කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්න එක. නන්දනී හැමතිස්සෙම අම්මත් එක්කම ඉන්න. අම්මව හොඳට බලා බලාගන්න, බෙහෙත් ටික වෙලාවට ගන්නවද බලන්න.  මං නන්දනීගෙන් ඉල්ලන්න එච්චරයි.”

නන්දනී හිස වැනුවේ  ඔහු අත වූ බීම වීදුරුවත් රැගෙන සඳැල්ලෙන් නික්මෙන්නට සූදානමින්ය.

ඇයට කෙදිනකවත් මේ නිවස පිට තැනක්යැයි නොදැනුනේ ඔවුන්ගේ කාරුණික බව නිසාය. කවදා හෝ යුගාශ්  විවාහ වී මෙම නිවසට පැමිණෙන යුවතිය ගැන ඈ උන්නේ බියක් සැකයක් දරාගෙනය. 

“මචං අර ෆයිල් එක ගත්තා..”

යනුවෙන් තීක්ෂණ දුරකථන ඇමතුමක් ලබා දෙද්දීත් යුගාශ්  සිටියේ සඳැල්ලට වීගෙනය. ඉඳ හිට වදනක් දෙකක් හුවමාරු වූවාට අම්මා උවමනාවෙන්ම තමා මගහරින බව ඔහුට වැටුහුම් වූයේ දින කිහිපයක සිටය. එනිසාම අපූර්වා ගැන යමක් ඈ සමඟ කතා කරන්නටද යුගාශ් උත්සාහ නොකළේය. මෙවේලෙහි අම්මා දරණ මතය වෙනස් කරන්නට ඇය සූදානම් නොවන බව විශ්වාසය. එනිසාම  කතා කරන්නට ගොස් ගැටුමක් ඇති කරගන්නට ඔහු බිය විය. සමහර ප්‍රශ්න වලට හොඳම විසඳුම කාලය බව යුගාශ්  දැන සිටියේ අත්දැකීමෙන්ය. අපූර්වා තමා ළඟට ගැනීමට හදිස්සියක්, කැමැත්තක් වුවත් ඇය අධ්‍යයන කටයුතු අවසන් කරන තුරු එසේ නොකරන්නට ඔහු සිතා සිටියේය. එතෙක් ඇයට වටිනාකම් උපයා ගන්නට ඉඩ දිය යුතුය. තමාව නිරවුල් කර ගැනීමට ඉඩදිය යුතුය.

තීක්ෂණගේ කාරය ගේට්ටුවෙන් ඇතුලට දමද්දී යුගාශ්  සඳැල්ලෙන්  පිටවූයේ දිගු සුසුමක් මුදා හරිමින්ය. විසිත්ත කාමරයට පැමිණුන තරුණයාට “උඩට වරෙන්..” යැයි කෑ ගැසූූ යුගාශ් කාර්යාල කාමරය තුළට ගියේ මේ කිසිවෙකුට නොඇසෙන්නට කළ යුතු සාකච්ඡාවක් වූ නිසාය.

“දැන් උඹ අපූර්වගේ කේස් එක උඩට ගන්නවද.?”

තීක්ෂණ වෙහෙසකර අයුරින් අසුන් ගත්තේ ෆයිල් කවරය කාර්යාලීය මේසය මත තබමින්ය. යුගාෂ් “ඔව්” යැයි පැවසූයේ හිස වනමින්ය.

“නඩුව දිනන්න ඕන එවිඩන්ස් ඔක්කොම හරි. ප්‍රශ්නෙකට තියෙන්නේ අපූර්වගේ තාත්තා සයින් කරපු ලෙටර් එක විතරයි. හැබැයි ඉතින් ඒකත් රැවටීමක් කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි මේ වෙද්දි මං ළඟ තියෙනවා.”

තීක්ෂණ පැවසූයේ ස්ථිර වූ හඬකින්ය. මේ බොහෝමයක් ලියකියවිලි පසු කාලයකදී මුදල් වියදම් කර හොර රහසේ සකසාගත් ඒවාය. එනිසාම ඒවායෙහි වටිනාකම සේම සත්‍ය අසත්‍ය භාවය පිළිබඳව ප්‍රශ්න කරන්නට ද හැකියාව යුගාශ්ට වේ. මෙම නඩුවේදී කාර්යාල සේවකයන් කිහිප දෙනෙකුගේම රැකියා වලටද ප්‍රශ්න මතුවන බව යුගාශ් දැන සිටියේය. එහෙත් ඒ පිළිබඳව ඔහුට දුකක් හෝ වේදනාවක් වූයේ නැත. ඒ සියල්ලෝම මේ වරද කර ඇත්තේ වැරදි බව නොදැන නොවේ. එනිසාම ඔවුන් දඬුවමට සුදුසු බව යුගාශ්  විශ්වාස කළේය. 

“අපූර්වා කැමති වෙයිද..”

“එයාව කැමති කරගන්න හැටි මම දන්නවා. මට පුංචිම හරි ප්‍රශ්නෙකට තියෙන්නේ  මේ නඩුවත් එක අප්පච්චිගෙ තියෙන සම්බන්ධය. නීතිය සාධාරණ වෙන්න ඕන බං..අපිට හැමෝම හදන්න බෑ. හැබැයි යමක් නිවැරදි කරන්න පුළුවන් තැනකදි අපි ඒ වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ. නීතිය ගැන මීට වඩා  විශ්වාසයක් මිනිස්සුන්ගේ හිත්වල  ඇති වෙන්න ඕනේ.  අප්පච්චි හිතයි සමහරවිට මේක එයාගේ නරක කාලයක් කියලා.” 

තීක්ෂණ හිස වැනුවේ  ඔහුව අනුමත කරමින්ය. මිතුරා  පසුගිය දින කීපයේදීම උන්නේ මේ නඩුව ගැන සිතමින්ය. අවසන ඔහු ඒ අදහස අතහැර දැමුවත් ඒ කැමැත්තකින් නොවේ. 

“නෑ.. බං මං මේ නඩුව උඩට ගන්නවා. මට අපූර්වගේ  හිතේ විශේෂ තැනක් ඇතිකර ගන්න දැන් වුවමනාවක් නෑ. මං ඉන්නේ එයාාගේ ජීවිතේ වටිනම තැන.  නිශ්ශංකලා මගේ මිනිස්සු අවසන් කාලෙ හරි දඬුවමක් වින්දේ නැත්නම් හිතයි හැමදාමත් මේ ලෝකෙ දිනුවේ බොරුව විතරයි කියලා. මං අන්තිමට සෑහෙන කල්පනා කරලා තමයි මේ තීරණය ගත්තේ..උඹ මාත් එක්ක ඉන්නවා නේද?”

ඔහු එක් සවසක පැවසූයේ උසාවි භූමියෙහි වූ කාර්යාල කාමරයේදීය. තීක්ෂණ මිතුරාට එකඟව හිස වැනුවා මිස කිසිවක් පැවසූයේ නැත. 

(යළිත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here