“මම විවාහ වුණේ ප්‍රේම සබඳතාවයකින්. මම ගායකයෙක් විදියට ජනප්‍රිය වීගෙන එන කාලෙම විවාහ වෙච්ච එක ගැන ගොඩක් අය එක එක දේවල් කිව්වා. ඒත් මම හැමදාම හිතපු දෙයක් තමයි ආදරේ කියන දේ, ආදරේ කරන කෙනාව ළඟින් තියාගන්නවා කියන එක අපි කවදාවත් පස්සට දාන්න ඕන නෑ කියන එක.
මගේ ගීත ජනප්‍රිය වෙලා, ප්‍රසංගවලට ලැබෙන ආරාධනා වැඩිවෙනකොට, මගේ මැනේජර් මට කිව්වේ ‘මේක ඔයාගේ හොඳම කාලේ. විවාහ වෙන්න කලබල වෙන්න එපා. ඔයා තනිකඩයෙක් වුණාම තමයි රසික ආකර්ෂණය වැඩි. විවාහයෙන් පස්සේ ඔයාගේ ප්‍රේක්ෂක අවධානය අඩුවෙන්න පුළුවන්’ කියලා. ඒක අහපු මගේ අම්මා කිව්වේත්, ‘පවුල් ජීවිතේ කියන්නේ වගකීමක්. ඔයා දැන් නිකං නිදහසේ ඉන්න. ඉස්සරහට ජීවිතේ ගොඩනඟාගෙන පස්සේ විවාහ වෙන්න’ කියලා.
ඒත් ඒ කිසිම දෙයක් මගේ හිතට ගියේ නැහැ. මම කල්පනා කළේ, මේ මොහොතේ මම ආදරය කරන කෙනා ළඟින් තියාගන්න බැරි නම්, ජනප්‍රියත්වය හෝ මුදල් වැඩි වුණා කියලා මට සතුටක් දැනෙන්නේ නැහැ කියලයි. මම හිතුවේ එයා තමයි මගේ ශක්තිය, මගේ සාර්ථකත්වයට හේතුව කියලා. ඒ නිසා මම හැමදේම පස්සට දාලා, එයාව විවාහ කරගත්තා. ඒ තීරණය ගැන මට කිසිම පසුතැවීමක් තිබුණේ නැහැ. අදටත් නැහැ.
අපි හරිම සතුටින් හිටියා. ප්‍රසංගවලට ගිහින් රෑට ගෙදර එනකොට, එයා මං එනකම්ම බලාගෙන ඉන්නවා. මගේ මහන්සිය නැති වෙන්නේ එයාගේ සිනහව දැක්කාම. මගේ ප්‍රශ්න විසඳෙන්නේ එයාත් එක්ක කතා කළාම. එහෙම කාලයක් ගෙවිලා ගියා.
ඒත් හෙමින් හෙමින් හැමදේම වෙනස් වෙන්න පටන් ගත්තා. මගේ සංගීත ජීවිතය සාර්ථක වෙද්දී, මගේ කාලය මදි උනා මට එයා එක්ක ගෙවන්න. මම වැඩි කාලයක් ගෙදර හිටියේ නැහැ. සමහර දවස්වලට උදේ ගියාම, ආපහු එන්නේ දවස් දෙක තුනකින්. ප්‍රසංගවලින් පස්සේ මිත්‍රයන් එක්ක ගත කරන වෙලාව වැඩි වුණා. මගේ ජනප්‍රියත්වය වැඩි වෙද්දී, මගේ ජීවිතයට තවත් දේවල් එකතු වුණා.
මුලින්ම එයාට දැනෙන්න පටන් ගත්තේ තනිකමක්. මුලින් මුලින් එයා ඒක කටින් කිව්වේ නැහැ. ඒත් එයාගේ හැසිරීම වෙනස් වුණා. එයා මාව සැක කරන්න පටන් ගත්තා. හැම වෙලාවෙම මගේ ෆෝන් එක චෙක් කළා. මම ගිහින් ආවට පස්සේ එක එක ප්‍රශ්න ඇහුවා. මගේ වැඩ කටයුතු ගැන එයාට තේරුමක් තිබුණේ නැහැ. එයාට අවශ්‍ය වුණේ මම ගෙදර ඉන්නවා දකින්න. මට අවශ්‍ය වුණේ මගේ සිහිනය පසුපස යන්න. අපි දෙන්නම වැරදි නෑ. ඕනම බිරිඳක් ඉතින් කැමතිනෙ තමන්ගෙ හස්බන්ඩ් ගෙදර ඉන්නවට නේද?
ඒ වෙනස්කම් නිසා අපි අතර ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තා. පොඩි දේකට පවා අපි අතරෙ ප්‍රශ්න ඇති වුණා. එයා මට කියන්න පටන් ගත්තා, ‘මට ඕනෑ වුණේ මේ වගේ ජීවිතයක් නෙවෙයි’ කියලා.
ඒ වෙලාවට තමයි මට තේරුණේ, ආදරේ වෙනුවෙන් ගත්ත තීරණය වැරදියි කියලා නෙවෙයි, ආදරේට වඩා ජීවිතයට තවත් දේවල් අවශ්‍යයි කියලා. සමහර වෙලාවට ආදරය කරන එකට වඩා, ආදරය ආරක්ෂා කරගන්න එක අමාරුයි. මම එයාට දුන්නා කියලා හිතපු ආදරය, ඇත්තටම එයා බලාපොරොත්තු වෙච්ච දේ නෙවෙයි කියලා මට තේරුණෙත් පස්සෙ. එයා නැති උනා කියන්නේ අවසානයේදී මට මාවම නැති වුණා. මගේ ගීතවල තිබුණ ඒ ආදරය, ඒ හැඟීම් නැති වෙන්න ගියා. මගේ ප්‍රසංගවල තිබුණ ජවය නැති වෙන්න ගියා. මට තේරුණා, මගේ ජීවිතේ තවදුරටත් ඉස්සර වගේ සන්තෝසෙන් නැහැ කියලා. මම ගත්ත සමහර තීරණ වැරදියි කියලා මට තේරුණේ, හැමදේම විනාශ වුණාට පස්සේ.
ඒ අනුව තමයි එයා මගෙන් වෙන් වෙන්න තීරණය කරලා තියෙන්නේ. මට ඒක දරාගන්න අපහසු වේදනාවක්. සමහර විට මගේ කාර්යබහුලත්වය එක්ක මගෙන් වුණ පුංචි පුංචි අතපසුවීම් එයාට මේ විවාහය වගේම මාව එපා කරවන්න ඇති. කෙනෙක්ට කියන්න පුළුවන් ‘සෙලිබ්‍රිටි කෙනෙක්ව කසාද බැන්දම ඔය වගේ දේවල්වලට පුරුදු වෙන්න ඕන’ කියලා. ඒත් මම කවදාවත් එයා ගැන එහෙම හිතුවේ නැහැ. හිතට දුකයි. ගොඩක් දුකයි. ඒ නිසාමයි මම මේ සිංදුව ලිව්වේ.සමහර වෙලාවට ආදරේ මුල් කරගෙන අපි ගන්න තීරණ වැරදි බව අපිට තේරෙන්නේ පස්සේ. සමහර වෙලාවට ඒ තීරණ අපේ මුළු ජීවිතයම වෙනස් කරනවා. ඒක හොඳක් වෙන්නත් පුළුවන්, නරකක් වෙන්නත් පුළුවන්. හැබැයි මට මගේ ජීවිතේට ආපහු යන්න බැහැ. මට සිදුවුණ දේ තේරුම් ගන්න විතරයි පුළුවන්.” කියා මලිත් විසින් කියන්නට යෙදුණ කැප්ශන් එකක් සමගින් මුහුණු පොතේ ඉතාම ජනප්‍රිය පේජයක ඇඩ්මින්වරයෙකු විසින් පල කරන්නට යෙදි තිබුණ ඒ වීඩියෝව ජාන්වි දුටුවේ, ඇගේ යෙහෙළියක් එය එවූ පසුවයි.
“යෞවනයේ ජනප්‍රියම ගායකයා විවාහය බිඳ වැටීමේ වේදනාව එක්ක කිව්ව අලුත්ම සිංදුව – කඳුලක් වී” කියන හෙඩ්ලයින් එක සමග තිබූ ඒ වීඩියෝවේ මලිත් විසින් කියන්නට යෙදී තිබුන කතාව ජාන්විගේ හදවත මොහොතකට නතර කර දැමුවාය.
මලිත්ගේ වීඩියෝව ජාන්විගේ දෑස් ඉදිරියේ දිග හැරුණේ, වියළි කොළයක් බිම වැටුණා සේ නිහඬවය. යෙහෙළියක් එවූ පණිවිඩය ඇය නොබලා සිටීමට වෑයම් කළත්, ඇගේ හදවතේ කටුක කුතුහලය ඇයව තල්ලු කළේ ඒ තිරය දෙසටයි. ඇය එය නැරඹුවාය.
“මලිත් කොහොමද මෙච්චර ලොකු බොරුවක් මං ගැන කිව්වේ?” කියා හිතෙන් අහද්දිත් ජාන්විගේ දෙනෙත් තිබුනේ කඳුළට උල්පතක් වීය. තමන් ආදරය කර, තවමත් සුලුවෙන් හෝ ආදරය කරන, ඔහුගේ වැරදි නිසාවෙන්ම දික්කසාද වන්නට යන තැනකදී මලිත් තමන්ගේ නැති වැරදි මතුකරමින් මෙසේ කරන්නට යෙදුනේ හුදෙක් ප්‍රේක්ශක අනුකම්පාව දිනාගන්නට මෙන්ම, ජනප්‍රියත්වය නැති කර නොගන්නට බව තේරුම්ගන්න ජාන්විට අපහසු උනේ නැත.
“ආදරේ මහ සාගරේ – නෙතක කඳුලැල් වෑහුනේ
අනේ ආයෙත අතීතෙට මට යන්නට පුළුවන් නම්
ප්‍රියේ මම ඉන්නවා ඔබ ළඟ වෙන් නොවී කිසිදා” කියා කියන්නට යෙදුන ගීතයේ කිසිදු වචනයක තමන් ගැන ආදරයක් තැවරී නැති බව දැනගෙන උන්නේ ජාන්වි පමනකි. මේ වචන, මේ ගීත, මේ කියන්නට යෙදුන සංවේදී වචන සියල්ල තඩි බොරුවක් බව දැන උන්නේ ජාන්වි විතරය.
ආන්‍යා හවස වැඩ ඇරී මහ ගෙදරට ආවේ අක්කා ගැන මලිත් අයියා විසින් කියන්නට යෙදුණ වීඩියෝව කාර්‍යාලයේදි ඇය දුටු නිසාවෙනි. අක්කා මේ වනවිටත් මෙය දැක ඇති බව අවිශ්වාසයක් හිත අස්සේ නොවූ නිසා හොඳම දේ මහ ගෙදරට ගොස් අක්කාගේ හිත සැනසෙනු පිණිස වචනයක් දෙකක් කතාකරන එක බව ආන්‍යා නිසල්ට කිව්වේ කාර්‍යාලයේ සිට මහ ගෙදරට යන අතරවාරයේ ගත් දුරකතන ඇමතුමේදීය.
“අක්කට හොඳටම අවුල් ගිහින් ඇති අයියෙ. ඔයාට පුලුවන්ද මාව අපෙ ගෙදරින් ගන්න එන්න? එහෙන් කන්නත් පුලුවන්”
“මං එන්නම් බබා. කොහොමත් මට මීටින් එකක් ඉවර වෙන්නෙ හතට විතර. ඔයා අම්මලයි ගෙදර ඉන්න එක හොඳයි කෝකටත්. අක්කට කියන්න අප්පා අවුල් ගන්න එපා කියලා. මං සිරාවටම හිතුවෙ නෑ මලිත් ඔයා වගේ වැඩක් කරාවි කියලා කීයටවත්”
“ඔව් අනේ අනික එයාමනෙ ඩිවෝස් වෙමු කියලා එදා ගෙදරදි සද්ද දාලා ගියේ. එහෙම එකේ නිකන් තමන් අතේ කිසි වරදක් නැතුව අක්කා නිකන් හෙන ටොක්සික් මනුස්සයෙක් විදියට පෙන්නලා ඔහොම වීඩියෝ එකක් රිලීස් කරා කියන්නෙම ඒකෙන්ම පේනවනෙ මනුස්සයගෙ තරමෙ. එතනදි හිතන්නෙත් තමන්ගෙ දායක සභාව එන්ටර්ටේන් කරන එක මිසක්කා මේ තමන්ගෙ කසාදෙ කැඩෙන්න යනවා කියන එක නෙවෙයි. මහ පුදුම මිනිස්සු අනේ” කියා කියද්දිත් ආන්‍යාගේ හිත තිබුනේ ඇත්තටම හොඳටම රිදීය.
අක්කා වනාහීද තව කෙල්ලකි. අක්කා මලිත් අයියාව කසාද බැන්දේ ඔහුගේ ජනප්‍රියත්වයට හෝ වෙනත් කුමකට හෝ වහ වැටී උනත් අක්කා වනාහි මෙවන් සමාජ මාධ්‍ය අස්සේ එක එකාගෙන අපහාස විඳින්නට උවමනා කෙනෙකු නොවන බවට සිතුවිල්ලක් නංගී කෙනෙකු ලෙස ආන්‍යා ජාන්විගෙ පැත්තෙන් හිතුවාය.
නංගී ගෙදර එද්දිත් ජාන්වි උන්නේ ඇඳට වැටී කොට්ටය පෙඟෙන තුරු හඬමිනි.
දුරකතනය හැඬවුනේ ඒ වෙලාවේදීය.
ජාන්වි දෙනෙත් පිසදාගත්තේ ඒ ඇමතුම කාගෙන්දැයි බලන්නටය.