ඔබෙ ආදරෙන් මා දැවේ – 27

0
1135

“මිනිහා ඔය ප්ලේ කරන්න හදන කාඩ් එක ගැන නම් බයවෙන්න එපා. ද්වේශ සහගත ලෙස අත හැර ගියා කියලා මිනිහා නිකන් කිව්ව පළියටම මේ එහෙම නඩු දාන්න බෑ. ඒක අපිව බය කරන්න කියල හිතන් මිනිහා කිව්ව එකක් වෙන්නැති. අනික ඉතින් කාගෙ පැත්තෙන් නඩුව දැම්මත් උසාවියෙදි වෙච්ච දේවල් ඔක්කොම අපිට ඔප්පු කරන්න වෙනවනෙ. අන්න ඒකත් එක්ක සෙල්ලම් කරන්න ගියොත් තමයි මිනිහට ලොකුවටම නැට්ට පත්තුකරගන්න වෙන්නෙ, ඊට වඩා හොඳයි කියන්න මේක දෙන්නගෙම කැමැත්තෙන් ගන්න එකක් විදියට ඇක්ට් කරන එක.

හැබැයි මෙහෙමයි ජාන්වි. මම නම් කියන්නෙ නිකන්ම මේ සද්ද නැතුව මිනිහට මේකෙන් ලේසියෙන් ගැලවිලා යන්න දෙන්න එපා. මොක උනත් ඒ ඔයා කසාද බැඳලා උන්න මනුස්සයා. අනික ඔයා එයා ගැන දැනගෙන කසාද බැන්දත් මිනිස්සු එක්තරා දුරකට හරි වෙනස් වෙන්න ඕන කසාදෙකින් පස්සෙ. ඒකනේද කසාදයක් අස්සෙ දෙන්නගෙන් කෙරෙන්න ඕන යුතුකම් හා වගකීම් කියලා කියන්නේ? ඒ හන්දා මං දන්නෙ නෑ ඔයාගෙ ඩිසිශන් එක මොකද්ද කියලා. ඒ උනාට මම නම් කියන්නෙම මිනිහා ඔයාට කරපු අපහාසෙ එහෙම ලේසියෙන් අමතක කරන්න එපා” කියා තුරුණු පුන පුනා කිව්වද ජාන්විගේ හිතේ තිබුණේ ඒ සම්බන්ධව අහන්නට එකම එක පැනයකි.

“මලිත් මට මොන විදියට රිද්දුවත්, මට මොන විදියට අපහාස කරත් මං එයාට ඇත්තටම ආදරේ කරා තුරුණු. එයා සමහරවිට මට කවදාවත් එහෙම ආදරේ කරන්නෙ නැතුව ඇති. ඒක වෙන්නැති එයාට මෙච්චර ලේසියෙන් පුලුවන්කමක් ලැබුනෙ මම අයින් වෙච්ච ගමන්ම මට ඔහොම රිද්දන්න. ඒ උනාට එයා මට රිද්දපු හන්දා මම එයාට අනිත් පැත්තට රිද්දන්න ඕන කියලා හිතනවනම් එයාගෙයි මගෙයි කිසි වෙනසක් නෑ නේද?” කියා ජාන්වි අහද්දී තුරුණු කර කොනකින් සිනා වුණේය.

“ඔයාගෙයි එයාගෙයි වෙනසක් තියෙනවද නැද්ද කියන එක තාම ඔයාට ඔච්චර වැදගත්ද? අනික ඔයා හිතනවද ඔයා ඔය වෙනසක් කියලා පෙන්නන්න හදන මනුස්සකමට එයා ඔලුව නවාවි එහෙම නැත්තම් එයාගෙ හිත එයා වෙනස් කරගනීවි කියලා?” 

තුරුණු පුටුවේ පිටුපසට හේත්තු වී ඇඟිලි ටික මේසය උඩ තට්ටු කලේ  කල්පනා කරන අතරම ජාන්විට ඊලඟ වචන ටික කියන්නට හිතන ගමන් ය. කොළඹ රස්නෙට දහදිය හැඳගෙන සිටින ඇඳුම් අස්සෙන් ගලාගෙන යන අයුරුත්, වාහන හෝන් ගහන සද්දෙට කන් අගුලු වැටෙන අයුරුත් සැබෑවක් උවද හිත තිබුනේ ඊට වඩා රස්නෙක ගිලී ඊට වඩා ගෝසාකාරී හඬක වෙලීය. එහෙත් දෙදෙනා අතර තිබුනේ ගැඹුරු නිහඬතාවයකි. තුරුණු ජාන්වි දෙස එක එල්ලේ බැලුවේ ඒ නිහඬ බව දුරලන්නට මෙන් ය. 

“ඔයාට තේරෙන්නේ නැති දේ තමයි, නීතිය මේ දිහා බලන්නේ ඔයා මේ දිහා ආදරේ මුල් කරගෙන බලන විදියට නෙවෙයි. නීතිය ඉන්නෙ ඇස් දෙක වහගෙන. ඒ නීතියට පේන්නෙ නෑ ඔයා කරපු කැපකිරීම්වත්, ඔයාගෙ ආදරේවත්.  ඔයා කසාදෙන් අයින් වෙලා ගියා නම්, ඒක එහෙම කරන්න ඔයාට හේතු උනේ, හිත රිදිච්ච එකද, තනිවෙච්ච එකද, හිත බිඳිච්ච එකද කියන එක නීතියට අදාල නෑ. නීතිය ඒක දකින්නේ “ආහ් හරි මෙයා කසාද මනුස්සයගෙ ගෙදරින් එලියට ගිහින්” කියලා සහ ඒකට හේතු වුන හේතු කාරණා මොනවද කියන එක. මලිත් හිතන තරම් ලේසි නෑ ඔයා ද්වේශ සහගත ලෙස අත හැර ගියා කියල කියන එක. හැබැයි ඉතින් සල්ලිවලට ඕන බලු වැඩක් කරන එකෙක්ව සෙට් කරගෙන මලිත් කාරයා ඕක  ඔප්පු කළොත්, අපිට කෙලවෙන්නත් චාන්ස් එකක් තියෙන්න පුලුවන්. මොකෝ අන්තිමේ ඉතින් නීතියයි උසාවියයි පිළිගන්නෙ ඉතින් ඔප්පු කරන වචනෙ මිසක් අපි කියන වචනෙ නෙවෙයිනෙ. උසාවිය අහන්නේ නැහැ ඔයාට ගෙදරින් යන්න හේතු උනේ හිතට වෙච්ච තුවාලෙද කියලා. අනික කාටවත් හිතේ තියෙන තුවාල පේන්නෙ නෑනෙ ජාන්වි. හිතේ තියෙන තුවාලවලට බෙහෙත් නැත්තෙත් ඒකනෙ. ඕනමනම් ඔයා ඔයාගෙ හිතේ තුවාලයක් තියෙනවා කියලා කිව්වොත් කවුරුහරි කියාවි ඇයි කවුන්සලින් වගේ ගියෙ නැත්තෙ කියලා. ඒත් නැත්තම් ගොඩක් අය අහන්නෙ ඔච්චර දේවල් වෙද්දි ඉවසන් උන්න එකනෙ මෝඩකම එහෙම නැත්තම් ඔයා දැන දැන කසාද බැන්දෙ ඇයි කියලා.

මිනිස්සු අන්තිමේ ඉතින් ඔයා දිහා බලන්නෙ කසාදෙ කඩාගෙන ගෙදර ආව ගෑනියෙක් කියලා. මං මේ කියන්නෙ සරල ඇත්ත ජාන්වි. ඔය නවකතාවල තියෙනව වගේ කසාදෙ කඩාගෙන ගෙදර ගිහින්, අන්තිමේ බිස්නස් කරලා අර සම්මාන දිනන වගේ ගෑනුයි, උන්ට පණ ඇරලා ලව් කරන පිරිමියෙක් හම්බෙන ඒවයි වගේ ඒව නම් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. මොකෝ ඒව තනි බොරු ඉතින්” 

“මම ඒ ගෙදරින් අයින් වෙලා ආවෙ ආදරේ නැති හන්දා තුරුණු. මගෙ හිතේ මලිත් ගැන නෙවෙයි මලිත්ගෙ හිතේ මං ගැන ආදරයක් නැති හන්දා. ආදරේ නැති තැනක ජීවත් වෙන්න හිතන්නේ නැති එක ද්වේෂයද? මට කියන්න ඔයා තමන්ගේ මිනිහා තමන්ව අමතක කරපු රැයවල්, අවස්තාවල් සිය ගාණක් එක හිතකින් දරාගෙන, තමන්ගේ වචන ගණන් ගන්නේ නැතුව, තමන්ව නිකන් ඉන්නවද කියලා පේන්නෙ නැති කෙනෙක් ගානට දාලා තියෙද්දි, තවත් එහෙම තැනක හිරවෙලා දුක්විඳගෙන ඉන්න බැරිකම හන්දා ඒ හිරගෙදරින් පිට වෙලා ආව එක ද්වේශ සහගත ලෙස අටහ් හැර යාමක් කියලා කියන්න මලිත්ට හරි එයා අල්ල ගන්න හදන කවුරු නමුත් ලෝයර් හරි ඔප්පු කරන්නෙ කොහොමද? මලිත් ඒක ද්වේශ සහගත ලෙස අත හැර ගියා කියල කිව්වට මං ඒක දකින්නෙ මං මටම කරගත්ත ලොකුම ලොකු සාධාරණයක් හැටියට තුරුණු. ඔව් මං එයාගෙ හැටි දැනගෙන තමයි එයාව බැන්දෙ. හැබැයි ඒකෙ අදහස එයාට පුලුවන් කියන එක නෙවෙයි ඔය එයා දැන් මට සලකපු විදියට සලකන්න. මං ඉඳපු කසාදෙ කසාදයක් නෙවෙයි. මිනිස්සු කියනවනෙ පවුල් පන්සල් වෙනවා කියලා, හැබැයි මං උන්නෙ පන්සලක් වගේ පවුලක නෙවෙයි සොහොන් පිට්ටනියක් වගේ පාලු තැනක. මං ඒ ගෙදරින් පිට උනේ මට මාව බේරගන්න ඕන වෙච්ච හන්දා. මං එච්චර දවසක් කසාදෙ රැකගන්න නැහුනට තව කාලයක් ගියොත් මට නැතිවෙන්නෙ කසාදෙ විතරක් නෙවෙයි මාවත් නැතිවෙනවා කියන එක තේරිච්ච හන්දා”

“ඔයා හිතනවද ජාන්වි ඔය දැන් කිව්ව මාර ලස්සන පොයෙටික් වචන වලට උසාවිය අස්සෙ ඉඩක් තියේවි එහෙම නැත්තම් උසාවියට ඕක ඇහේවි කියලා? උසාවියට ඇහෙන්නෙයි ඇහුම්කන් දෙන්නෙයි සාක්ශි විතරයි. ඒ සාක්ෂි කියන්නේ කරුණාව නෙවෙයි, තනිකම නෙවෙයි, කඳුළු නෙවෙයි. සාක්ෂි කියන්නේ දින, සාක්ෂිකරුවි, ලියකියවිලි. ඒ නිසා මේක ලේසියෙන් දිනන්න පුලුවන් සටනක් කියලා හිතන්න එපා ජාන්වි. අනික ඔයා උසාවියෙදි මොනවා ඔප්පු කරත් මීඩියා ඉස්සරහ මලිත් කියන වචනෙ දේව වාක්‍ය වගේ විස්වාස කරන දායක් සභාවක් මිනිහට ඉන්නව කියන එක අමතක කරන්න එපා. මිනිහගෙ ලස්සනටයි, තරුණකමටයි වහවැටිලා ඉන්න කෙල්ලන්ටයි මිනිහගෙ ටැලන්ට් එක පට්ට කියල හිතන කොල්ලොන්ගෙයි ඇස් ඉස්සරහා ඔයා කොහොමත් වැරදි කාරයා වෙලා ඉවරයි.

ඔයා ඉතින් මෝඩයි කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ නේද ජාන්වි? මං මේ කතාකරන්නෙ තුරුණු විදියට නෙවෙයි ඔයාව හොඳටම දන්න මනහාර විදියට.” කියා තුරුණු කියද්දි ඒ වනාහී තමන්ගේ හමුවෙන් පස්සේ ඔහු අතීතය ගැන ඔහු විසින්ම කතා කල පලවෙනි වතාව බව ජාන්විට මතක් විය. මේසය මත තිබුන අතැඟිලි ලීය කපාගෙන මේසයට තද වුනේ ඒ සිතුවිල්ලටය. ඒ සිතුවිල්ල විසින් හිත මත අඳින්නට හේතු වුණ ලැජ්ජාවටය.

“ඔයා ඒ හැමදේම දරාගත්තෙ කොහොමද මනහාර? ඔයාට බැරිවෙයිද මට කියලා දෙන්න ඔයා ඒ හැමදේම දරාගත්තෙ කොහොමද කියලා? සමහරවිට මට මේ පලදෙනවා ඇත්තෙ ඔයාට දීපු ගින්දර වෙන්නැති මනහාර” කියා ජාන්වි ආයෙ වරක් කඳුලු හලද්දී තුරුණු උන්නේ අහක බලාගෙන දෙනෙත් පියන් වේගයෙන් වේගයෙන් සලමිනි.

ඒ දෙනෙත් අස්සේ පිරෙන්නට එන කඳුලු කැට වලකනු පිණිසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here