අරුමැති ආදරයක් – 69

0
2573

අඩ හෝරාවකට ආසන්න කාලයක් වෛද්‍යවරයා අසල උන් පුෂ්පානන්දත් යුගාශුත් රෝහල් කාමරයෙන් පිටතට පැමිණියේය.

“රෝගියෙක්ව සුව කරන්න ඩොක්ටර්ස්ලාට විතරක් බැහැ. රෝගියාත්  ඒකට සීයට පනහක දායකත්වයක් දක්වන්න ඕනේ. අන්න ඒ දායකත්වය සියයට පනහකටත් වඩා වැඩියෙන් මිස්ටර් පුෂ්පානන්දගේ පැත්තෙන් අපිට ලැබුණු නිසා තමයි මේ තරමින්වත් මේ රෝගය යම්කිසි ප්‍රමාණයකට මැඩ පවත්වගන්න අපිට පුළුවන් වුණේ. ඉස්සරහටත් ඒ සහයෝගය ඒ විදිහටම බලාපොරොත්තු වෙනවා. දැන් පුතත් ඉස්සරහට පුෂ්පානන්දත් එක්ක ඉන්න නිසා ඒ කාර්‍යය පහසු වෙයි. තමන් කැමති ඕනෑම විදිහකට ජීවත් වෙලා තමන්ට පහසු ඕනෙම දෙයක් කරන්න. ඒ අතරේ  බෙහෙත්වත් ක්ලිනික්වත් මග නොහැර ඒවාට සහභාගී වෙන්න.”

වෛද්‍යවරයා පැවසූයේ කාරුණික ස්වරූපයෙන්ය. 

“මනුස්සයෙකුට තමන් මැරෙන්න ළංවෙලා කියලා දැනෙනකොට ජීවත් වෙන්න අසීමිත ලෝබකමක් දැනෙනවා. පෘථග්ජන මිනිස්සු විදිහට ඒක තමයි මනුස්සය ස්වභාවය. මටත් ඒක එහෙමම දැනුනා පුතා.”

පුෂ්පානන්ද පැවසූයේ වෙහෙසකර අයුරින් පෞද්ගලික රෝහලේ කෙළවරක වූ අසුනකින් අසුන් ගනිමින්ය. යුගාශ් ප්‍රසිද්ධ නමක් සඳහන් වූ පලතුරු බීම හලකින් දොඩම් යුෂ වීදුරු දෙකක් ගෙන ආවේ එවේලෙහිය. 

“අම්මා අපහසුවෙන් පුතා. උඹට ඒක නොදැනුනාට මට ඒක දැනෙනවා. හැමදේම එක පාර හරිගස්සන්න බෑ. පුරුදු විදිහට මම මගේ ගෙදර ඉන්නම්. ඒ අතරේ සතියට දවස් දෙක තුනක් ඇවිල්ල ඔයා එක්ක ඔයාගේ ගෙදරත් ඉන්නම්. කොහේද අවුරුදු ගානකට පස්සේ මං ආයේ අප්පච්චි කෙනෙක් වෙලානේ. අවුරුදු ගානක් මම නැතුව තමාරා ජීවත් වෙච්ච රටාවක් තිබුණා. මට වගේ හුස්මක් ගන්න බැරි තරමට වැඩ, යාළුවෝ, පාර්ටි,  මීටින්ස් එයාට තිබුනෙ නෑ. හවසට විස්කි උගුරක් දෙකක් බීලා හැමදේම අමතක කරලා නිදාගන්න පුරුද්දක් එයාට නෑ. එයා ඔය සැනසිල්ලේ ගත කරන ජීවිතය එයා හදා ගන්න ඇත්තේ බොහොම අමාරුවෙන්. ආයෙත්  මම මේ  විදිහට ඒ ජීවිතේට වැටුනහම ඒක දරා ගන්න ටිකක් අමාරුයි පුතා.”

යුගාශ් මෙවේලෙහි කිසිවක් නොකියා ඔහුව අනුමත කළේ අම්මාගේ ඒ අපහසුතාවය ඔහුටත් දැනෙමින් තිබූ නිසාය. සියලු දේට අවශ්‍ය කාලයය. 

“හරි අම්ම අකමැති වෙන එකක් නැහැ. අප්පච්චි අප්පච්චිගෙ ගෙදර නවතින දවස්වලට මමත් එහේ ඉන්නවා.”

පුෂ්පානන්ද හිස වැනුවේ  ඔහුට එකඟවය. පෙර මෙන් නොව දැන් යුගාශ්ව අතහැර ගන්නට ඔහුට දැනෙන්නේ ලෝබ කමකි. 

තරුණයා තම ජංගම දුරකථනයට එබුණේ හිස්කළ පළතුරු යුෂ බඳුන් දෙක කුණු බාල්දියට දමන්නට ගිය ගමනේදීය. අද දවස කාර්ය බහුල එකක් බව පැවසූ නිසා අපූර්වාට වෙනදා සේ වරින් වර ඇමතුම් ලබා නොදුන්නේය. දවසේ සියල්ල කතා කළ යුත්තේ රාත්‍රියේය. එනිසාම ඔහු නිදහසේ අපූර්වා එවා තිබූ කෙටි පණිවිඩය විවර කළේය. 

“ අයියේ මම හේෂානි එක්ක තමාරා මැඩම්ලගේ ගෙදරට යනවා. පරිස්සමට ගිහිල්ලා එන්නම්. ඔයා අප්පච්චිව බලන්න. අපි රෑට කතා කරමු. බුදු සරණයි අයියේ. පරිස්සමින්”

එකම කෙටි පණිවිඩය දෙතුන් වතාවක් කියවූ යුගාශ් අසල වූ පුටුවකට බර වූයේ සිය නළලත මිරිකා ගනිමින්ය. ඒ මගහැරී තිබුණේ ජීවිතයේ වටිනාම වූ තැනකි. එක දිගට දෙවරක් තුන් වරක් අපූර්වාව අමතන්නට උත්සහ කලත් ඒ ජංගම දුරකථනය විසන්ධි කර තිබිණ. අනතුරුව ඔහු අම්මාගේ දුරකථනයට ඇමතුමක් ලබා ගත්තේය.

“අම්මා…..”

“ඔයා ගන්නකල් මං බලාගෙන හිටියේ.. කොහොමද පුතා අප්පච්චිට? ඩොක්ටර් මොනවද කිව්වේ.”

“දිගටම ට්‍රීට්මන්ට් කරන්න කියලා තමයි කිව්වේ..අම්මා… අපූර්වා ආවද.?”

“ඒ දරුවා ඔයාට කතා කලාද…?”

“නැහැ අම්මා ෆෝන් එක ඕෆ්. මට මැසේජ් එකක් තියලා තියෙනවා හවස අම්මව මීට් වෙන්න  යනවා කියලා. මට ඒ මැසේජ් එක මිස් උනා.”

“ඒක එහෙම වෙච්ච එක හොඳයි පුතා. ඒ ළමයා මේ ගෙදරට එනකල්ම මම දැනගෙන හිටියේ නැහැ. හැබැයි පුතා මේ බොරුව ඇතුලේ මමත් පුදුමාකාර අපහසුතාවයක් වින්දා. අපූර්වා අද හැම දෙයක්ම දැනගත්තා.”

තමාරා මින් අඩ හෝරාවකට පමණ සිට  වරින් වර අපූර්වාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගන්නට උත්සාහ කළේ ඇය ප්‍රවේශමට නිවසට ගියාදැයි දැනගන්නටය. අවසන ඈ විනාඩි කිහිපයකින් යුවතියගේ නිවසට ළඟාවිය හැකි බාස්වරයෙකු එහි යැව්වේ ඇය නිවසට පැමිණියේදැයි දැනගන්නටය.

“මැඩම්…ඒ නැද්දා තමයි හිටියේ. අපූර්වා මිස් හිස කැක්කුමයි කියලා නිදි කියල කිව්වා. මං කිව්වා හෙට වැඩ කරන්න අඩුපාඩු මොනවද ඕනෙ කියල බලන්න ආවෙ කියලා.”

ඒ පුද්ගලයාගෙන් ලැබුණු පිළිතුරෙන් තමාරා සැනසීමක් ලද්දාය. හෙට උදෑසන ඇගේ නිවසට යාමට ඕ තීරණය කළේ අපූර්වා තම නිවසින් පිටවද්දීමය. දැන් මේ සම්බන්ධකම් ඉදිරියට පවත්වාගෙන යාම පහසුය. 

“ඒ දරුවා ගෙදරට ගිහිල්ලා පුතේ. ඔයා ගෙදර එන්නකෝ.”

එපමණක් පවසා තමාරා සිය ජංගම දුරකථනය විසන්ධිකර දැමුවාය. සිය දකුණතේ ඇඟිලි තුඩුවලින් නළලත මිරිකා ගත් තරුණයා නන්දනීට දුරකථන ඇමතුමක් ලබා ගත්තේ ඉන් පසුවය.

“සුදු මහත්තයාගේ ෆොටෝ එක දැකලා අපූර්වා මිස්ට කලන්තේ හැදෙන්නත් ආවා. ලොකු නෝනා කිව්වෙ මොනවද කියලා දන්නේ නැහැ..හැබැයි අපූර්වා මිස් ගෙදරින් ගියේනම්  හොඳටම අඬ අඬා. ඊට පස්සේ ලොකු නෝනත් හරියට ඇඬුවා.”

දුරකථන ඇමතුමට සමුදුන් යුගාශ් අප්පච්චි අසලට ගියේ අඩියට දෙකටය. පුෂ්පානන්ද ඔහුගේ ඒ නොසන්සුන් බව හැදින්නේය. එහෙත් ඔහු කිසිවක්ම විමසූයේ නැත. ආපසු එන ගමනේදී තරුණයා යමක් කතා කළේනම් ඒ වෛද්‍යවරයා හමුවන්නට එද්දී කතාකල වචන වලින් සියයෙන් පංගුවකි. 

“අප්පච්චි මම සමරවීරට කතා කළා. අප්පච්චි සමරවීර එක්ක ගෙදරට යන්න. මට පැය දෙකක් දෙන්න මං එනවා.”

ඔහු පැවසූයේ  කළුතරට ළඟාවද්දීය. 

“ඒ ගැන හිතන්න එපා පුතා. ඔයා ඔයාගේ වැඩේ කරගන්න.”

පුෂ්පානන්ද පැවසූයේ සිනහසරින්ය. ඔහුගේ මේ කලබලය තමාරා නිසා ඇතිවූ එකක් නොවන බව විශ්වාස.

“අප්පච්චි පරිස්සමට.බෙහෙත් ටික බොන්න ඕනේ..වෙන කිසිම තැනක යන්න එපා. අපේ ගෙදර හරි අප්පච්චිගේ  ගෙදරට හරි යන්නෙ.”

ඒ වචන පවා ඔහු පැවසූයේ වෙනදාට වඩා වේගයෙන්ය. සමරවීරට තමාව බාරදී ආපසු හරවා ගත් රථය මතුගම පාර ඔස්සේ මද දුරක් ඉදිරියට ඇදී යන අයුරු ඔහු බලා සිටියේ තමාගේ වාහනයට නොනැගමය. 

“යුගාශ් සර් ඩ්‍රයිව් කරන  වේගෙනම්  වැඩියි ලොකු සර්…”

මේ ඔහුට හුරුපුරුදු වේගය නොවේයැයි රියදුරා හා පවසන්නට පුෂ්පානන්ද ඉක්මන් වූයේ නැත. නිහඬව වාහනයට නැගි ඔහු යළිත් වරක් සිය හඬ අවධි කරමින් ‘පානදුර නිවසට යමුයැයි..’ පැවසූයේ සමරවීර කළුතර පිහිටි පුෂ්පානන්දගේ නිවසට යන මාවතට වාහනය හරවද්දීය.

                                     *****************

මේ නිවැරදි ගමනක් නොවූවත් යා යුතුම ගමනක් බව විශ්වාසය. අපූර්වා යනු සංවේදී චරිතයකි. යමක් සිදු වූවානම් ඇය එය කෙසේ දරා ගනීද යන්න පිළිබඳව අනුමානයෙන්වත්  සිතා ගැනීමට යුගාශ්ට හැකියාවක් නොවූයේ එනිසාය. අවුරුදු විසි දෙකක් තරම් වන පුංචි වයසකට ඇය දරා ගත් දේ මහ මෙරක් තරම්ය. අද සිටින්නේ මින් වසර එකහමාරකට පමණ පෙර ඔහුට හමු වූ යුවතිය නොවේ. ඇය සිය ජීවිතයේ ඉර හඳ සේ විශ්වාස කරමින් සිටින්නේ තමාය. හුස්මට ආදේශ කරගෙන සිටින්නේ තමාය. 

එක් අතකින් බැලුවොත් මේ රැවටීමකි. තමාවන් පුද්ගලයෙකුට ඔරොත්තු නොදෙනා තරම් බොරුවකි. ඇයව අහිමි වේයැයි බියෙන් හෝ එසේ නොකරන්නට තිබුනායැයි යුගාශ්ට සිතුනේ පළමු වතාවටය. වේගයෙන් තමා පසු කරගෙන යන වාහන, ගස් වැල් හෝ කඩ සාප්පු ගැන හැඟීමක් ඔහුට වූයේ නැත. දෙවරක් තුන් වරක්ම ඉදිරියෙන් පැමිණි වාහන බේරා ගන්නට ඔහුට තිරිංග තද කරන්නට සිදු වූයේය.

ඇය අහිමි කර ගැනීමක් ගැන සිතිය හැකි කමක් තමාට නොවන බව විශ්වාසය. මෙවේලෙහි ඒ පපුව රිදුම් දෙමින් තිබිණ. තමාගේ තත්ත්වයට තරාතිරමට නොගැලපෙන මේ බොරුව සාමාජීය නිර්වචන වලට අනුව දෙකයි පනහේ වැඩකි. විශ්වාසය බිඳී ගිය තැනදී ඇති වන්නේ දුකකි, කලකිරීමකි. 

හදිසියකටවත් කතා කරන්නට හේෂානිගේ දුරකථන අංකය ඉල්ලා නොගැනීම පිළිබඳව තරුණයා තැවෙමින් උන්නේය. 

අවසන ඔහු අපූර්වාගේ නිවස අසල වාහනය නතර කළේය. අවසන තම නළලත ඇඟිලි තුඩු වලින් මිරිකා ගත් තරුණයා දිගු සුසුමක් මුදා හැරියේ වාහනයෙන් බැස ගනිමින්ය. තමා මේ ජීවිතයේ අසීරුතම අවස්ථාවකට මුහුණ දී සිටින බව ඔහුට විශ්වාසය. විහිළුවකටවත් බොරුවක් නොකියූ තමා ඇය ඉදිරිපිට සඟවාගෙන සිටියේ වටිනාකමක් වන ඇත්තකි. අන් සියල්ලටම වඩා යුගාශ්ට වූයේ අපූර්වාට මුහුණ දීමේ නොහැකියාවකි. අවසන සිත සන්සුන් කරගත් තරුණයා කඩුල්ල පැන්නූයේ නිහඬවමය. 

ගස් කොලන් බහුල පරිසරයෙහි වූ  අඳුර පලවා හැර තිබුණේ එකම එක විදුලි බුබුළකින්ය. කුඩා නිවසට විදුලි බලය ලබා ගත්තේ මෑතකදීය. අලුතින් ඉදිකර  තිබූ නිවස ඇය පැවසූවා සේම සිරියාවන්තය. දැන් එහි සියළු වැඩ අවසන්ය. තණකොළ පිඬලි යොදා සකස් කළ මිදුලේ කෙළවරක වූයේ දාස් මල් පාත්තියකි. දාස් බල් පඳුරු කහ පැහැයෙන් දිලිසෙන අයුරු අඩ අඳුරේ වුවත් තරුණයා හොඳටම දුටුවේය. කපරාරුව නොකළ කුඩා කාමරයේ ලෑලි දොර වසා දමා තිබිණ. පසෙකට වන්නට ඉදි කළ ටකරන් පියස්ස තුළ අපූර්වාගේ රතු පැහැ ත්‍රී රෝද රථය විය. 

ජීවිතයේ අහම්බයක් වී තමා මේ ත්‍රී රෝද රථයට නැගුන දිනය ඔහුට සිහි වූයේත් ඒ හදිසියේමය. 

“අපූර්වා….ආච්චි…..”

යළිත් දිගු සුසුමක් මුදාහළ තරුණයා නතර වූයේ ලෑලි දොර ඉදිරිපිටය.

අපූර්වාට ඒ හඬ හොඳින්ම ඇසිණ.  හිස කැක්කුමයැයි පවසමින් කොට්ටයට  මුහුණ ඔබාගෙන සිටියාට ඈ උන්නේ නින්දේ නොවේ. ආච්චී හිසට තෙල් දමා අත ගාද්දී පවා යුවතිය සිය ඉකි බිඳුම තද කරගෙන ඉවසා සිටියේ අසීරුවෙන්ය. 

පියසීලී  දොර ඇරියේ අපූර්වා ඇඳෙන් බසින්නට ප්‍රථමවය. ඔහු දොර ඉදිරිපස සිටගෙන සිටියේ කාර්යාලීය ඇඳුම පිටින්මය.

“සමාවෙන්න ආච්චි මේ වෙලාවේ ආවට. වැදගත්ම කාරණයකට මට අපූර්වාව හම්බවෙන්න උවමනාව තිබුනා.”

“ඒකට මොකද මහත්තයා, කෙල්ල හවස තමාරා නෝනා හම්බවෙන්න ගිහිල්ලා ආවා. ඒ වෙලාවේ ඉඳලා හිස කැක්කුමයි කියලා නිදි. ඉන්න මම මහත්තයාට පුටුවක් ගෙනත් දෙන්න.”

අපූර්වා පියසීලි පිටුපසින් සිටගත්තේ ඇය පසුපස හැරෙද්දීමය. යුවතියගේ කොපුල් රත් පැහැ වී දෑස් ඉදිමී තිබිණ. ඒ දුටු  යුගාශ්ගේ සිතෙහි ඇති වූයේ සංවේගයකි. ඇයව බදා වැළඳගෙන සියල්ල පවසන්නට වුවමනාව තිබුණත් එසේ කිරීමේ හැකියාවක් ඔහුට වූයේ නැත. දෙදෙනාම මැද සිටගෙන උන් වියපත් දෑස් ආපසු හැරී යුගාශ් දෙස බැලුවේත් තම මිණිබිරිය දෙස බැලුවේත් විමසිල්ලේය. 

“ආච්චි මං පුටු දෙකක් ගන්නම්.”

හැකිතාක් සාමාන්‍ය ස්වරූපයට පත් වූ යුවතිය ප්ලාස්ටික් පුටු දෙකක් සිය දෑත් වලින් අල්ලා ගත්තේ පියසීලීව මඟ හරිමින්ය. 

“ආච්චි සර්ට තේ ටිකක් හදන්න. මං එන්නම් අපි  කෑම ටිකකුත් හදමු”

යුවතිය ආපසු හැරී පැවසූයේ හදිසියේ යමක් සිහි වූවා සේය. යමක් දැනගත්තේනම්, ඔහු මේ පැමිණ සිටින්නේ වතුර උගුරක් වත් නොබී බව විශ්වාසය. 

(යළිත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here