අරුමැති ආදරයක් – 71

0
2521

“ඔයාට ආදරේ නොකර ඉන්න මම දන්නෙ නෑ යුගාෂ් අයියේ. එහෙම කරලා මට ඇවිදින මළකඳක් වගේ ජීවත් වෙන්නත් බැහැ. ඔයා මට දීපු හැමදේම අරගෙන මම ඉස්සරහට යන්නම්. හැබැයි කවදක හරි මං ඔයාගේ ළඟට එන්නේ තමාරා මැඩම්ගේ කැමැත්තෙන් විතරයි. එතකල් අපි හමු නොවී ඉමු අයියේ. මං වගේ මිනිස්සු පවට බය වන්න ඕනේ. කවදාවත් මගේ අතින් අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ හිතටකට වෙන්න බෑ. ඒක අපි දෙන්නටම දුකක් වේදනාවක් විතරක් වෙයි. ඔයා කොයි වෙලාවකවත් හිතන්න එපා තමාරා මැඩම් අපිට විරුද්ධ උනා කියලා. එයාට ගොඩක් දේවල් නැති උනේ එයා බලාපොරොත්තු නොවුණු වයසක. එහෙම අම්මා කෙනෙක්ගෙ හිතේ තියෙන්නේ බයක්. එයාට මං ගැන තියෙන්නෙත් බයක්. ඒක තේරුම් ගන්න බැරි තරම් මං ආත්මාර්ථකාමී කෙනෙක් නෙමෙයි. අම්මා බයවෙන්නේ ඔයා ගැන විතරක් නෙමෙයි යුගාෂ් අයියේ. මම ගැනත්…ඔයා මට කිව්වනේ ඔයාගේ හිතේ සැලැස්මක් තිබුණා කියලා. අවුරුදු තුනක්..ඔයාටයි මටයි දෙන්නටම අවුරුදු තුනක් කියන්නේ ලොකු කාලයක් වෙන්න පුළුවන්. ඒ අවුරුදු තුන මට දෙන්න අයියේ. ප්ලීස් එහෙම කරන්න ඔයාට පුළුවන්ද?”

අවසන යුවතිය ඇසුවේ ඉවසිල්ලේ ය.

“ඔයාට එහෙම කරන්න පුළුවන් ද?”

“අමාරු වෙයි. කොයි වෙලාවෙද ඔයා මට කතා කරලා අපි හමු වෙමුද කියලා අහනකල්  මං බලාගෙන ඉන්නේ. මේ තුරුලට වෙලා මේ පපුවට ඔලුව තියාගෙන ඉන්නෙ කවදද කියලා මං පෙරුම් පුරන්නේ. එහෙම ගෙවිල යන තත්පරය පැයක් වේවා කියලයි මං ප්‍රාර්ථනා කරන්නේ. එහෙම මට ඒක ලේසි දෙයක් නෙමෙයි. ඒත්..හදිසි වෙලා ජීවිතේ දුකක් කරගන්න මට බෑ. ඔයාට අම්මව අතාරින්න බෑ. මට තමාරා මැඩම්ව අතාරින්න බෑ. ඉවසීමක් නැතුව තීරණයක් අරගෙන එයාගේ හිතේ හැමදාම මං ගැන වැරදි වැටහීමක් තියාගන්නත් බෑ. ඔයව අම්මයි මමයි මැද අසරණ කරලා දෙපැත්තකට අදින්නත් මට බෑ. කාලය ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් දෙයි අයියේ.  මේ කාලය ඔයත් ඔයාගේ අම්මටයි අප්පච්චිටයි දෙන්න. හැමෝගෙම මූණු වල හිනාවක් තියලා අපි අපේ වෙමු. මේ අවුරුදු තුන මට ඇති. ඔයා මට පාරක් පෙන්නුවා. දැන් මට තියෙන්නේ ඒ පාරේ ඇවිදගෙන යන්න. අංශු මාත්‍රයකවත් වරදක් ඔයාටවත්, අපේ ආදරේටවත් නොවී මං පරිස්සම් වෙන්නම්. මේ මං පැය ගාණක් දවස් ගානක් හිතලා ගතපු තීරණයක් නෙමෙයි. මේ මොහොතේ අපි ගැන හිතලා ගතපු හොඳම තීරණේ. වෙනද වගේ හැම රෑකම අපි අපේ දවස ගැන කතා කරමු.”

විනාඩි කිහිපයක් යනතුරු දෙදෙනාම උන්නේ නිහඬවය. ඒ නිහඬබව බිඳ දැමුවේ ඉඳහිට එහෙටත් මෙහෙටත් හුවමාරු වූ සුසුමකි. 

“හරි….ඔයාගේ කොන්දේසියට මං එකඟ වෙන්නම්. හැබැයි මගේ කොන්දේසියට ඔයා එකඟ වෙන්නත් ඕනේ.”

යුවතිය උන්නේ තරුණයාගේ දෑත් අල්ලාගෙන. ඇය හිස වැනුවේ කිසිවක්ම නොඅසාය. ඔහු යමක් ඉල්ලන්නේ නම් එය සාධාරණ ඉල්ලීමක් බව විශ්වාසය. 

“අද ඉඳලා ඒ අවුරුදු තුන ගෙවිලා යන දවස,  අන්න එදාට කවුරු කැමති වුණත් කවුරු විරුද්ධ උනත් ඔයා මගේ  වෙන්නම ඕනේ. එදාට අපි දෙන්න මැරි කරනවා. සමහර දේවල් තියෙනවා මැණික අපිට හැමෝම සතුටු කරලා ලබාගන්න බැරි. මං විශ්වාස කරනවා මගේ අම්මා වෙනස් වෙයි කියලා. එහෙම උනත් නොවුනත් ඔයා මට පොරොන්දු වෙන්න ඕනෙ ඒ කොන්දේසියට එකඟ වෙනවා කියලා.” 

අපූර්වා  හිස වැනුවේ ඔහුට එකඟවය. සියල්ල නිවැරදිවම සිදු වේයැයි කොහේදෝ සිට පැමිණි විශ්වාසයක් ඇගේ සිත පත්ලේ ලැඟුම් ගත්තේ මින් විනාඩි කිහිපයකට ඉහතදීය. 

“ආච්චි මං ගැන අහයි. මිනිස්සු මං ගැන අහයි…”

“ආච්චිට කියමු ඔයා ටික කාලෙකට රට ගියා කියලා. අපේ ජීවිත තීරණය කරන්න මිනිස්සුන්ට බෑ. ඒක ඔයා හිටියත් නොහිටියත් වෙයි.” 

“ඔයා හරි ශක්තිමත් වෙලා…සමහර තැන්වලදී මටත් වඩා…”

“ඒ ශක්තිය මට දුන්නේ ඔයා. පරඬැලක්  වගේ පා වෙවී  අරමුණක්, බලාපො⁣රොත්තුවක් නැතුව  ඉඳපු මාව මේතැනට එනකල් හයියෙන් අල්ලගෙන හිටියේ ඔයා. දැන් මට පුළුවන් ඔයා වෙනුවෙන් සටන් කරන්න. අපි වෙනුවෙන් සටන් කරන්න.”

“ඒ උනාට මං දැකපු අර ලස්සන ගෑණු හිත මරල දාන්නන එපා.”

“කවදාවත් එහෙම වෙන එකක් නෑ. පැයක්, දෙකක්,  තුනක් හැමදේම මම ඔයත් එක්ක කියාවි. මේ දුරස් වෙලා ඉන්න අවුරුදු තුනේ මහ මෙරක් තරම් අපේ හිත්වල ආදරේ පිරේවි. අපි චුට්ටක් දුක් විඳිමු සතුට හොයාගෙන යන්න. මගේ සුදු මහත්තයාට ඒක කරන්න පුළුවන් නේද.” 

යුවතිය යළිත් ඒ දෙකොපුල් තම දෑත් වලින් අල්ලා ගත්තේ එසේ අසමින්ය. හීනි කඳුළු බිදු දෙකක් ඒ දෑස් පාමුල වූවා ඇය හොඳටම දුටුවාය.

මේ උන්නේ ඊයේ පෙරේදාත් තමා සිප ගනිද්දී වෙව්ලා ගිය යුවතිය නොවේ.

“ආදරේ මැණික. ඔයා තමයි මං මේ ලෝකෙ දැකපු ලස්සනම ගෑණු ළමයා. ඔය තරම්  ආදරේ කරන්න කාටවත් බෑ. මේ ලස්සන හිත මගේ කරගන්න මං ඉවසන්නේ නැතුව කොහොමද?” 

යුගාශ් පැවසූයේ ඒ නළලත මත යළිත්  මෘදු හාදුවක් සටහන් කරමින්ය. 

“අප්පච්චිව බලා ගන්න අයියේ. මගේ හිතේ එයා ගැන පුංචිම තරහක්වත් නෑ. එයාව ආදරෙන්  හොඳට බලාගන්න. ඔයා මගේ හිත පිරෙව්වා වගේ ඒ දෙන්නගෙ හදවත් ආපහු එකට බන්දන්න ඔයාට පුළුවන්. මායාකාරයෙක්ට බැරි දෙයක් නෑ. ඔයා මායාකාරයෙක්. හිත් කියවන්න දන්න මැජික් කාරයෙක්”

යළිත් නිහඬ විනාඩි කිහිපයක් ගෙවී ගියේ ඈ ඔහුට තුරුළු  වීගෙන සිටියදීය. අවසන දිගු සුසුමක් මුදා හළ යුවතිය ඒ තුරුලෙන් මිදුනාය. 

“ටික වෙලාවක් දෙනවද… මං ඉක්මනට මොනවා හරි හදන්නම්. බත් චුට්ටක් කාලයමු. මං දන්නව ඊයේ පෙරේදා ඉඳලම හරියකට කෑමක් නෑ කියලා. හිනා වෙලා යන්න…”

“හරි මැණික…”

“රෑ වුණාට කමක් නෑ පරිස්සමට යන්න පුළුවන් නේද?”

“පරිස්සම් නොවී කොහොමද ඔයාව මගේ කරගන්න.” 

“දන්නවද ඒ අවුරුදු තුනට පස්සේ මං දකින්න ඕනේ මීටත් වඩා සාර්ථක කෙනෙක්.”

“මං පොරොන්දු වෙනවා මැණික..”

යළිත් වරක් ඒ නළලත සිප ගත් යුවතිය අත්තම්මා උන් කුඩා කාමරයට ගියේ ඔහුව එහි තනිකර දමාය. 

“මේ තේ දෙක ඇල් උනා කෙල්ලෙ..උඹල හොදින් නේද?”

හිරමණය මත වාඩි වී ඔහේ බලා උන් වියපත් ගැහැණිය ඇසුවේ මද හඬකින්ය. 

“සර් එයාගේ ඉගෙනීමේ කටයුත්තකට අවුරුදු තුනකට රට යන්න හදන්නේ. මට ඉතින් දුකයි. සර්ටත් දුකයි. මං එපා කිව්වොත් සර් යන එකක් නැහැ. ඒ උනාට මං කොහොමද ආච්චි සර්ගේ දියුණුව නවත්තන්නේ.”

යුවතිය පැවසූයේ ඉවත බලාගෙනය. අදටත් ඈ දෙස බලා බොරුවක් කියන්නට ඇයට හැකියාවක් නොවේ.

“අවුරුදු තුනක් කියන්නේ මහා කාලයක් නෙමෙයි කෙල්ලේ.”

යුවතිය පැවසූයේ කුඩා මේසය  මත වූ හට්ටි වළන් වලට එබෙමින්ය. වෙලාව ගතව යන බවක හැඟීමක් දෙදෙනාටම වූයේ නැත. ආච්චිට  මේ සියල්ලම සූදානම් කරන්නට අඩුම තරමින් හෝරාවකට වඩා වැඩි කාලයක් ගතවන්නට ඇත. අපූර්වා බිත්ති ඔරලෝසුව දෙස බැලුවේ එනිසාය. වේලාව රාත්‍රී දහයයි පහළොව ලෙස සටහන්ව තිබිණ. ඕ  අල්මාරියේ පහළම තට්ටුවේ වූ වීදුරු පිඟන් හා දීසි එළියට ඇද ගත්තේ කලබලයෙන්ය. කෑම බෙදා කුඩා මේය සූදානම් කරද්දී තවත් විනාඩි පහළොවක් පමණ ගතවී තිබිණ. 

“ඈ යුගාශ් සොයා ගියේ ඉන් පසුවය.” 

“ඒක හරි අමාරුයි බං. ඒත් මං දන්නවා අපූර්වා එහෙම කියන්න ඇත්තේ මොනව හරි ලොකු දෙයක් හිතේ තියාගෙන කියල. එයාගේ ඒ ඉල්ලීමට එකඟ වෙනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ. එයාගෙන් ඈත් වෙලා ඉන්න මට අමාරු තරමටම මගෙන් ඈත් වෙලා ඉන්න එයාටත් අමාරුයි. ඒක දඬුවමක් නං අමාරුවෙන් හරි අපි දෙන්නම ඒක විඳිනවා. මං එයාගේ අදහස් වලට ගරු කරන්න වෙනවා. එයා හරි ලස්සනට ජීවිතේ හදාගන්න දන්න කෙනෙක් මචන්. එහෙම එකේ මට එයාට ඉඩ නොදී ඉන්න බෑ. මචං… මං තියෙනවා එහෙනම්.”

ඔහු සිටියේ ඇමතුමකය. ඒ තීක්ෂණ සමග විය යතුය. ඇමතුම  විසන්ධි වී යනතුරුම අපූර්වා උන්නේ වසා දමා තිබූ ජනේලය අසලය. ඕ දිගු සුසුමක් හෙළා ළය සන්සුන් කර ගත්තාය. ඇයට අවැසිව තිබුණේ කාලය ගෙන වටිනාකම් එකතු කරන්නටය. 

“ඉස් ඉස්සෙල්ලා අපේ ගෙදරට ඇවිල්ලා කෑම වේලක් කද්දි මේ වගේ සුළු දෙයක් හදන්න වුනාට අපිට සමාවෙන්න මහත්තයෝ. මේ කෙල්ල මට නිකමටවත් මේ කතන්දරේ කියලා තිබුණේ නැහැනේ. එහෙම වුණානම් අඩු කාලේ පොළොස් ටිකක්වත් හදලා තියන්න තිබුණා.” 

පියසීලී එසේ පැවසූයේ යුගාශ්ගේ පිඟානට පොල් සම්බෝල බෙදෙමින්ය. මේසයක් සැරසිය හැකි ගම් එළවළු බොහෝය. පොළොස් ඇඹුලක්, කෙසෙල් මුව අච්චාරුවක්, කොහිල දළු මිටක් පපඩමක් එකතු වූවානම් මේ කෑම වේල අංග සම්පූර්ණය. ඒ සියල්ලම මේ අහල පහළින් සොයා ගන්නට තිබිණ.

“ආච්චි, මේ කෑම වේල මට රජ කෑම වේලක්. අපූර්වා දන්නවා මං කන්න කැමති මෙහෙම. අනිත් එක හරි රසයි ආච්චි අම්මේ. මට ඇත්තටම මගේ යාච්චි අම්මා මතක් වුණා. මං පුංචි කාලේ අපේ ගෙදර කෑම උයන්නේ එයා. එයාගේ අතින් හදන කෑම වල මොකක්දෝ රසයක් තියෙනවා. සමහරවිට ඒ ආදරෙත් එකතු වෙච්ච හින්දා වෙන්න ඇති. ඒ රසේ ඒ විදිහටම මට අද දැනුන ආච්චි අම්මේ.”

“අනේ මහත්තයෝ…..”

“ඇත්තටම…මේ වෙලාවේ මං කන්නෙ බඩගින්නට නෙමෙයි ආසාවට. රෑට මං කන්නෙ හරි සරල කෑම වේලක් ආච්චි අම්මේ. බට පිරෙන්න කෑවොත් රෑට ඉක්මනට නින්ද යනව.”

“මහත්තයෝ…අවුරුදු තුනක් යද්දි මං ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. හැබැයි මගේ මේ අහිංසකීට  කිසිම අසාධාරණයක් කරන්න එපා.”

පියසීලී එවර පැවසූයේ දෑත් එක් කරගෙනය. වහා නැගී උන් තරුණයා පියසීලීව බදාගත්තේ ඉඳුල් අත පසෙකට කරගෙනය.

“ආච්චි..දැන් ආච්චි කිව්වොත් මට මේ කෙල්ලව එක්කරගෙන යන්න කියලා මං ඒකත් කරනවා. ඒත් මං එයාට පොරොන්දුවක් උනා. අවුරුදු තුනක් අපි අපි වෙනුවෙන් ඉවසනවා කියලා. ඒ අවුරුදු තුන ගෙවිලා යනකල් ආච්චිට මුකුත් වෙන්නෙ නෑ. අපි දෙන්නට මේ කකුල් දෙක අල්ලලා වැඳලා ආශිර්වාද අරගෙන අපේ ජීවිත වලට යන්න ඔයා ඉන්නම ඕනේ. අද ඉඳලා මේ මොහොතේ ඉඳලා හැම තත්පරයක්ම ඔයා පරිස්සම් වෙන්න ඕනේ. මං අපූර්වට කතා කරන හැමදාම ඔයත්  එක්කත් චුට්ට වෙලාවක් හරි කතා කරන්නම්. මගේ ආච්චි පොරොන්දු වෙන්න මට හැම තප්පරේකම පරිස්සමට ජීවත් වෙනවා කියලා.”

“පොරොන්දු වෙනවා රත්තරන් මහත්තයෝ මං පොරොන්දු වෙනවා. මං ජීවිතේට ආස නෑ. ඒත් මේ කෙල්ල තනිවෙනවට මං හරිි බයයි. මේ කෙල්ල මහත්තයාගේ ළඟට යනකල් මං කොහොම හරි ජීවත් වෙනවා.”

අපූර්වා කිසිවක් නොකියා බලා සිටියේ දෑස් වල කඳුළක් තබාගෙනය. ඔහු මෙම ජීවිතවලට රිංගාගෙන සිටින්නේ අංශු මාත්‍රයකවත් ඉඩක් ඉතිරි නොකරමින්ය. 

                              ************

දයාල්ගේ වාහනය වේගයෙන් පැමිණ ගෙඋයනේ නතර කළේ සේනකත් පසුගියදා ඔහු හා මිතුරු වූ නීතිඥවරයෙකුත් මත්පැන් බෝතලයක් හිස්කරමින්  සිටියදීය. පසුගියදා දයාල්ට සුදු හුණු ගෑ මාධ්‍යවේදී දයාසේකරත් එතැන විය. 

“මං කියන්නේ පුෂ්පානන්දට ඒ පැරදිච්ච එකේ ලැජ්ජාව දරා ගන්න බැරි වුණා. ඒකයි මිනිහා ටිකක් අයින් ගහලා ඉන්නේ. සේනක මන්ත්‍රීතුමා කතා කළේ නැද්ද පහුගිය දවස්වල මිනිහට.”

“කතා කළා කතා කළා..ඒ වුනාට මිනිහගෙන් යහපත් ප්‍රතිචාරයක් තිබුණෙ නෑ. සමහර වෙලාවට කියනවා මං ටිකක් අසනීපෙන් සේනක කියලා. ඒ උනාට  ඒ කටහඬේනම් අසනීප පාටක් පේන්න තිබුණෙ නෑ. මට හිතෙන්නෙම මේ දයාසිරි කියනවා වගේ මිනිහා පුතාව දිනවන්න මේ නඩුව පස්සට ඇද්දා. මුලදී එක එක එව්වා කියාගෙන උපදෙස් දීගෙන ආපු මිනිහා පස්සේ සද්ද නැතුව ගියානේ ඕයි. මට සෑහෙන්න පාඩුවක්…සෑහෙන්න පාඩුවක් වෙයි. මිනිහා පහුගිය කාලේ ඡන්දේ ඉල්ලන්නත් බලාපොරොත්තුවෙන් හිටියා. හැබැයි මං කතා කරද්දි කිව්වා ඒ අදහස අත ඇරලා දැම්මා කියලා.” 

“එහෙම හිතන්න එපා සේනක මන්ත්‍රීතුමා. මේ වික්‍රමතුංග මහත්තයා පුෂ්පානන්දට වඩා හොඳට සේනක මන්ත්‍රීතුමාගේ වැඩ කටයුතු කරලා දෙයි. මේත් හොඳ ලෝයර් කෙනෙක් තමයි.”

“මං කිව්වනේ තාත්තේ . මට කිසි දෙයක් කරන්න දුන්නෙත් නෑ. අන්න අරකී රටත් අතහැරලා ගිහිල්ලා.”

දයාල් තිදෙනා අසලට පැමිණියේ එසේ කෑ ගසාගෙනය. 

“මොකද බං මේ. දැන් මොකීද  රට අතෑරල ගිහිල්ලා තියෙන්නේ.”

“අර…”

“හරි.. හරි මෙතන කුණුහරුප කියන්න තියාගන්න එපා.”

“අමායා ලංකාවෙන් යන්න ගිහින්.”

එවර දයාල් පැවසූයේ පෙරටත් වඩා උස් හඬින්ය. එතැන සිටින්නේ කවුරුන්දැයි ඔවුන්ගේ තරාතිරම කුමක්දැයි යන්න පිළිබඳව වගක් ඔහුට වූයේ නැත.

“ඒකිගේ මහ එවුනුත් ගෙවල් විකුණලා කොහෙද ගිහිල්ලා. ගමට මුහුණ දෙන්න බෑ කියලා. මතක තියාගන්න තාත්තා කියපු විදිහට මම පහුගිය කා‍ලේ ජීවත්වුණා. මං ඕකිට අතක් තිබ්බේ නෑ. හැබැයි එහෙමත් කරලා මට නොමිනේෂන් හම්බුනේ නැත්නම් මං මේවා ගිනි තියෙනවා.”

යළිත් ඔහු කෑ ගැසුවේ උස් හඬින්ය. අමායාට කුමක් හෝ කළ යුතුයැයි නිරතුරුවම ඔහු පවසද්දී සේනකත්, බිරිඳත් දයාල්ව පාලනය කරගෙන සිටියේ අසීරුවෙන්ය. ඔහුව මෙල්ල කර ගත හැකි එකම ක්‍රමය වූයේ නොමිනේෂන්ය. එහෙත් වර්තමානය තුළ පක්ෂයේ ඇතිවී ඇති අර්බුකාරී තත්ත්වය නිසා දයාල්ට නොමිනේෂන් නොලැබේ යැයි විශ්වාසයක් සේනකගේ සිතෙහි විය. සියල්ලෝම කතා කරන්නේ ඔහුට විරුද්ධවය. එහෙත් ඔහු ඒ බවක්  දයාල් හා නොකීව්වේය. 

තරුණයා නිවස තුලට ගියේ මිදුලෙහි  වූ මල් පෝච්චියකුත් ඔසවා පොළවේ ගැසුවාට පසුවය. 

(යළිත් හමු වෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here