සෙනසුරාදා උදයෙන් ම යසස්වි තුසිතය පිරිසිඳු කිරීමට පටන් ගත්තා ය. මකුළු දැල් කඩා දුහුවිලි පිස දමා අතු පතු ගා ගෘහ භාණ්ඩ තිබුණාට වැඩිය වෙනස් පිළිවෙළකට නැවත ස්ථානගත කළා ය. මිදුලෙන් මල් හා අතු ඉති කඩාගෙන විත් මල් බඳුන් පිළියෙළ කොට තැබුවා ය. සුළං සීනු වල හඬ නො කඩවා නැඟෙනුයේ සුළං පවතින දිනයක් නිසාවෙනි. එක එක සුළං සීනු විසින් ඇති කරනු ලබන හඬ නේකාකාර ය. එක ම සුළඟට වුව විවිධ සුළං සීනු ප්‍රතිචාර දක්වනුයේ වෙනස් හඬ වලිනි. සමහර හඬවල් සියුම් ය. සියුමැළි ය. මිහිරි ය. ඇතැම් හඬවල තීව්‍රතාව වැඩි ය. උච්ච ය. නමුත් ඒ කවර හඬ නැගීමක වුව ගීතවත් බවක් වේ. ඒවා හදෙහි වෙනත් ආකාර වල භාවයන් දනවයි. වෙනස් හැඟීම් උපදවයි.
මිනිස් කටහඬ අඩු වෙලාවට තුසිතය කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම තුසිතයක් ය. එතකොට නැගෙන්නේ සුළඟේ හඬ හා සුළං සීනු වල හඬ පමණකි. අස්විද සේ ම යසස්වි ද සොබාදහමේ ඒ හඬ තුළ අතරමං වෙන්නට කැමති ය.
හෙල්මට් එක හිස පළඳමින් දිල්නුක ආලින්දය හරහා නික්ම ගියේ යසස්වි ගේ මුහුණ දෙස හෝ බලන්නේ නැතිවයි. ඔහු ගැන කේළම ගෙදර අයට කී එක ගැන තවමත් ඇය සමග ඔහු කේන්තියෙනි. යසස්වී සුසුමක් හෙළුවා ය. මිනිසුන් තවකෙකු ගේ මූණ බලන්නට බැරි වෙන තත්වයක් ඇති නොකොට ගත යුතු යයි දැන් ඇයට සිතේ. දන්නා හඳුනන අයෙකු අහම්බෙන් මග තොටක හෝ දුටු විට සිනහ වී යන්නටවත් පිළිවන්කමක් ඉතිරි වන සේ ඇසුරු කළ යුතු ය. ජීවිතය වූ කලී වසර දෙතුන් සියයක් දුරට දිවෙන එකක් නොවෙන බැවිනි. මේ කෙටි ජීවිතයට තරහකාරයන් කුමට ද? කිසිවෙකුට දැනුවත් ව වරදක් නොකර ජීවත් විය යුතු යයි යසස්වි අලුතෙන් ම සිතාගත්තා ය.
වජිරා ගේ කරවල බැදුමෙහි සුවඳ තුසිතය පුරා පැතිරෙමින් තිබිණ. කොච්චි දැමූ කරවල බැදුම, කලටි පොල් සම්බෝලය හා පරිප්පු කිරට යනු බොහෝ සති අන්ත වල උදයට තුසිතයෙහි ආහාර වට්ටෝරුවයි. අස්විද ඒ කෑම වට්ටෝරුවට පෙරේත බව වජිරා යසස්වි සමගින් පවසා තිබේ.
සාමාන්‍යයෙන් සති අන්තයේ දී නිලූකා උදේ කෑම ගැන බලන්නේ නැත. එදිනට ඇය තරමක් දවල් වනතුරු නිදාගන්නා අතර, අවදි වූ විට කෑම පිසින්නේ උදේ හා දිවා ආහාර වේල් දෙක ම එකට ගන්නට ය. නමුත් ලොකු පුතා හෝ ඔහු ගේ පුතෙකු කුස ගින්නේ සිටියදි වජිරා ගේ කුසට බත් ඇටයක් වැටෙන්නේ නැත.
‘කෑම ලෑස්තියි ළමයි. ඇවිත් කන්න’
මුළුතැන්ගේ පැත්තෙන් වජිරා ගේ හඬ ඇසිණ. නඩුවකට අදාල ලිපි ගොනුවක් පිරික්සමින් සිටි අස්විද මේසය ළඟින් නැගී සිටියේ ය. ඔහු ආලින්දයට පිවිසෙන විට යසස්වි සිටියේ ඈ තැනූ මල් බඳුනක හැඩ බලමිනි. කොහේදෝ සිට පැමිණි සුදු කිටියා කැරපොත්තෙකු මුවින් ගෙන විත් ආලින්දයෙහි අත්හැරියේ ඒ වෙලාවේ ය. කැරපොත්තා වහ වහා පෙරළී ඇසිල්කින් ඉගිලුණේ යසස්වි සිටි දෙසටයි. ඇය කෑ ගසාගෙන ම අස්විද ගේ ඇඟේ එල්ලුණා ය.
නාන කාමරයට යන්නට කාමරයෙන් පිටතට පැමිණි නිලූපා ට මේ දර්ශනයෙන් ක්ෂණික කෝපයට පත් නොවී සිටිත නො හැකි විය. ටික කලක සිට ඇය යසස්වී කෙරේ නොරිස්සුම් වෙමින් සිටියා ය. ඇගේ හුරතල් කෙළිලොල් ගති වලට ඊර්ෂ්‍යා කරමින් ද, නිලූකා සමග කියමින් වෛර කරමින් ද සිටියා ය. පෙර දා අස්විද ගේ රියෙහි ඇයට ඉඩක් වෙන් නොවී ඔවුන්ට ත්‍රීරෝද රියක එන්න යයි පැවසීම තුළ නිලූපා ගේ වෛරී හැඟීම උච්ච ස්ථානයකට පත්ව තිබිණ. ඒ මොහොත තුළ ඇයට ඇය පාලනය කරගන්නට ඕනෑ වූයේ නැත. එහෙම කරන්නට තරම් විනයක් ඈ පුහුණු කොට තිබුණේ ද නැත. ස්ටූල් එක මත යසස්වි පිළියෙළ කළ වීදුරු මල් බඳුන සිනහ වෙමින් තිබිණ. එහි වූයේ කහ අරලිය මල් පොකුරක් හා හාතවාරිය ඉති කිහිපයකි. මල් බඳුන පෙරළෙන සේ නිලූකා ස්ටූලයට පා පහරක් ගැසුවා ය. වීදුරු බඳුන හඩ නගාගෙන පෙරළී බිම වැටී කුඩු විය. වතුර ද වීදුරු කටු ද සැම තැන ඉහිරී ගියේ ය.
‘අයියෝ… මොකද්ද අක්ක ඔයා කළේ…’
යසස්වි ට එසේ ඇසුණේ ඉබේට ය. ඒ ප්‍රශ්නය ඒ තරම් කලබැගෑනියක් සිදු කරතැයි සිතුණේ වී නම් ඇය කිසි සේත් ඒ වචන ටික මුවින් බැහැර නො කරනු ඇත.
‘මොකද්ද කළේ කියන්නෙ… පේන්නැද්ද වෙච්ච දේ… ගෙදර බඩු එහෙට මෙහෙට කරල විකාර නටල. මේ ස්ටූල් එක මෙතන දාල මගෙ කකුලත් වැදුණ. මගුල් නටනව මෙතන’
මීට පෙර තුසිතය තුළ කිසි දා නිලූපා ගේ කටහඬ ඔය තරමට උස් ව නැගී නැත. එහඬින් වජිරා ඇතුළුව ගෙදර සිටි හැම කෙනෙක් ම ආලින්දයට කරපෙවූහ.
‘ඔයා පුදුම කතාවක්නෙ අක්ක කියන්නෙ. ඔතන ස්ටූල් එකක් තියනව පේන්නැද්ද අනේ ඔච්චර කකුල හැප්පෙන්නෙ… අනික ඒක තියෙන්නෙ යන එන පාරෙ නෙවෙයිනෙ’
‘එතකොට දැං තමුසෙ කියන්නෙ මොකද්ද…’
‘මන්දන්නෑ. මටනං හිතන්න බෑ ඕක ඉබේ කකුලෙ වැදුණ කියල’
‘එතකොට තමුසෙ කියන්නෙ මං කකුලෙන් ගහල ඒක පෙරළුව කියලද…’
ඒ ප්‍රශ්නයත් නිලූපා ගේ අතුල් පහරක් යොමු වූයේ ත් එකට ම ය. ඒ අතුල් පහර යසස්වි ගේ කම්මුලේ වදින්නට පෙර වජිරා කෑගසාගෙන ඇස් පියාගත්තා ය. කම්මුලෙහි අත් පහර වදින්නට මොහොතකටපෙර ඒ අත තදින් අල්වාගන්නට අස්විද සමත් වූයේ ය. කොයිතරම් තදින් ඔහු ඒ අත ඇල්ලුවේ ද යත් අත ඇඹරී යනවා වාගේ නිලූපා ට දැනිණ.
‘අතා… රිනව…’
ඇය දත්මිටි කමින් කීවා ය. අස්විද ඇගේ අත දමාගැසුවේ ය.
‘නිලූපා. මොකද්ද තමුං ඒ කරන්න ගිය වැඩේ… යසස්විට අත තියන්න තමුන්ට මොන අයිතියක්ද ආ…’
ඉදිරියට ආ වජිරා කෙලින් ම නිලූපා ගේ මුහුණ දෙස බලාගෙන ගිනි පිටවෙන දෑසින් ප්‍රශ්න කළා ය.
‘ආ… එතකොට දැන් මේ ඔක්කොමල පිට එකියක් ලොකු කරගෙන අපේ එකීට සද්ද දානවද…’
නිලූකා ද වැරදි තැනින් අල්වාගෙන ප්‍රශ්නය එතැන ම අවුල් කළා ය.
‘මෙතන පිටත ඇතුළෙද කියල කතාවක් නෑ. මේ ළමය කරන්න ගිය වැඩේ මං අනුමත කරන්නෙත් නෑ. යසස්වි දුව අපේ බාරෙ ඉන්න ළමයෙක්. ඒ ළමයට අත තියන්න ඔය ළමයට කිසිම අයිතියක් නෑ’
සාමාන්‍යයෙන් ගෙදර බහින්බස් වීම් වල දී කිසිවෙකු ගේ පැත්තක් නො ගන්නා විජිත ට පවා මේ අවනඩුවේ දී ඉවත බලාගෙන සිටිත නො හැකි විය.
නිලූකා ද නිලූපා ද හැසිරුණේ අතිශය ග්‍රාම්‍ය ස්ත්‍රීන් සේ ය. ඔවුන් දෙදෙනා ම එක්ව යසස්වි ට චෝදනා එල්ල කරන්නට වූයේ ඇය සිහිනයෙන්වත් නො සිතූ ලෙසයි. නමුත් ඕ තවදුරටත් වචනයකුදු නො දොඩා ඒ සියල්ල ඉවසා දරාගත්තා ය.
‘නිලූකා. අදම නංගිව මෙහෙන් යවන්න ඕනෙ. එයාව තව දුරටත් මෙහෙ තියාගන්න බෑ’
මුල් ම වතාවට චේතිය කතා කළේ ය. නිලූකා ඔහු සමගින් පැටලීගෙන ආවා ය.
‘එහෙම කොහොමද… මේ පිට එකියක් නිසා නංගිව යවන්න බෑ. අනිත් එක එයාට යන්න තැනකුත් නෑ. එයා ඉන්නෙ මං ඉන්න තැනක’
‘යන්න එන්න තැනක් නැතුව මෙහෙ ඉන්නවනං වැදගත් විදිහට ඉන්න තිබුණ. තමුන්ටත් එහෙම ඉන්න බැරිනං යන්න පුළුවන්’
‘ආ හිතාගෙන ඇති මාව යවන්න. ඒ ගමන මාවත් යවල අයියයි මල්ලියි දෙන්නත් එක්ක එකගෙයි කන්න වෙන්නැති හිතං ඉන්නෙ’
නිලූකා ගේ මුවින් ඒ වදන් පිට වූවා විතර ය. චේතිය ගේ හැඩි දැඩි අතක් ඇගේ කම්මුල මත අකුණක් සේ පතිත විය. ඇය වේදනාවෙන් කෑගසාගෙන කම්මුල අල්වාගත්තා ය. ඒ වෙලාවේ නිලූකා ගේ මුහුණේ වූයේ වෛරයේ ගින්දරයි. ඇය තව දුරටත් කට ගසාගෙන එත්දී චේතිය යළිත් පහරදෙන්නට සූදානම් වූව ද එසේ නොවුණේ වජිරා ඔහුව වැළකූ බැවිනි.
‘ගෑනුන්ට ගහන්න ඕන්නෑ ලොකු පුතා. කොහොමත් මෙයා දැං ගහලවත් හදන්න පුළුවන් ගෑනියෙක්නං නෙවෙයි. ලොකු පුතා කිව්වෙ නැත්තං මං කියන්නයි හිටියෙ ඒක. නිලූපාට තවත් මේ ගෙදර ඉන්න බෑ’
වජිරා එසේ කීවේ ස්ථිරසාර දැඩි බවකිනි. නිලූකා දිගට ම තව තවත් කියවූවා ය. යසස්විටත් චේතිය ගේ මව් දෙමව්පියන්ටත් ශාප කළා ය. ඒ කතා අසා සිටිනට පවා පිළිකුළ දනවන ඒවා යි. ඇයව දික්කසාද කොට දමනා ලෙස චේතිය ට කියන්නට අස්විද ගේ මුව නළියමින් තිබිණ. නමුත් ඔහු අන්තිම මොහොතේත් ඉවසාගත්තේ ය.
නිලූපා සිය ඇඳුම් කැඩුම් ත්‍රීරෝද රියක පටවාගෙන යන්නට ගියා ය. ඈ නික්මුණේ මිතුරියක ගේ මාර්ගයෙන් නවාතැනක් සූදානම් කරගෙනයි. නමුත් නිලූකා හැඬුවා ය. දෙඩුවා ය. සතර අතේ ශාප කළා ය. ඇයට වූයේ නැඟණිය තුසිතයෙන් පිටමං වීම ගැන ශෝකයක් ම නොව තුසිතය යසස්වී ට පක්ෂග්‍රාහී වීම ගැන කෝපයකි.
‘උයපු කෑම ටික කන්න නැති වුණානෙ මේ ළමයින්ට’
කියමින් වජිරා විස්සෝප වූවා ය. සනුක යසස්වි ගේ හිත හදන්නට නොයෙකුත් දේවල් කීවේ වී ද ඇගේ හිත බෙහෙවින් තැලී, රිදී, පෑරී තිබිණ. ඕ කාමරයට වැදීගෙන තනිව කඳුළක් සැළුවා ය. කුමක් කළ යුතු දැයි නො දැන, පිටතට නෑවිත් කාමරයේ දොර වසාගෙන විස්සෝප වූවා ය.
‘මං දන්නව ඔයා අවුලෙන් ඉන්නෙ කියල. දැං ඉතිං ඕක ගැන කල්පනා කරල වැඩක් නෑ. එළියට එන්න’
අස්විද කෙටි පණිවිඩයක් යැව්වේ ය. නමුත් ඕ කෑම ටිකක් කෑවේ ද හවස් වී වජිරා ගේ වදයටයි. රෑ වනතුරුත් ඇය හිටියේ කාමරයේ සිරවීගෙනයි.
‘අරයව එළියට අරං වරෙං සනුක. තනියම හිතලයි අඬලයි දැන් වෙන අසනීපයක් හදාගනී’
අස්විද සනුකගෙන් ඒ ඉල්ලීම කළේ රෑ බෝ වීගෙන එත්දී ය. සනුක ඈ සඳැල්ලට කැටිව ආවේ පෙරැත්තයෙනි.
‘තෑන්ක් කරන්න කතාකළේ’
සනුක නික්මුණ පසු අස්විද සිනහවකින් යසස්වි ගේ මූණ බැලුවේ ය. ඇගේ මූණ ඉදිමී දෑස් සිහින් වී තිබිණ.
‘ඇයි…’
‘අර වසංගතේ ගෙදරින් එලෝල දුන්නට’
සිනහ වෙන්නට හැදුවාට ඇයට සතුටක් දැනුණා නොවේ. එබැවින් තොල් සැලී ගියා විතර ය. අනිත් අතට අස්විද උත්සාහ කළේ සිදු වූ දේ ගැන වන කම්පනය ඇගේ හිතෙන් දුරු කිරීමටයි.
‘එයා මාත් එක්ක එහෙම තරහකින් හිටිය කියල මං හිතුවෙ නෑ’
‘දැන් ඕක අමතක කරන්න’
‘මාත් වෙන තැනක් හොයාගන්නද…’
‘පිස්සුද ආ…’
‘මට ඉන්න දෙයිද නිලූකා අක්ක…’
‘ඒක මං බලාගන්නංකො’
‘මට බයයි. මං තැනක් හොයාගන්නං’
‘මාව දාල යන්න පුළුවන්ද…’
‘අනේ ඉතිං…’
‘ආයෙ කවදාවත් ඔය කතාව කියන්න බෑ කියල මතක තියාගන්න. අපි අපේ අත් අල්ලගත්තෙ ප්‍රශ්නයක් ආවනං අත්ඇරල දාල දුවන්න නෙවෙයි. ප්‍රශ්නනං තව ඕනතරං එයි. හැබැයි එකට මූණ දෙමු’
අස්විද ගේ ස්වරයෙහි වූයේ පරිනත පිරිමි තානයකි. යසස්වි කණගාටුවෙන් බරිත මුහුණකින් බැලුවා ය.
‘සොරි’
ඒ එක වචනය මුළු ජීවිතයක් වෙනුවෙන් බව ඒ මොහොතේ ම ඇය සිතාගත්තා ය.