කල්පනා තරිඳු එනකල් බලාගෙන උන්නේ අසල්වැසියාගේ කරදරෙන් හොඳින් බැරි නම් නරකෙන් හරි මිදෙන්න තීරණය කරගෙන. තරිඳු වාහනෙන් බහිනකොට කල්පනා තරිඳුගේ ළඟ.
” මොකෝ ප්‍රශ්නේ ?..”
තරිඳු කල්පනාගේ උරිස්ස වටෙන් අත දාගෙන එහෙම අහන ගමන් ගේ ඇතුලට ගියා.
” අර එහා වත්තේ ගෑනි අදත් තාප්පේ එල්ලිලා මං අම්මා එක්ක කෝල් එකේ කතා කරනෙක අහගෙන හිටියා තරිඳු … ඒක නම් කමක් නෑ හා කියමු, මම මිදුලේ ඉඳන් කතා කරපු එක මගේ වරද හිතමුකෝ ….මම අර ක්‍රෝට්න් වැට පෲන් කරනකොට, මේ ගෑණි තාප්පෙන් එල්ලිලා මට උපදෙස් දෙන්න ආවා… මම තවත් නම් ඉවසන්නේ නෑ නේබර්ස්ලා කියලා තරිඳු … මට ඇති මේ සෙල්ලම ..”
තරිඳු බෑග් එක එහෙමම සෙටියේ තියන ගමන් කල්පනාවත් ඇදගෙනම වාඩි වුනා.
” හරි දැන් මොකක්ද ඔයා කරන්න කියන්නේ?..”
” මං දන්නේ නෑ.. “
” වතාවක් දෙවතාවක් නෙවෙයිනේ ඒ පැත්තට අපි අකමැත්ත ඇඟෙව්වේ.. “
” අඟවලා හරියන්නේ නෑ තරිඳු .. මේක කියලා ඉවරයක් කරගන්න ඕනි …”
කල්පනා එහෙම කිව්වට ඇත්තටම කල්පනාටත් වැටහුනේ නැහැ මේක විසඳගන්න ඕනි ක්‍රමේ මොකක්ද කියලා. ඒත් තමන් කැමති විදියට හුදෙකලා ජීවිතයක් ගෙවන්න නගර සීමාවේවත් ඉඩ නොලැබෙන එක ගැන දැනෙන කණස්සල්ල කෝපයක් වෙලා නැගෙන එක කල්පනාට නවත්තගන්න පුලුවන් වුනෙත් නැහැ.
” මම එහෙ මල්ලිට කියන්නම් ..”
” ඒ මල්ලිට කිව්වාම ඕක ලැජ්ජ හිතේවි .. අනෙක ඒ කොල්ලා කොයි වෙලෙත් කෑ ගහ ගත්ත ගමන් ඉන්නේ.. ඒ කෙල්ල මරාගෙන කාවි …”
කල්පනාගේ කෝපය ටිකක් නිවෙන්න ගන්නවා. තරිඳු ට මේ සිදුවීම දැන් ටික දවසක ඉඳගෙනම පුරුදුයි.
” එහෙනම්, කරන්න ඕනි හොඳම දේ ඔයාට මම යෝජනා කරලා තියෙන්නේ කල්පනා …”
තරිඳු එහෙම කියලා නාන කාමරේට රිංගගත්තා.
හුදෙකලා ජීවිතයක් ගෙවනවා කියන එකෙන් තමන් අදහස් කරන්නේ කිසිම සමාජ සම්බන්ධතාවයක් නැති ජීවිතයක් නොවන බව කල්පනා දන්නවා. කල්පනාට එහෙම ඉන්න නෙවෙයි ඕනි. ඒත් ඇයට ඇගේ පෞද්ගලිකත්වය රැකෙන්න අවශ්‍යයි. ඇගේ රුචි අරුචිකම් ඇගේ නිවස තුල නිදහසේ තියෙන්න අවශ්‍යයි. ඇගේ නිවස තුල ඇය ලෙසින් පවතින්න අවශ්‍යයි
අනාරාධිතවම අසල්වාසී නිවසේ කාන්තාවගෙන් ලැබෙන අත පෙවීම් කල්පනාව මෙතරම් මානසික පීඩාවකට සහ කෝපයකට හෙලන්නේ ඒ නිසයි. කල්පනා කරලා, කරලා අන්තිමේදී කල්පනා තීරනයක් ගන්නවා.
” ආයේ ඔය නංගී මේ පැත්තට එබිලා මට ඔපීනියන් දෙන්න ආවොත් මම කියනවා මම ඒකට චුට්ටක්වත් කැමති නෑ කියලා.. ආයේ මූන නොබැලුවත් කමක් නෑ.. මට මේ ප්‍රයිවසි එක ඕනි කියලා මම කියනවා…. අනෙක එයාට මෙහෙ එන්න ඕනි නම්, කතා බහ කරන්න ඕනි නම්, ගේට්ටුවෙන් ඇවිල්ලා ඒකට ඉඩ හදාගන්න කියලත් කියනව…..”
කල්පනා සැහැල්ලුවක් හදාගෙන එහෙම කිව්වා. තරිඳු ඒ අදහසට එකඟ බව පෙන්නලා උන්නා.
” මිනිස්සු එක්ක ජීවත් වෙන එක මෙහෙම තමා කල්පනා .. ලේසි නෑ.. ඒ ළමයා ඔය එබිලා කරලා කතා බහ කරලා ඉන්නේ වරදකින් , ඔයාව ඩිස්ටර්බ් කරන හිතකින් නෙවෙයි වෙන්නත් පුලුවන් .. ඒ නිසා දෙන්නාගෙම හිත් නොරිදෙන්න ඕනි එකක් ….”
තරිඳු එහෙමත් කිව්වා. දවස් දෙක තුනක් ගෙවුණා. තරිඳු වැඩට ගියාට පස්සේ කල්පනා මිදුල අතු ගාන්න පටන් අරගෙන තිබුනේ. උදේ ඉඳන්ම දැනුනු අපහසුව එක්ක තමාට තමා පාලනයක් නැතුව යන වග ඇයට දැනුනා. පුලුවන් ඉක්මනට සාලේට ගිහින් තරිඳුට ඇමතුමක් දෙන්න කියන පණිවිඩය ඇගේ යටි හිතින් නැඟුණා. ඇය අඩියක් ඉස්සරහට ගත්ත විතරයි මතක තිබුනේ.
සිහිය එනකොට ඇය උන්නේ පෞද්ගලික රෝහලක.
” දැන් කොහොමද කල්පනා …”
තරිඳුගේ හඬ ඇහෙනකොට කල්පනා ඇස් දෙක ඒ දිහාවට හරවගත්තා.
” මොකද .. මට … වුනේ …”
” මුකුත්ම නෑ .. දැන් ඔක්කොම හරි ..”
” මට මුකුත්ම මතක නෑනේ…”
” හරි හරි ..අපි එව්වා ඔක්කොම පස්සේ කතා කරමු …”
අදාල ප්‍රතිකාර වලින් පස්සේ දින තුනකින් කල්පනාට ගෙදර යන්න පුලුවන් වුනා. ගෙදර ගියාම තමයි තරිඳු කිව්වේ තමන් දෙදෙනා දෙමාපියන් වෙන්න යන අබ්ව. කල්පනාගේ කුසේ තමන් දෙදෙනාගේ දරුවෙක් පන ගහන බව.
කල්පනා කිසිම දෙයක් හිතාගන්න බැරුව වගෙයි බලාගෙන උන්නේ.
” අල්ලපු ගෙදර නංගී ඔයා වැටිලා ඉන්නවා දැකලා, මල්ලිවත් ගෙන්නගෙන ඔයාව හොස්පිට්ල් ඇඩ්මිට් කරලයි මට පණිවිඩේ දුන්නේ කල්පනා … ඩොක්‍ටර්ස්ලා කීවේ පරක්කු නොවී ඔයා එක්කගෙන ආව නිසා අනතුරක් නැතුව දෙන්නාගෙම ජීවිත බේරගන්න පුලුවන් වුනා කියලා….. “
කල්පනා නිහඬවම බලාගෙන හිටියා.
එදා හවස අල්ලපු ගෙදර ජෝඩුව කල්පනාව බලන්න ආවා.
” මම ඉතින් ගමේ උන්න කෙනෙක් නේ අක්කේ.. අපේ ගෙවල් වගේ මෙහෙම තාප්ප නෑ … වැටවල් තියෙන්නේ.. අනෙක අපේ එහා ගෙදර උන්නේ මගේ හොඳම යාලුවා .. අපි කොයි වෙලෙත් වැටේ එල්ලීගෙන කතාව… මෙහෙ ආවමත් මට ඒ පුරුද්ද තියෙන්නේ.. මෙයා කොයි වෙලෙත් මට සැර දානවා, ගමේ පුරුදු මෙහෙ තියාගන්න එපා කියලා.. මම ඒ නිසා ටිකෙන් ටික ඒ එහෙම කියවන එක නවත්තගන්න ගමන් ඉන්නේ අනේ… ඒ වුනාට අක්කත් එක්ක ඕපදූපයක් කියවන්නේ නැතුව කම්මැලි .. ඒකයි මම එදා එබිලා බැලුවේ….
මෙයා මට බැන්නත් මොකෝ කියලා එදා එහෙම එබිලා බලපු එක ගැන නම් මට හරි සතුටුයි .. ඒත් ඒක හැමදාම හැමතැනටම හරියන පුරුද්දක් නෙවි කියලත් මට තේරෙනවා…
ඒ කොහොම වුනත් , අනේ අක්කේ ඔයාට මගේ ඒ කියවිල්ලෙන් ඩිස්ටර්බ් වුනා නම් සිය වාරයක් සමාවෙන්න අනේ…. මට තවම හරි පාලුයි .මෙයත් වැඩට ගියාම.. මෙයා මට බවුවෙක් ගෙනල්ලා දෙන්නම් කියලා ඉන්නේ ….”
කල්පනා අසල්වාසී ගැලවුම්කාරියගේ අතින් අල්ලගත්තා.
” පාරෙන් ඇවිල්ලා ඉස්සරහ ගේට්ටුවෙන් ගෙට ගොඩවෙන්න නේ කම්මැලි .. අපි තාප්පේ මැදකින් ගේට්ටුවක් දාගමු.. පාලු හිතෙන ඕනි වෙලාවක මේ පැත්තට එබෙන්න … ගමේ උන්න හොඳම යාලුවා වගේම හිතන්න මම ….”
දෙදෙනා වැලඳගත්තා. සමහර වෙලාවල්වලදී අහේතුකවම ඉවසන එක හිත් සුවපත් කරන්න හේතු වෙන විදිය කල්පනා ඉගෙනගත්තා.