යසස්වි අනුරාධපුරයෙන් බැසන්නා විට දවල් වී තිබිණ. ඇය ගෙදර එන බවක් අම්මා ට වුව දැනුම් දුන්නේ නැත. ඒ සාවිත්‍රි විසින් ඇගේ පැමිණීම වළකනු ඇතැයි බියෙනි. මේ ගමන යන්නට ම ඇයට ඕනෑ විය.
ත්‍රීරෝද රියක නැගී ගොස් ගේ ඉදිරිපිට බැසගන්නා විට වෙහෙරගොඩ මුදලාලි සිටියේ අඩුම කුඩුම පිරවූ ඉස්තෝප්පුවේ හාන්සි පුටුවෙහි වැතිරීගෙන යි. ඔහු ගේ සිරුරට ප්‍රාණවත් බවක් දැනුණේ ම නැත. පෙර දා සිට ම හිසරදයක් ද හිසේ කැරකිලි ගතියක් ද අප්‍රාණිකත්වයක් ද දැනෙමින් තිබිණ. ඔහු ඒ බවක් සාවිත්‍රි ට වුව කියන්නට ගියේ නැත. අමුත්තක් ඉව වැටීදෝ ඇය කිහිප විටක් ම අසනීප දැයි ඇසුවා ය. වෙහෙරගොඩ මුදලාලි ගොළුවෙකු සේ සිටියේ ය.
යසස්වි ගේට්ටුවෙන් ඇතුළට පිවිසෙනු දුටු ඔහු ආවේගශීලී ව නැගිටගත්තේ ය. ‘තාත්ත’ කියාගෙන පැමිණි ඇය ඔහු ට ලං වූයේ මුලින් ම සමාව අයැදින්නටයි. නමුත් ඊට පෙර ඔහු ගේ අතුල් පහරක් ඇගේ කම්මුල සිසාරා අකුණක් සේ පතිත වූයේ ය.
‘මොකටද උඹ ආවෙ… මං මහ ගෑනිට කිව්ව නේද උඹට ආයෙ මෙහෙ පස් පාගන්න බෑ කියල…’
‘තාත්ත මට ගහන්න. ඒකට කමක් නෑ’
යසස්වි රිදුම අතරින් ඉවසිලිවන්ත හඬකින් මිමිණුවා ය. දෙවන පහර ද වැදුණේ එවිටයි.
‘මං ආවෙ තාත්ගෙන් සමාව ගන්න. මට සමාවෙන්න තාත්ත’
සාවිත්‍රි ඇතුළත සිට දිවගෙන ආවා ය. යසස්වි දුටු ඈ සසැළී ගියේ දැන් ඉතින් කුමක් සිදු වනු ඇත්දැයි බියෙනි.
‘මං එපා කියද්දිත් ආවනෙ. ආවනං ආව. උඹට ආයෙ යන්න බෑ හැබැයි. උඹ වැඩ කරන්න ඕනෙ මං කියන හැටියකට’
‘තාත්ත හොඳින් නේද… මං ආවෙ බලල යන්න. අනේ මට ඔයා කියන ඒව කරන්න බෑ තාත්ත. ඒ ගැන මට සමාවෙන්න’
සාවිත්‍රි තාත්තා හා දුව මැදින් සිටගත්තේ වෙහෙරගොඩ මුදලාලි ගහන පාරකින් දියණිය රැකගනු පිණිස ය. වදින පහරක් ඇයට වැදෙනු පිණිස ය.
‘බැරිනං පලයං. උඹ ආයෙ මගෙ මිණිය දකින්නවත් එන්න එපා. මගෙ ඇස් දෙකට නොපෙනී පලයං මෙතනිං’
‘තාත්ත..මං ඔයාට වරදක් කරන්න හිතුවෙ නෑ. ඒ වගේම දැන දැන මටම වරද්දගන්නත් මට බෑ’
‘යං යං. අපි යං’
කියමින් සාවිත්‍රි වහ වහා දියණිය ආපසු හරවාගෙන පිවිසුම් දොරටුව දෙසට කැටිව ගියා ය.
‘ඇයි දරුවො මට කියන්නැතුව ආවෙ… මේ ඔයා එන්න ඕන ගමනක් නෙවෙයිනෙ’
ඇයට කේන්තියක් ද නො දැනුණා නොවේ. යසස්වි මේ ගෙන තිබෙන්නේ බරපතල අවදානමකි. අපායේ තරම තවම ඇය හඳුනන්නේ නැතිවා විය යුතු ය.
‘අම්ම ඒත් තාත්ත ගැන ඔයා කියපු දේවල් ඇහුවහම මට එයාව බලන්න නෑවිත් ඉන්න පුළුවන් වුණෙ නෑ. එයා මට කොච්චර ගැහුවත් බැන්නත් තාත්ත ගැන මට තරහක් නෑ අම්ම. ඇත්තටම දැන් මට සැනසීමයි. මං තාත්තව බලල සමාව ගන්න ආවනෙ. සමහර විට ආයෙ කවදාවත් අපි නොදකියිද කියන්නත් බෑ. තාත්ත මට කොච්චර වෛර කරත් මං එහෙම කරන්නෙත් නෑ’
‘ඔයා දැං ඉක්මනට මෙහෙං පිටත් වෙලා යන්න යසස්වි’
සාවිත්‍රි තුළ වූ දරුණු ම බිය යසස්වි තව විනාඩියක් වුව මේ සීමාවේ රැඳීම ය.
‘මං ආවෙ අද ගෙදර ඉඳල යන්න’
‘ඔයා මේ සෙල්ලමක්ද කරන්න හදන්නෙ දරුවො… තාත්තනං හිතේ තියන ආවේගෙට ගහයි බණියි. ඒත් අයිය එහෙම ආවොත්…’
‘දැං ඒගොල්ලො මොනා කරන්නද ඉතිං… මං බැඳල ඉවරනෙ’
‘පුතේ… කවුරුත් ඒක දන්නෙ නෑනෙ. තාත්ත ඉන්න තත්වෙත් එක්ක අපි ඕක දැන්ම එයාට දැනගන්න තියන්න ඕන නෑ කියලයි මං හිතන්නෙ. දොස්තර කෙනෙක් ළඟට යන්න කතා කළාට එන්නෙත් නෑ. ඒ වුණාට මට දැනෙන්නෙම තාත්තට මොකක් නමුත් අසනීපයක් තියෙනව වගෙයි. එයාගෙ ලෙඩ වැඩිවෙයි ඔයා බැන්දයි කියල දැනගත්තොත්’
සාවිත්‍රි වෙත වූයේ කලබලකාරී බවකි. මේ මොහොතේ ඇය පවුලේ සියලු දෙනාට මැදි වී සිටියි. පවුලේ සමගිය කෙසේ වතුදු පවුලේ සියල්ලන් ගේ ජීවිත ආරක්ෂාව ගැන වගකීම වන්නේ ඇගේ හිස මතයි. මේ රැයෙහි යසස්වි ගෙදර නතරවෙනවා කියන්නේ මොන තරම් නරක දේවල් සිදු වන්නට පාර කැපීමක් ද කියා ඇයට සිතාගැනීමට හෝ නුපුළුවන.
‘ප්‍රශ්න මැද්දට කඩාගෙන පැන්න කියල ප්‍රශ්න විසඳෙන්නෙ නෑ පුතේ. ඒ නිසා පුළුවන් තරං ඉක්මනට ඔයා දැන් යන්න. මේව හෙමිහිට කාලෙත් එක්ක සීතල වෙලා ගියාවෙ. මං මෙහෙ බලාගන්නං. ඔයා එහෙට වෙලා පරිස්සමට ඉන්න. මේ ප්‍රශ්න හොඳටම ඇති යසස්වි. තව අලුත් ඒව ඕන නෑ. ඒක නිසා ඔයා යන්න’
ත්‍රීරෝද රියකට අත දමා එය නතර කළේ ද සාවිත්‍රි ය. යසස්වි නැවත ද ගේට්ටුවෙන් ඇතුළත බැලුවා ය. වෙහෙරගොඩ මුදලාලි සක්මන් කරමින් සිටියේ ය. යසස්වි සුසුමකින් අම්මා ගේ පාද ස්පර්ශ කොට ආශිර්වාද ගෙන ත්‍රීරෝද රියට නැගගත්තා ය.
‘සිරිමා බෝ හාමුදුරවන්ගෙ පිහිටයි. පරිස්සමෙන් යන්න පුතේ’
සාවිත්‍රි ගේ පපුවෙහි ගින්දර තිබිණ. නමුත් ඇය නපුරක් නොවේවා යි සිතින් පැතුවා ය.
ගෙට එන ගමන් ඇය සැමියා දෙස හොඳින් බැලී ද හෙතෙම කිසිදු හැඟීමක් ප්‍රකාශ කරනා බැල්මක්වත් හෙළුවේ නැත. සාවිත්‍රි ඇතුළට ගියේ හුස්මක් පවා ගන්නේ නැතිවයි. කුමක් හෝ සිදුවෙමින් ඇති බව ඇය ට දැනේ. කුමක් හෝ සිදුවෙන්නට නියමිත බව ඇයට දැනේ. නමුත් ඒ කුමක්දැයි දැනෙන්නේ නැත. අභ්‍යන්තරයෙහි වන මේ ගැස්ම ඈ බියපත් කරයි.
යසස් ගෙදරට දිවගෙන ආවේ නැඟණිය පැමිණි පුවත ආරංචි වී ය. ඇය ගෙදර ළඟදී ත්‍රිරෝද රියෙන් බසිනු, එතැනින් යතුරුපැදියක යමින් සිටි ඔහු ගේ මිතුරෙකු දැක තිබේ.
‘නංගි ආව මං දැක්ක’
කියා ඔහු කීවේ නිකමට ය. කඟවේණෙකු සේ යසස් පිඹගෙන ආවේ ය.
‘කෝ අරය…’
ඔහු පිටුපස මිදුලෙහි මිරිස් වියළෙන්නට දමමින් සිටි සාවිත්‍රි වෙතට ම ඇවිත් තිබිණ.
‘කවුද…’
ඇය විමසූයේ නො සැලකිලිමත් ලෙසයි.
‘කවුද අහන්නෙ… නංගි ආවලු නේද…’
‘තාත්ත එයාව එළෝගත්ත. එහෙමම ගියා’
‘මං අල්ලගන්නංකො’
කියමින් ඔහු ආපසු යන්නට හැරිණ. සාවිත්‍රි ගේ පපුවේ ගින්දර අලුත් විය. ඈ යමක් කළ යුතුව ම තිබිණ.
‘මෙලහකට බාගයක් දුර ගිහිං ඇති. ඇවිත් තියෙන්නෙ එහෙ යාළුවෙක් එක්ක කාර් එකේ. එයාව ටවුමෙ නතර කරල වීල් එකක ඇවිත් තියෙන්නෙ’
යසස් ගේ වේගය අඩාල විය. ඔහු පුටුවක් මතට වැටුණේ ය.
‘අපරාදෙනෙ එලෙව්වෙ. චාටුවෙං ගෙදර නවත්තගන්නනෙ තිබුණෙ’
ඔහු වෙහෙරගොඩ මුදලාලි ට දොස් පවරවා සරකින් කීවේ ය.
‘ඉස්තාලෙට ආපු අස්සයට යන්න ඇරලනෙ’
යසස් නො සන්සුන් වී ද සාවිත්‍රි ට සැනසීමක් දැනිණ. නමුත් එකෙනෙහි ඔහු යළිත් අසුනින් නැගිටගත්තේ ය.
‘කෝකටත් මං ටවුමෙ කැරකිල බලන්නං’
‘යසස්… පුතා…’
ඔහු ට අම්මා ගේ වදන් ඇසුණේ නැත. ඔහු නවතන්නට ඒ වචන වලට හයියක් වූයේත් නැත.
යසස්වි අනුරාධපුර බස් නැවතුම්පළෙන් කොළඹ නගරාන්තර බසයකට ගොඩවූවා ය. ඈ අස්විද ට පණිවිඩයක් තැබුවේ ඉනික්බිතියි.
‘මං ආපහු එන්න බස් එකට නැග්ග’
ඒ දවසේ මැදියම් හෝරාවයි. තවත් හෝරා හතරක පමණ කාලයකින් කොළඹට සේන්දු විය හැකි බැව් යසස්වි හිතෙන් ගණන් බැලුවා ය. ඒ පණිවිඩය දුටුවාට පස්සේ අස්විද ගේ හිතේ වන බර තුනී වී යන බැව් ඇයට විශ්වාස ය. හැන්දෑ වන විට ඇයට ඔහු හමු වනු ඇත.
තුනී කුසගින්නක් දැනෙන්නට විය. උදයේත් තුසිතයෙන් පිටත් වූයේ තේ එකෙන් පමණක් බව ඇය ට සිහි වූයේ පමා වීයි. අස්විද යමක් කන්නට කතා කළ ද ඒ තරම් උදයෙන් කෑමේ ප්‍රියක් නොවුණෙන් යසස්වි ප්‍රතික්ෂේප කළා ය.
‘ඉන්ටසිටි එකක් නිසා පැය හතරකින් වගේ යන්න පුළුවන්නෙ. ගෙදර ගිහිංම කන්නං’
ඇගේ මුහුණේ සිනහවක් නැඟිණි. කන්නට ලැබුණේ කම්මුල් පහර දෙකකි. කොපුල් තලා මත තවමත් තුනී වෙමින් ඇති රිදුමක් වන බව සිහි වූයේත් ඒ වෙලාවේ ය. නමුත් දැන් හිත සැහැල්ලු ය. තාත්තා සමාව නොදුන්න ද ඇයට සමාව ඉල්ලිය හැකි විය. ඈ තමන්ව නිදොස් කොට නිදහස් කළා ය.
මේ කුසගින්නත් එක්ක කොළඹට ම යනවා ද නැත්නම් බසයෙන් බැස කෙටි කෑමක් මිල දී ගන්නවා ද කියා සිතත්දී ම දුරකතනය හැඬවිණි.
‘මොකද ගිය පයිං… තාත්ත දොට්ට දැම්මද…’
අස්විද සිනහ වෙවී ඇසුවේ ය.
‘නීතීඥ තුමා නිවැරදියි. නිකං හිස් අතින්මත් නෙවෙයි දොට්ට දැම්මෙ. කම්මුල් පාරවල් දෙකකුත් දීලයි. මං ඒත් ගෙදර ඉන්නව අප්ප. කොහෙද… අම්ම මට යන්නම කිව්ව’
‘ඒක හොඳයි’
අස්විද සුසුමක් අත්හැරියේ ය.
‘මං ගුටිකාපු එකද…’
‘ගුටිකාල හරි අදම එන එක’
‘කමන්නෑ. දැං ඉතිං මගෙ හිත නිදහස්නෙ. මට ඔයාට දෙයක් කියන්න තියනව’
‘කියන්න’
‘දැං බෑ. හවසට හම්බුණාම කියන්නං. ෆෝන් එකෙන් නෙවෙයි. ඔයාගෙ ළඟ ඉඳං ඒක කියන්නයි ඕනෙ’
‘හ්ම්. එහෙනං එන්නකො’
‘දැං බඩගිනියි අනේ’
‘තාම මුකුත් කෑවෙ නැද්ද… ඉතිං ළමයො මොනාහරි ගන්නකො. තව පැය හතරක් විතර ඔහොම බඩගින්නෙ ඉන්න බෑනෙ’
‘බහින්නත් කම්මැළී වගේ’
‘කන්න කන්න මොනාහරි. නඩුව පටං ගන්නව තව ටිකකිනි. මං එහෙනං තියන්නං යසස්වි. ඉවරවෙච්ච ගමං මං කෝල් එකක් දෙන්නං’
‘හරි අයිය. හොඳට කේස් එක හැන්ඩ්ල් කරන්න. දිනන්න…’
ඇගේ ආදරයත් හුරතලයත් ආශිර්වාදයත් සම අනුපාත වලින් මුහු වූ හඬ අස්විද ගේ සවනින් රිංගා හදවත මත නතර විය.
‘පරිස්සමෙං එන්න. පුළුවං වුණොත් මං ඉස්සරහට එනව. එහෙම වුණොත් ඔයා මගදි බහින්න බලාගෙන ඉන්න’
‘බුදු සරණයි…’
අස්විද දුරකතන සම්බන්ධය බිඳ දැමූයේ තෘප්තිමත් මිනිසෙකු විලසිනි.