අරලියා මලක්

හැම බදාදාම, කෙල්ලෙක් අතුරුදහන් වෙනවා.

මේ අතුරුදහන් වෙන කෙල්ලන්ගෙ විශේෂයක් තිබුණා. ඒ හැමෝම හරිම කණට ඇහෙන්නෙ නැති කටහඬක් තියෙන, එයා ගෙදර එනකම් කිසිම කෙනෙක් බලාගෙන ඉන්නෙ නැති කෙල්ලෙක්. දිග කැරළි කොණ්ඩ තියෙන කලු පාට ගැඹුරු ඇස් තියෙන අහිංසක කෙල්ලෙක්.

පත්තරකාරයෝ මේකට කියන්න පටන් අරන් තියෙන්නේ “අරලිය මල් සාපය” කියලා. මොකද අතුරුදහන් වෙච්ච හැම කෙල්ලකගෙම හැම මළ සිරුරක්ම හම්බවෙනකොට ඒ හැමෝගෙම කන පිටිපස්සේ අරලියා මලක් ගහලා තිබුණ හන්දා.

මේ කතාව පටන් ගන්නෙ සිත්මි ගෙන්. කතාව පටන් ගත්ත දවසෙ සිත්මි හිටියෙ නුගේගොඩ තියෙන පරණ පොත් කඩේක. සිත්මි උන්නෙ බෝයි ෆ්‍රෙන්ඩ් ජීන් එකකට උඩින් ක්‍රොප් ටොප් එකක් ඇඳගෙන, පරණ කවි පොත් පෙරළලා උන්නෙ මේ ලෝකෙ නෙවෙයි වගේ. එයා හිටියෙ සිත්මිගෙ පිටිපස්සේ තියෙන රාක්කේ තිබිච්ච Blood Rain පොත කියවනවා වගේ මවාපාමින්. එයා සිත්මිගෙ මූණ දැක්කෙ එයාට ඉස්සරහින් තිබිච් දූවිලි තැවරුණු කණ්ණාඩියකින් තමයි එයා සිත්මි දිහා බලාගෙන හිටියෙ. එහෙම විනාඩි ගාණක් බලන් ඉඳලා තමයි එයා සිත්මිට කතාකරේ.

 “ඔයා නෙරුදාට කැමතිද?” එයා අහනවා. සිත්මි පොඩ්ඩක් ඔලුව උස්සලා බලලා, “දුක හිතුණාම විතරයි” කියලා උත්තර දෙනවා. “එහෙනම් ඔයා මටත් කැමති වෙයි” එයා කියනවා. ඒ වචනවලට සිත්මි ලාවට වගේ හිනා උනා.නන්නාදුනන මනුස්සයෙක් තමන් එක්ක කතා කරා කියන පලියට එතනින් එහාට වෙන්න උවමනාවක් සිත්මිට තිබ්බෙ නනෑ. ඒ නිසාම එයා එතන රැඳිලා උන්නා.

අනික් එක එතන ඒ විදියට නතරවෙලා ඉන්න සිත්මිට තව හේතුවක් තිබ්බා. ඒ එයා එක්ක කතා කරපු වෙන මිනිස්සුන්ට වඩා මේ නන්නාදුනන මනුස්සයගෙ වචනවල මොකක්දෝ ගැඹුරක් තිබුණ කියලා සිත්මිට හිතිච්ච හන්දා.

එදයින් පස්සෙත් එයාලා හම්බුනා.

මුලින්ම එයාලා මුණගැහෙන්න පටන් ගන්නේ වැව පිටිපස්සේ තිබ්බ ගාඩ්න් එකේදි. ඒක ගොඩක් හුදෙකලා තැනක්, ආදරවන්තයෝ මේ ලෝකෙන් හැංගිලා ආදරේ කරන්න ඕන උනාම, වෙන අයට තමන්ව පේන්න අකමැති වුණාම තෝරගන්න තැනක් වගේ තැනක් තමා පඒ ගාර්ඩ්න් එක. එයා සිත්මිට කන්න පේස්ට්‍රි ගෙනත් දුන්නා.සිත්මි එයාට කියවන්න පරණ පොත් ගෙනත් දුන්නා. එයාලා නුග ගහ යට වාඩිවෙලා කුරුල්ලො කිචි බිචි ගාන එක, සෙල්ලම් කරන එක දිහා බලාගෙන හිටියා. හවසට ඉර බහිනකොට ඒ තැන හරිම ලස්සනයි.

 “ඔයා මොනවද කරන්නේ?” සිත්මි දවසක් අහනවා.

 “මම දේවල් හදනවා” එයා උත්තර දෙනවා.

 “මෙකැනික් කෙනෙක් වගේද?” ඇය හිනාවෙමින් අහනවා.

 “නැහැ. Like broken people වගේ. I make them still” එයා හෙමිහිට කියනවා. සිත්මි ආයෙත් හිනාවෙනවා. ඒත් එයා නම් හිනාවුනේ නැහැ. එයාගේ මූණේ තිබුණේ හරිම නිශ්ශබ්ධපෙනුමක්.

හතරවෙනි හමුවීමේදී, සිත්මි එයාව කිස් කරනවා. කෙල්ලෙක් කොල්ලෙක්ව මුලින්ම කිස් කරන එක ටිකක් forward දෙයක් වගේ හිතුනත් සිත්මි ඒක හරිම සාමාන්‍ය දෙයක් වගේ දැක්කත්, ඒකෙන් දෙන්න අතර තිබුණු නොකියූ බන්ධනයක් තවත් ශක්තිමත් වුණා.

පස්වෙනි හමුවීමේදී, සිත්මි එයාගෙන් අහනවා එයාගේ අත් හැමදාම සීතල ඇයි කියලා. එයා ඒකට හරියට උත්තර දෙන්නේ නැහැ, “මුකුත්ම නැ” කියලා නිකම්ම උරහිස් හැකිලුවා. හයවෙනි හමුවීමේදී, සිත්මි එයාගේ බෙල්ලේ තිබුණු පොඩි සීරීමක් දකිනවා. ඒක එයාට පේන්නේ නැහැ වගේ සිත්මි හැසිරුණත්, හිතේ පොඩි සැකයක් ඇති වුනේ නෑ කියන එක සිත්මි දැනගෙන හිටියා.

 හත්වෙනි හමුවීමේදී මේ සැක සංකා ඔක්කොම එක්ක කතාකරන්න romantic දේවල් නැති හන්දම, සිත්මි මේ දවස්වල හැමෝම කතාකරන, පත්තරවල තිබුණ අතුරුදහන් වෙච්ච කෙල්ලෝ ගැන එයාගෙන් අහනවා. ඒ ගැන කතා කරන්න එයා අකමැති බව පෙනුණත්, සිත්මිට මේ සිද්දිය ගැන එයාගෙ POV එක  ගැන දැනගන්න ඕන වෙනවා.

 “කාත් කවුරුවත් නැති කෙල්ලන්ව තෝරගෙන මරලා දාන්නෙ නිකන් හරියට ඒ මිනිස්සුන්ගෙ දුක නැති කරන්න වගේ” කියලා සිත්මි කියනවා.

 “සමහරවිට මිනීමරුවා හිතනවා ඇති එයා උදව් කරනවා කියලා” පළවෙනි වතාවට අන්න ඒ කතාවට තමා එයා උත්තර දෙන්නෙ.

 “කොහොමද උදව් කරන්නේ?” කියලා සිත්මි අහන්නෙ මහ පුදුමයෙන්. “වේදනාව නැති කරලා” කියලා කියද්දි එයාගේ හඬේ මහ අමුතු බරක් තිබුණා.

 “ඔයා නිකන් හරියට කතාකරන්නෙ ඒ සීරියල් කිලර් කරන දේ appreciate කරනවා වගේනේ” කියලා සිත්මි කියනවා. ඒකට එයා උත්තර දෙන්නේ නැහැ. ඒ වෙනුවට එයා කරන්නෙ තණකොළ අතරින් බිම වැටිලා තිබිච්ච අරලියා මලක් කඩලා සිත්මිගෙ කන පිටිපස්සේ ගහන එක. සිත්මි හීන් සැරේ එයා දිහා බලලා ආයෙත් හිනාවෙනවා.

එයාට දෙමටගොඩ පොඩි කාමරයක් තියෙනවා. දොරේ නමක් අංකයක් ගහලා නැහැ. ඇතුළේ තිබුණේ එකම එක ඇඳක් එක්ක පුටුවක් සහ මේසයක් විතරයි. කාමරේ ඇතුලෙ එකම එක කාමරයක් තිබ්බා. කණ්ණාඩි තිබ්බෙම නැහැ. ඒ මේසෙ තිබ්බ එකම ලාච්චුව තිබුනෙ පත්තර කෑලි වලින් පිරිලා. කිසිම කෙනෙක් කවදාවත් ඒ කාමරය ඇතුළට ගිහින් නැහැ. සිත්මි යනකම්. සිත්මි ඒ ගෙදර අයිතිකාරි වගේ ඇතුළට ගියා.

 “ඔයා ජීවත් වෙන්නේ කිසිම බලාපොරොත්තුවක් නැති කෙනෙක් වගේ” සිත්මි කියනවා.

“සමහරවිට මම එහෙම නැතුව ඇති” එයා හෙමිහිට උත්තර දෙනවා.

 සිත්මි ඒ කතාව එක්කම තමයි බිම වැටිලා තිබිච්ච පත්තර කොල කෑල්ලක් අතර අරගන්නෙ. පළවෙනි පත්තර කෑල්ලෙ තිබුනෙ රාගම කෙල්ලෙක් ගැන. දුම්රිය පාර ළඟින් තමයි එයාගෙ බොඩි එක හම්බවෙලා තිබෙ. හැඳුනුම්පතක් නැහැ. මේකත් තව එක මරණයක් කියල අඳුරගන්න තිබිච්ච එකම එක සාක්කිය උනේ කොණ්ඩේ අරලියා මලක් ගහලා තිබිච්ච එක කියලා පත්තරේ තිබ්බා.

සිත්මි එයා දිහා බැලුවෙ ඒ පත්තර කෑල්ලයි එයයි දිහා මාරුවෙන් මාරුවට බලන ගමන්. “ඔයා මේවා එකතු කරනවද?” කියලා සිත්මි අහනවා.

 “මම ඒවා මතක තියාගන්නවා” එයාගේ හඬ තිබ්බෙ වේලිලා වගේ

“අඳුරන්නෙ නැති අයව මතක තියාගන්නෙ මොකටද?” සිත්මි ඇහුවෙ මහ පුදුම විදියට.

 “අපි හැමෝම කවදහරි ජීවත්වෙන මැරෙන අය. අපි හැමෝටම තියෙන්නෙ එකම ආරම්භයකුයි අවසානෙකුයි තියෙන ජීවිතයක්. ඉතින් එහෙම අය අඳුරන්නෙ නැති අයද?”කියලා කියද්දි එයාගේ ඇස්වල තිබුණේ අමුතු දීප්තියක්. ලොකු silence එකක්. කලින්ට වඩා දිග එකක්. ඒ වෙලාවේ සිත්මිට ඇහුනෙ කාමරයේ සිවිලිමෙ එල්ලිලා තිබ්බ පංකාවේ සද්දෙ විතරයි.

එදා රෑ, සිත්මි ගෙදර ගියේ නැහැ.

ඒ දෙන්නම එයාගෙ කාමරේ බිම වාඩිවෙලා හිටියා. ඉඟුරු තේ කෝප්ප දෙකක්, පරණ කැසට් සිංදුවක් එක්ක ලස්සනට ගැලපුණා. සිත්මි උන්නෙ එයාගේ අතේ නහර දිගේ ඇඟිල්ල යවන ගමන්.

 “ඔයා දන්නවද මම මොනවද හිතන්නේ කියලා?”

“නැහැ”

“මට හිතෙනවා ඔයා මිනිස්සුන්ට කැමති නැහැ කියලා.”

 “ඒ වුනාට මම ඔයාට කැමතියි”

“ඕකේ”

“ඔයාට බය නැද්ද?”

“මොකටද?”

“අඳුරන්නෙ නැති කෙනෙක් එක්ක එහෙම මෙච්චර ඉක්මනට සෙට් වෙන්න?”

“නෑ මම අනිත් අය වගේ නෙවෙයි මම අමුතු කෙනෙක්”

තමන් එහෙම කිව්වයින් පස්සෙ දෙන්න අතරෙ තිබුනෙ හරිම ලොකු silence එකක්. ඒ Silence එකෙන් පස්සෙ “ ඒ හන්දා තමා ඔයා ආරක්ෂිත” කියා එයා කියද්දි සිත්මි උන්නෙ හිතාගන්න බැරුව වගේ.

ඒත් සිත්මි ඒකේ තේරුම ඇහුවෙ නැහැ.

සති දෙකකට පස්සේ හැමෝම උන්නෙ සිත්මිව හොයන ගමන්. සිත්මි නැවතිලා උන්න බෝඩිමේ අය සිත්මි ගොඩ දවසකින් බෝඩිමට ආවෙ නැති හන්දත් සිත්මිගෙ කියල කෙනෙක් inform කරන්න උන්නෙ නැති හන්දත් පොලිසියට ගිහින් කිව්වා.

“වෙන තැනකට ගිහින්ද මන්දා. නම්බරේ මාරු කරලා. ඇඩ්‍රස් එකක්වත් නෑනෙ” කියලා බෝඩිමේ අය කිව්වා.

ඒ හැමදේම අස්සෙ එයාට සිත්මිගෙ සුවඳ තාමත් මතක තිබ්බා. අරලියා මල් සහ පරණ පොත්වලින් ආව සුවඳ එයාට සිත්මිගෙ මතකය එක්ක මතකෙට එනවා. ඒ සුවඳ එයාගේ හිතට පුදුම වේදනාවක් ගේනවා. එයා ලාච්චුව අරිනවා. තවත් ක්ලිපින් එකක් එකතු කරනවා. මේක වෙනස්. මේක මරණය ගැන නෙවෙයි. මේක ජීවත් වුණු කෙනෙක් ගැන. බේරිලා ගිය කෙල්ලෙක් ගැන.

ඒ එක්කම ලියවිලා තිබිච්ච එක විස්තරයක් එයාගේ ඇහැට අහුවෙනවා “ඇයට අරලියා මල් සුවඳක් පැමිණ තිබුනා” පත්තරේ ලියවිලා තිබිච්ච ඒ වචන ටික එයාගේ හිතට තදින්ම කාවැදුණා.

අවුරුදු ගණන් ගෙවී යනවා.

 ගෑණු ලමයි මැරෙන එක නතර වෙනවා. ඇත්තටම කිව්වොත් එයා ඒක නතර කරනවා. ඒ වරදකාරී හැඟීමක් නිසා නෙවෙයි. ඒත් මොකක්දෝ වෙනසක් දැනිච්ච හන්දා. එයාට හිතුණේ සිත්මිගේ නිශ්ශබ්දතාවය තාමත් එයාව බලාගෙන ඉන්නවා වගේ. එයා දකින හැම අරලියා මලක්ම දැක්කෙ සිත්මි වගේ.

ඒත් දවසක් වැහිබර හවසක, එයාට ආයෙත් සිත්මිව පේන්න ගන්නවා.

සිත්මි කෝපි කඩේකින් එලියට ඇවිත්  පාරේ ඇවිදගෙන යනවා. කොණ්ඩේ කපලා. පාට කරලා. හරියට වෙනස් වෙලා. අඳුරගන්න බැරි තරම්. අලුත්ම කෙනෙක් වගේ.ඒත් ඒ ඇයමයි කියලා එයා දකිනවා.

සිත්මි පාරෙ යන ගමන් මිනිස්සු ළඟින් ඇවිදගෙන යනවා. කෙලින්ම එයා දිහා බලනවා. ටිකක් හිනාවෙනවා. ඒ හිනාවේ තිබුණේ අභියෝගයක් වගේ දෙයක්.

එයා ආපහු හිනාවෙනවා. ඊට පස්සේ එයා ඇවිදගෙන යනවා.

එයා තේරුම් ගන්නවා, සිත්මි කියන්නෙ එයාගේ ජීවිතේට ආපු කෙල්ලන්ගෙන් බේරුණු එකම කෙනා විතරක් නෙවෙයි, එයාගේ ජීවිතේ සදහටම වෙනස් කරපු එකම කෙනා කියලත්.

More Stories

Don't Miss


Latest Articles