චන්දිකව සහ මෞර්යාව මුණගැසීම සඳහා අභිමන් පැළවත්තේ පිහිටි අවන්හලක් වෙත පැමිණියේය. වාහනයෙන් බසින්නට පෙර අභිමන් තමන් සිදු කරන්නට යන දේ පිළිබඳව තවත් කිහිප වාරයක්ම සිතූ අතර මෙමගින් ඇති වී තිබෙන ප්රශ්නයේ බොහෝ කොටසක් විසඳෙනු ඇතැයි ඔහු බලාපොරොත්තු වූයේය.
අභිමන් චන්දික සහ මෞර්යා ඉදිරියේ අසුන් ගත්තේ තරමක චකිතයකිනි. තමා මේ කියන්නට සූදානම් වන කාරණාව මෞර්යා කෙසේ පිළිගනු ඇති දැයි බියක් අභිමන් ගේ හිත පෙළමින් තිබුණේය.
” මොකක්ද මිස්ටර් අභිමන් වෙලා තියෙන්නේ ? ”
අභිමන් අසුන් ගත් විගසම මෞර්යා කලබලයෙන් ඇසුවේ ආදිත්‍ය පිළිබඳව කුමක්ම හෝ තොරතුරක් දැන ගැනීමේ උවමනාවෙනි.
” අපි පොලිසියට කම්ප්ලේන් කලා. තාත්තත් කරන්න පුළුවන් හැමදේම කරනවා ”
අභිමන් පිළිතුරු දුන්නේය.
” මං ආවේ ඒ ගැන කියන්න නෙමෙයි මෞර්යා ”
” එහෙනම් ?”
මෞර්යා බලා උන්නාය. මේ තාක් කල් ඇය තුළ තිබූ උපේක්ෂා සහගත බව සහ ඉවසීම ඇය වෙතින් පළා ගොස් තිබුණි.
” මට ඇත්තටම මේ දේවල් කතා කරන්න උවමනා උනේ අංකල් එක්ක. ඒත් ඉතින් මේක දැන් අපේ තාත්තාත් දන්න නිසා මෞර්යාත් දැනගන්න එකේ වරදක් නෑ කියල මං හිතුවා ”
චන්දික තැති ගත්තේය. අභිමන් මේ අඟවන ආකාරයට මෙය අනිවාර්යෙන්ම අශිකා සම්බන්ධ කාරණාවක් බවට චන්දික අනුමාන කළේය.
” ඊයේ මෞර්යා ව හම්බ වෙලා ආවට පස්සේ අම්මයි අයියයි අතරේ පොඩි කතා බහක් ඇති වෙලා තියෙනවා. ඒක රණ්ඩුවක් නෙමෙයි. හැබැයි අම්මා අවුරුදු ගානක් හිතේ තියා ගෙන රැකපු රහසක් අයියත් එක්ක කියලා තියෙනවා. ඒක ඇත්තක් කියලා මමවත් තාත්ත වත් ඇත්තටම විශ්වාස කරන්නේ නැහැ අංකල්. මං හිතන්නේ ඒ කතාවෙන් පස්සේ ඇති වෙච්ච ෂොක් එකට තමයි අයියා මෙහෙම යන්න ඇත්තේ ”
අභිමන් බොහෝ සන්සුන් වෙමින් කියනා මේ කාරණාව චන්දික අසා උන්නේ හදවතින් දැවෙමිනි.
” අනේ ඒ මොකක්ද මිස්ටර් අභිමන් ? ”
මෞර්යා කලබල වූවාය. චන්දික ඇගේ අතින් අල්ලා ඇයව නතර කළේ බැල්මකින් ඇයව සන්සුන් කිරීමට උත්සාහ කරමිනි. අභිමන් මොහොතක් නිහඬව මෞර්යා දෙසත් චන්දික දෙසත් මාරුවෙන් මාරුවට බලා මුව විවර කළේය.
” ඔයයි අපේ අයියයි සහෝදරයෝ කියලා ”
චන්දික මෙන්ම මෞර්යාද අතින් මුව වසාගෙන පුදුමය පළ කළ අතර මෞර්යා මහ හඬින් හඬා වැටෙන්නට වූවාය. චන්දික වැඩි සෙනඟක් නොවූ අවන්හලේ පෙනෙන මානයේ සිටින කිහිප දෙනා දෙස බලමින් මෞර්යාව සන්සුන් කිරීමට දැඩි වෑයමක් ගත්තේය.
” අපේ අම්මා උදේ ඉඳලා මේ කිසිම දෙයක් කිව්වේ නැහැ.ඒත් මොකක් හරි දෙයක් වෙලා තියනවා කියලා මට දැනිච්ච නිසා පොලිසියට යන්න ඔන්න මෙන්න තියලා මම ටිකක් තදින් ඒ ගැන අම්ම ගෙන් ඇහුවා. ඒ වෙලාවේ තමයි අම්මා කිව්වේ මේ විස්තරේ. තාත්තා ඒක අහගෙන ඉඳලා ”
” දෙයියනේ ”
චන්දික පත් වූයේ දැඩි කම්පනයකටය. මෙය අෂිකාගේ පවුල් ජීවිතය සදහටම දෙදරා යා හැකි තරමේ කාරණාවකි. තමා නිසා හෝ එවැන්නක් සිදුවීමට ඉඩ තැබිය නොහැක.
” ඒත් අම්මටයි මටයි තියෙන ලොකුම පුදුමේ තමයි හැම ප්‍රශ්නයක්ම මෙච්චර කල් කෑකෝ ගහලා විසඳපු අපේ තාත්තා ඒ කතාව පිළි නොගත්ත එක. එයා අම්මගේ හිත රිදෙන්න වචනයක්වත් කිව්වේ නැහැ වගේම අයියා එයාගේ නෙමෙයි වෙන්න විදිහක් නෑ කියලාත් කිව්වා ”
චන්දික මද අස්වැසිල්ලක් ලැබුවේ අභිමන් එසේ කී පසුවය. උදෑසන සිටම නිවසේ සිදු වූ සියලුම දේ අනතුරුව අභිමන් විසින් චන්දිකටත් මෞර්යාටත් සියලු විස්තර සහිතව පැවසුවේය. මෞර්යා හඬා වැටෙමින් ඒ සියල්ල අසා හුන් අතර චන්දික උන්නේ බොහෝ කම්පනයෙනි.
” ඔයාගේ අම්මා තාත්තාව බැන්දේ හදිසියෙන් පුතේ. ඒ නිසා මෙහෙම දෙයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මං කියන්නේ අපි ආදිත්‍යය හොයා ගෙන මේක හරියටම විසඳගමු කියලා. ආදිත්යයයි මෞර්යයි අතරේ තියෙන සම්බන්ධකම දැන ගත්ත නිසා අශිකා කලබල වෙන්න ඇති. එයාට මෙහෙම දෙයක් ඒ දරුවාට නොකියා හරියට විසඳ ගන්න තිබුණා.ඒත් දැන් ඉතින් වෙච්ච දේ වෙලා ඉවරයි නේ. අපි මේ දරුවාව හොයා ගෙන ඉස්සරහට කරන්න තියෙන දෙයක් බලමු ”
තමා හදවතින් ආදරය කර ඇත්තේ තමාගේ ම සහෝදරයාට බව සිතන විට පවා මෞර්යා හට දැනුනේ ශරීරයම පණ නැති වී යන සෙයකි. එහෙත් මෙය අශිකා විසින් කරන ලද අනුමානයක් පමණක් නිසා මේ ප්රශ්නයේ විසඳීමට තව බොහෝ කොටසක් ඉතිරිව ඇති බව මෞර්යා සිතුවාය. නමුත් ඒ සියල්ලටම පෙර අතුරුදහන් වූ ආදිත්‍යය ව සොයා ගත යුතුය.
” ඔයා මං ගැනවත් අම්මා ගැනවත් වැරදියට නොහිතපු එක ගැන මං සතුටු වෙනවා පුතා.ආදරය කරන කාලේ මොන දේවල් සිද්ධ වුණත් ඔයාගේ අම්මා තාත්තාව බැන්දට පස්සේ මං කවදාවත් ඔයාගේ අම්මා ඉස්සරහට ගිහින් නැහැ. අඩුම ගානේ එකම එක කෝල් එකකින්වත් මං එයාව කන්ටැක් කර ගන්න උත්සාහ කළෙත් නැහැ.මට ඕන වුණේ එයා හොඳ පවුල් ජීවිතයක් ගෙවනවා දකින්න. ඒත් ඔයාලගෙ පවුලේ සිද්ධ වෙලා තියෙන දේවල් මම දැනගත්තෙත් මෞර්යා ගෙන්. ඒත් ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් කිසිම දෙයක් තිබුණෙ නැහැ පුතා ”
” ඒක මම දන්නවා අංකල්. මෞර්යා ගේ ගතිගුණ දැක්කම කියන්න පුළුවන් අන්කල් මොනතරම් හොඳ කෙනෙක්ද කියලා. ඒ වගේම තමයි මගේ අම්මත් වැරදි කරන කෙනෙක් නෙමෙයි කියලා මම දන්නවා ”
අනතුරුව තිදෙනා අතර වූයේ දැඩි නිහැඬියාවකි. අෂිකා විවාහ වීමට සතියකට පෙර තමාව මුණගැසීමට පැමිණ ගත කළ කාලය චන්දික ගේ සිහියට පැමිණියේ ඒ අතරතුරය. ඒ අවසාන මුණගැසීම වසර තිස් පහකට පසුව මෙවැනි විශාල අර්බුදයකට මුල පුරාවි යැයි තමා එදින සිහිනෙකින් වත් සිතුවේ නැත. අනෙක් අතට සමහර විට මෙය අශිකා ගේ අනුමානයක් පමණක්ද විය හැකිය. නිසි ඔප්පු කර ගැනීමකින් තොරව නිගමන වලට එළැඹී ආදිත්‍ය සහ මෞර්යා අතර ඇති බැඳීම කඩා බිඳ දැමිය නොහැක. මේසය මත හිස තබා ගෙන නොනවත්වාම හඬා වැටෙන මෞර්යා දෙස චන්දික බැලුවේ ලැජ්ජාව මුසු කම්පාවකිනි.
” මෞර්යා. මගේ පුතේ ඔලුව උස්සන්න ”
චන්දික කාරුණිකව මෞර්යා ගේ හිස අත ගෑවේය. මෞර්යා සෙමෙන් හිස ඔසවා චන්දික දෙස බැලුවේ හඬා ඉදිමි ගිය දෑස් වලිනි.
” මේක බොරුවක් නේද තාත්තා ? ”
මෞර්යා ඇසුවේ චන්දික අසරණව යන තරමේ ප්රශ්නයකි. එය බොරුවක් බව සිතන්නට චන්දිකට උවමනා වුවද නිශ්චිතවම පිළිතුරක් දිය නොහැකිව චන්දික තැවුනේය.
” පුතේ කලබල වෙලා කිසිම ප්‍රශ්නයක් විසඳන්න බැහැ.මොනව කරන්නත් ආදිත්‍යය ආපහු අපි ඉස්සරහට එන්න ඕනේ. ”
මෞර්යා එතනින් එහාට කිසිවක් පැවසුවේ නැත. අභිමන් ද බලා උන්නේ අශිකා කෙරෙහි තිබූ අනුකම්පාවම චන්දික කෙරෙහිද උපදවා ගෙනය.
” දෙමව්පියෝ ඇඹුල් කෑවහම දරුවන් ගේ දත් හිරි වැටෙනවා කියන කතාව ඇත්ත පුතේ.තරුණ කාලෙදි අපි දුර දිග නොහිතා කරන දේවල් වල ප්‍රතිඵල ලැබෙන්නේ ගොඩක් වෙලාවට අපේ දරුවන්ට. අශිකායි මායි දරුවෝ තුන් දෙනා ගෙන්ම සමාව ඉල්ලන්න ඕනෙ හරි නං ”
චන්දික සීමා රහිතව කම්පා වූයේය.
” එහෙම කියන්න එපා අංකල්. තාම අපි හරියටම ඔප්පු කර ගෙන නැහැනේ කිසිම දෙයක්. අනිත් එක අපේ තාත්තා වුණත් මේ කතාව විශ්වාස කරන්නේ නැහැ.එයා කියන්නෙම අයියා එයා ගේ දරුවෙක් කියලා. මං මේ ප්‍රශ්නේ ඇවිල්ලා අන්කල්ට කිව්වේ අයියා ගෙදරින් යන්න හිතපු කාරණාව ඒක වෙන්න පුළුවන් හින්දා. ඒ ඇරෙන්න ගෙදරින් යන්න තරම් නම් ප්‍රශ්නයක් අයියට තිබුණේ නැහැ ”
අභිමන් තමාව මේ තරමටම තේරුම් ගැනීම පිළිබඳව චන්දික හදවතින්ම ඔහුට ස්තූති පූර්වක වූයේය. දරුවකු මේ තරමටම තමාගේ මව සහ ඇගේ අතීතයේ පෙම්වතාව වටහා ගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවන බව චන්දික සිතුවේය
” මං අම්මට කතා කළාට කමක් නැද්ද පුතා ? ”