අස්විද ගිලන් යහන ඉදිරියෙහි වන අසුනේ හිඳගෙන යසස්වි දෙස බලා සිටියේ ය. ඇගේ නෙතු පියවී තිබේ. මලක් සේ පිපී තිබෙනු ඔහු දැක ඇති ඒ වත කමල, මලානික ව ගොසිනි. ආදරයෙන් ඔහු සිපගත් රත් දෙතොල්, සුදුමැළි ය. අස්විද ඇගේ හිස කේ අතරින් අතැඟිලි යවා හිස පිරිමැද්දේ ය. නින්දෙන් ම යසස්වි නිර්වාණ සුවයක් අත්වින්දා ය. ඒ සුවයෙහි ගිලීගෙන මඳක් එලෙස ම සිටි ඇයට, යටි හිත විසින් යමක් සිහිපත් කළා සේ ය. සිහිනෙන් තැවරූ සුවඳක් සේ ඇයට ඔහු සුවඳ දැනිණ. හිස පිරිමදිනා ඒ දිව්‍යමය සුවය අයිති ඔහු ගේ අතැඟිලි වලට බව ඇය සිහිනයෙන් ම සිතුවා ය. නෙතු විවර වූයේ තවත් ටික වෙලාවකිනි. බොඳ වී ගෙන වාගේ ඒ රුව දෑස් ඉදිරියෙහි මැවිණි.
‘යසස්වි… මැණික…’
ඔහු ඒ දෑසින් එබී බැලුවේ ය.
‘දැන් ඔයාට කොහොමද…’
යසස්වි මඳ වෙලාවක් ඔහු දෙස බලාගත් වන සිටියා ය.
‘ඔයා… ඔයා…’
‘ඔයාව හොස්පිටලයිස් කළා කියල දැනගත්ත ගමං මං ආව’
‘අයිය… වෙඩින් එක…’
‘අනේ රත්තරං… වෙඩින් එක ගැන අමතක කරන්න. ඒ ගැන හිතලමද ඔයා මේ ලෙඩ වුණේ… මට වෙඩින් එකක් ඕන නෑ යසස්වි. මට ඕනෙ ඔයාව. තේරුණද… අපි කොහොමත් බැඳල ඉන්නෙ. ඕන වෙලාවක අපිට වෙඩින් එකක් ගන්න පුළුවන්. නැතත් මොකද… මට ඔයා ඉන්නෙ…’
යසස්වි වට පිට බැලුවා ය. අම්මා හෝ අයියා පෙනෙන්නට නොවීම ගැන කුහුලක් ඇගේ හිතේ ජනිත විය.
‘අපේ අයිය…’
‘මං යසස් එක්ක කතා කළා. ඊට කලින් අම්ම එයාට කියල තියෙනව… අපි දැනටමත් මැරි කරලයි ඉන්නෙ කියල. එයාගෙ අවුලක් නෑ හරිද… එක අතකට හැම දේම වෙන්නෙ හොඳට යසස්වි. ඔයාගෙ ගෙදර අයත් එක්කම අපිට ලස්සන වෙඩින් එකක් ගන්න ඉඩක් හදල දෙන්න ඉරණමට ඕන වෙන්නැති’
අස්විද රෝහලට පැමිණෙන විටත් යසස් සාවිත්‍රි වෙතින් ඒ පුවත දැන සිටියේ ය.
‘අස්විද නංගිව කොළඹ ගෙනියන්න හැදුවොත් ඔයා කලබල කරයි කියලයි මං මේක කිව්වෙ. අපිට වැඩිය නංගිව දැන් අයිති අස්විදට. නංගිගෙ නීත්‍යානුකූල ස්වාමිපුරුෂය එයා’
යසස් තුළ ඉසිහින් වේදනාවක් ඇති නොවුණා නොවේ. ඔහු ගේ එක ම නැඟණිය කාත් කවුරුත් නැති එකියක සෙයින් විවාහය ලියාපදිංචි කොට තිබීම අයියා වශයෙන් ඔහු ට වේදනාවක් වීම සාධාරණ ය. නමුත් එසේ වූයේ ඔවුන්ගේ පටු අදහස් නිසා ම බව ඔහු දනී.
‘වෙච්ච දේවල් වුණා. දැංවත් අපි නංගි වෙනුවෙන් අපේ යුතුකං ඉෂ්ට කරනව. අපිට තව ටික දවසක් දෙන්න අස්විද. බලමු තාත්තගෙ තත්වෙ කොහොම වෙයිද කියල. ඒ නැතත්… අපි වෙඩින් එක කරමු’
‘මට හදිස්සියක් නෑ යසස්. අපි බලමු මොකද වෙන්නෙ කියල’
මීට මඳ වෙලාවකට පෙර ගිලන් කුටිය ඉදිරියේ කොරිඩෝරයෙහි දී ඔවුන් දෙදෙනා අතරේ එබඳු කතාබහක් සිදු විය. හිතාගෙන ඉන්නා තරමට යකුන් කළු නො වන බව දැන් අස්විද ට පැහැදිළි ය. උදාර ගේ සෞඛය තත්වය ගැන ද ඒ වෙලාවේ යසස් තොරතුරු කීවේ ය. ඔහු තවමත් රෝහල්ගත ව ප්‍රතිකාර ලබයි.
‘රටේ එක පිරිමියෙක්වත් නැති වුණත් ඌටනං ආයෙ කොහොමත් අපේ නංගි දිහා බලන්න බෑ’
එහෙම කීවත් යසස් ගේ හිත යට අතීතයට අයිති වැරදිකාර හැඟීමක් එහෙ මෙහෙ වෙමින් තිබිණ.
‘අම්මගෙ හිත රිදිල ඇති නේද… අනේ එයා පව්. ඒත්… තාත්ත මෙහෙම ඉද්දි මට සතුටු හිතකින් මනමාලියක් විදිහට හිනාවෙලා ඉන්න බෑනෙ’
යසස්වි, ඇගේ හිස පිරිමදින අස්විද ගේ අත ගෙන කම්මුලකට තබා තදකොට ගත්තා ය.
‘අපේ අම්ම එහෙම දෙයක් තේරුං ගන්න බැරි කෙනෙක් නෙවෙයිනෙ. ම්… එයාල හෙට අනිද්දට එයි ඔයාව බලල යන්න. අපි දැන් ඩොක්ටර් එක්ක කතා කළා. එයා කියන්නෙ ස්ට්‍රෙස් එකයි වීක්නස් එකයි නිසා ඔයා ට මෙහෙම වෙලා කියල. බය වෙන්න දෙයක් නෑලු. කොළඹ අරං යන්න තරං දෙයක් කොහොමත් නෑ කිව්ව. හෙට විතර ඩිස්චාජ් කරයි’
ඒ වන විටත් යසස්වි ට සුවපත් බවක් දැනෙමින් තිබිණ. අස්විද මේ විදිහට හිස පිරිමදිමින් ළඟින් සිටියදී කොහොමත් දැනෙන්නේ සුවයකි. අයියා ඔවුන් ගැන දැනගෙන ඇති බවත් ඔහු ගේ ඒ ගැන අමනාපයක් නොවෙනා බවත් දැනගැනීම තවදුරටත් ඇගේ හිතේ පීඩනය නිවාලූයේ ය. සනුක හා රයන් විසින් කරනා ලද විහිළු නිසා හිත සැහැල්ලුවෙන් ද සතුටෙන් ද පිරෙන්නට විය. ඔවුන් රෝහලෙන් නික්ම ගියේ නිදිවරන්නේ නැතිව යසස්වි ට විවේකී නින්දක් ලබා දීමේ අරමුණෙනි. අනුරාධපුරයට එත්දී ඒ රැය ගතකරනු පිණිස තානායමක් සොයාගන්නට ඔවුන් සිතා සිටියත්, යසස් සිය නිවසට ඇරයුම් කොට සිටියේ ය.
යසස්වි ගේ ශරීරය දුර්වල වී ඇති බැවින් පසුදාත් ඇය වෙනුවෙන් ප්‍රතිකාර හා ඇඳ විවේකය නිර්දේශ වී තිබුණෙන් නිවසට යා හැකි වූයේ නැත. දවාලේ අස්විදලා කොළඹ බලා පිටත් වූහ.
වජිරා ඥාතීන් ට කතා කොට විවාහ උත්සවය කල් ගිය පුවත දැනුම් දුන්නා ය. ඇගේ හිත මත බරක් පැටවී තිබුණත්, අලුත් සතුටක් ද හදවතට කාන්දු වෙමින් තිබිණ. ඒ යසස්වි ගේ පවුලේ කැමැත්ත හා ආශීර්වාදය ද ඇතිව විවාහ උත්සවය සම්පූර්ණ කළ හැකි වීමයි.
‘හැම කළු වලාවක ම රිදී රේකාවක් තියෙනවයි කියන්නෙ ඕකනෙ වජිරා. බාධාවක් වෙනව කියල දැනෙන දෙයක් වුණත් අපි පිළිගන්නෝනෙ ඒ විදිහට. ඒ බාධාව වෙන්නෙ ඊට වැඩිය හොඳ විදිහට ඒක සිද්ද වෙන්නයි’
විජිත සුපුරුදු උපේක්ෂා සහගත බවින් යුතුව සඳැල්ලෙහි වේවැල් පුටුවක් මත වැතිරගෙන කීවේ ය. යසස්වි ගේ සිනහ කතා හඬ නොමැතිව තුසිතය අමුතු පාළුවක ගිළී ගොසිනි. නිලූකා ගේ කංකරච්චලය ද පහළ මහළෙන් නෑසෙන නිසා තුසිතය දැන් වඩාත් සන්සුන් ය.
‘කෙල්ල නැතුව ගෙදරම පාළුයි’
විජිත ට එසේ කියැවී තිබිණ.
‘හ්ම්. සනුක හරි ටිකක් රෑ වෙනකල් මෙහෙට වෙලා කියෝ කියෝ ඉන්න නිසා මෙහෙමවත් ඉන්න පුළුවන්’
‘දැන් ඉතිං ඉස්සරහට අපිට චූටි මුණුපුරෙක්ගෙ හුරතල් දකින්නත් පුළුවන් වෙයිනෙ වජිරා’
‘දැන්වත් මිණිපිරියක් ආවොත් හොඳයි..නැත්තං තුසිතෙ පිරිමි ගෙයක් වෙනව’
වජිරා ගේ මුහුණ මත වූයේ බලාපොරොත්තු සහගත සිනහවකි. විජිත පපුව පිරිමදිමින් හඬ නැගෙන සේ සිනහ වූයේ ය.
‘කවුරු වුණත් මොකද වජිරා… දරුවො සතුටෙන් ඉන්නයි ඕනෙ. අපිටත් උන්ගෙ ජීවිත දිහා බලාගෙන වයසට යන එක තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නෙ’
‘දෙයියංගෙ පිහිටෙන් යසස්විගෙ තාත්තටත් ඉක්මනට සිහිය ආවොත් හොඳයි’
ජීවිතය වූ කලී බලාපොරොත්තු වැල් පාලමක් මතින් ඇවිද යනවා බඳු ගමනකි. එය පහසු නැත. නමුත් බැරි ද නැත. ඕනෑ ම මොහොතක වන්නේ අවිනිශ්චිත බවකි. නමුත් ඒ තුළ ද රසයක් නොවෙතැයි කිව නො හැක.
චේතිය බරාඳයෙහි පඩිය මත හිඳ මිදුලට නෙතු යොමාන සිටියේ ය. ජීවිතයේ ප්‍රථම වතාවට ඔහු තමන් ගේ ම නිවසක කල් ගෙවනුයේ දැන් ය. පිරිමි හදවතකට තමන් ගේ ම ගෙයක් යනු සාඩම්බරයකි. මේ ගෙදර හැම වැලි කැටයක් ගානේ ම වන්නේ ඔහු සිය වෙහෙසින් ඉපයූ මුදල් ය. අනාගතය වෙනුවෙන් කළ ආයෝජනය ය. නමුත් සිය තුරුණු වියෙහි දී ඔහු ට ඒ සිහින රාජ්‍යයේ රිසි සේ කල් ගෙවිය නො හැකි විය. කාලය රහසේ ම ගෙවී ගොස් ඇති බවක් දැන් ඔහු ට දැනේ. ජීවිතය ගැන ඉතිරි ව ඇත්තේ එක් බලාපොරොත්තුවකි. ඒ, ඔහු ට ඉතිරි වී තිබෙන කාලය ඔහු ගේ මානසික සුවය වෙනුවෙන් යෙදවීමයි. මේ හැන්දෑවේ සඳුනි විදේශයක සිට පණිවිඩයක් එවා තිබිණි.
‘අද මං මෙහෙ ජොබ් එකට ගිය පළවෙනි දවස සර්. සර්ට පින් සිද්ද වෙන්න කාගෙන්වත් දොසක් අහන්නෙ නැතුව වැඩ ටික කරගන්න දැන් මං දන්නව. සර් ගැන හිතේ තිබුණ ආදරේ ගෞරවේ, කොහේ හිටියත් මං මැරෙනකල්ම වෙනස් නොවී තියේවි’
චේතිය ගේ හිතේ ඒ වචන යළි යළිත් පිළිරැව් දෙමින් තිබේ. බොහෝ දුරට යළි කිසි දාක ඔහු ට ඇය දකින්නට නො ලැබෙනු ඇත. නමුත් හදවතේ ඇය සිටි කුඩා ඉඩක සදාකාලික උණුසුමක් වන බව චේතිය දනී.
‘ආ කෝපි එකක්’
නිලූකා චේතිය ගේ ඉල්ලීමකින් තොරව කෝපි කෝප්පයක් සාදා ගෙනැවිත් තිබිණ. වෙනදාට ඔහු ඉල්ලා සිටියත් ඇය ඒ මගහරින්නට බලයි. එතකොට ලොකු පුතා වෙනුවෙන් වැගිරෙන හිතෙන් යුතුව තේ හෝ කෝපි එකක් තනා දෙන්නේ වජිරා ය. අලුත් ගෙදරට ආවාට පස්සේ චේතිය එවන් ඉල්ලීමකුදු කරන්නට ගියේ නැත.
‘මේ… මං හිතං ඉන්නෙ හන්දියෙ ජිම් එකට යන්න කියලයි. අර මංගලා එහෙමත් යනවලු. මහත් වෙනව අප්ප පුදුම විදිහට. දැන් බඩත් ඇවිත්’
නිලූකා උදරයට තට්ටු කරමින් කීවා ය. චේතිය කළේ කට කොනකට සිනහවක් නගාගන්නා එක පමණකි.
‘කෑමත් ටිකක් අඩු කරන්න ඕනෙ. හිතුවට ඕක කරන්නනෙ බැරි’
චේතිය ට ඇය පව් කියා සිතිණ.
‘හිතවොත් මොනාද කරන්න බැරි…’
‘යසස්වි ආවහම ගේ ඇතුළ ටිකක් ලස්සන කරගන්න ඕනෙ. මටනං ඔය විච්චූර්ණ වැඩ තේරෙන්නෙම නෑ අප්ප’
සුසුමක් නැගෙන්නට ආවත් චේතිය ඒ නො සලා රඳවාගෙන සිටියේ ය.
‘එක අතකට අපිට ළමයි පොඩි කාලෙ මේ ගෙදරට එන්න තිබුණෙ. මොනා වුණත් මේක අපේ ගේනෙ… නේද… හරි අමුතු නිදහසක් දැනෙනව දැන්. සුදු බිත්ති වල දුං වදියි කියල ලෝබකමට මං ගෑස් ළිපෙයි උයන්නෙත්’
‘කිසි දෙයක් කවදාවත් ප්‍රමාද වැඩි වෙන්නෑ නිලූකා’
‘කොල්ලො බැඳල ගෑනු ගේන්න කලින් අපි මේව පාවිච්චි කරන්න එපැයි… නේද…’
කණාමැදිරි එළි දෙකක් දේවතා එළි සෙයින් අඳුර අතරින් පා ව ගියේ ය. චේතිය අත වූ හිස් තේ කෝප්පය ගෙන නිලූකා නැගිටගත්තේ ‘මිදුලෙ මල් පැළ ටිකක් හිටෝගන්නත් ඕනෙ ඒයි’ කියමිනි.