වෙහෙරගොඩ මුදලාලි අවදි වූ පුවත රෝහලෙන් කතා කොට දැනුම් දෙන විට සාවිත්‍රි හිටියේ යසස්වි අසල පෞද්ගලික රෝහලේ ය. ඇය ගෙදර යාමට සූදානමින් සිටි අතර යසස් බිල්පත ගෙවීම සඳහා කවුන්ටරය වෙත නික්ම ගොස් සිටියේ ය. එපුවත සවන් වැකුණු ගමන් සාවිත්‍රි අසුනේ හිඳවිණ.
‘එහෙනං දෙවියො බුදුන් ඔයාගෙ කණ්ණලව්ව ඇහුව පුතේ. මීට වැඩිය ඔයාට දඬුවම් දෙන එක වැරදියි කියල දෙවියො වුණත් හිතන්න ඇති. දෙයියන්ගෙ පිහිටෙන් දැන් හැමදේම හරි’
තාත්තා සුව වී ඇති පුවත ඇසීම තරම් සතුටක් මෑත කාලයේ යසස්වී ට දැනී නැතිවා විය හැක. නමුත් අම්මා කියනවා වාගේ හැම දේ ම හරි නැති බව ඇගේ හිත කෙඳිරි ගා කීවේ ය. විවාහ උත්සවය කල් දැමූ බව වජිරා විසින් ඇරයුම් කරනු ලැබූ සියලු දෙනාට දැනුම් දෙන ලදී. අස්විද ඒ බව කී වේලේ පටන් යසස්වි ගේ හද මඬල ගින්දරක දැවේ. මේ වෙලාවේත් ඇගේ දෑසින් අවසර නැති කඳුළක් පිටමං වූයේ ය. ඕ දෑතින් ම ඒ කඳුළු චප්ප කොට දැමුවා ය. නමුත් හිත ඇතුළේ වන වේදනාව එහෙම පහසුවෙන් අකා මකා දැමිය නො හැකි ය.
‘තාමත් වෙඩින් එකට දවස් දෙකක් තියනවනෙ. ඔයා අස්විද එක්ක කොළඹ යන්න. දැන් තාත්තට සිහිය තියනවනෙ. මං මෙහෙ බලාගන්නං’
සාවිත්‍රි ඇයට සුදුසුයි කියා සිතුණ දේ කීවා ය. යසස්වි කළේ කඳුළු අතරින් ම සිනහවක් නගාගන්නා එකයි.
‘එහෙම කරන්නෙ කොහොමද අම්ම… වෙඩින් එක ඒ දවසට වෙන්නෑ කියල අස්විදගෙ අම්ම හැමෝටම කතාකරල කියල ඉවරයි. දැන් ආයෙමත් ඒ දවසට වෙනව කියල කියන්නද… ඒ මිනිස්සු මං නිසා ඒ තරං විහිළුවක් වෙන්න ඕනද…’
නමුත් ඇගේ හිත රිදෙමින් තිබිණ. ඉක්මනින් අස්විද ගේ ම වන්නට ඕනෑ වූයේ ඇයට ම ය. ඒ අවස්ථාව අත ළඟට ඇවිදිනුත් දුරස් වී ගියේ ඈ හින්දා ම ය.
‘කමක් නෑ. තාත්ත සනීප වුණානෙ. මට ඒ ඇති’
ඈ ඒ ප්‍රකාශය කළේ හදවතින් ම ය. මේ මොහොතේ ඈ පියාගේ තත්වය අමතක කොට විවාහ උත්සවයට සූදානම් වෙමින් සිටියා නම් එය කෙතරම් අකෘතඥ කමක් ද? මනාලියක වීමේ අවස්ථාව ඈතට ගිය ද දැන් ඇගේ හද සන්තානයේ තෘප්තිමත් බවක් වේ. ඒ ආත්ම තෘප්තිය තාත්තා රෝහලේ සිටියදී මනාලියක වී ලබන්නට බැරි එකකි.
රෝහලේ දී වෙහෙරගොඩ මුදලාලි යසස්වි ගේ හිස සිය පපුවෙහි රුවාගෙන කඳුළක් පිසගත්තේ ය.
‘මට සමාවෙයං කෙල්ල. මේ තාත්ත හිතා මතා උඹව බිල්ලට දෙන්න ගියා නෙවෙයි’
‘මං එහෙම හිතන්නෑ තාත්ත. ඔයා දැං ඕව ගැන හිතල ආයෙ හිත නරක් කරගෙන ලෙඩ වෙන්න ඔට්ටු නෑ. හැම දේම වෙන්නෙ වෙන්නෝනෙ හොඳම විදිහට කියනවනෙ. ඔයා සනීප වුණානෙ. අපිට ඒ ඇති’
ජීවිතේ අලුත් තැනකින් අලුතෙන් ම ආරම්භ වූවා සේ වෙහෙරගොඩ මුදලාලි ට දැනෙමින් තිබිණ. මුළු ජීවිත කතාවක් ම එක කුඩා සිදුවීමක් නිසා මුළුමනින් වෙනස් වීමට පිළිවන. එවන් සිදුවීමක් නිසා ජීවිත ගමනක් අංශක තුන්සිය හැටකින් ම කැරකී ආපසු හැරන්නටත් පිළිවන. දෛවෝපගත සිදුවීම් කියන්නේ ඒවාට ය. රෝහල් ගත ව සිටි ඉතිරි දින දෙක තුනෙහි ඔහු ජීවිතය යනු කුමක්දැයි මැනවින් පසක් කරගෙන සිටියේ ය. මරණයේ දොරකඩට ම ගොස් ආපසු හැරී ජීවිතය වෙතට පැමිණි මිනිසෙකුට, ජීවිතය යනු කෙතරම් අගනා හිමිවීමක් ද යන්න වඩා හොඳින් දැනේ. එසේ ම ජීවිතය යනු කෙතරම් බදා වැළඳගෙන සිටිය ද, තෘෂ්ණාවෙන් ආඩ්‍ය ව සිටිය ද අතිශය අස්ථිර වූවක් බව මැනවින් දැනෙන්නට ගනී. වෙහෙරගොඩ මුදලාලි දැන් සිටිනුයේ එබඳු තැනක ය. චණ්ඩ රළු කුණාටු සමගින් මරණීය සටනක් කොට සන්සුන් වෙරළකට ගසාගෙන පැමිණියා බඳු නිශ්චලත්වයක් මේ මොහොතෙහි ඔහු අත්විඳී. මීට ටික දිනකට පෙර ඔහු වටකොටගෙන සිටි පිරිවර විසිර ගොස්, රෝහල් යහන ළඟ ඉතිරි වී හිඳිනුයේ දරු පවුල බව, සිදු වූ ව්‍යසනය විසින් ඔහු ට උගන්වා තිබේ. සුප් බිඳ බිද මුවෙහි ලමින්, බත් කට කට කුසට ලමින් ඔහු ව යළි යථා තත්වයට පත් කරගන්නට වෙහෙසුණේ, කාලයක් තිස්සේ ඔහු විසින් නො සලකා හරින ලද බිරිඳ ය.
‘මදැයි ඔයින් ගියා. දුව වගේම ඔයත් කරදරයක් නොවී බේරුණනෙ. මට ඒ ඇති’
වෙහෙරගොඩ මුදලාලි සුව අතට හැරෙනු බලා සැනහෙමින් සාවිත්‍රි සුසුම් හෙළුවා ය.
‘අපේ දරුව නරක ළමයෙක් නෙවෙයි. එයා කැමති කෙනෙක් එක්ක උදාරගෙන් බේරිලා ජීවිතේ පටන්ගන්නයි එයා ලෑස්ති වෙලා ඉඳල තියෙන්නෙ. වෙඩින් එක ගන්න හැම දේම ලෑස්ති කරල තිබිලත් ඔයාගෙ අසනීපෙ නිසා එයාල ඒ දිනේ අත්ඇරිය’
වෙහෙරගොඩ මුදලාලි ගේ ඇස් වල ගැඹුරෙහි කඳුළක දිස්නයක් විය.
‘අපි ලස්සන මගුලක් කාල කෙල්ලව බන්දල දෙමු’
වෙහෙරගොඩ මුදලාලි ව රෝහලෙන් ගෙදර ගෙන ආවේ යසස්වි ගේ විවාහයට දින නියම කරගත් දිනට පෙර දිනයි. ඇය උපේක්ෂාවෙන් සියල්ල දරා සිටියා ය. නමුත් හිත පත්ලේ ඉකි බිඳින සංවේගයක් නො තිබුණා නොවේ. ඒ රාත්‍රියේ අස්විද දුරකතනයෙන් කතා කළ විට ඒ ආත්ම අනුකම්පාව පුපුරා පිටාර ගැලුවේ ය.
‘මට හරි දුකයි අයිය’
ඇය ඉකිලමින් හැඬුවා ය. මේ මොහොතේ අස්විද ඈ ළඟ සිටිතැයි සිතාගෙන, ඔහු ගේ පපුතුර ඉකිබිඳිනවා සේ සිතා හැඬුවා ය.
‘ඔහොම අඬන්නෙපා ඉතිං… ඔයා ආයි ලෙඩවෙයි’
ඔහු සුසුමක් හද දරාගෙන මිමිණුවේ ය.
‘මගෙ හිතට මහ මොකද්ද දැනෙනව වගේ. වෙඩින් එකක් කියන්නෙ එහෙම බාධා වෙවී කරන්න ඕන දෙයක් නෙවෙයිනෙ… අපිට ඔයාගෙ අම්මල මේක කරන්න දෙන්නැති වෙයිද කියල මට බයයි…’
‘යසස්වි… එහෙම දෙයක් වෙන්නෑ. කවුරු මොනා කිව්වත්… කොහොම අකමැති වුණත් දැන් ඔයා මගේ. ඒක වෙනස් කරන්න කාටවත් බෑ’
‘හෙට මං එන්නද…’
‘තනියම බස්වල එන්නෙපා. අනික ඔයා දැන් වීක්. හෙට දවල් මට කෝට් කේස් එකක් තියනව. ඒක ඉවරවෙලා මං එන්නං ඔයාව එක්කං යන්න’
වචන වලට පෙරලන්නට තබා පැහැදිලිව සිතාගන්නටවත් බැරි දෙගිඩියාවක් යසස්වි වසාගෙන තිබිණ. ජීවිතයේ වැදගත් ම අවස්ථාවක් අත්හැර ගත්තේ වී නම් ඒ සිය පියා වෙනුවෙනි. එබැවින් ඒ ගැන කණගාටු නො විය යුතු යයි ඕ සිතාගත්තා ය. ඉදිරිය ගැන කිසිත් ඈ නො දනී. සිදු වූ දේත් අවිනිශ්චිත වූ එකේ අනාගතය ගැන නිශ්චිත බලාපොරොත්තු තබාගන්නේ කෙසේ ද?
ඇය කොළඹ යාමට සූදානම් වූයේ උදේ පටන් ය. නමුත් අස්විද එහි ළඟා වන විට හවස් විය. අස්විද ව එදා වෙහෙරගොඩ මැදුරට පිළිගැනුණේ පවුලේ එක ම බෑණා ලෙසයි.
‘දැන් අපිට ජීවත් වෙන්න ඕනවටත් වැඩිය සල්ලි තියෙනව. ඒත් ඕනම මොහොතක ඒ හැමදේම අතෑරල මරණයත් එක්ක යන්න වෙන්න පුළුවන් පුතා. මං එහෙම සෑහෙන දුරක් ගිහින් ආපු කෙනෙක්. ඒක නිසා දැන් මට තේරෙනව වස්තුව පොදි ගහනවට වැඩිය වටින්නෙ සතුටෙන් ජීවත් වෙන එකයි කියල. පුතා අපේ කෙල්ලව ආදරෙන් තියයි. එයාගෙ අම්මට ඒක විශ්වාසනං…එහෙම නොවෙන්න විදිහක් නෑ. මොකද එයා කියපු හැමදේම ඒ විදිහටම වුණා කියල ඔප්පු වෙලා තියන නිසා මං ඒක දැන් දන්නව. දෙන්න කතාබහ කරල ලස්සන මංගල්ලයක් ලෑස්ති කරගන්න. අපෙන් වෙන්න ඕනෙ හැම යුතුකමක්ම අපි ඉෂ්ටකරනව’
බෑණා ඉදිරියෙහි මාමණ්ඩිය බිඳකිනිනුදු සිය හදවත සංවෘත කළේ නැත. රෑ බෝ වීගෙන එන නිසා එදින සිය නිවසෙහි නතර වන ලෙස ඔහු ට ඇරයුම් ලැබුණ ද අස්විද ට ඒ ඇරයුම පිළිගත නො හැකි විය.
‘ආයි දවසක ඉන්න එන්නං. ඒත් අද යන්න ඕනෙ’
ඔවුන් වෙහෙරගොඩ මැදුරෙන් නික්මුණේ පවුලේ සාමාජිකයන් තිදෙනාගේ ම ආශීර්වාදය නො මඳ ව ලබාගෙනයි.
යසස්වී සතුටෙන් සිටියා ය.
‘අපි හිතුව විදිහට දේවල් වුණානං අද මේ වෙලාවට අපි හනිමූන් ගිහින්’
අඩ සිනහවකින් එසේ කීව ද ඇගේ ස්වර අතරේ ඉසිහින් රිදුමක ශේෂයන් නො තිබුණා නොවේ. අස්විද ඇසගින් ඇදෙස බැලුවේ ය.
‘මේ හැමදේම වෙන්නෙ හොඳම විදිහට කියලයි මටනං හිතෙන්නෙ යසස්වි. අපි ඒ දේවල් වලට වෙන්න අරිමු. බලෙන් දේවල් වෙනස් කරන්න උත්සාහ නොකර ඉමු. ඉරණම මොනාද කරන්න යන්නෙ කියල බලං ඉමු’
‘පහුගිය දවස්වල මට හිතුණ… ඉරණමට ඕනෙ අපිව වෙන් කරන්නද කියලත්’
බොහෝ දුරක් ඔවුන් ඉදිරියට පැමිණ තිබිණ. රාත්‍රිය මෝරමින් තිබුණේ ය. හුස්ම තරමට දැනෙනා සිය මෝටර් රථයෙහි කාර්මික දෝශයක් වන බව අස්විද ට දැනෙන්නට වූයේ ඒ අතරේ ය. ඔහු මග අයිනකට කොට රිය නතර කළේ ය. එය නාගරික නොවෙන හුදෙකලා ප්‍රදේශයකි. යාන්ත්‍රික දෝශයක් සහිතව රිය පැද යාමේ අවදානම දැන සිටියෙන් ඔහු විපරම් කළේ දෝෂය නිදොස් කරගත හැකි මෝටර් කාර්මිකයෙකු ගැනයි. යතුරුපැදියක් නතර කොට උදව්වට පැමිණි තරුණයෙකු ගේ මැදිහත්වීමෙන් එවැන්නෙකු එහි ගෙන්වාගත හැකි විය. නමුත් රිය පරීක්ෂා කළ ඔහු ගේ අදහස වූයේ එය මේ මොහොතේ යථාවත් කළ නො හැකි බවයි.
‘මේ වෙලාවෙ ස්පෙයා පාට්ස් ගන්න තියන තැන් වහල සර්. හෙට උදේට තමයි අපිට වැඩේ ගොඩදාගන්න පුළුවන් වෙන්නෙ’
‘ඒකත් එහෙමද… අපි මේ වයිෆ්ගෙ ගෙදර ගිහින් ආපහු කොළඹ අපේ ගෙදර යන ගමන්. දැන් ආයෙ අනුරාධපුරේට යනව කියන්නෙ…’
‘එච්චර දුරක් ආයෙ යන්නෙපා සර්. අනික රෑට පාරට අලි එනව. මේ කිට්ටුව පොඩි හොටෙල් එකක් තියනව. හැබැයි ඒක හොඳ තැනක්. සර්ල අද රෑ එතන නතර වෙලා උදේට යන්න’
එකඟ වෙනවා මිස වෙන කරන්නට යමක් නොවන බව අස්විදට ද පෙනෙන්නට තිබිණ. මෝටර් රථය ගරාජය වෙත ගෙන යන ලදී. ඔවුන් ගේ ත්‍රිරෝද රියෙන් ම අස්විද හා යසස්වි ව නවාතැන වෙත ඇරලවිණ.