ඕළු මලේහි සුදෝ සුදෝ

මේ කතාව කියවෙන ගම හරි ලස්සනයි.

එහේ උදේ ඉර එළියට දිළිසෙන කුඹුරු යායවලුයි හෙමින් ගලාගෙන යන කළු ගඟයි එක්ක මැව්වෙ හරි සුරංගනා ලෝකමය feeling එකක්. මේ ගමේ හැමෝටම පේන ලස්සන අස්සේ කවුරුවත් නොදැක්ක තව ලස්සන දෙයක් තිබ්බා.

ඒ තමයි සිරිපාල ගෙයි සුදු මැණිකෙගෙයි ආදරේ. ඒත්, ආදරේ කියන්නෙ හැමවෙලේම නිදහස් දෙයක් නෙවෙයි කියලා සුදු මැණිකේටයි සිරිපාලටයි තේරුණේත් ගමේදිම තමයි.

සුදු මැණිකෙගෙ තාත්තට තමයි ගමේ ලොකුම කඩ පේළිය අයිතිවෙලා තිබ්බේ. ඒ මනුස්සයට තිබ්බ සල්ලි කන්දරාව උන්දැටවත් ගණන් කරලා ඉවර කරන්න බෑ කියලයි මිනිස්සු කතා උනේ. සුදු මැණිකෙට ගමේ හැමෝම හරියට ආදරේ කර.

එයාගෙ සමන්පිච්ච මලක් වගේ දිළිහෙන සුදු පාට හමේ ලස්සන වගේම ඒ හමට යටින් තිබ්බ කරුණාවන්ත හිතේ ලස්සනත් ඒ ආදරේට හේතු වුණා. සුදු මැණිකෙට තිබ්බෙ හරියට ගම මැද්දෙන් ගලං යන කලු ගඟ තරම්ම කළු පාට ගැඹුරු ඇස්.

සුදු මැණිකෙට ගැළපෙන අය කොච්චර ගමේ උන්නත් හිත ගිය තැන මාළිගාව කියන්න වගේ සුදු මැණිකෙගෙ හිත නතර වුණේ සිරිපාල ළඟ. සිරිපාල කියන්නෙ ගමේ උන්න දුප්පත් ගොවියෙක්ගෙ පුතෙක්. සිරිපාලගෙ තාත්තා අඳේට වැඩ කර කුඹුරත් සුදු මැණිකෙගෙ තාත්තගෙ. සිරිපාලත් තාත්තා වගේම කුඹුරු වැඩ තමයි කරේ. කුඹුරුවල අවුරුදු ගාණක් වැඩ කරලා ශක්තිමත් වෙච්ච එයාගේ හිතේ තිබ්බෙ කාටවත් නැති කරන්න බැරි අහිංසකකමක්.

මේ දෙන්නගෙ ආදරේ පටන් ගත්තෙ හරි නිස්සද්දව.

කුඹුරු වැඩ කරන කාලෙට නියරෙ ඉඳන් කුඹුරු වැඩ බලන්න ආව සුදු මැණිකෙගෙ ඇස් අව්වේ දිළිහෙන කළු පාට හමක් එක්ක, සික්ස් පැක්ස් ඇඟක් තිබ්බ සිරිපාලගෙ ඇස් වල පැටළුණා. ඒ විදියට තමයි කුල බේදෙන් දෙකට තුනට හතරට බෙදිලා තිබිච්ච ගමක කුල දෙකක, දෙයාකාර ජීවිතයක් ගෙවපු සුදු මැණිකෙයි සිරිපාලයි ආදරේ කරන්න පටන් ගත්තේ.

මේ දෙන්න හම්බුණේ ගඟ අද්දර ගහක් යට දි. කාටවත් නොපෙනෙන්න. සිරිපාලට පුංචි ඔරුවක් තිබ්බා. ඒ ඔරුවෙ නැගලා ගඟෙන් එහා පැත්තෙ පුංචි දූපතට සුදු මැණිකෙව එක්කරගෙන ගිය සිරිපාල ආදරෙ පාට හතම සුදු මැණිකෙට කියලා දුන්නේ ඒ දූපතේ දි.

“සිරිපාල,” සුදු මැණිකේ ගඟ ළඟ පරණ කුඹුක් ගහ යට ඉඳන් කතා කරේ හරිම හෙමින්. හරියට කාටහරි ඇහේවි කියලා වගේ. හවස බැහැන් යන ඉරේ රත්තරන් පාට එළිය එයාගේ මූණට වැටිලා, සුදු මැණිකෙව පෙනුනෙ රත්තරනින් අඹපු රූපයක් වගේ

“අපි තව කොච්චර කල් හොරු වගේ හැංගිලා ඉන්නද? හැමදාම මෙහෙම හොරෙන් හම්බවෙලා කතා කර කර ඉන්නද වෙන්නෙ අපිට හැමදාම?” කියලා සුදු මැණිකෙ සුපුරුදු විදියට අහද්දි සිරිපාල කරේ වෙනදා වගේ හයියෙන් හුස්මක් එලියට විසික්කර එක.

වෙන ඉතින් මොනවා කියලා කරන්නද?

“මං දුප්පත් හන්දා සුදු මැණිකෙගෙ තාත්තා කවදාවත් මේකට ඉඩ දෙන්නෙ නෑ කියන එක අපි දන්නවනෙ”

“ඇයි ඔයාට බැරි මාව එක්කරගෙන යන්න?”

“එක්කරගෙන ගිහිල්ලා මං කොහෙද සුදු මැණිකෙව තියන්නේ? මං සල්ලි කීය කීය හරි එක්කහු කරගන්න බලන්නෙ සුදු මැණිකෙව එක්කරන් ගිය දවසක දැන් තියෙන සැප සම්පත්වලින් අරික්කාලක් හරි දෙන්න හිතාගෙන”

“මට සැප සම්පත් ඕන නැති විත්තිය මම කියලා තියෙද්දි තාම ඔයා ඒ ගැනම කතා කරන්නෙ ඇයි?”

“දැන් සුදු මැණිකෙ මට තියෙන ආදරේ හන්දා ඔහොම කිව්වට අපෙ ගෙවල්වල ඇවිල්ලා දුක් විඳින්න වෙච්ච දවසට සුදු මැණිකෙගෙ හිතේ මං ගැන තියෙන ආදරේ පෑල දොරින් පිටවෙලා යන්න පුළුවන්.

එහෙම දෙයක් උනොත් එදාට අපි කරපු කියපු කිසිම දේකින් තේරුමක් වෙන්නෙ නෑ සුදු මැණිකෙ. මං ඒකයි මේ දත කන්නෙ හැමදේම කරන්න පුලුවන් හොඳම විදියට කරන්න”

මැණිකේ, මම අපි දෙන්න එක්කාසු වෙන එක ගැන හීන දකින්නේ නැහැ කියලාද හිතන්නේ? හැම රෑකම සුදු මැණිකෙ මං ළඟ උන්නා නම් කොච්චර හොඳද කියලා මං කල්පනා කරන විත්තිය සුදු මැණිකෙ දන්නෙ නෑ
තව ටික දවසක් අපි මේ විදියට හැංගිලා ඉම්මු” කියලා සිරිපාල සුදු මැණිකෙව තමන්ගෙ පපුවට හිර කරගත්තට සිරිපාල හිතුව විදියට ඒ කතාව දිගටම හංගගෙන ඉන්න පුලුවන් උනේ නෑ.

මොකෝ සුදු මැණිකෙගෙ තාත්තාට ආරංචි වෙලා තිබ්බා සුදු මැණිකෙ හැමෝටම හොරෙන් හවස් වරුවල ගඟ අද්දරට යන ගමනෙ තේරුම.

ආදරෙයි කැස්සයි හැමදාම හංගන්න බෑ කියනවා වගේ එක හවසක, සුදු මැණිකේගේ තාත්තා මේ හැමදේම දැනගත්ත දවසෙ සුදු මැණිකෙට හොඳටම දෙහි කැපුවා.

“සුදු මැණිකේ,” තාත්තගෙ කටහඬ සුදු මැණිකෙට ඇහුනෙ හරියට අකුණු ගහනවා වගේ.

“මොනවද මේ නවනිංගිරා වැඩ. අපේ මූණවල්වල දැලි ගාන්නද හදන්නේ මේ ගමේ ඉන්න ගොයියන්ගෙ පුත්තු එක්ක සම්බන්ධකම් හදාගෙන” කියලා තාත්තා කෑගැහුවට වෙනදා වගේ බයෙන් සද්ද නැතුව ඉන්න මෙදා සුදු මැණිකෙ හිතුවෙ නෑ.
කකුල් දෙක වෙව්ලද්දී සුදු මැණිකෙ තමන් වෙනුවෙන්, තමන්ගෙ ආදරේ වෙනුවෙන් කතා කරන්න හිතුවා. “තාත්තෙ, මම සිරිපාලට ආදරෙයි.”

“ආදරේ? හරි මිනිහෙක්ටනෙ මෙයා ආදරේ කරන්න පටන් අරන් තියන්නේ. අඩියක් තියන්නෙ නෑ ගෙයින් එලියට. බුරුල දෙද්දි මං හිතුවා ඒත් මොකක් හරි අපේ මූණෙ දැලි ගාන ලැජ්ජ නැති වැඩක් කරාවි කියලා. ආයෙ ඕක එක්ක පූට්ටු වෙලා අහු උනොත් උගෙ මූණ බලන්න වෙන්නෙ නැති වැඩක් මම කරනවා කියන එක අමතක කරන්න එපා’ කියලා තාත්තා ගෝරනාඩු කරන් යද්දි සුදු මැණිකෙ බිම වැටිලා හොඳටම ඇඬුවා. ඒත් වෙනදා වගේ සුදු මැණිකෙව සනසන්න කවුරුවත් එදා එයා ලඟට එන්න බය උනා.

ගෙදරට හිරවෙච්ච සුදු මැණිකේගේ ලෝකෙ දවසෙන් දවස පුංචි උනා. සිරිපාල හැම හැන්දෑවකම ගඟ අද්දරට වෙලා බලාගෙන හිටියා, සුදු මැණිකෙ එයි කියලා හිතාගෙන. සති ගාණක් ගෙවිලා ගියා. අන්තිමට, එක හඳ එළිය තියෙන රෑක, හැමෝටම හොරෙන් ගෙයින් පිටවෙලා ගඟ අද්දරට යන්න සුදු මැණිකෙට පුලුවන් උනා

කුඹුක් ගහ යට හිටගෙන ඉන්න සිරිපාලව දැක්කම සුදු මැණිකෙට ඇඬුණා.

තමන් ඉස්සරහට දුවගෙන ආව සුදු මැණිකෙව පපුවට හිර කරගත්ත සිරිපාලගෙ ඇස්වලින් ගැලුව කඳුලු හඳ එළියට දිළිහුණා.

“අපිට එකට ඉන්න කවදාවත් තාත්තා ඉඩ දෙන්නේ නෑ. ආයෙ අපි දෙන්න හම්බුනොත් ඔයාට වෙන දේ මට හිතාගන්න බැරිවෙයි කියලා එයා කිව්වේ.”

“මං වෙනුවෙන් ඔයා ප්‍රශ්න වල පැටලෙන්න ඕන නෑ සුදු මැණිකෙ. තාත්තලා කියන යෝජනාවකට කැමති වෙන්න”

“නෑ!” සුදු මැණිකෙ සිරිපාලගේ කමිසය තදින් අල්ලගෙන කෑ ගැහැව්වා. “එහෙම කියන්න එපා. ඔයා දන්නවද පහුගිය දවස්වල මට උදේ රෑ වෙනවා තේරුනේවත් නෑ. මං හිතුවෙ මේ වේදනාව දරාගන්න බැරුව මං මැරෙයි කියලා. එහෙම වේදනාවක් මං වින්දෙ අන්තිමේ ඔයාගෙන් ඔහොම දෙයක් අහගන්න නෙවෙයි”

“ඔය කතන්දර කියන්න එපා සුදු මැණිකෙ. මං කොහොමද අහන්නෙ මගෙ මැණීකෙ මං හන්දා දුක් වින්දා කියන එක”

“දුක් විඳිනවනම් අපි දෙන්නම එකට දුක් විඳිමු සිරී. දැන්වත් මාව එක්කරගෙන යන්න. ඔයා යන ඕන තැනකට”

ඒත් සිරිපාල ඔළුව වැනුවෙ ඒක කරන්න බෑ කියන්න වගේ. එයාගේ කටහඬ වෙව්ලුවා. “අපි පැනලා ගියා කියලා මේ වෙන්න යන විනාසෙ නතර වෙයි කියල හිතන්න එපා.සමහර වෙලාවට ආදරේ රැඳිලා තියෙන්න ඕන හිතේ සුදු මැණිකෙ. ජීවිතේ නෙවෙයි”

ඒ තමන්ගෙ ආදර කතාවෙ අවසානෙ ඒක බව තේරුම්ගන්න තව අටුවා ටීකා සුදු මැණිකෙට ඕන උනේ නෑ.

සිරිපාල තමන්ගෙ නළල සුදු මැණිකෙගෙ නළලට තද කළා. “මේක අවසානයක් කියලා හිතන්න එපා සුදු මැණිකෙ. අපි ඈත් වුණත්, මගේ ආදරේ සුදු මැණිකෙගෙ හිත ඇතුළේ ජීවත් වෙයි. මැණිකේ, අපි එකට ජීවත් නොවෙන්න පුළුවන්, ඒත් අපේ හදවත් කවදාවත් වෙන් වෙන්නේ නෑ.”

ඒක තමයි ඒ දෙන්නා එකිනෙකාව අන්තිමට දැකපු දවස. තාත්තා සුදු මැණිකේගේ කසාදෙ වෙන ගමක සල්ලිකාර මනුස්සයෙක්ගෙ පුතෙක් එක්ක සූදානම් කළා. එයාගේ මඟුල් දවසේ, කසී සලු වගේ ඇඳුම් ඇඳගෙන වාඩිවෙලා ඉන්න අතරෙ එලියෙ ගහන බෙර, බටනලා සද්දෙ සුදු මැණිකෙට ඇහුණෙ මරණෙ ගෙවල් වල ගහන හොරණෑ සද්දෙ වගේ.

සුදු මැණිකෙව නග්ගව ගත්ත බක්කි කරත්තෙ ගඟ ළඟින් යද්දි සිරිපාලව නග්ග ගත්ත ඔරුව දූපතට පාවෙලා යනවා දැකපු අය උන්නා.

සුදු මැණිකෙගෙ මංගල රාත්තිරියෙ තමයි දූපතේ කුඹුක් ගහක බෙල්ල වැල දාගත්ත සිරිපාලගෙ සරීරෙ හොයාගන්න පුළුවන් උනේ.

සිරිපාල මැරිච්ච විත්තිය සුදු මැණිකෙ දැනගත්තෙ ඉනුත් සෑහෙන දවසකට පස්සේ. එත් ආපහු හැරිලා යන්න පාරක් තමන්ට නැති විත්තිය දැනගෙන උන්න සුදු මැණිකෙ හැම දුකක්ම හිත අස්සෙ හිරකරන් උන්නා. ගමේ අය කිව්වා සුදු මැණිකේ හරිම යුතුකම් දන්න බිරින්දෑවක් කියලා. ඒත් හොඳට බැලුව අයට එයාගේ ඇස්වල කවදාවත් ආයෙත් ඇත්තටම හිනා උනේ නැති ඇස්වල හිරවෙච්ච දුක දකින්න පුලුවන් උනා.

පලවෙනි දරුවා හම්බෙන්න ගිය සුදු මැණිකෙ මැරුණයින් පස්සෙ ඒ මනුස්සය දරුවව බලාගන්න කුඩම්මෙක්ව ගෙනාවා.

මැරිච්ච සුදු මැණිකෙවයි සිරිපාලවයි හැමෝටම අමතක උනා.

ඒත් ගංගාව තාම රෑට නිස්සද්දව අඬා වැළපෙන බවත්, දූපතේ කුඹුක් ගහ දිහාවට පාවෙලා යන ජෝඩුවක් නග්ග ගත්ත ඔරුවක් අවුරුද්දකට පාරක් හඳ පායපු රෑක දකින්න ලැබෙන විත්තිය ඒ ගමේ මිනිස්සු තාම කියනවා.

More Stories

Don't Miss


Latest Articles