“මං හිතන්නේ නාද්‍යා ඔයා ප්‍රෙග්නන්ට්”
නිශානි එහෙම කියද්දි මං ඇත්තටම උන්නෙ “අනේ ඒක ඇත්තක් වෙන්න එපා” කියලා හිතන ගමන්. අවුරුදු විසි එකක, කැම්පස් යන, ගෑනු ළමයෙක්ට තමන් ප්‍රෙග්නන්ට් කියලා දැනගන්න එක “මගේ ජීවිතේ විනාසයි” කියලා හිතෙන්න මාර ලොකු හේතුවක් කියන එක මට ඒ වෙලාවෙ තමයි තේරුණේ.
යාලුවො ටොක්සික් රිලේශන්ශිප්ස් වල හිරවෙද්දි “Run Girl Run” කිව්ව මමම අන්තිමේ කිසිම රිලේශන්ශිප් එකක් නැතුවම ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නවා කියද්දි මට හිතුනෙ එකම එක දෙයක් විතරයි.
“අනේ දෙයියනේ මේක ඇත්තක් වෙන්න එපා. මට මැරෙන්නයි වෙන්නෙ එහෙම උනොත්”.
මං එහෙම හිතුවා කියලා තේරිච්ච හන්දමද මන්දා මාත් එක්ක එක බෝඩිමේ, එක කාමරේ, එහා ඇඳේ නිදාගත්ත නිශානි ළඟට ඇවිත් හිටගෙන උන්නෙ ඊළඟට මොනවද කියන්නෝන කියලා කල්පනා කරන ගමන්. ඇත්තටම මම උන්නෙ මං ඊළඟට කරන්නෝන මොකද්ද කියලා හිතාගන්න බැරුව.අනික් අතට මං කරපුවා කියපු දේවල් වලින්, මගෙ ජීවිතේට වෙච්ච දේවල් වලින් බාගයක් විතරක් දන්නවා උනත් මේ වෙලාවෙ මගෙ ඔලුව තිබ්බෙ කිසිම දෙයක් කල්පනා කරන්න පුළුවන් තැනක නෙවෙයි හන්දා නිශානි හරි මං වෙනුවෙන් “මං ඊළඟට කරන්නෝන මොකද්ද?” කියලා කල්පනා කරන එක මට පොඩි හරි සැනසිල්ලක් උනා.
“ඔයාට හිතෙන්නෙ නැද්ද ඔයා මුලින්ම කරන්න ඕන මේක ගයාන්ට කියන එක කියලා” නිශානි අහද්දි හරි නම් මම කරන්නෝන ඒක තමයි කියලා දැනගෙන උන්නට ගයාන් කොයි විදියට මේ ආරංචිය බාර ගනීවිද කියන ප්‍රශ්නෙ මගෙ හිත අස්සේ ඇදුම් කෑවෙ නැත්තෙ නෑ. අනිවාර්‍යෙන්ම ඔය මිනිහා මට හොඳටම බණින විත්තියත්, “තමුසෙ පරිස්සම් වෙන්න දන්නෙ නැද්ද ඕයි” කියලා මගෙ ඇඟට කඩන් පනින විත්තියත් මම නොදැන උන්නෙ නෑ.
මේ දරුවාගෙ ගයාන්ගෙ කියලා කොච්චර විශ්වාස උනත්, මගෙ පරිස්සම ගැන හිතන්නෝන මම නෙ කියලා හොඳටම දැනගෙන උන්නා උනත් මේ වෙලාවෙ හිතේ බරෙන් පොඩි ප්‍රමාණයක් හරි අඩුවෙන්න නම් ගයාන්ට සම්පූර්ණ වැරැද්ද පටවන එක ලේසි විත්තියත් මම නොදැන උන්නේ නෑ.
“ගයාන් අද ශූට් එකකට පොළොන්නරුවෙ ගියා කිව්වා. එයා දැන් ගත්තට කීයටවත් කෝල් එක ගන්නෙ නෑ නිශානි. මට තේරෙන්නෙ නෑ ඇත්තටම මං මොකද්ද කරන්න ඕන කියලා” කියලා මං බාගෙට අඬන ගමන් නිශානිගෙන් ඇහුවා. මොකෝ මං හිතුවෙ මට තව ටිකකින් පිස්සු හැදේවි කියලා. එහෙම නැත්තම් මම සුයිසයිඩ් කරගනීවි කියලා.
“පහුගිය ටිකේම ඔයා උදේට උදේට වමනෙ දාද්දියි, පීරියඩ්ස් පරක්කුයි කිය කිය ඉද්දියි ඒත් මට හිතුනා ඔයා ප්‍රෙග්නන්ට් ද දන්නෙ නෑ කියලා.ඒත් ඔයා කොච්චර මෝඩ උනත් ඔහොම දෙයක් කරගන්න තරම් ගයාන් මෝඩ වෙන එකක් නෑ කියලා. ඒකයි මම උඹට ඒ දවස්වල කිව්වෙ නැත්තෙ ප්‍රෙග්නන්ට් කතාවක්” කියලා නිශාන් කියද්දි මට ඒකි එක්කත් තරහා ගියා. ඒකි කලින් එහෙම හිතේ සැකයක් තියෙන විත්තියක් කිව්වා නම් සමහරවිට මට මීට කලින් මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න තිබ්බනෙ කියල එක තප්පරේකට හිත කිව්වත් මං කරගත්ත ගොං කම් වලට නිශානිට බැණලා වැඩක් නෑ කියලා ඊලඟ තප්පරේ මමම කල්පනා කරා.
“හරියටම ප්‍රෙග්නන්ට් ද කියලා දැනගන්න ඕන නම් අපි ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කරමු” කියලා නිශානිම කියලා පික් මී එකෙන් එයාම ප්‍රෙග්නන්සි ටෙස්ට් කිට් එකක් ඕඩර් කරා. එන්න ගතවෙන්නෙ විනාඩි දහයක් වගේ වෙලාවක් විතරක් කිව්වට මට දැනුනෙ ඒක හරියට අවුරුද්දක් විතර කල් ගියා කියලා. ඒත් අවුරුද්දක් ගියා නම් මේ වෙද්දි ළමය ඉපදිලා ඉන්නෝන නේද කියල කල්පනා වෙච්ච පාර මට මේ ඔක්කොම කරදර අස්සෙ හීනියට හිනාත් ගියා.
ප්‍රෙග්නන්සි ටෙස්ට් එක කරාට පස්සෙ මට ආය වතාවක් මහ හයියෙන් ඇඬුනෙ මං ප්‍රෙග්නන්ට් කියලා හිතේ තිබ්බ සැකේ ස්ථිර කරගන්න පුළුවන් වෙච්ච හන්දා. නිශානි මොනවා කිව්වත් හිතේ කෙලවරක හීනියට “අනේ දෙයියනේ මාව බේරලා දෙන්න” කියල ඉල්ලීමක් දෙයියන්ගෙන් ඉල්ලුවා උනාට ඒ ඉල්ලීමට දෙයියො කන්දීලා නැති විත්තිය ටෙස්ට් කිට් එකේ තිබ්බ ස්ට්‍රයිප්ස් දෙකම පාවිච්චි කරලා බැලුවට පස්සෙ මට ස්ථිර කරගන්න පුළුවන් වෙච්ච එකෙන් පස්සෙ හිතේ පොඩි හරි බලාපොරොත්තුවක සැනසීමක් තිබුණා නම් ඒකත් නැතිවෙලා ගියා.
“දැන් උඹ කොච්චර ඇඬුවත් ඔය දරුවා ආපහු උඹේ බඩෙන් යන්නෙ නෑනෙ නාද්‍යා. අඬන එක නෙවෙයි හරි නම් උඹ දැන් කරන්න ඕන උඹ ඊළඟට කරන්නෝන දේ හිතන එක. ඇඬුවයි කියලා වෙච්ච දේවල් කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නෑනෙ” කියලා නිශානි කිව්වට මං උන්නේ ඒ බණ අහන තැනක නෙවෙයි. දැන් කොච්චර දේවල් ඇහුවත් “අනේ මේ දේ නොවී තිබ්බා නම්” කියලා නොහිත ඉන්න මට පුළුවන් උනේ නෑ.
එදා මුළු දවසෙම, මේ විත්තිය දැනගත්ත උදේ වරුවෙ ඉඳලා මහ රෑ වෙනකම්ම මං කරේ කඳුලු පෙරන ගමන් ගයාන්ට කෝල් එකක් ගන්න හදපු එක. ඒත් වෙනදා වගේම ගයාන් උන්නෙ බිසී වෙලා කියන එක මට තේරුණේ නැත්තෙ නෑ. ගයාන් කෝල් එක ආන්ස්වර් නොකරන වාරයක් පාසා, “ඔබ අමතක ග්‍රාහකයා කාර්‍යබහුල බැවින්…” කියලා ෆෝන් එක අස්සෙ ඉන්න ඔපරේටර් ගෑනි මට කියද්දි මට දැනුනෙ නිකන් ගයාන් ඒ ගෑනිත් එක්ක එකතුවෙලා මට ඔච්චං කරනවා වගේ.
ගයාන්ගෙ කෝල් එක කනෙක්ට් කරගන්න මට පුළුවන් උනේ මහ රෑ එකොළහට විතර. ඒ වෙනකම්ම එක එක දේවල් කන්න බොන දෙන ගමන් නිශානි “දැන්වත් මොනාහරි කාපං. අඩුම දරුවා ගැන හිතලා හරි කාපං” කියලා කට ළඟට මාමයිටුයි බටරුයි ගාපු පාන් කෑලි ළං කරද්දි මට හිතේ තියෙන ඔක්කොම දුකයි තරහයි හිතෙන් එළියට දාගන්න ඒකිට ගහගෙන ගහගෙන යන්න හිතුණා. ඒත් ඒ විදියට තරහා පිට දාන්න බැරි හන්දම තමයි මම නිශානිට කිව්වේ “මට මූණවත් බලන්නෝන නැති එකෙක්ට කවන්න තරම් මට පිස්සුවක් නෑ” කියලා.
ඇත්තටම මං උන්නෙ තරහෙන්. මට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න උවමනා උනේ නෑ. අනික මෙච්චර පොඩි වයසකින්, ජීවිතේ ගෙවන්න තරුණ කාලෙ තව සෑහෙන්න ඉතුරුවෙලා තියෙද්දි මට කිසිසේත්ම දරුවෙක් නලවන, සිංගල් මම් කෙනෙක් වෙන්න කිසිම උවමනාවක් තිබ්බෙ නෑ. මට ඕන උනේ මේ කරුමෙන් ගැලවෙන්න. ඔව් හිතාගන්න බැරි වෙලාවක, හිතුවෙවත් නැති විදියට තමන්ගෙ බඩට දරුවෙක් ඇවිත් ඉන්නවා කියලා දැනගත්තම, අවුරුදු විසි දෙකක, කසාද බැන්දෙ නැති කැම්පස් යන කෙල්ලෙක්ට “අනේ මං අම්මා කෙනෙක් වෙන්න යනවා, හරි ශෝක්, අයි විල් බී අ ගුඩ් මම්” කියලා හිතන්න බෑ.
ඒ තැනට පත්වෙච්ච ඕන ගෑනියෙක් එවෙලෙට හිතන්නෙ “මං කොහොමද මේ කරුමෙන් ගැලවෙන්නෙ?” කියලා.
ඒ විදියට හිත හිත අඬ අඬ උන්න වෙලාවක තමයි මාව මේ කරුමෙට ඇදලා දැම්ම ගයාන් ආය මට කෝල් බැක් කරේ. මට ඒ කෝල් එක මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක උඩ වැටිලා තියෙනවා දැක්කම හිතුනේ ගයාන් කියන්නෙ මාව මේ කරුමෙන් බේරගන්න ආව ගැලවුම්කාරයා මිසක්කා මාව කරුමෙකට ඇදලා දැම්ම කරුමක්කාරයා නෙවෙයි කියලා.
මං කෝල් එක ආන්ස්වර් කරේ හිතේ ඒ විශ්වාසෙත් එක්ක.
“සොරි බබී මම හරියට බිසී වෙලා උන්නෙ මේ අලුත් නිළියො එක්ක වැඩ කරන්න බෑ අප්පා” කියලා ගයාන් කියද්දි මං මේ ආරංචිය කිව්වම ගයාන්ගෙ ඔය බබී හුබී වචන දිගටම ඒ විදියටම තියේවිද කියන ප්‍රශ්නෙත් මගෙ හිතේ තිබ්බා.