මනුජ උන්නේ ඔහුටම වටහා ගන්නට නොහැකි ආහ්ලාදජනක හැඟීමක් එක්කය. නිර්ධා ගේ සමුගැනීමෙන් පසු තාවකාලික සම්බන්ධතා ඇතිවී නැතිවී ගියේය. ඒවායේ වූයේ පැහැදිළි අරමුණුය. ඒ අරමුණු සැපිරීමෙන් පසු, එම සම්බන්ධතා දිග්ගැස්සෙන්නට තවත් හේතු වූයේ නැත. එම සම්බන්ධතා වල අනෙක් පාර්ශවය තම නම , ගමවත් හරිහැටි දැන නොගත් අවස්ථාද විය. ජීවිතය එතරම් ඉබාගාතේ සැරිසරමින් තිබුණි.
එහෙත් , ඇය තමා වෙත පිවිසෙන්නට උත්සාහ කරන මානය අනෙකකි. ඇයට අවැසි දේ කුමක්දැයි ඕ පවසන්නේද නැත. එලෙස පවතිද්දී තමාට දැනෙන හැඟීම පවා නිවැරදිව සිතා ගන්නට නොහැක.
පසුදින උදෑසන මනුජට බිම්මල් සුප් කෝප්පයක් ලැබුනි. වාට්ටුවේ උන් හෙදියක මනුජගේ මිතුරාට එය ලබා දී තිබුණි
” ඔන්න … දොස්තර නෝනා උඹට උදෑසන භෝජන සංග්‍රහය එවලා…”
මනුජ උන්නේ දෑස් පියාගෙනය. ඔහු දෑස් විවර කර බැලුවේය. ඉනික්බිති මිතුරා දෙස බැලුවේය.
” කවුද ?…”
” දොස්තර නෝනා බං…”
මනුජ සුප් කෝප්පයම පානා කලේය. ගත සුවය වඩා පහසු ලෙසින් ඔහුට දැනෙයි. සිත සුවයද අඩු නැත.
දින දෙකකින් මනුජ නිවස බලා පිටත්ව ගියේය. ඉන් පසුදින තාත්තාව පෙරලා කොළඹ බලා පිටත් කරවන්නග මනුජ කටයුතු කලෙ කඳවුරේ කටයුත්තක් වෙනුවෙන් කොළබ බලා ගිය රියකින්ය.
” සතියක්වත් නිවාඩු දාලා ගෙදර යමු කියලා මම නම් කියන්නේ….”
තාත්තා මඟින් මඟටම කිවේය. එහෙත්, මනුජගේ සිතෙහි යම් අදහසක් විය. එලෙසින් නිවසට ගියහොත් ඇය මඟ හැරිය හැක. ඇය මඟහැරිය යුතුනොවේ.
අවසානයේ මනුජගේ තාත්තා යලි නිවස බලා පිටව ගියේය .
එදින සවස මනුජගේ ජංගම දුරකතනය නාදවෙද්දී මනුජ එය අතට ගත්තේම යම් බලාපොරොත්තුවක් එක්කය. ඔහු ඉස්සර නොවී බලා උන්නේ යම් බලාපොරොත්තුවක්වක් සිතෙහි තබා ගනිමිනි
” ගෙදර නේද ?…”
” ඔව් …… උදේ ගෙදර ආවා….”
“දැන් කොහොමද ඔයාට ..?”
“අවුලක් නෑ… දවල්ට කෑවා..වෙන ප්‍රශ්නයක් නෑ….”
“දවස් දෙක තුනක්වත් රෙස්ට් කරන්න … ඔලුව වෙහෙසවන්නත් එපා …. තවම ජර්ම් එක නිසා වීක් වුන ගතිය රිකවර් වෙලා නෑ…”
” අනිද්දාට අනිවාර්‍යෙන්ම කරන්න තියෙන වැඩක් තියෙනවා…කල් දාන්න බෑ…”
මනුජ ඔහුටම නොවැටහී හේතු පහදමින් උන්නේය. ඒ දැනෙන මිහිරියාව තුළ ඔහූ උන්නේ අතරමංවය.
” ඒක වෙන්නැති… ගොඩක් වෙහෙසෙන්න නැති වෙන්න වැඩ ටික කරගන්න …”
සින්දූපා ද වගවීමේ හඬකින් එලෙසින් කීවාය.
” හ…හා….”
“ආහ්…. අනෙක මම කතා කලේ, සාරතී ආන්ටි ව මේ දවස් ටිකේ රෑටත් න්වත්තගන්න .. මට මැනේජ් කරගන්න පුලුවන් … බබාව ඔයා ලඟ නිදි කරගන්න එපා සතියක් විතර යනකල්…”
“ඒක කියන්නද කතා කලේ ?. මගේ අසනීප බලන්න නෙවෙයිද? .. .”
මනුජ එක්වරම විමසුවේය. සින්දූපා කිසිවක් කියා ගන්නට නොහැකිව ගොලු වූවාය.
මනුජටද තමන් විමසූවේ කුමක්දයි වැටහුණේ සින්දූපා කිසිත් නොපවසා සිටින විටය.
” මේ… හරි හරි … මම තියන්නම් එහෙනම් … “
සින්දූපා එක්වරම ඇමතුම විසන්ධි කලාය. මනුජගේ මුව අඟ සිනා රැල්ලක් වැටී තිබුණි.
සින්දූපා වාට්ටුවෙන් පිටතට ඇවිද ගොස් ගැඹුරු හුස්මක් හෙලුවාය. ඉනික්බිති සැනසුම් සුසුම් කිහිපයක්ම ඉබේම හෙලුණි.
” එයාත් මං ගැන චුට්ටක් හරි හිතනවා… දැන් ඒකෙ සැකයක් නෑ… එහෙම නැත්නම් එයා වගේ කෙනෙක් අර වගේ කතාවක් අහන්නේ නෑ… කොච්චරක් වුනත් ඉන්නේ ඩෝන්ට් කෙයාර් ගානෙන් නේ…. එදා මම වොර්ස් එකට ගිය වෙලේ නම්බර් එක ඉල්ලගත්තට මම කෝල් එකක් ගන්නකල් ආයේ මට ගත්තේ නෑනේ… එච්චරට උද්දච්ච කමක් තිබුනානේ… එහෙම එකේ ඔහොම අහනවා කියන්නේ , එතන යම් මල් හැඟිමක් තියෙනවා… දෙයියනේ..දෙයියනේ… ඒ ඇස් දෙක මගේ දිහා බලාගෙනම ඉන්න දවසක් ඒවිද ? අත් දෙකෙන් අල්ලගෙන ලෝකේ වටේම එක්ක යන්න කැමති වේවිද ? …
ඒත් බබා… බබා නිසා… එයා ඒ හැම හැඟීමක්ම හංගගෙන ජීවත් වෙන්න තීරනය කරාවිද? .නෑ… බබා මටකිසිම ප්‍රශ්නයක් නෙවෙයි කියලා එයාට කියනවා මම … ඇත්තටම බබාව මට ඕනි … මට
.. මට ඕනි … එයා … එයා ඉස්සර වුනේ නැත්නම් … මම ඉස්සර වෙන්නද ??…”
” ඈ ඩොක්ටර් සින්දූපා … ඔය හීන බලන්න්නෙ වින්ග් කමාන්ඩර් මනුජ නිම්නෙත් ප්‍රේමනාථ ගැන එහෙම නෙවෙයි නේ .. නේ ?
විශ්වගෙ හඬ එක්වරම අකුණක් සේ ඇසෙද්දී සින්දූපා තිගැස්සුණාය.