“තාත්තට කතා කරන්න පුලුවන්ද මේ වෙලාවේ.”
ඇය ඇසුවේ කාරුණිකවය. ඔහුට දැන් වෙනත් කුරුලු කූඩුවක් වේ. මදාරා පුංචි අම්මා කොහොමටත් එක විදිහක අයෙකි. එනිසාම තමා ඒ කුරුලු කූඩුව තුළ ප්‍රශ්නයක් ඇති නොකරන්නට ප්‍රවේශම් විය යුතුයැයි ඉසුරි සිතුවාය. කොහොමටත් තාත්තා පිළිතුරු සපයන්නේ තමාගේ දුරකථනයට පමණි. අම්මා නංගි හෝ මල්ලි ඇමතුමක් ලබා ගන්නේනම් ඔහු පිළිතුරු සපයන්නේ කලාතුරකින්ය. එනිසාම අම්මා විටෙක යම් පණිවිඩයක් වුවද “මහා එකාට කියපන්…” යනුවෙන් පවසන්නේ ඉසුරිටය.
තාත්තේ තාත්තට පුළුවන්නම් මල්ලි ගැන ටිකක් හොයලා බලන්න.
“ඒ මොකටද…”
“මට හිතෙනවා මල්ලි ටිකක් වෙනස් පාරක යනවා කියලා. ගෙදර එන වෙලාවක් කලාවක් නෑ තාත්තේ. ක්‍රිකට් ගහන්න කියලා ගියාට සමහර දවස්වලට පැට්‍රිස් ඉවර වෙන්නත් කලින් එතනින් පිටවෙලා තියෙනවා. මේ හොඳ වයසක් නෙමේනේ තාත්තේ. මං කියන සමහර දේවල් එයාට තේරෙන්නෙ නැතුව ඇති.”
“අම්මට කිව්වේ නැද්ද.”
“කිව්වා…ඒත් අම්මා කියන්නේ ඔය වයසට ඔහොම තමයි කියලා. වයසට එහා ගිය දෙයක් මට දැනෙනවා තාත්තේ.”
“මං බලන්නම්. නංගිට කොහොමද..”
“එයා නං පාඩම් කරනවා. කොහොමටත් පොඩි කාලේ ඉඳලම නංගිට ඒම් එකක් තිබුනනේ තාත්තේ. අපිත් එක්කවත් ලොකුවට කතාබහ කරන්නේ නෑ. එහෙම නැතුව හරි කමක් නෑ එයා එයාගේ තැනට ගියොත්.”
“හ්ම්….ඔයාගේ ජොබ් එක කොහොමද.”
“අනේ කිසි කරදරයක් නැති තැනක් තාත්තේ. මං වැඩට යන්නේ ආසාවෙන්.”
“කිරි අම්මා උයල දෙනවද..”
“කිරි අම්මට දැන් වැඩ කරන්න අමාරුයි. අපිත් එක්ක තනි නොතනියට ඉන්න එකත් ඇතිනේ. රෑට එළවළු කපලා පොල් ගාල තියලා මං උදේට උයනවා. ආච්චිත් ඇවිත් උදව් වෙනවා. අම්මා..”
“අපි ඒ ගැන කතා නොකර ඉමු ලොකු දුව. තවදුරටත් මේ නීරස ජීවිතය විඳින එක තේරුමක් නැහැ කියලා හිතාගෙන මං ඔයාලව දාලා අලුත් කූඩුවක් හදාගෙන ආවට විසි හතර පැයම සැනසීමක් නැතිවුනු මිනිහෙක් මම. මගේ හෘද සාක්ෂිය මට පුදුම විදිහට වධ දුන්නා. ඒ උනාට දුව අද මං විශ්වාස කරනවා මං එදා ගත්තේ හරිම තීරණය කියලා. එහෙම නොවුනනම් අද මේ විදිහට හරි ඔයාලට කතා කරන්න තාත්තෙක් නැති වෙන්න තිබුණා. මොන දේත් කෙරෙන්න ඕන විදිහක් තියෙනවා ලොකු දුව. මට දුක ඔයාලා ගැන. මං මල්ලි ගැන බලන්නම්.”
සුරංග පැවසූයේ කෝපයෙන්ය. ඒ කෝපය අම්මා අරා ඇති වූ එකක් බව විශ්වාසය. එහෙත් ඉසුරි කිසිවක්ම නොඇසුවාය. ඒ වෙනුවට ඕ මුදා හැරියේ දිගු සුසුමකි.
“අනේ සුරංග ඔයා තවම ලෑස්ති නැද්ද. පරක්කු වෙනවනේ මහත්තයෝ. චූටි දුව මග බලාගෙන ඇති. දන්නවනේ අපි පරක්කු වුණොත් එයා අඬනවා.”
එහා පසින් මදාරාගේ හඬ ඇසෙද්දී මුලින්ම දුරකථනය විසන්ධි කළේ ඉසුරිය. ඇය තාත්තාට කතා කළේ ආදරයෙන්ය. කරුණාවෙන්ය.
“මගේ දේවල් ළඟදි මං ආත්මාර්ථකාමීයි ඉසුරි. මොකද මං මගේ දේවල් වලට ආදරෙයි. මට ඒවා නැති කරගන්න වුවමනාවක් නෑ.”
මින් වසර කිහිපයකට එහා දිනකදී තමා තාත්තාට දුරකථන ඇමතුමක් ලබාගනිද්දී පිළිතුරු දුන්නේ ඈය. දෙදෙනා අතර සිදුවූ වදන් හුවමාරුව හරිහැටි මතකයේ නොවූවත් මදාරා පුංචි අම්මාගේ ඒ වදන් ඉසුරිගේ සිතෙහි රැඳී තිබුණේ ගලක කෙටූ අකුරක් සේය. විය යුත්තේ එය බව ඈ වර්තමානයේදී විශ්වාස කළාය.
“මොනවද සුරංග තාම ලෑස්ති වෙලා නැද්ද. ඔයා ගෑනියෙක්ට වඩා අන්තයි නේ. අපරාදේ මට තිබුණේ ඔයාව දාලා තනියම මේ ගමන යන්න. මටනං ඔයාව එපා වෙලා…”
අම්මා එතන සිටියා නම් උස් හඬින් කෑ ගසන්නේ ඒ අයුරින්ය. එතනින් නොනවතින ඇය තාත්තා සූදානම් වී කාමරයෙන් පිටතට පැමිණෙන තුරුම ආලින්දයේ පුටුවකට වී කුටු කුටුගාමින් කියවන බව විශ්වාසය.
දිගු සුසුමක් මුදා හැරී ඉසුරී නැගී සිටියේ සැහැල්ලු වී ගිය හදවතින්ය. කැදැල්ලෙන් නික්ම ගියද තාත්තා තමාගේ ඉල්ලීමක් පැහැර හැරියේ නැත. එනිසාම සොහොයුරා පිළිබඳව සිතෙහි වූ බියෙන් සැකයෙන් ඕ මදකට හෝ මිදුනාය.
රාත්‍රියට පාන් ගෙන එමු යැයි යෝජනා කළේ නංගීය. ඉසුරි හාල් මැස්සන් ටිකක් පෙඟෙන්නට දැමුවේ හොද්දක් සාදන්නට සිතාගෙනය. ඊට අල ගෙඩියකුත් ලං කර තැබුවාය. නිවසේ සිටියත් අම්මා ඊයේ පෙරේදා සිට රාත්‍රියට ආහාර ලබා ගන්නේ නැත. බොහෝ දිනවල ඈ නිවසට පැමිණෙන්නේ සුපිරි වෙළඳ සැල්වල විකිණීමට තබා ඇති බෝංචි, කැරට්, අල හා මාළු පෙත්තක් තම්බා ඇති ආහාර ඇසුරුමක් රැගෙනය. වෙනදාට වඩා අම්මා තම රූපය ගැන වෙහෙස වේ. නිවසේ සිටින දිනවල බෙහෙත් කඩෙන් ගෙන්වාගත් සුදු හඳුන් කස්තුරි කහ එක්කොට තනා ගන්නා ආලේපයක් ඈ මුහුණේ තවරා ගනී.
“ඉසුරි නංගිත් එක්ක මේකෙන් ටිකක් ගා ගන්න. අපි වගේ පහුවෙලා හම ගැන සැලකිලිමත් වෙලා වැඩක් නෑ. ඕගොල්ලෝ දැම්ම ඉඳලම මේවා කරන්න ගන්න. වයසට යද්දි තමයි තේරෙන්නේ මේවයෙ අගේ..”
ඒ බොහෝ විට ඕ එසේ පවසා කෑ ගසයි. සොයුරිය ඇයට එකඟ වූවාට ඉසුරි කිසිවිටෙකත් තම හමට හෝ මුහුණට අමුතු සත්කාරයක් කළ අයෙකු නොවේ. එහෙත් ඇගේ හම දීප්තිමත් එකක් විය.
***********
හංසිකා බිනරගේ කාමරයට එබුණේ අම්මා ගෙනවිත් දුන් තේ කෝප්පය පානය කලාට පසුවය. ඕ නිවසට පැමිණ ගෙවී ගොස් තිබුනේ අඩහෝරාවක් තරම් කෙටි කාලයකි. ජනප්‍රිය විදේශීය කතුවරියකගේ පොත් මාලාවක් පරිවර්තනය කරන්නට ඇය අයිතිය ලබා ගත්තේ ඊයේ පෙරේදාය. ලංකාවේ ජනප්‍රිය පරිවර්තකයෙකු වෙත ඈ ඒ පොත් මාලාව භාර දුන්නේ සවසය. මල්ලිත් තාත්තාත් අතර වචන හුවමාරුවක් සිදුවූ බව ඇයට පැවසූයේ අම්මාය. හංසිකා කිසිවක් නොකියා අසා සිටියාය. ඇය ප්‍රශ්න දෙස බලන්නේ අමුතුම කෝණයකින්ය. අදටත් ලංකාවේ ජනප්‍රියම පොත් හල් ජාලයක්, ප්‍රකාශන ආයතනයක් තම පවුලේ අයවලුන් සතුවේ. සීයා තාත්තා ගොඩනඟාගත් ඒ ව්‍යාපාර තාත්තා කැමැත්තෙන්ම බාරගත්තාට සොහොයුරාගේ කැමැත්ත ඊට වෙනස් එකක් බව විශ්වාසය. මින් වසර තුනකට ඉහත අතීතයේදී ඔහු පිටරට යවන්නට නිවැසියන් වෙහෙස වූ ආකාරය හංසිකාට සිහි වූයේත් එවේලෙහිය. පාසලෙන් ඉවත් වූ පසුව බිනර කාලය ගෙවා දැමුවේ රස්තියාදුකාරයෙකු ලෙසය. තවදුරටත් මෙරටෙහි තබා ගැනීම තුළින් ඔහු තම පවුලට අවනම්බුවක් කරාවියැයි තාත්තා සේම අම්මාත් දැඩිව විශ්වාස කළෝය. ප්‍රසිද්ධ දෛවඥයෙකු ලවා පරීක්ෂා කළ හඳහනෙහි පවා වූයේ ගතවන්නේ අපල කාලයක් බැවින් ඔහුව සමුදුරින් එහා පසට යැවීම සුදුසු එකක් බවය. කාලයක් තිස්සේ කළ ඉල්ලීම් වලට අනුව අවසන ඔහු ඕස්ට්‍රේලියාවේ සිටින තාත්තාගේ ඥාතියෙකු වෙත යැවීමට හැකියාව ලැබිණ. සොහොයුරා යළි මෙරටට පැමිණ ගතව ගොස් තිබුණේ මාස පහක් තරම් කෙටි කාලයකි. සියල්ලන්ගේම කැමැත්ත වනුයේ ඔහු සිය පවුලේ ව්‍යාපාරය තම දෑතට ගනු දැකීමය.
“මොකද හලෝ වෙලා තියෙන්නේ…”
හංසිකා සොහොයුරාගේ කාමරයට එබෙදීත් ඔහු උන්නේ ඇඳෙහි වැතිර ගෙනය.
“දැන් තමුසෙත් ආවේ මට උපදෙස් දීල යන්නද…”
බිනර එසේ විමසූයේ හංසිකා ඇඳ මතින්ම අසුන් ගනිද්දීය.
“මට කියන්නකො දැන් ඔයා මොකක්ද කරන්න හිතන් ඉන්නේ කියලා. මේක ලංකාව. ඔයා දන්නවනේ මල්ලි ඔයාගේ වයසෙ පිරිමි ළමයෙක් ජොබ් එකක් හරි බිස්නස් එකක් හරි කරන්න ඕනේ. හැමදාම නිකං ඉන්න බැහැ. සිය තාත්ත මැරිල ගිය කාලෙකවත් තාත්ත මැරිලා ගියපු කාලෙකවත් ඔයාට එක පාරටම මේ බිස්නස් අරගෙන හැන්ඩ්ල් කරන්න බැහැනේ. ඒකට එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. කවද හරි ඔයා මේක බාරගන්න දවසක මම උනත් මගේ පබ්ලිකේෂන් එක අරගෙන අයින් වෙනවා. මේවා ඔයාගේ.”
“අකමැති මගුල් අස්සෙ හිරවෙලා දුක් විඳින්න මට බෑ හලෝ.”
“හරි ඔයාගේ කැමැත්ත තියෙන්නේ මොකටද කියලා කියන්න”
“මට කාර් සේල් එකක් කරන්න ඕනේ. එහෙම නැත්නම් ආපහු ඔස්ට්‍රේලියා යන්න ඕනේ.”
“ඔස්ට්‍රේලියා ගිහිල්ලා.”
“මගේ ඩිග්‍රියට හොඳ ඔෆර් එකක් එහෙන් ලැබෙයි.”
“ඇයි තමන්ගෙ දෙයක් කරන්න ඔයා කැමති නැත්තේ.”
“තමන්ගේ දෙයක් කරන්න තමයි තාත්තගෙන් සල්ලි ඉල්ලුවේ.”
“තමන්ගේ දේ කියලා මං අදහස් කලේ අපේ බිස්නස් එක.”
“මට ඒක හරි බෝරිං හලෝ. ඉස්කෝලෙ සිංහල පොතවත් කියවන්න කැමති වෙච්ච නැති මම කොහොමද බුක් ෂොප් එකක් කරන්නේ. අනිත් එක මේවා පවුලේ පිරිමියෙක්ම බාරගන්න ඕන කියලා නියමයක් නැහැනේ. තමුසේ ඔය යස අගේට කරගෙන ඉන්නේ. බිස්නස් එකකින් මිනිස්සු දියුණු වෙන්නනම් ඒ ගැන ආසාවක් තියෙන්න ඕනේ අන්තිමට ඕවා බංකොලොත් කලා කියන වචනේ තමයි මට අහගන්න වෙන්නේ.”
එවර බිනර පැවසුවේ අනෙක් පස හැරෙමින්ය.
“ඔයාට තේරෙනවනෙ මල්ලි අක්ක කීයටවත් ආපහු ලංකාවට එන්නේ නෑ. මට උනත් උදාර මැරි කරපු කාලෙක එයාගේ බිස්නස් වලට ඉන්වෝල් වෙන්න වෙයි. පබ්ලිකේෂන් එක කියන්නේ මට ගෙදර ඉඳගෙන උනත් කරගෙන යන්න පුළුවන් බිස්නස් එකක්. ඒකයි මං ඒ පැත්ත බැලුවේ. අනික මං ඒකට ආසයි. ඔයා හිතන්න එතකොට ජයවර්ධන ගෲප් එකට මොකද වෙන්නේ කියලා. ඒවා එතැනින්ම නැතිවෙලා යාවි.”
“මං දන් නෑ හලෝ. මට ඔය මගුල හරියන්නෙ නෑ මං දන්නෙ එච්චරයි.”
බිනර කොට්ටයක් සිය මුහුණට තදකර ගත්තේ දෑස් වසා ගන්නා ගමන්ය.
“අලුත් ගෝලයා වැඩ ටික අල්ලගෙන යනවද අන්කල්”
දහවල ඈ කුලසේකරගෙන් ඇසුවේ කාර්යාල කාමරයේදීය.
“බිනර සර් නං ඉන්නේ හරි කම්මැලිකමෙන්. මං හිතන්නේ අර ගර්ල් එයාට උදව් කරනවා. කොහොම හරි පවරන වැඩේ වෙලාවට කරගෙන එනවා. ඒත් මං හිතන්නේ නෑ ඒ කරන්නේ බිනර සර් කියලා. අපි ඔහොම ටික දවසක් බලමු මැඩම්. මෙතන ඉන්න එකම මැදෑ.”
කුලසේකර එසේ පැවසූයේ සිනහසෙමින්ය.
“දැන්ම ජයවර්ධන සර්ට කියන්න ඕනෙ නෑ මැඩම්. අපි බලමු තව ටික කාලයක්.”
හංසිකා හිස වැනුවේ ඔහු යළිත් ඒ අයුරින් පවසද්දීය.
(යළිත් හමුවෙමු ආදරයෙන්)