පෙමාතුර -36

කොයි තරම් වෙලාවක් මා විසල් ව තදින් වැළඳ ගෙන සිටියා දැයි මම නො දනිමි. හරියට ඒ කල්ප කාලයක් තිස්සේ මගේ යටි හිත පතමින් සිටි වැළඳ ගැනීමක් සේ ය. තව ආත්ම කීයකට මට ඔහු මගහැරේවිද කියා මා දන්නේ නැත. ඒ නිසා මතක නිධානයෙහි ඔහු සුරැකි ව තැන්පත් කර ගත යුතු ය. 

මට ඇති යයි සිතෙන තෙක් විසල් සිය ග්‍රහණය ලිහිල් කළේ නැත. තාත්තා මේ විදිහට මා වැළඳ ගෙන සිටියේ නැති බව මට හොඳට මතක ය.  මට මතක ඇති කාලයක තාත්තා මගේ මුහුණ සිඹ ඇත්තේ එක වතාවකි. ඒ මා වැඩි විය පැමිණීම නිමිත්තෙන් පැවති කළ එළි මංගල්ලය දවසේ බුලත් හුරුලු දී ඔහු ගේ දෙපා නමැදි මොහොතේ ය. තාත්තා ඒ වෙලාවේ රන් දම් වැලක් මගේ කර පැළඳ මට හාදුවක් දුන්නේ ය. ඒ වෙලාවේ තාත්තා ගැන මගේ බාලිකා සන්තානයෙහි ඇති වූ ඉසියුම් කම්පනය, මේ මොහොතේ මට දැනෙනවා දැනෙනවා සේ ය. නැතොත් මේ මොහොතත් ඒ මොහොතත් එකක් ව දැනෙනවා සේ ය. දුරවබෝධයකින් තොර ව වී ද තාත්තා ගේ ස්පර්ශය එදා මා තුළ ජනිත කළා වූ සුරක්ෂාව හෝ අසීමිත ආදරය ගැන හැඟීම, විසල් ගේ උණුහුමට තුරුලු ව හිඳිත්දී සිහිනයකින් සේ මගේ මතක ඉතිහාසයෙන් ගොඩ ආවේ ය.

තාත්තා ව උඩු හිත විසින් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කළ ද යටි හිත ඔහු ව තදින් වැළඳ ගෙන සිටි බවට, මා තවමත් ඔහු ලූ කුඩා රන් දම් වැල ඉවත් කොට වෙනත් එකක් නො පැළඳීම සාක්ෂි දරයි!

“තැංකූ”

විසල් ගේ උණුහුමෙන් මිදෙමින් ද ඒ මූණ දෙස බලා ගෙන සිනහ වෙන්නට උත්සාහ කරමින් ද මා කීවේ මහා විලාපයක් ඇතුළත හිර කර ගෙන ය.

“ඔය වගේ බලන්න එපා ඉතිං”

සත්තකට ඒ මොහොතේ විසල් ගේ බැල්ම දරා ගන්නට තරම් ශක්තියක් මට නො තිබූ සෙයකි.

“කිසා…මට කියන්න මොකද්ද මේ සිද්ද වෙන්නෙ කියල”

“මට ඔයා ළඟට වෙලා ටික වෙලාවක් ඉන්න ඕන වුණා. ඔයාව බදා ගෙන…”

අඩියක් මදෙසට තැබූ ඔහු සිය දෝතින් මගේ මුහුණ ගත්තේ මලක් දෝතින් ගන්නා භක්තිවන්තයෙකු සේ ය.

“මට ඇත්ත කියන්න. ඔයා මොනාද හිතේ තියං ඉන්නෙ..”

‘අනේ විසල් ඔය තරං මාව කියවන්න හදන්න එපා. මාව තේරුං ගන්න හදන්න එපා..’ කියා කෑ ගසන්නට ය මට ඕනා වූයේ. නමුත් ඉෂිනි ගේ තත්වයට පත් ව මම මේ ගිනි ගොඩ මැද්දේ අයිස් සෙව්වෙමි.

“ආදරේ..”

පෙන්වූ තරම් බොළඳ බවක් මගේ හදවත තුළ නොවන බව ඔහු දුටුවා දැයි නො දනිමි. විසල් හිටියේ බොහෝ දුරට සිතමින් වුව කිසිත් තේරුම් ගත නො හැකි තත්වයක ය.

ලහි ලහියේ මම රටින් පිට වීමට කටයුතු සූදානම් කළෙමි. අම්මා නිතර දඹදිව වන්දනා ගමන් වල යෙදෙන නිසා දන්නා හඳුනන අය බොහෝ සිටියහ. ඒ නිසා කටයුතු සංවිධානය කළේ ඔවුන් ය. මම නදීරා ගේ සැලෝන් එකට ගොස් ක්ලීනප් එකක් කර ගෙන හිස කේ වලට සත්කාරයක් ද කර ගතිමි. මා බාහිරයෙන් පෙන්වමින් සිටියේ අතිශය සාමාන්‍ය හෝ මා සතුටෙන් ම සිටිනා ස්වභාවයකි. ගින්දර වූයේ ඇතුළාන්තයේ ය. ගිනි පෑගීමට තරම් මම හිත දැඩි කර ගෙන සිටියෙමි. ආපසු හැරී නොබලන්නට තද තීන්දුවක් ගෙන සිටියෙමි. කරන්නට යන දේ යහපතක් කරාවිද නැත්නම් අයහපතක් කරාවිද කියා හෝ දිගින් දිගට සිතීමෙන්  වැළකී සිටියෙමි. එසේ සිතුවේ වී නම් සමහර තීරණ වෙනස් වන්නට වුව තිබිණ. 

වෙසක් පෝයට අම්මා සිල් සමාදන් වූවා ය. අපි හැන්දෑවේ විසල් ගේ රියෙන් පන්සල් ගියෙමු. අම්මා කැටිව ඒමෙන් පස්සේ, අපේ මාවත දිගට පොල් තෙල් පහන් දල්වන අසල්වැසියන් සමග එක් ව පහන් දැල්වීමු. වීදියේ ම අසල්වැසියන් සිටියේ පාරේ ය. පහන් දැල්වෙන කර තෙල් සුවඳ මා තුළ මහත් ශෝකී හැඟීමක් දනවන ලදී. දෙපැත්තේ ම පහන් දෙවැටක් දැල්වෙන වීදිය දිගේ, අසල් වැසි නිවෙස් වල වෙසක් සැරසිලි බලමින් අපි හෙමිහිට ඇවිද ගියෙමු. ඉෂිනි සිටියේ විසල් ට ඉතා සමීප ව ය. ඇය හිතා මතා ම හැම විට ම ඒ සමීප බව පවත්වා ගත්තා ය. මට ඒ බැම්ම කඩා ඔහු ට සමීප වීමේ කිසිදු ඉඩක් නොවී ය.

විසල් හිටියේ ගැඹුරු කල්පනාවක නිමග්නව ය. ඉඳ හිට අපේ කතා බහට වචනයකින් දෙකකින් හවුල් වූවා ට ඔහු මුළුමනින් මෙතැන නො පැවති බව මට වටහා ගත හැකි විය. 

මා තුළ වූ හැඟීමට නියත හැඩයක් හෝ වර්ණයක් දෙන්නට මා උත්සාහ කළේ නැත. එසේ කළත් මා ඊට ඒ තරම් සමත් නොවනු ඇත. ඒ හැඟීම සුළඟත් සමග ඒ මේ අත වැනෙනා මේ පහන් දැල් වලට සම කළ හැකි ය. මා විඳිමින් සිටියා ශෝක රසය, තෙල් කර වන මේ සුවඳට සම කළ හැකි ය. ඒ කිසිත් සැබවින් පවතිනවා ද නැත්නම් පවතිනා සෙයක් දැනෙනවා ද කියා නිශ්චිත නැත. රාත්‍රියේ මම තක්කාලි සුප් හා පීසා බ්‍රෙඩ් තනා විසල්ට ද රෑ කෑමට ඇරයුම් කරන්නයි ඉෂිනි ට කීවෙමි. විසල් ගේ ඇස් වල වූයේ,  ‘අවසන් භෝජන සංග්‍රහය’ දැක්වෙන සිතුවමෙහි ජේසුස් ක්‍රිස්තුස් ගේ ඇස් වල වනාකාරයේ බැල්මකි. මගේ හදවත ඔහු පාමුල වැටී ඉකි ගසා හැඬුවේ ය. නමුත් මම මඳහසකින් රෑ කෑම කෑවෙමි. 

“මේක කරන්න එපා කිසා”

රාත්‍රියේ දී අම්මා කාමරයට විත් සුසුමක සරින් කීවා ය. 

“ඔයා හුඟක් විඳවයි”

“නෑ අම්ම. මේක තීරණාත්මක ගමනක් වෙයි. වෙන්න නියමිත දේවල් වෙන්න…හුළඟක්නං හමන්න ඕන අම්ම. මලක් නං පිපෙන්න ඕන. ඒ කොයි දේත් හිර කර ගෙන නවත්තගෙන ඉන්න එක ලොකු පීඩනයක්. විසල්ටත් ජීවිතයක් තියනව. එයාට නිදහසේ හෙමිහිට තීරණයක් ගන්න පුළුවන් වෙයි”

“කිසා…ගෑනුන්ට වැඩිය පිරිමි වෙනස්. එයාලට වැඩි කලක් කවුරු වෙනුවෙන් වුණත් බලං ඉන්න බෑ. එයාල හරි දුර්වලයි. ඒ නිසා බලන්නෙම කොතනක හරි නතර වෙන්න. ඔයාට විසල් නැති වෙයි”

“මට දැන ගන්න ඕන විසල් මට එහෙම කරයිද කියල”

“ප්‍රැක්ටිකල් වෙන්න කිසා. ඒ තරං දරුනු එක්ස්පෙරිමන්ට් එකක් කරන්න අයිතියක් නෑ අපිට අපේම ජීවිත උඩ. දවසක ඔයා විඳෝනව මට බලං ඉන්න බෑ”

“කොහොමත් මට මේ පොත ලියන්න ඕන අම්ම. අම්ම ඉන්දියාවෙ ගිහිං ඇවිත් එහෙ ඉන්න දුප්පත් මිනිස්සු ගැන…සබන් කෑල්ලක් බිස්කට් පැකට් එකක් ඉල්ලන් කකුල් දෙක අල්ලං ඉන්න ළමයි ගැන කියද්දි…මට ඒ ගැන ලියන්න ඕන වෙලා තිබුණා. බුද්ධගයාව ළඟ විකුණන්න රෝස මල් දාස්පෙතියා මල් වවන මල් වතු වල ඇවිදල බලන්න හිතිල තිබුණා. පාන්දර කිටි කිටි සීතලේ මල් වට්ටි මල් මාල  උස්සං ගයාව ළඟ විකුණන්න පොරකන අහිංසක මිනිස්සු එක්ක කතා කරන්න ඕන වෙලා තිබුණා. මේක මට ඒකට වෙලාව අම්ම. මං මෙහෙ හිටියොත් අපි කාටවත් හරි තීරණයක් ගන්න බැරි වෙයි. මන් දන්නව එක පැත්තකින් බැලුවොත් මං මහ නරක කෙල්ලෙක්. විසල් වුණත් හිතයි මං ප්‍රශ්නෙං පැනල ගියා කියල. නෑ අම්ම. විසල් පැනල යන්නෙ නැද්ද කියල මං බලන් ඉන්නව”

“ඔයා හදන්නෙ විසල්ගෙ ආදරේ පරීක්ෂා කරන්නද…ඒක මෝඩ වැඩක් කිසා”

“ඉෂිනි විසල්ව නිදහස් කරල අරීද විසල් මේ ප්‍රශ්නෙ කොහොම විසඳ ගනීද කියල බලමු අම්ම. මං එයාට ආදරෙයි. ඒක වෙනස් වෙන්නෙ නෑ. හැබැයි එයාගෙ තීරණේ ට බාධාවක් වෙලා මං එයා ඉස්සරහ හිටං ඉන්න ඕන නෑ. ආදරේ කියන්නෙ අයිති කර ගන්න එකට කියන තව නමක් නෙවෙයි අම්ම. ඒක අම්ම හොඳටම දන්නව”

තව දුරටත් අම්මා මගේ තීරණය වෙනස් කරන්නට උත්සාහ කළේ නැත. එය මට පහසුවක් විය. නැතහොත් යම් මොහොතක මා අන්ත දුර්වල කෙල්ලක සේ කඩා වැටෙන්නට පුළුවන. 

අනිත් අතට විසල් මා ව ම තෝරා ගනීවී යන විශ්වාසය ද මා තුළ නොවූවා ම යයි කිව නො හැකි ය. පෙම් කරනා මිනිසා ගැන ඒ විදිහට හිතන්නට හැම ගැහැනියක ම රිසි ය. ඔවුන් වන මෘගයන් සේ වියරු වැටෙන්නේ එය එසේ නොවන බව පසක් වෙත්දී ය. 

සියල්ල ඉක්මනින් සූදානම් විය. මා නික්ම යන බව පුංචී හා නදීරා දැන ගත්තේ එදා උදේ ය. ඔවුන් මුව අයා බලා සිටියහ.

“කිව්වනං තියාගෙන කන්න පුළුවන් මොනා හරි හදල දානවනෙ. මේකි උයං කන්න කොච්චර කම්මැලිද කියල අපි දන්නැතුව නෙවෙයිනෙ”

පුංචි ශෝක වූවා ය. 

“මෙහෙම යන එන ලේසියි පුංචි. එතකොට කාටවත් ඒක ලොකුවට දැනෙන්නෙ නෑ. පහනක් නිවිල ගියා වගේ තියෙයි”

කවුරුත් මුවින් නොකීවාට මගේ මේ අභිනිෂ්ක්‍රමණය හා විසල් අතරේ සම්බන්ධයක් වෙතැයි උනුන් තනි තනි ව හිතා ගන්නට ඇත. ඉෂිනි ව සැලෝන් එකෙන් බස්වා නදීරා යළි ආවා ය. ඉෂිනි වැළඳ සුබ පතන්නට බැරි වීම ගැන තුනී සන්තාපයක් මගේ හද අඹරේ පා වෙනු ටික වෙලාවක් යන තෙක් මට දැනිණ. 

අම්මා හැදුවේ මාත් එක්ක ඉන්දියාවට එන්නට ය. නමුත් ඒ අදහස වැළකූයේ මමයි.

“මට ඕනෙ තනියම මේකට මූණ දීල තනියම බිල්ඩ් අප් වෙන්නයි අම්ම. ප්ලීස් මට තනියම යන්න දෙන්න. ටික දවසකින් අම්ම එන්න මාව බලල යන්න”

මා ඇය වැළකූයේ එසේ ය. මේ තීරණාත්මක අවස්ථාවේ දී මා කැමති පරිදි සියල්ල කර ගන්න ට හැර අත නොපා අම්මා පසෙකට වී සිටීම මට සැනසිල්ලක් විය.

එදා විසල් රැකියාවට යන්නට පෙර උදේ සඳැල්ලේ දී මම ඔහු අවසාන වතාවට දැක ගතිමි. හැම දාමත් මගේ ඇස් මොහොතකට අන්ධ කර දමනා විදිහේ ඒ පෞරුෂය මේ මොහොතේ වඩ වඩාත් මා ගිල ගන්නා ලදී. මම නෙත් පිය නො සලා ඔහු දෙස බලා සිටියෙමි.

“ඇයි..”

මඳ මුදු ස්වරයකින් ඔහු විචාලේ ඇස් වලට කතා කරන්නට වැඩි ඉඩක් සලසා දෙමිනි. මන්දහාස වත දෙපසට සොලවා මම කිසිත් නැති බව හැඟවීමි.

“ආදරෙයි ගොඩක්”

මට එසේ නො කියා ඉන්නට බැරි වෙන්නට ඇත.

“මාත්”

“පරිස්සමෙන් ඉන්න. හැම දේම හොඳ ම විදිහට වෙයි”

ඔහු තත්පර කිහිපයක් මදෙස බලා සිටියේ මා මේ විදිහේ දේවල් කියන්නට හේතුව කුමක් දැයි හැඳින ගන්නට මෙනි. 

“දැන් ලේට් වෙයි. යන්න..”

මම මිමිණුවෙමි. එක ම හදවතක් දෙකට බිඳී අප දෙදෙනා ළඟ ඉතිරි වූවා සේ මට දැනිණ. ඔහු ඒ හදවත් බාගය ද ගෙන හෙමිහිට පිය ගැට පෙළ බැස ගියේ ය. කළු පාට ඇක්වා ව නික්ම යනවා මට පෙනිණ. මම සුසුමක් හෙළා ගෙන සඳැල්ලෙන් කාමරයට ආවෙමි.

පුංචි ගේ ඇල්ටෝවෙන් අපි කටුනායක ගියෙමු. මීට පෙර මා විදේශ ගමනකට කියා ගොස් තිබුණේ බැංකොක් පමණකි. එද අම්මා හා පුංචි සමග මිස තනිව නොවේ. නමුත් මම තනි හිත තදින් දරා ගෙන සිටියෙමි. අමුත්තන් ගේ පර්යන්තයේ දී ගැහැනු ගෙදර ආදරණීය ගැහැනුන් තිදෙනා ගෙන් සමු ගත්දී නම් පපුව පුපුරා යන්නට හැදුවේ ය. 

“හැම වෙලේම වීඩියෝ කෝල් ගන්න ඕන හරිද…මමත් ගෙදර ඉන්නව වගෙයි ඉන්න ඕනෙ…හදන කෑම ඔක්කොම මට පෙන්නන්න ඕන. නැත්තං බඩවල් රිදෙන්න ගනී”

අප කවුරුත් කඳුළු සැළුවේ නැත. අපි සියල්ලන් සිනහ වී සිටියෙමු. නමුත් අපි ඇතුළාන්තයෙන් හැඬුවේ වෙමු. 

බෝ වෙලාවක් ගුවන් තොටුපළෙහි රැඳෙන්නට සිදු විය. රුපියල් දී ඩොලර් ලබා ගැනීමෙන් පසු මා කළේ සීතල රිදී පැහැ පේළි බංකුවක කෙළවර හිඳ අරමුණකින් තොර ව මගීන් ගේ මුහුණු දෙස බලා ඉන්නා එක ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -28

නිශාමනී ඒ සැඳෑවේ ගෙදර පැමිණියේ අලුතෙන් ම ශාන්ත වූ හිතකින් කියා කිව හැක. ඇය ශාරද සමගින් කතා බහකට ගියේ ම නැත. ඇගෙන්...

අමිහිරි විවාහ ජීවිතය නිසා විඳ වූ බිරිඳක්.

මනෝ උපදේශිකා ප්‍රබුද්ධිකා විජේතුංග මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් පළ කරන්නකි.වෘත්තිය ආචාර ධර්ම රැකෙන පරිදි සත්‍ය කතාවේ නම් ගම් සහ යම් සිදුවීම් වෙනස්...

හිමගිරි අරණ -13

"මොන දේ වුණත් ඔහේ දරා ගන්න පුරුදු වුණාම ජීවිතේ ලේසියි රවිඳු." හිමාෂා එසේ පැවසුවේ ඇගේ ජීවිතය ඇසුරිනි.එයට කිසිත් නොකියා...

ශරදාකාසේ -27

නිශාමනී අරමුණකින් තොර ව ඔහේ බලා සිටියා ය. නටුවෙන් ගිළිහෙන කහ පාට ඇහැල මල් පෙති කැරකී විත් ඇගේ හිස මත ද පතිත...

අපිට අපි

"අම්මේ බඩගිනියි." පුංචි නෙතුක එහෙම කියාගෙන මුළුතැන්ගෙයට එබෙනකොට චමරි පුතා දිහා බලා ගෙන හිටියේ දරා ගන්න බැරි වේදනාවකින්.උයන්න මොකුත්ම...