සති අන්තයේ සින්දූපා දින දෙකක නිවාඩු ලබා කොළඹ යන්නට තීරණය කර උන්නාය. වෙනදා හිතුවක්කාරකමකට ගත් තීරණ ගැන බිඳක් හොඉ අලවා , විමසන්නට කෙනෙක් සිටිනවාය යන හැඟීම හදවතට නැවුම් හැඟීම ක් ය. ඕ මනුජ අමතා සිකුරාදා රාත්‍රීයේ කොළඹ යන බව කීවාය.
” කීයටද ?…”
“මෙහෙන් හතට විතර යන්නේ …”
“ඔලුව කොලොප්පන්ද ? … මහ රෑ වෙනකල් පාරේ නේ…”
“එහෙම ගානක් නෑ… මම වෙනදාටත් යනවා…. පාර අවුල් වෙන්නේ වැස්සක් තිබ්බොත් නේ…”
“ඒකෙන් කමක් නෑ.. රෑ වෙලා තනියෙන් යන්න එපා..”
“සෙනසුරාදා උදේ ගියාම දවසම ඉවරයි නේ ඒත් …”
” සිකුරාදා රෑ මගේ කාර් එකේ යමූ… මම සඳුදාට එක්ක එන්නම් …. කාර් එක අපේ ගෙදර දාලා යමු…”
සින්දූපා මොහොතකට ගොලු වූවාය. මෙය සිතට අවශ්‍යව , බලාපොරොත්තුව උන් යමක් බව වැටහේ.
” ඒත්….. එහෙම ….”
” දරුවත් යනවා..”
“ඒක තමයි .. බබා ගෙදර ගිහින් කිව්වම ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයිද? … අනෙක ….. මම කොහොමද ගෙදර යන්නේ මහ රෑ….. ඔයාගේ වාහනෙන් බැහැලා…”
“ඒකත් හරි… එහෙනම් ඔයාගේ කාර් එකෙන් යමු… සඳුදා මාවත් දාගෙන එන්න උදේ…”
සින්දූපා සිහිනෙකින්වත් එතරමේ අවබෝධයෙන් කටයුතු කිරීමක් මනුජගෙන් බලාපොරොත්තු වූයේ නැත. මනුජ ගමන් සැලසුම විස්තර කලේය. සින්දූපා ට ඒ පළමු රැය මඟ හැර ගන්නට අවැසි වූයේම නැත.
” සින්දූපා කියන්නේ, උඹ එයා එක්ක යනවා කියලා… මොකක්ද ඒ කතාව ?”
එදිනම සවස විශ්වගෙන් ඇමතුමක් ආවේයම් කොහොමටත් මනුජ උන්නේ ඒ ඇමතුම බලාපොරොත්තුවෙනි.
” ඒකේ ඉතින් ආයේ පහදන්න දෙයක් නෑනේ බං… සින්දූව තනියෙන් යවන්න බෑනේ… අනෙක මාත් කොහොමටත් මේ වීකෙන්ඩ් ගෙදර යන්න උන්නේ…. සති අන්තේ මට වැඩ ටිකක් අඩුයි…
“සින්දූ …පුහ්…. ඒක එතකොට ඒ මට්ටමටම ගිහින්ද ?…”
හොරාට පෙර කෙසෙල් කැන වැට පැන ඇති බව මනුජට වැටහුණේය. එහෙත් ඒ බවක් නොවැටහුණ සේ සිටීම මෙවෙලෙට ගැලපෙන බව ඔහු තීරණය කලේය.
” මොන මට්ටමක්ද බං… මම උඹට ගන්නද පස්සේ ??…”
” උඹ සිරාද බං මේක කරන්නේ ?”
“මම එහෙම මොකවත් කරන්නේ නෑ යකෝ …. තවම මේ දේවල් ඉබේම සිද්ද වෙනවා විතරයි…… “
“සින්දූපාගේ අම්මලා මේකට කැමති වෙයි කියලා උඹ හිතනවද මනුජ …?”
” ඒක දන්නේ එයා… එයාට ඒ ගැන සැලැස්මක් ඇති … අනෙක ඒ දේවල් ගැන කතා කරන්න තරම් තවම සම්බන්ධතා දිග්ගැස්සිලා නෑ…. කෙයාරින් කියන එක තිබ්බ පලියට, උඹ ඔච්චරට දුර හිතන්නෙපා… උඹ නිකන් ආතතියක් හදාගන්නවා….”
මනුජ ඇමතුම විසන්ධි කලේ හිතට යම් කලබලයක් එක් කරගෙනය. තමා ගැන හීන මානයක් හිතට අලවාගෙනය. විවාහක, එක් දරු, දික්කසාද ගුවන් හමුදා කමාන්ඩර් කෙනෙකුට කෝටිපති අවිවාහක රූමත් වෛද්‍ය දියණිය විවාහ කරවා දීමට , ඒ කෝටිපති දෙමාපියන් කැමති වීමේ සම්භාවිතාවය මනුජ සිතා බැලුවේය. සින්දූපා තමා හා ඇලෙන්නේ, ඔහේ ගෙවී යන සම්බන්ධතාවයක් වෙනුවෙන් නොවන බව මනුජට දැනෙයි. තම සිත තුළද ඈ හා ගෙවෙන අනාගතයක් වෙනුවෙන් හීන එබිකම් පාන බව මනුජ දනි.
මනුජ දිනයේ කටයුතු අවසන් කලේය. සින්දූපා ඇරලවන්නට සාරතී සහ දියණිය ද කැටුව ගියේය.
” පරෙස්සම්මට යන්න ….”
සින්දූපා ගෙන් පණිවිඩයක් ආවේ මෝටර් රිය ආපසු හරවද්දීමය. මනුජ එයට හදවතින් සිනාසී පිළිතුරක් නොයවා උන්නේය.
දියණිය සුදු අම්මා සහ අප්පච්චි සීයා දකින්නට යන්නට අවැසි යැයි පැවසූයේ ඒ යන මඟය. හෙට දිනයේම කොළඹ යනවායැයි පැවසූ මනුජ, ඩොක්ටර් ඇන්ටිගේ කාර් එකේම යමුදැයි විමසුවේය.
” එතෝට, අප්පච්චී ගෙ කාර් එක ?”
” අපි මෙහෙ දාලා යමු…”
” එතෝට … බබා ටෝයිස් ගන්න යන්නේ කොහොමද ?”
“අපි, අප්පච්චී සීයාගේ කාර් එකේ යනවා නේ….”
” හා එහෙනම් …. සෝක් .. අප්පච්චී ..”
දියණිය සති අන්තය සඳහා ඇගේ සැලසුම් තනිවම කියවමින් උන්නාය. මනුජ ඇයට බාධා නොකර, ඒ සැලසුම් අසමින් ඒවා ක්‍රියාත්මක කර ගැනීමේ සීමාවන් ගැන සිතුවේය
” මේ කෙල්ල කියන විදියට ඔක්කොම කරන්න මාසෙකුත් මදි වෙයි…”
මනුජගේ යටි සිත සිනාසුනේය. මුලදී දියණිය ගැන දැනුණ බිය සහ බර දැන් මදක් අඩුව ඇති බව මනුජට නිකමට සිතුණි. ඇය උස් මහත් කල යුත්තේ සින්දූපා වන් යුවතියක් වන්නටයැයි මනුජ ඉන් පසු නිකමට මෙන් සිතුවේය.
සින්දූපා සවස හය වන විට මනුජගේ නිවසට ආවේ මනුජට නොදන්වාමය. තනිව පැමිණියාට මනුජ දොස් කියාවියැයි බලාපොරොත්තු වූවත්, මනුජ කලේ නිහඬව ඉවත බැලීමය.
” ඔයා වින්ග් කමාන්ඩර් නෙවි නේ… ගෲප් කමාන්ඩර් නේ.. මේ පදක්කම්….”
සාලයේ එල්ලා තිබූ සේයාරුවක් දැක සින්දූපා විමසද්දී මනුජට පුදුමයෙන් ඒ දෙස නොබලා සිටින්නට හැකො වූයේ නැත.
” ආහ්.. මං අද දවල් ලන්ච් වෙලේ එයාර්ෆෝස් සයිට් එකේ ෆුල් විසිට් එකක් දැම්මා….. ඒකයි මතක….”
සින්දූපා මනුජගේ විමතියෙන් පිරි දෑස් වලට පිළිතුරුද දුන්නාය. මනුජ ඉවත බලා ගත්තේය. සින්දූපා වට පිට බලා, අඩියට දෙකට මනුජ වෙත ඇවිද අවාය.
ඔහු ඉදිරියෙන් සිටගත්තාය. දෑත් කතිරයක් වන සේ දමා ඇගේ දෙසවන් අල්ලා ගත්තාය.
” සොරි… නොකියා ආවේ සර්ප්‍රයිස් කරන්න නේ… දවල් නේ තාම.. අර .. එළිය තියෙනවා.. කතා නොකර බුම්මැට්ටෙක් වෙන්න එපා.. තවම ගමන පටන් ගත්තෙත් නෑනේ…..”
මනුජට සිනහ නැඟුණේය.
වරෙක කුලු හරකෙකි. තවත් වරෙක බුම්මැට්ටෙකි. නරකම නැත
” සාරතී නැන්දා තේ ලෑස්ති කරනවා..”
“මම බලලා එන්නම්…”
“කෝ බබා..”
“එයාට අද නින්ද ගිහින්.. එහෙමම අරගෙන යමූ.. ඒක ලේසී…”
සින්දූපා හිස සැලුවාය.