කතා ගොතලා මිනී මැරුව ටාශා ෆීල්ඩ්ස්

“ටාශා දන්නවා ඔයාව අල්ලගන්න පුලුවන් විදියට කතාකරන්න. එයා ගානට ප්ලැන් කරලා ඒවෙලාවෙ ඔයාට අහන්න ඕන දේම හරියට කියනවා. මං හිතන්නෙ එයා ඒ හැමදේම කරන්නෙ හොඳට ප්ලෑන් කරලා” කියලා කියන්නේ ටාශාගෙ ex boyfriend වෙච්ච ඩ්වේන් බැරන්ටයින්.

ඒ 2007 පෙබරවාරි මාසෙ ෆ්ලොරිඩාවෙ දවසක්.

ඩ්වේන් බැරන්ටයින් උන්නෙ අවුරුදු 31 වයස ටාශා ෆීල්ඩ්ස් කියන්න ලස්සනට කතාකරන කෙල්ලට වහවැටිලා.

ටාශා ෆීල්ඩ්ස් කියන්නේ 2010 අවුරුද්දෙදි මිනීමරුවෙක් විදියට අල්ලගත්ත කෙනෙක්. ඒත් 2007 ටාශා එක්ක යාලුවෙලා උන්න ඩ්වේන්ට නම් ඒ කාලෙ කීයටවත් ටාශාව මිනීමරුවෙක් විදියට පෙනුනෙ නෑ.

ටාශායි ඩ්වේනුයි දෙන්නම single parents ලා. ටාශාට උන්නෙ දුවෙක්. ඩ්වේන්ට උන්නෙ පුතෙක්. ඉතින් මේ දෙන්නම හිතුවා මේ දෙන්නගෙ හිතේ තිබුන මේ  blended family idea එක ඇත්තටම හරිම ශෝක් කියලා. මොකද තමන් කියන්නෙ හරිම ආදරණිය කෙනෙක් කියල ඩ්වේන්ට ඔප්පු කරන්න ටාශා සැහෙන උත්සහා කර හන්දා. එයා ඩ්වේන්ට ආදරේ පිරිච්ච ලියුම් ලිව්වා. 

“මම ඔයාට මගෙ මුලු හදවතින්ම ආදරෙයි.මට හැමදාම ඔයාගෙ වෙලා ඉන්නයි ඕන. මගෙ ලොකුම බලාපොරොත්තුව තමයි අපි දෙන්නගෙ දරුවො දෙන්නව ආදරෙන් බලාගන්න ගමන් ලස්සන පවුල් ජිවිතයක් ගෙවන එක” කියලා ටාශා ලියලා එව්ව ලියුම් දැක්ක ඕනම කෙනෙක් විශ්වාස කරා “ටාශා කියන්නෙ හරිම ස්වීට් කෙනෙක්. එයාගෙ බලාපොරොත්තුව ලස්සන පවුලක් ගොඩනගාගන්න එක” කියලා. 

“ටාශා මට තේරුම් කරලා දුන්නේ එයා තමයි මට ගැලපෙනම කෙනා කියල. Single dad කෙනෙක් විදියට මට ලොකු වගකීමක් තිබ්බා මගෙ දරුවව හොඳට උස්මහත් කරන්න. ටාශා නිතරම කිව්වා මට එයා ඒකට මුලු හදවතින්ම උදව් කරනවා කියලා. ඒව තමයි ඇත්තටම මගෙ හිත දිනාගත්තෙ. මාව එයාට ආකර්ශනය කරේ” කියලා ඩ්වේන් කියන්නෙ ආන්න ඒ හන්දම තමයි.

හැබැයි මෙන්න මේ ආදරබර ලියුම්වලින්ම තමයි ඩ්වේන්ට තේරෙන්න පටන්ගන්නෙ තමන් ඉස්සරහ ඉන්න ටාශාට එහා ගිය ටාශා කෙනෙක්ව එයා හංගගෙන ඉන්නවා කියන එක. මොකද ටාශාගෙ නමට ලියුම් එනවා ගෙදරට. හැබැයි ඒ ලියුම් වල වාසගම තියෙන්නෙ එක එක ඒවා. ඩ්වේන් දන්න ටාශාට තියෙන්නෙ ෆීල්ඩ් කියන වාසගම උනාට, ගෙදරට එන ලියුම්වල ටාශා කෙම්ප්, මෝර්ටන්, හෙස් වගේ එක එක වාසගම් ලියවිලා තියෙනවා. අන්න ඒ හන්දම තමයි ඩ්වේන් ටාශාගෙන් මෙන්න මෙහෙම අහන්නේ.

“ඔයා කී පාරක් කසාද බැඳලා හිටියද අනේ? මෙහෙම එක එන නම් වලින් ලියුම් එන්නේ?” කියලා.

ඒකට ටාශා උත්තර දෙන්නෙ අඬ අඬ. අඬන ගමන් ටාශා ඩ්වේන්ට කියනවා “මම පස් පාරක් කසාද බැඳලා හිටියා” කියලා.ඒ උත්තරෙන් ඩ්වේන් ටිකක් පුදුම වෙනවා. මොකද අවුරුදු 31ක් වයස කෙල්ලෙක් පස් පාරක් කසාද බැඳලා හිටියා කියන එක පොඩ්ඩක් විතර විශ්වාස කරන්න අමාරු දෙයක් හන්දා. ඒ වගේම ඩ්වේන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ටාශා වගේ හරිම හොඳ කෙනෙක්ට පස් පාරක් කසාද බැඳලත් තමන්ගෙ කසාද ජිවීතේ ලස්සනට කරගෙන යන්න එකපාරක්වත් බැරි උනේ ඇයි කියන එක.

ඩ්වේන්ට කාලයක් යද්දි තේරෙනවා මේ ටාශා හරියට බොරු කියන විත්තිය.

“වතාවක් ටාශා මට කිව්වා එයාට ක්‍රිමිනල් ජස්ටිස් ගැන උපාධියක් තියෙනවා කියලා. ඒ වගේම එයාගෙ සීයා කෙනෙක් federal judge කෙනෙක් වෙලා හිටියා කියලත් කිව්වා. ඒ සීයා බැටරියක් පුපුරලා ඇහැක් අන්ධ වෙච්ච කෙනෙක් කියලත් එයා මට කියලා තිබ්බා” 

ටාශාට එක එක ලස්සන කතන්දර ගොතන්න පුලුවන්කමක් තිබිලා තියෙනවා වගේම එයාට ඒක මාර ඉක්මනට කරන්න පුලුවන්කමක් තිබිලත් තියෙනවා.  ඒ වගේම මෙතන තියෙන විශේෂත්වෙ තමයි ඒ හැම කතාවක්ම ඒ කතාව අහන අය සහමුලින්ම විශ්වාස කරන ලෙවල් එකකින් කියන්න පුලුවන් දක්ශතාවයක් ටාශාට තිබ්බ එක.

බොරු කියන ඒව පොඩ්ඩ පොඩ අහුවෙන්න ගත්තට පස්සෙ තමයි ඩ්වේන් ටාශා ගෙ අතීතය ගැන හොයන්න පටන් ගන්නේ.

මේ හෙවිල්ලෙන් ඩ්වේන් ටාශා ගැන හොයාගන්නෙ මහ අමුතුම කතන්දර කීපයක්. ඒවයින් එකක් තමයි ටාශා ළඟ දැන් ඉන්න දරුවට අමතරව එයාට වෙන ex husbands ලගෙන් දරුවො දෙන්නෙක් ඉඳියා කියන එක වගෙම, මෙයා දැන් මෙහෙම ඉඳියට එහෙම ඇවිත් තියෙන්නෙ ඒ දරුවො දෙන්නව අත ඇරලා දාලා කියන එක.

ඒත් ඩ්වේන් ව බයෙන් තිගස්සවන්නෙ ඒ කතාව නෙවෙයි. ටාශාගෙ ex boyfriend කෙනෙක් කියන්න යෙදිච්ච වෙන කතාවක් ගැන.

“ඔය ටාශා එයාගෙ කලින් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්ව මරලා දාලා තියෙනවා” කියලා මේ පෙම්වතා කියන කතාව එක්ක තමන් මේ ලං කරගෙන තියෙන්නෙ එච්චර හොඳ කෙනෙක් නෙවෙයිද කියන ප්‍රශ්නෙ ඩ්වේන්ගෙ හිතට ඇතුලු වෙනවා. 

“මට මුලින් ඒක පොඩ්ඩක් විශ්වාස කරන්න අමාරු උනා. ඒත් මම දිගටම ඒ ගැන හොයන්න ගත්තා” කියලා ඩ්වේන් කියනවා. ඒ වගේම මේ ටාශා මරලා දැම්මා කියන මිච් කෙම්ප් කියන මනුස්සයා ඇත්තටම අතුරුදහන් කියන කාරනාවත් හොයාගන්න ඩ්වේන්ට පුලුවන් වෙනවා.මිච්ගෙ නමට ඉස්සරහින් තියෙන “අතුරුදහන්” කියන ලේබල් එක තමයි මේ “ටාශා කියන්නෙ මිනීමරුවෙක්ද?” කියන ප්‍රශ්නාර්තෙ ඩ්වේන්ගෙ හිත අස්සෙ ලොකුවටම පෙරලි කරවන්න හේතුවෙන්නෙ.

 මේ කෙම්ප් කියන මනුස්සය අතුරුදහන් වෙලා තියෙන්නෙ ටාශා සහ එයා ලඟ දැන් ඉන්න පොඩි දුව සම්බන්ධයෙන් දාලා තිබ්බ custody battle එකක් අතරවාරෙදි. ඒ වගේම මේ මිච්ගෙ අතුරුදහන් වීම එයාගෙ ගෙදර අයට පවා ලොකු ප්‍රශ්නයක් වෙලා කියන එකත්, ඒ මිනිස්සු මිච් ගෙ social media profiles වල එක එක පණිවිඩ දදා මිච්ව හොයන්න උත්සහ කරලා තියෙනවා කියන එකත් ඩ්වේන්ට හොයාගන්න පුලුවන් වෙනවා. 

මෙන්න මේ හේතු හන්දා ඩ්වේන් ටාශා එක්ක තියෙන සම්බන්ධෙ නතර කරලා දානවා. මොකද මේ ටාශාගෙ අතීතෙ ගැන හොයන්න ගිය ගමනෙදි ඩ්වේන්ගෙ හිත ලොකුවටම කියනවා “ටාශා කියන්නෙ ඇත්තටම මිනීමරුවෙක් තමයි” කියලා. ඒ සැකේ නිසාම තමයි ඩ්වේන් පොලිසියට ගිහිල්ලා ටාශා ගැන කම්ප්ලෙන් කරන්නෙ. පොලිසිය ඩ්වේන් එක්ක එකතුවෙනවා මේ කේස් එකේ ඇත්ත නැත්ත හොයාගන්න. ඒ විස්තර වලින් “ටාශා custody battle එක දිනුවෙ එයාගෙ තුන්වෙනි හස්බන්ඩ් වෙච්ච මිච් කෙම්ප්ව මරලා දාලා” කියලා අනාවරණය කරගන්න පුලුවන් වෙනවා.

ඒ වගේම මිච්ව මරන්න ටාශා උදව් අරගෙන තියෙන්නෙ එයාගෙ හතරවෙනි හස්බන්ඩ් වෙච්ච ග්‍රෙග් මෝර්ටන්ව. ග්‍රෙග්ගෙ උදව්වෙන් තමයි ටාශා මිච්ව මරන්නෙ. ග්‍රෙග්ව මේකට එකතුකරගන්න ටාශා ග්‍රෙග්ට කියලා තියෙන බොරුව තමයි “මිච් මාව රේප් කරා” කියන එක. ටාශාට තිබ්බ ආදරේ හන්දම ග්‍රෙග් ටාශාට කරදර කරපු මිනිහව මරලා දාන්න දෙපාරක් හිතන්නෙ නෑ.

“ටාශාට එච්චර ලොකු හැකියාවක් තියෙනවා තමන්ට ඕන දේ කරගන්න තව කෙනෙක්ව නම්මාගන්න” කියලා ඩ්වේන් කියන්නේ අන්න ඒ නිසාමයි.

ටාශා කියන්නෙ කොහොමත් තමන්ට ඕන දේ කොහොමහරි කරගන්න උත්සහ කරන narcissistic මනුස්සයෙක්නෙ. ඒ හන්දම පොලිසිය එයාව අත් අඩංගුවට ගත්තම ටාශා මිච්ගෙ සිරුර වලලපු තැනට පොලිසිය එක්ක යනවා. ඒ ගිහිල්ලත් එයා පොලිසියට කියන්නේ “මිච්ව මැරුවෙ මං නෙවෙයි ග්‍රෙග්” කියලා.

මිච්ව මරන්න ග්‍රෙග් උදව් වෙච්ච එක ඇත්ත. ඒත් ඒ වෙද්දිත් ටාශා ගැන ඇත්ත තේරුම් අරගෙන උන්න ග්‍රෙග් මේ වතාවෙ නම් ටාශාගෙ වචනෙට යටත්වෙන්නෙ නෑ. එයා ටාශාට විරුද්ධව සාක්කි දෙන්න නීතිය එක්ක එක්කහු වෙනවා. 

“ටාශා තමයි මිච්ව එයාලගෙ ෆාම් හවුස් එකට එක්කරගෙන ආවෙ. අපි ප්ලෑන් කරන් ඉඳියෙ එයාව මරන්න.

 මිච් වාහනෙන් බැහැලා එද්දි මම තුවක්කුවක් අරගෙන එයා ඉස්සරහට ගියා. ඉන්පස්සෙ මම එයාට වෙඩි පහක් තිබ්බා. පපුවටමයි තිබ්බෙ.මිච් දණිස් වලින් බිම වැටිලා ටාශා දිහාවට අත දික් කරා.මිච්ගෙ කටෙනුත් ලේ පිට වෙන ගමන් තිබ්බේ. ටාශා කරේ ගිහිල්ලා මිච්ට පයින් ගහලා එයාව බිම වට්ටපු එක. ඊටපස්සෙ එයා මිච්ගෙ මූනට කෙල ගහලා මට කෑගහල කිව්වා ඉක්මනට මෙයාව ඉවර කරන්න කියලා” 

ඒ සාක්කි එක්ක 2010 දි ටාශා ෆීල්ඩ්ස්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමිවෙනවා. ග්‍රෙග් මොර්ටන්ටත් අවුරුදු 19ක සිර දඬුවම් හිමිවෙනවා. 

ඔය විදියට තමයි ටාශා අවුරුදු ගානක් තිස්සෙ ගොඩ නගාගෙන ආව බොරු කන්දක් බිමට කඩාගෙන වැටෙන්නෙ. අපරාධකාරයෙක් අල්ලා ගත්ත කියන සතුට ඩ්වේන්ට සහ පොලිස් නිළධාරින්ට තියෙන්න ඇති.

ඒත් මැරිච්ච මිච්, ටාශාගෙ බොරුවට අහුවෙච්ච තව මිනිස්සු විතරක් නෙවෙයි එයාගෙ දරුවො මේ හැමදේම කොහොම භාරගන්න ඇතිද නේද?

අන්න ඒ නිසයි කියන්නෙ “කිරි පොවන්නෙ සර්පයන්ටද කියලා දැනගෙන තමයි කිරි පොවන්න ඕන” කියලා.

Related Articles

Don't Miss


Latest Articles