අපේක්‍ෂා

අපේක්ෂා උදෙන්ම කාර්යාලයට ඇවිල්ල බලාගෙන හිටියේ මදාරා එනකන්. මදාරා සමහර දවස් වලට කාර්යාලයට එන්න පුංචි වෙලාවක් පරක්කු වෙන්නේ මේ වෙනකොට ඇය හය මස් ගැබිනියක් නිසා. මදාරා සූදානම් වන්නේ තමන්ගේ පළමු දරු ප්‍රසූතියට නිසා ඇයට තරමක සංකූලතා තිබුණා.ඒ නිසාම කාර්යාලයෙනුත් ඇයට හොඳ සහයෝගයක් ලැබුණ නිසා විනාඩි දහයක් හෝ පහළොවක් ප්‍රමාද වීම ගැන ඇයට දොසක් අහන්න ලැබුණේ නැහැ. 

වෙනදා වගේම උදේ 8.45 විතර වෙනකොට මදාරා කාර්යාලයට ආවා. අපේක්ෂා ඉක්මනින් අත් බෑගයේ දාගෙන පරිස්සමට ගෙනාපු බත් පාර්සලය මදාරා අතේ තිබ්බ හිනාවෙන ගමන්.

” අනේ මේකේ සුවඳ. මට දැන්මම කන්න හිතෙනවා “

අපේක්ෂා දීපු බත් පාර්සලයේ සුවඳට ඉව කරන ගමන් මදාරා කිවුවෙ සතුටින්.කලින් දවසේ පොරොන්දු වුණා වගේම අපේක්‍ෂා රසම රස බත් පාර්සලයක් වැඩිපුර කන්න නොලැබෙන ව්‍යාංජන කිහිපයක් එක්ක මදාරා වෙනුවෙන්ම සකස් කර ගෙන ඇවිල්ල තිබුණා.

” මට මං උයන කෑම කන්න අප්පිරිය වෙලා හිටියේ. ඔයාට ගොඩක් පින් අපේක්ෂා ” 

මදාරා කිව්වේ දවල් කෑම වෙලාවෙන් පස්සේ. අපේක්ෂා හිනාවකින් විතරක් ඒ ස්තූති කිරීම බාර ගත්තේ බොහොම නිහතමානීව. 

කාර්යාලයේ වැඩකදී වුණත් ඕනෙම කෙනෙකුට ඕනම උදව්වක් කරන්න අපේක්ෂා දෙපාරක් හිතුවේ නැහැ. තමන් ගේ පාඩුවේ වැඩ කර ගෙන ඉන්න අපේක්ෂා කාගේත් හිත දිනා ගෙන හිටියේ ඒ නිසාමයි.

” අපේක්ෂා ” 

කාර්යාලයේ හොඳම මිතුරියක් උන විහාරා එක පාරටම අපේක්ෂා දිහාවට හැරුණේ දුරකථන ඇමතුමකින් පස්සේ.

” මගේ වෙඩින් එකට ඕන බඩු වගයක් ගන්නයි සාරි එක බලන්නයි යන්න තියෙනවා. අම්මා කෝල් කළා එයාට ටිකක් සනීප මදි වගේ නිසා එන්න අමාරුයි කියලා. ඔයාට පුළුවන්ද මේ වීකෙන්ඩ් එකේ මාත් එක්ක පොඩ්ඩක් එළියට යන්න එන්න ” 

විහාරා ඇහුවේ දෙගිඩියාවෙන්.

” අනේ ඕක මොකක්ද.මං එන්නම් අනේ ” 

අපේක්ෂා එක පයින්ම විහාරා ගේ ගමනට කැමැත්ත පළ කළා. විහාරාගේ මුහුණට නැගුන සැනසිලිදායක හිනාවක්.

” හැබැයි කෙල්ලේ මේක හරිම මහන්සි ගමනක්. පොඩ්ඩක් රස්තියාදු වෙන්නත් වෙයි ” 

විහාරා ආයෙම කිව්වා.

” ඉතින් හැමදාම ඔහොම ගමන් යන්නේ නෑ නේ. අපි ගිහින් ඔයාගේ වැඩ ටික කර ගෙන එමු “

අපේක්ෂා කිව්වේ විහාරා ලඟට ඇවිල්ලා පිටට තට්ටුවකුත් දාන ගමන්.

” මහේෂ් මේ ටිකේ ටිකක් බිසී අපේක්ෂා.ඒ නිසා මේ වැඩ ටිකට එයාට කරදර කරන්නත් බැහැ.අනිත් එක සාරි තෝරනවා වගේ වැඩකට එන්න කොල්ලෝ කැමති නෑ නේ ” 

” කොල්ලෝ කැමති නැති උනාට කෙල්ලෝ කැමතියිනේ. ඔයා මට තැනයි වෙලාවයි කියන්න මම එන්නම් ” 

පොරොන්දු වුණ විදිහටම අපේක්ෂා විහාරා ගේ ගමනට සති අන්තයේදී එකතු වුණා. විහාරා බලාපොරොත්තු උනාට වැඩිය ලොකු සහයෝගයක් අපේක්ෂාවෙන් ලැබුණා වගේම ඇගේ වැඩ සියල්ලක්ම අපේක්ෂා නිසා පහසු වුණා. ඒ ගැන විහාරා හිටියේ පුදුමාකාර සතුටකින්.

” අපේක්ෂා ගේ ඇහැ හොඳයි. එයා තෝරලා දීපු සාරියට මහේෂුත් ගොඩක් කැමති වුණා ” 

සඳුදා කාර්යාලයට ආපු විහාරා අපේක්ෂාත් එක්ක ගිය සාප්පු සවාරියේ තොරතුරු හැමෝමත් එක්ක බෙදා ගත්තා. අවුරුදු විසි හයක පුංචි කෙල්ලෙක් හැමෝමත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන එක ගැන හැමෝටම ඇති වුණේ ලොකු පැහැදීමක්.

මේ අතරෙදි දුල්මිණි කියලා තරුණියකුත් කාර්යාලයේ අලුතෙන් සේවයට ආවා. ඇය ආව මුල්ම දවසෙම අපේක්ෂා හැසිරුණේ ඉහේ මලක් පිපුණා වගේ. ඇය ඉතාම ආදරයෙන් දුල්මිණීව කාර්යාලයට පිළි ගත්තා.

” දුල්මිණී කියන්නේ ඉස්කෝලේ කාලෙ මගේ හොඳම යාළුවෙක්. කොච්චර හොඳද ඉස්කෝලේ යාළුවෙක් එක්ක එකම ඔෆිස් එකේ වැඩ කරන්න හම්බ වෙන එක “

දුල්මිණීට දවසක් දෙකක් ඇතුළතම කාර්යාලය සුවපහසු තැනක් උනේ අපේක්ෂා හිටපු නිසා. අලුතින් කාර්යාලයට සේවයට ආපු දුල්මිණි කාර්යාලය පුරුදු තැනක් වගේ හැසිරුනෙත් අපේක්ෂා හැම වෙලාවෙම ඇයට උදව් කරපු නිසා වගේම ඇයට සහයෝගය දුන්න නිසයි.

මේ අතරේ අපේක්ෂා ගේ උපන් දිනය ආවා. ඒ බව හරියටම දැන ගෙන හිටියේ දුල්මිණි විතරයි. අපේක්ෂා ගේ උපන් දිනය දවසේ දුල්මිණි කාටත් කලින් කාර්යාලයට ආවේ ලස්සන පුංචි කේක් එකකුත් අරගෙනයි. අද දවස අපේක්ෂා ගේ උපන් දිනය බව කියලා දුල්මිණි හැමෝමත් එක්ක අපේක්ෂාව පුදුම කරන්න අපේක්ෂාගේ මේසය පුංචියට සරසලා කේක් එකත් ඒ උඩින් තියලා අපේක්ෂා කාර්යාලයට එනකම් බලා ගෙන හිටියා.

කාර්යාලයේ තමන් වැඩ කරන මේසය උඩ තියෙන පුංචි කේක් එකයි සැරසිල්ලයි දැක්කම අපේක්ෂා ගේ ඇස් වලට කඳුළු පිරුනා.

” ඔයා ගේ යාළුවා තමයි කිව්වේ අද ඔයා ගේ බර්ත්ඩේ එක කියලා. ඔය කේක් එක ගෙනාවෙත් එයාම තමයි ” 

අපේක්ෂා එදා දවස ගත කළේ සතුටෙන්. තමන් ගේ උපන් දිනය සමරන්න දායක වෙච්ච හැමෝටම ඇය ස්තුති වන්ත උනා.ඒත් ඇගේ දෑස් වල මොකක්දෝ දුකක් හැංගිලා තියනවා කියලා කාටත් දැක ගන්න පුළුවන් වුණා.

ඊළඟ සතියේ අපේක්ෂා හදිසියේම නිවාඩු ලබා ගත් බව අංශ ප්‍රධානියා දැනුම් දුන්නේ අපේක්‍ෂා නිමා කරන්න නියමිත වෙලා තිබුන ව්‍යාපෘතියක් පිළිබඳව තවත් කෙනෙකුට මතක් කරන ගමන්.

” අපේක්ෂා ගේ ෆෝන් එක දැන් වැඩ කරන්නේ නැහැ.මොකක්ද වෙලා තියෙන්නේ බොස් ? ” 

මදාරා ඇහුවේ කම්පාවෙන්. දරු ප්‍රසූතියට ඔන්න මෙන්න ඉන්න තමන්ට ගිය සතියෙත් අපේක්ෂා බත් පාර්සලයක් ගෙනල්ලා දුන්න නිසාත් , පහසුවෙන් ඇය නිවාඩුවක් නොදමන නිසාත් හැමෝම හිටියේ ඇය නිවාඩු ලබා ගත් හේතුව දැන ගන්න උනන්දුවෙන්.

” අපේක්ෂාට මොකක් හරි වයිරස් එකක් හැදිලා කියලා තමයි කිව්වේ. මං හිතන්නේ උණක්. hospital එකේ නතර වෙන්න කියලා ඩොක්ටර් කියලා තියෙනවා “

එහෙම කියලා කාර්යාල කාමරයෙන් අංශ ප්‍රධානියා පිටත් වුණාට පස්සේ දුල්මිණි හිටියේ කාටත් වඩා කම්පාවට සහ ශෝකයට පත්වෙලා.

“කොහොම හරි විදියකින් අපේක්ෂාව contact කර ගෙන එයා ඉන්න තැනකට යන්න ඕනේ ” 

දුල්මිනී ට කියවුනා 

” ගෙදර කවුරුහරි එයා ළඟ ඇති නේද දුල්මිණි “

මදාරා දුල්මිණි ලඟට ආවේ එහෙම අහන ගමන්. 

” එයාට කවුරුත් නැහැ “

දුල්මිණි උත්තර දුන්නේ ඇහෙන නෑහෙන ගානට. මදාරා ලොකු හුස්මක් අරගෙන දෑතින්ම මුව වහ ගත්තේ කම්පාවෙන්.

” දෙයියනේ ” 

” ඔයාලා හැමෝම අපේක්ෂා ට ආදරේ නිසයි අද මං කියන්නේ මේක. අපේක්ෂා කියන්නේ අනාථ නිවාසයක හැදිච්ච අසරණ ගෑණු ළමයෙක්. ඉස්කෝලේ කාලෙ ඉඳලම මං එයාව දන්නවා. එයා හැම වෙලේම අනිත් අය ගැන හිතපු අනිත් අයට උදව් කරන්න දෙපාරක් හිතපු නැති කෙනෙක්. එයාගේ birthday එකට උනත් මං එයාව සප්‍රයිස් කළේ එයාට එහෙම කරන්න කවුරුත් නෑ කියල මං දන්න හින්දා ” 

අවුරුදු ගානක් තිස්සෙම තමන් අපේක්ෂා ගැන දන්න ඇත්ත දුල්මිණි හැමෝටම කිව්වේ ඒ විදියට.

” එයා කවදාවත් එයාගේ හිතේ තියෙන දුක පිටට පෙන්නන්නෙ නැහැ. මං දන්නවා එයාට උදව් ඕන වෙලත් උදව් ලැබුනේ නැති අවස්ථා ඕන තරම් තිබිලා තියෙනවා.ඒ නිසාම වෙන්න ඇති එයා අනිත් අයට උදව් කරන්න දෙපාරක් හිතන්නෙ නැත්තේ. මං හිතන්නේ නෑ මේ වෙලාවෙත් එයාගෙ තනියට එයාට කවුරුත් ඉන්නවා කියලා. ඒ නිසා ඔෆිස් එකට දීල තියන ඇඩ්රස් එකක් හොයාගෙන ගිහින් හරි එයාට උදව් කරන්න ඕන. තනියෙන් ඉන්න මනුස්සයෙක් අසනීප වුණාම කොච්චර අසරණ වෙනවද කියලා ඔයාලට මං අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. අපේක්‍ෂා අපෙන් උදව්වක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ.ඒත් අපි හැමෝටම උදව් කරන එයාට උදව් කරන එක අපේ යුතුකමනේ   ” 

දුල්මිණි දෑස් වලට නැගුණු කඳුළු පිස දා ගත්තා. අපේක්ෂා ගැන ඇත්ත අහගෙන හිටපු බොහෝ දෙනෙකුගේ දෑස් දිලිසෙන හැටි දුල්මිණි ඒ වෙලාවේ දැක්කා.

” සතුටින් ඉන්නවා වගේ පෙන්නන මිනිස්සු ඇත්තටම ඉන්න සතුටින් නෙමෙයි. අපි අපේක්ෂා ට උදව් කරමු ” 

මදාරා එහෙම කිව්වේ අපේක්ෂා ගැන තොරතුරක් හොයා ගන්න මානව සම්පත් අංශයට යන්න සූදානම් වෙන ගමන්.

More Stories

Don't Miss


Latest Articles