“ඔයාගේ හදහන ඉල්ලන් එන්න කියලා අම්මා කිව්වා…”
පාරින්ද එසේ පැවසූයේ ඉසුරිගේ නිවසට පැමිණි සවසකය. අවුල්ව තිබූ හිසකේ එකට එක්කොට හිස් මුදුනට වන්නට ගැට ගසමින් රාජිණී ආලින්දයට පැමිණියේ එවේලෙහිය. පාරින්ද උන්නේ ඉසුරි සාදා ගෙන ආ තේ කෝප්පය පානය කරමින්ය. යුවතිය ඔහුට යාබද අසුනෙහි සිට නැගී සිටියේ අම්මා පැමිණෙද්දීය.
“ලොකු පුතා.කතා කරන සද්දෙ ඇහිලයි මම මේ ආවේ…”
“නැන්දා අද ගෙදරද?”
“ඔව් මේ දවස් ටිකේ ගෙදර හිටියා. නිවාඩුවක්වත් නොගෙන එක දිගටම වැඩ කළානේ.
“ඒක හොඳයි..”
පාරින්ද එසේ පැවසූයේ ඕනෑවට එපාවට බව ඉසුරි දුටුවේ ඔහු දෙස බලා සිටි නිසාය. අම්මා දකිද්දීම ඔහුගේ මුහුණ වෙනස් විය.
“කතා කර කර ඉන්නකො ලොකු පුතා. රෑට කන්න නූඩ්ලස් හදන්න කියලා ලෑස්ති වුනේ. මං චුට්ටක් ඒක බලන්නම්. ලොකු පුතත් කාල යන්න නතර වෙන්න.”
එවරත් පාරින්ද හිස වැනුවේ ඕනෑවට එපාවටය. අම්මා යළිත් නිවස තුළට ඇවිද යනු බලා සිටි ඉසුරි ඔහු අසලින් අසුන් ගත්තේ පාරින්ද විසින් දිගු කළ හිස් තේ කෝප්පයත් දෑතට ගෙනය.
“එයා අද මොකද ගෙදර.”
“මේ දවස් ටිකේ අම්මට නිවාඩුයි කියලා කිව්වා.”
“ඔයා මට නිකමටවත් කිව්වෙ නෑනේ. අම්මා ගෙදර ඉන්නවා කියලා.”
“ඒක ඉතින් ඔයාට කියන්න තරම් විශේෂ දෙයක් උනේ නෑ.”
“එයා ඉන්න බව දන්නවනං මං එන්නේ නෑ.”
“ඇයි ලොකු අයියේ ඔයා අම්මට එහෙම කතා කරන්නේ. නෑ කමට බැලුවොත් ඒ ඔයාගේ නැන්දා. අපි අතර බැඳීමක් ඇතිවෙන්න යන්නේ. මට ඔයාගේ අම්මා, අම්මා වෙනවා වගේම මගේ අම්මත් ඔයාට අම්මා වෙන්න ඕනේ.”
“අනේ මේ නොදන්න මගුල් ගැන කතා නොකර ඉන්නවා. මට කියන්න තියෙන දේවල් මෙතන කියන්න බෑ.”
“පාරින්ද අයියේ මොන තත්වේ හිටියත්, මොන දේ කලත් ඒ මගේ අම්මා. තාත්තා අම්මව දාලා ගියපු වෙලාවෙ අම්මත් අපිව දාලා ගියානම් අපි අද මෙහෙම කතා කරන්නවත් ජීවත් නොවෙන්න තිබුනා.”
“එයා හිටියට වඩා නම්බුයි තමුසෙලාට එහෙම කළා නම්.”
ඔහු පැවසූයේ හිතක් පපුවක් නැති ගණනටය.
“ප්රශ්නයක් දිහා ඔය තරම් සරලව බලලා හදිසි තීරණ ගන්නවත් උත්තර හොයන්නවත් එපා. අදටත් මං විශ්වාස කරන්නේ නැහැ මගේ අම්මා වැරදි ගමනක් ගියා කියලා. අම්ම එහෙම කළානං අම්මට බෑ අපි ගැන මේ තරම් හිතන්න. ඔයා කතා කරන්නේ අම්මගේ එෆ්බී එක ගැනනම් එහෙම නැත්තං ටික්ටෝක් එක ගැනනම් එයා සමහර විට ඒ ස්ට්රෙස් රිලීස් කරගන්න කරපු දේවල් වෙන්න ඇති. අමතක කරන්න එපා පාරින්ද අයියේ තාත්තා අපිව දාලා යද්දි අම්මා හරි පොඩි වයසක ගෑනියක්. එයාටත් තිබුණා දෙපාරක් හිතන්නෙ නැතුව අපිව දාල යන්න. මතුපිටින් බලලා තීරණ ගන්න එපා. ඔයා හිතන්නේ අම්මා අඳින කොට ස්කර්ට් එක ගැනනම් කරන මේකප් එක ගැනනම් රතු පාට ලිප්ස්ටික් එක ගැනනම් ඔයා දැක්කේ ඒ ටික විතරයි. හැබැයි ගොඩක් දවස් වලට අම්මගේ කඳුළු මම දැකලා තියෙනවා. එයාගේ හිතේ තියෙන පීඩනයට එයා සමහර වෙලාවට කෑ කෝ ගහලා සැරවෙලා අපිට කතා කළාට එයා හොඳින් ඉන්න දවස්වල ලොකු පුතා ආවද කියලා අහලා තියෙනවා. අදටත් අපේ අම්මගේ හිතේ ඔයා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා ලොකු අයියේ.”
“බම්බුව…..”
“ඔයිට වඩා මිනිස්සුන්ට ටිකක් කාරුණික වෙන්න බලන්න. සම්පූර්ණයෙන්ම සුදු මිනිස්සු මේ ලෝකේ නෑ. ඔයා උනත් මම උනත් අනිත් මිනිස්සු උනත් සුදු කළු දෙකම කවලම් වෙච්ච මිනිස්සු. ඒ නිසා අමතක කරන්න එපා හැම මනුස්සයෙකුටම සතුට වගේම දුකක් දැනෙනවා කියලා.”
“ආ…දැන් ටිකක් කියවනවා වැඩියි.”
පාරින්ද බලා සිට පැවසූයේ කෝපයෙන්ය.
යුවතිය දිගු සුසුමක් මුදා හැරියේ ඉවත බලාගෙනය. කුමක් දෝ හේතුවකට වෙනදා මෙන් නිහඬව සිටින්නට ඇයට සිතෙන්නේ නැත.
“අනේ මං තරහෙන් කියනවා නෙමෙයි. තේරුම් ගන්න ලොකු අයියේ. මේ හැම ප්රශ්නයක්ම අපේ ජීවිතවලට අදාල කර ගත්තොත් අපි කොහොමද සතුටින් ඉන්නේ?. මට මේ හැම කෙනෙක්ම අමතක කරලා ඔයාගේ ලඟට එන්න බෑ. එහෙම උනහම කවදාවත් මට ඔයා දිහා ආදරෙන් බලන්න බැරි වෙයි. මං දන්නවා එළියේ මිනිස්සු ගොඩක් දේවල් කියනවා. කවද හරි දවසක ඔයා මාව දාලා ගියොත් කසාද බැඳලා හරි නොබැද හරි මිනිස්සු මටත් ඒ ටිකම කියයි.”
“තමුසෙට මගේ අතින් වැරැද්දක් වෙලා නෑනේ.
“වැරැද්දක් වෙන්න ඕනමද මිනිස්සුන්ට කතන්දර කියන්න. ඔයා මේ ගෙදරට ඇවිල්ලා මෙතන ඉඳගෙන මමත් එක්ක කතා බහ කරලා යනවා කියලා දන්නේ මමයි මේ ගෙදර මිනිස්සුයි ඔයාගේ ගෙදර මිනිස්සුයි විතරයි. හැබැයි ඔයා මේ ගෙදර ගේට්ටුවෙන් ඇතුල් වෙද්දි ඔයාව දකින මනුස්සයෙක්ගෙ හිතේ වැරදි චිත්රයක් ඇදෙන්න බැරිද. කාලයක් තිස්සේ ඔයා මේ ගෙදරට යද්දි එද්දි මිනිස්සු අපි දෙන්න ගැන වැරදි වැටහීමක් ඇතිකර ගන්න බැරිද. ඒවා වචන වෙලා සමහර තැන්වලදී මිනිස්සුන්ගේ කටින් පිට වෙන්නේ නැද්ද. මගේ අම්මා ගැන කවුරු හරි ඔයා එක්ක හරි ඔයාගේ අම්ම එක්ක හරි වැරදි කියනවා වගේම ඉසුරිගේ දැන් ගන්න දෙයක් නෑ “පාරින්ද කොයි කාලේ ඉඳලාද ඔය ගෙදරට රිංගන්නෙ…” කියලා ඒ මිනිස්සුම තව කෙනෙක් එක්ක කියනවා වෙන්න බැරිද…
“මං වැදගත් විදිහට ජීවත් වෙන්නේ කියලා මිනිස්සු දන්නවා..”
“මට වඩා ඔයා ලෝකෙ ගැන දන්න මනුස්සයෙක් ලොකු අයියේ…”
“වැඩක් නැති කතා වැඩක්ම නෑ. මේ මට ඕගොල්ලන්ගේ අම්මගේ නූඩ්ලස් කකා ඉන්න වෙලාවක් නෑ. හඳහන තියෙනවානම් ගෙනත් දෙන්නකෝ.”
ඉසුරි නිවස තුළට ගියේ කිසිවක් නොපවසමින්ය. තවදුරටත් ඔහුට මේ කිසිවක් තේරුම් කළ පළක් නොවන බව ඇය දනී. අවසන අල්මාරියේ කෙළවරක පරිස්සමට තැන්පත් කර තිබූ හඳහන ගෙනැවිත් ඇය ඔහු අත තැබුවේය.
“අම්මට කියලා යන්න….”
ඇය එපමණක් පමණක් පැවසූයේ ඔහු යතුරුපැදියට නගිද්දීය. කුකුල් මස් කිලෝ එකක් ගෙන එන්නේ ඇයි ඇය මින් විනාඩි කිහිපයකට පෙර සොහොයුරාව හන්දියට යැව්වේ පාරින්දට විශේෂ කෑම වේලක් ලබාදීමට අවැසි නිසා බව ඉසුරි දනී. එසේ නොවේනම් නූඩ්ලස් සෑදූ දිනවල එයට බිත්තර දෙකක් දමනවා විනා කුකුළු මස් සාදන සිරිතක් මෙම නිවසෙහි නොවේ නොවේ.
අවඥාවෙන් සිනහසුණු පාරින්ද යතුරුපැදිය පණගන්වා ගත්තේ ඉසුරි මිදුලේ සිට හිස් බැල්මෙන් බලා උන් නිසාය. අම්මා යළිත් ආලින්දයට පැමිණියේ ඔහු ගේට්ටුවෙනුත් පිටවුවාට පසුවය.
“ලොකු පුතා ගියේ ඇයි ඉසුරි. ඔයා ඒ ළමයට කිව්වෙ නැද්ද කාල යන්න ඉන්න කියලා.”
“එයාට පරක්කු වෙනවා කිව්වා අම්මා.$
“ඔයාගේ වැරැද්ද ඉසුරි. පරක්කු වෙනව කිව්වත් චුට්ටක් කතාබහ කරලා ඒ ළමයා තියාගන්න තිබුණනේ. ඒ දරුවා බලනව ඇති අම්මා ගෙදර ඉන්න දවසටවත් ඇයි කෑම ටිකක් කන්න නොදෙන්නේ කියලා. ඔයා දන්නවනේ ලොකු පුතා ටිකක් ආඩම්බර ළමයෙක්. එක පාරට අපි කෑම කන්න කියපු ගමන් ඒ ළමයා පැලා නතර වෙන්නෙ නෑ.”
අම්මා දෝෂාරෝපණය කළේත් ඉසුරිටමය. කෑ ගසා හඩන්නට වුවමනා වුවත් ඕ දෑස් පියාගෙන තමාව දරා ගනිමින් සිටියාය.
“ඔයාලා කාලයක් තිස්සේ දන්න හඳුනන ඥාතීන් බව හැබෑව. ලොකු පුතා අපිට අමුත්තෙක් නොවන බවත් හැබෑව. ඒ උනාට ඉසුරි ඔයා හැම තිස්සෙම ලොකු පුතාට සලකන්න ඕනේ ඔයාගේ අනාගත සහකාරයා කියන තැන ඉඳලා මිසක්කා ඒ පොඩි කාලේ ඉඳලම ඔයාගේ ගෙදරට ආපු ගියපු ලොකු අයියා කියලා හිතාගෙන නෙමෙයි. මේ කසාද ජීවිතේ හිතන තරම් සරල නෑ ඉසුරි. අපි හිතනවට වඩා දෙයක් එයාලා අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒක හින්දා ඉසුරි ඒ වැරැද්ද ඔයා අදම හදාගන්න ඕනේ.”
එවර අම්මාගේ හඬ මදක් දැඩි වී තිබිණ. ගෙවී ගිය දින කිහිපයේදී සමහර විට ඕනෑවටත් වඩා කියවන රාජිණී යළි උපත ලබා සිටියාය.
“එහෙම කරන්න තිබුණා එයා එහෙම හිතනවනම්…”
ඒ පිට පැන්නේ කලක් තිස්සේම අපැහැදීමක් සටහන් කරමින් යුවතියගේ සිත්හි එකතු වී තිබූ කලකිරීමය.
“එයා හැමදාම ඔහොම තමයි. එයා අපේ අක්කට විශේෂ තැනක් දෙනවා අපි දැකලා නෑ. එයාටයි නැද්දටයි මේ ගමේම ඉන්නේ හොඳ මිනිස්සු. අපේ ගෙදර විතරයි නරක කරුමක්කාර මිනිස්සු ඉන්නේ. අනේ මේ අම්මේ ලොකු අයිය නලවන්න තියාගන්න එපා. එයත් ඉස්සර ඉඳපු ලොකු අයිය නෙමෙයි…මාර ලොකුකමක් තියෙන්නේ”
ඉසුරි පුදුමයෙන් දෑස් විසල් කරගෙන පසුපස හැරුනේ ඒ හඬටය. ඈ පසු පසින් අම්මාත් මඳක් එහාට වන්නට බිත්ති කණ්ඩියට දෑත් තබාගෙන පහතට නැවී උන් සොහොයුරියත් විය.
තමා සේම අම්මාත් සොහොයුරිය දෙස හැරී බලනු ඉසුරි දුටුවේ එවේලෙහිය.
ඒ අවසරයෙන්ම යුවතිය කාමරයට රිංගා ගත්තාය.
“ඔයාගේ ජීවිතේ වටින්නේ ඔයාට. ඒ නිසා ඔයාගේ ජීවිතේ ගැන තීරණයක් ගන්න ඕනේ ඔයා. තවදුරටත් තමන්ගේ වටිනාකම තව කෙනෙක් ළඟදි හෑල්ලු කර ගන්නවද එහෙම නැත්තං වටිනාකම ආරක්ෂා කරගන්නවද කියලා තීරණය කරන්න ඕනෙත් ඔයා. මං අහලා තියෙන දෙයක් තමයි තමන් ආදරේ කරන කෙනෙක් ළඟ නෙමෙයි තමන්ට ආදරය කරන කෙනෙක් ළඟ නවතින්න කියලා. සමහරවිට ඉසුරි මේ ඔයාට හිමි තැන නෙමෙයි වෙන්න ඇති..”
ඒ වදන් ඇගේ දෙසවන්වල දෝංකාර නංවන්නට විය. ඉංග්රීසි වචන එකතු කරමින් කැඩුණු සිංහල භාෂාවෙන් බිනර එසේ පැවසූයේ සවසය.
( යළිත් හමුවෙමු ආදරයෙන්)