“ඉතින් කොහොමද සහන්..වැඩ අපහසුවක් නෑ නේද….”
හංසිකා ඇසුවේ ඔහු වාහනයට නැගුනාට පසුවය. ඒ යමක් ඇසිය යුතු වූ නිසාය. එසේ නොමැතිනම් හංසිකා සාමාන්‍යයෙන් සේවකයන් තනිකරගෙන ආයතනය ගැන හෝ ඔවුන්ගේ පෞද්ගලික ජීවිත පිළිබඳව හාරා අවුස්සන අයකු නොවේ.
“අපේ වැඩ නං වරදක් නෑ මැඩම් ඒ උනාට සමහරුන්ගේ වැඩත් අපිට කරන්න උනහම තමයි ප්‍රශ්නෙ. මං මේ කියන්නේ ඒක කරන්න අපහසුයි කියලා නෙමෙයි. ආයතනයට ආදරය කරන මනුස්සයෙක් විදිහට අනුන්ගේ දෙයක් හරි කරලා වැඩේ ගොඩ දාන එක තමයි මගේ නම් සිරිත. ඒ උනාට ඉතින් ඩිවිෂන් එකේ අය ටිකක් කලකිරීමෙන් ඉන්නේ.
“මොකක්ද ප්‍රශ්නය මම එහෙම දෙයක් ගැන දැනගෙන හිටියේ නැහැ.”
හංසිකා එවර ඇසුවේ ඔහු දෙස බලා දෑස් සිහින් කර ගනිමින්ය.
“මං හිතන්නේ මම මැඩම් එක්ක එහෙම දෙයක් ගැන තනියම කතා කරන එක වැරදියි. ඇත්තටම මැඩම් ඩිවිෂන් එකේ ගොඩක් අය ඒ ගැන කලකිරීමෙන් ඉන්නේ.”
“නෑ සහන්…එහෙම කතා කරන එක වරදක් නැහැ. මොනවා හරි ගැටළුවක් තියෙනවානම් ඒ ගැන හොයලා බලන එක අපේ යුතුකමනේ. ඔයා එහෙම දෙයක් මමත් එක්ක තනියෙන් කතා කළා කියලා මම මෙතනින් එහාට ඒක ගෙනියන්නේ නැහැ. අවශ්‍ය තැනකදි සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නවා මිසක්”
“මැඩම් එකවුන්ට් එකෙන් මැනේජ්මන්ට් එකට මාරු කරපු බිනර…”
“ඔව් බිනර..
“මිනිහා ටිකක් අමාරුකාරයෙක් කියලා මැඩම්ට හිතෙන්නෙ නැද්ද?”
“අමාරුකාරයෙක් කියලා කිව්වේ..”
මට හිතෙනවා මිනිහා කාගේ හරි පන්දමකට ඔතෙන්ට ඇවිල්ලා කියලා. සමහරවිට මැඩම්ලට හිතවත් කෙනෙක්ගෙන් වෙන්න ඇති. ඇත්තටම බිනරට ඔය පෝස්ට් එකට සුදුසුකම් නැහැ. වර්කින් එක්ස්පීරියන්ස් තියෙන මනුස්සයෙක් නෙමෙයිනේ. අනිත් එක එයා වටේ ඉන්න මිනිස්සු ලව්වලා වැඩ කරවා ගන්න හදනවා මිසක් එයා වැඩක් කරන බවක් පේන්නත් නෑ. මැඩම් මං ගැන වැරදියට හිතන්න එපා. මං මේ කියන්නේ ඩිවිෂන් එකේ අය කතා කරන ඒවා. බිනර මට සාමාන්‍ය යාළුවෙක් අපි දෙන්න අතර එහෙම ගැටළුවක් නෑ. මං කීප සැරයක්ම ඌට අවවාද කලා මැඩම්. ඔෆිස් එකේ කෙල්ලන්ටත් එයාගෙන් ප්‍රශ්න කියලා කීප දෙනෙක් කතා වෙනවා මැඩම්.”
“කෙල්ලන්ටත් ප්‍රශ්න කියන්නේ…”
“මිනිහගේ හැසිරීම තමයි. මං හිතන්නේ අර එකවුන්ට් එකේ ඉසුරි කියල ගර්ල් කෙනෙක් ඉන්නේ.”
“ඔව්…”
“එයාගේ පස්සෙන් යනවා වගේ කියලා අපිට නෝට් වෙලා තියෙනවා. අනිත් කෙල්ලො එක්කත් ඕනවට වඩා වැඩියි.”
“අපිට කියන්නේ….”
“මම නෙමෙයි මැඩම්..මං මේ කතා කරන්නේ ඩිවිෂන් එකේ අය කතා වෙච්ච දේවල් ගැන. ඒ වගේම එයා නිකං ගෑණු ළමයි හැමෝටම විහිළු කර කර එතන අමුතුම චරිතයක් රඟපාන්න හදනවා.”
“අමුතුම චරිතයක් කිව්වේ..”
“මැඩම්ට තේරෙනවනේ.. ඔය කට්ටිය එකතු උනහම කතා වෙන්නේ කුකුලා කියලා..අන්න ඒ වගේ. මං හිතන්නේ ආයතනයක් විදිහට ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. අපි මෙතනට ඇවිල්ල පොඩි කාලයක් උනාට මැඩම් අනිත් අය කියන කතා වලින් අපි දන්නවා මෙතන හරි ලස්සනට වැඩ කෙරුණු තැනක් කියලා. විනය උපරිමයෙන්ම රැකුණු තැනක් කියලා. මං කියන දේ වැරදිද දන්නේ නැහැ මැඩම්. අනිත් ගෑනු ළමයි ඒ හැසිරීම නිසා අපහසුවට පත්වෙලා ඉන්නේ. ආයතනයට ආදරය කරන කෙනෙක් විදිහට මටත් බිනරගේ ඔය වැරදි ඔය විදිහටම පේනවා. එයා මේ ආයතනයට ගරු කරන කෙනෙක්වත් ආදරය කරන කෙනෙක්වත් නෙමෙයි. හෙන රස්තියාදුකාරයෙක් මැඩම්..එළියෙන් ගෙනාපු පුරුදු ලේසියෙන අතාරින්න බෑ.”
“එහෙමද….තැන්කියු සහන් මේ ටික කිව්වට. ප්‍රොමිස් මේ දේවල් සහන්ගෙනුයි මගෙනුයි පිටට යන්නේ නැහැ. ආයතනයේ පරිපාලනය විදිහට අපි ටිකක් ඒ ගැන සැලකිල්ලෙන් ඉඳලා ක්‍රියාමාර්ගයක් ගන්න බලන්නම්. ඇත්තටම එයාගෙ හැසිරීම එහෙමනම් ඒක ආයතනයට ප්‍රශ්නයක් තමයි…..ඔයා ඉස්සරහ හෝල්ට් එකෙන් බහිනවා නේද?”
හංසිකා එසේ පැවසූයේ ඉදිරිය බලාගෙනය. සහන් යනු කවුරුන්දැයි ඕ මේ විනාඩි කිහිපයට හොඳින් අවබෝධ කරගත්තාය. තරුණයා වාහනයෙන් බැස මගී පාලම මතට නැගී දුම්රිය පොල දෙසට ඇවිද යන අයුරු බලා උන් හංසිකා වැගන් ආර් වර්ගයේ රථය යළිත් එක පෙළට ඇදෙන වාහන අතරට අවතීර්ණ කළේ මුව මත ඇඳී ගිය අවඥා සහගත සිනහවත් සමඟය. මේ වන විටත් සොහොයුරා කාර්යාලය තුළ සැමගේම සිත් දිනා සිටින්නේ එහි අයිතිකරුවාගේ පුතා විලසින් නොව සියල්ලටම හිතවත් සැහැල්ලූ තරුණයෙකු විලසින්ය. තාත්තා, අම්මා සමග පමණක් නොව හංසිකා සමගද ඊයේ පෙරේදා කියා සිටියේ ඔහු සිතුවාටත් වඩා ඉක්මනට බිනර කාර්යාලයේ වැඩ සඳහා උනන්දුවෙන් පසුවන බවය. මේ සියලු වෙනස්කම් වලට තම යෙහෙළියගේත් සහාය ලැබුණු බව හංසිකා දනී. “මල්ලි නිතරම ඔයාට කතා කර කර කරදර කරනවා නේදැයි” ඊයේ පෙරේදා ඕ සුලක්ෂාගෙන් විමසද්දී ඕ පවා පවසා සිටියේ “කොල්ල කතා කලාම මගේ වෙහෙසත් නිවෙනවා” යනුවෙන්ය.
කුමක් හෝ හේතුවක් නිසා සහන් ඔහු සමඟ අමනාපයෙන්ය. ඉසුරිත් සොහොයුරාත් සමීපව කතා කරමින් සිටින අයුරු හංසිකා පවා ඕනෑ තරම් දැක තිබේ. එහෙත් ඔවුන් අතර මිතුරුදමකට එහා ගිය සම්බන්ධයක් ඇතැයි සිතන්නට හංසිකා මැලි වූවාය. සොහොයුරා ගැන සේම ඉසුරි ගැනත් සියල්ලෝම කතා කරන්නේ පැහැදීමෙන්ය. කෙසේ වෙතත් සහන් පිළිබඳව විමසිල්ලෙන් සිටිය යුතුයැයි අවසන හංසිකා සිතා ගත්තාය.
“බිනර කවුද කියලා දැනගත පු දවසට ඌට වලක් කපාගෙන වැළලෙන්න හිතෙයි.”
අවසන ඇය තමාටම පවසා ගත්තේ මුවගට සිනහවක් නගා ගන්නා ගමන්ය.
***********
“උදේට ටිකක් වේලාසනින් ලෑස්ති වෙලා ඉන්න..මම ගන්න එන්නම්..”
ලොකු අයියාගේ කෙටි පණිවිඩය ක්ලික් හඬ නංවමින් පැමිණෙද්දී ඉසුරි උන්නේ නින්දත් නොනින්දත් අතරේය. සාමාන්‍යයෙන් මේ වේලාවට ඇයට කෙටි පණිවිඩයක් එවන්නේ බිනරය. ඔහේ මොනවා හෝ කොටමින් නින්දට පෙර විනාඩි කිහිපයක් ජංගම දුරකථනයෙහි රැඳී සිටීමේ පුරුද්ද දැන් දෙදෙනාටම වේ. ඒ සමහරක් ඔහේ කියවන වල්පල්ය. එහෙත් ඒ වචනතුල වූයේ සැහැල්ලුවකි.
කාර්යාලයේ සිට පැමිණි ඉසුරි රාත්‍රී ආහාරයවත් නොගෙන ඇඳෙහි වැතිර සිටියේ සවස සිට දැනෙන්නා වූ හිසරදය නිසාය. සොයුරිය විසින් ගෙන ආ වේදනා නාශක පෙති දෙක පානය කලත් ඒ හිසරදයෙහි අඩුවක් වී තිබුණේ නැත. සවස මිතුරු සාදයකට යනවායැයි බිනර තමාට පැවසූ බව ඇයට සිහිවූයේත් ඒ හදිසියේමය.
ලොකු අයියා තමා හමුවී කතා කරන්නට සූදානම් වන්නේ විවාහය ගැන බව විශ්වාසය. ඇය අඳුරු කාමරය පුරා දෑස් එහෙටත් මෙහෙටත් යැව්වේ යළිත් වරක් නැගී ආ කඳුළු සඟවා ගන්නටය.
“ඔයා නිදාගන්නකෝ අක්කේ.. මම සාලෙ මේසෙට වෙලා පාඩම් කරන්නම්”
එසේ පැවසූ සොහොයුරිය කාමරයේ විදුලි පහන් නිමා දැමුවේ මින් විනාඩි කිහිපයකට ඉහතදීය. ලොකු අයියා සමඟ අරඹන ජීවිතය පිළිබඳව ඇගේ සිතෙහි වූයේ බියක්, සැකක්, සාංකාවක් පමණි.
තමාගේ ජීවිතයේ අතීතයත් වර්තමානයත් පැහැදිලිව වෙන් කර හඳුනාගත හැකි එකක් නොවන බව විශ්වාසය. මින් වසර කිහිපයකට එහා ගිය අතීතයේ දිනක තාත්තා තමා සතු සියලු බඩුබාහිරාදිය ගමන් බෑග් කිහිපයක පටවාගෙන මෙම නිවසින් පිටව ගියේ දික්කසාදයට පෙරය. නිවස තුළ සිටින අම්මා කුමක් කරනවාදැයි සොයා නොබැලූ ඉසුරි ආලින්දයේ පඩිය මත වාඩි වූයේ තාත්තා රැගත් ත්‍රී රෝද රථය නික්ම ගිය රෝද පහරවල් දෙස බලාගෙනය. ඉන් විනාඩි කිහිපයකට පසුව පාපැදියකින් පැමිණි පාරින්ද ඉසුරිගේ නිවසෙහි දොරකඩ නතර වූයේ කලබලයෙන්ය.
“තාත්තා ගියානේ..”
පාපැදිය බිමට අතහැරී ඔහු ඈ අසලින්ම අසුන් ගත්තේ ඉසුරිගේ කරට අතක් දමා ගෙනය.
“අර ගෑනිත් එක්ක ඉන්න බෑ කියලා යනවලු. අපේ අම්මට ඇවිල්ලා කිව්වා. ඒ ගමන්ම තමයි මම ආවේ.”
එවේලෙහි නංගීත් මල්ලිත් දෙදෙනාම උන්නේ පාසලේය. කෑ ගසා හඬන්නට වුවමනා වුවත් ඉසුරි උන්නේ ගොළු වීගෙනය.
“කවුරු ගියත් කමක් නෑ මං ඉන්නවනේ….”
එවේලෙහි ලොකු අයියා තමාගේ හිස අතගාමින් පැවසූයේ දයාබරවය. ඒ මතකයේ හැටියට තමා ඔහුව තාත්තා තරමටම විශ්වාස කළ මුල්ම දිනයයි.
එදා සිට ලොකු අයියා හැසිරුනේ මහ මිනිසෙකු සේය. ඔහුගෙන් ඇයට ලැබුණේ අණ කිරීම්ය. නගරයේ ජාතික පාසලේ ඉගෙනුම ලැබුවත් ඔහු ගමේ පාසලෙහි උන් මිතුරන් ලවා ඇයව පාලනය කළේය. පාසලේදී සිදුවන කුඩා සිදුවීමක් පවා ලොකු අයියාගේ කනෙහි තැබුවේ ඒ මිතුරන්ය.
“ලොකු අයියගෙන් අහන්න ඕනේ…අනේ ලොකු අයිය දැන ගනීද දන්නේ නෑ මට බයයි. අම්මෝ ලොකු අය දැනගත්තොත්….”
නිරතුරුවම එවැනි වදන් ඇගේ මුවින් පිට වූයේ ඉන් පසුවය. තමාගේ අහිංසක කම තරමටම ඔහු සැර පරුෂ අයෙකු වූ බව විශ්වාසය. ඔහුගේ ගතිගුණ නැන්දාගේ සේයැයි පවසන්නේ අම්මාය. විටෙක ඒ මුවින් පිටවන වදන් තියුණු ඊතල පහරවල් සේය.
“මං දැන් මොනවා හිතුවත් මොනව කලත් වැඩක් නෑ…”
අවසන ඈ එසේ සිතුවේ දිගු සුසුමක් මුදා හරිමින්ය. යළිත් වට්ස්ඇප් පණිවිඩයක් දුරකථනයට පැමිණියේ එවේලෙහිය.
එහි වූයේ වර්ණවත් විදුලි බුබුළෙන් අලංකාර වූ භූමියක සිට බිනර එවූ සේයාරුවකි.
“තවමත් එළියෙද ඉන්නේ…”
ඇය එසේ කෙටි පණිවිඩයක් යැවූයේ දුරකතන තිරයෙහි වේලාව රාත්‍රී එකොළහයි හතළිහ ලෙස සටහන්ව තිබෙනු දුටුවාට පසුවය.
“තව ටිකකින් ගෙදර යනවා. ඔයා අහැරිලාද…ඇයි මෙච්චර වෙලා ඇහැරගෙන”
එහා පසින් එවූ කෙටි පණිවිඩයට පිළිතුරක් යවන්නට ඉසුරි ඉක්මන් වූයේ නැත. නැන්දලා විවාහයට දින නියම කරගෙන ඇති බව මෙවේලෙහි ඔහුට පැවසීම නුසුදුසුයැයි ඈ සිතුවාය. ඊයේ පෙරේදා හා සිට තමාගේ ප්‍රශ්න ගැන තමාටත් වඩා ඔහු වද වෙන බව ඉසුරි දනී.
“ප්‍රශ්නෙකද…..”
එහා පසින් යළිත් කෙටි පණිවිඩයක් පැමිණියේ ඒ විරාමයේදීය.
“නෑ නින්ද ගියේ නෑ. තවත් ගොඩක් රෑ වෙනකල්නම් ඉන්න එපා. ගෙදර අය කලබල වෙයි.”
“පර්මිෂන් අරගෙන ආවේ. ඒ නිසා අවුලක් නෑ. ඒ උනාට ඔයා හේතුවක් නැතුව මේ රෑ ඇහැරගෙන ඉන්න එපා. අපි ප්‍රශ්න කාලයාට බාර දෙමු. මොනවා උනත් ඔයාගේ ළඟ හැමදාම මම ඉන්නවා. හොඳ ළමයා වගේ දැන් නිදාගන්න.”
එහා පසින් පැමිණි කෙටි පණිවිඩය යුවතියගේ දෙතොල් අතරට ගෙන ආවේ මන්දස්මිතයකි. සැබවින්ම ඔහු හොඳ යහළුවෙකි.
එහෙනම් පරිස්සමට ගෙදර යන්න මම නිදා ගන්නම්. කීයට හරි කමක් නෑ මට ගෙදර ගියා කියලා පොඩි මැසේජ් එකක් තියන්න.
එසේ පැවසූ යුවතිය දුරකථනය පසෙක තැබුවේ තමා ගැනම උපන් මහත් වූ ආත්මානුකම්පාවක් දරාගෙනය.
( හමුවෙමු ආදරයෙන්……..)