අපර්ණා ලස්සනට නවලා තියෙන විවිධ වර්ණ වල සාරි දිහා ඇස් යැව්වේ ආසාවෙන්. මේ සාරි අතරින් තෝර ගන්නේ මොන එකද කියලා හිතා ගන්න බැරුව අපර්ණා ඊළඟට මාලක දිහා.
” ඔයා ආසම විදිහෙන් එකක් තෝර ගන්න අපර්ණා. ඔයා තෝර ගන්න ඕන එකක් මට හොඳයි ”
අපර්ණා ට දැනුනේ සැහැල්ලුවක්. තමන් ආස දෙයක් කරන්න ,තමන්ගේ කැමැත්තට ඉඩ දෙන්න අපර්ණා ට මේ අවසර ලැබෙන්නේ සෑහෙන කාලයකට පස්සේ. ඒ සැනසීම අපර්ණා හිතේ හැටියට වින්දා.
” මට ඇත්තටම මේ විච්චූරණ ඕන නැහැ මාලක. ඔයා කියන නිසයි මං සාරියක් හරි ගන්න ආවේ ”
අපර්ණා කිව්වේ අවංක චේතනාවෙන්. විවාහ ගිවිස ගැනීම ඉතා සරලව සහ දෙපැත්තේ ඥාතීන් එක්ක විතරක් පවත්වන්නයි අපර්ණා ට උවමනා වුණේ. ඒත් අපර්ණා කාලෙකින් වින්දේ නැති සතුටක් ඇයට ළඟා කරලා දෙන්න මාලකට හැම වෙලේම උවමනා වුණා.
සුදු සහ කහ මිශ්‍රිත ලස්සන බතික් සාරියක් අන්තිමේදී මාලකම අපර්ණා ට තෝරලා දුන්නා. ඒ සාරියට ගැලපෙන්න සුදු කමිසයට කහ පාට ටයිපටියක් පළඳින්නයි මාලක ගේ සැලසුම වුනේ.
සාරියට ඕන කරන සරල ආභරණ කිහිපයකුත් මාලකම අපර්ණාට තෝරලා දුන්නා. අපර්ණා අත් දෙකෙන්ම ඒ බඩු ටික අර ගෙන වාහනයට නැග්ගේ පුදුමාකාර සතුටකින්.
” අද විතරයි මම ඔයාට මේව තෝරලා දෙන්නේ. ඊළඟ දවස හිතේ නිදහසේ ඔයා කැමති දේ කරන්න අපර්ණා ”
වාහනය පණ ගන්වන අතරේ මාලක එහෙම කිව්වේ ආදරයෙන්.
” තමුසෙගේ ඔලුව හොඳ නැද්ද ඔය විච්චූරන අඳින්න ”
අපර්ණාට අතීතයෙන් ආපු හඬක් යන්තමින් ඇහුනා.
” ඇඟ වැහෙන්න ඇඳුමක් අඳිනවකෝ අපර්ණා ”
දණ හිසෙන් පහළ ගවුමක් ඇඳපු දවසක ශාක්‍ය තමන්ට චෝදනා කරපු හැටි අපර්ණාට මතක් වුණා. මොන තරම් පිළිවෙලට ඇන්දත් , මොන දේ පිළිවෙලට කළත් ශාක්‍යට ඒ හැම දේකම අඩුපාඩුවක් පෙනුනා.
” මේ සුප් එකේ ලුණු නැහැ ඕයි. තමුසෙට ලුණු දාන්න ඔච්චර අමතක වෙනව නම් හම්බන්තොට ලුණු ලේවායේ ෆොටෝ එකක් ගහ ගන්නව කුස්සියේ “
ශාක්‍ය එහෙම කිව්වේ ඔහු හොඳටම අසනීප වෙලා ඉන්න දවසක අපර්ණා සකස් කරලා දීපු සුප් එක බොන ගමන්.ඔහුට රස හරියට දැනෙන්නෙ නැත්තේ අසනීපයෙන් ඉන්න නිසා කියල තේරුම් කරන්න අපර්ණා මහන්සි ගත්තේ නැහැ.
ප්‍රේම සම්බන්ධයකින් පස්සේ පවුල් දෙකේම ආශිර්වාද අරගෙන ශාක්‍යත් එක්ක විවාහ වුණත් අපර්ණාට ඔහුත් එක්ක ගෙවන ජීවිතය හිතපු තරම් පහසු උනේ වත් සුවදායක උනේ වත් නැහැ. විවාහ ජීවිතයේ වගකීම් වැඩි වෙනවාත් එක්කම , කාර්යාලයේ වගකීම් වැඩි වෙනවාත් එක්කම ශාක්‍ය අසීමාන්තික ලෙස කෝපයට පත් වෙන්න පටන් ගත්තා.කාර්යාලයේ තියෙන පීඩනකාරී තත්ත්වය පවා ශාක්‍ය නිදහස් කර ගන්න පුරුදු වුණේ අපර්ණා ගෙන්. අපර්ණා ඒ වෙනකොට ගිණුම් ලිපිකාරිනියක් විදියට පෞද්ගලික ආයතනයක සේවය කරමින් හිටියා. උදේ පාන්දර හතරට අවදි වෙලා ගෙදර හැම වැඩ කටයුත්තක්ම නිමා කරලා කාර්යාලයට ගිහින් හවසටත් ගෙදර හැම වැඩක්ම නිමා කරලා නින්දට යන අපර්ණා ට වචනයකින් හෝ සහයෝගයක් දෙන්න ශාක්‍යට උවමනා වුනේ නැහැ. ඒ වෙනුවට ශාක්‍ය කළේ හැම වෙලාවෙම අපර්ණා ගේ අඩු පාඩුවක් හොයන එකයි.
” මේ රෙදි ටික ඇඳ උඩ දාලා තිබ්බාම නිදා ගන්නෙ කොහෙද ඕයි ? ”
ශාක්‍ය කෑ ගැහුවේ ඇඳ උඩ ගොඩ ගහලා තියෙන හෝදලා වේලපු රෙදි ටික දැකලා.
” ඔය ටික මම නිදාගන්න කලින් නවල අල්මාරියට දානව ශාක්‍ය. ඒකයි ඔතනින් තිබ්බේ ”
අපර්ණා එහෙම කිව්වත් කෝපයෙන් හිටපු ශාක්‍ය රෙදි කන්දම ඇදල බිමට දැම්මා.වචනයක්වත් නොකිව්ව අපර්ණා ඒ ටික සාලයට අරගෙන ගිහින් පිළිවෙලට නවල අල්මාරියට දැම්මා.
මොන තරම් සන්සුන්ව ඉන්න උත්සාහ කළත් ශාක්‍යත් එක්ක ගත කරන ජීවිතය අපර්ණාට එන්න එන්නම පීඩාකාරී වුණා. ශාක්‍ය හිතේ සතුටින් ඉන්න මොනම වෙලාවක් වත් හොයා ගන්න බැරි වෙච්ච නිසා අපර්ණා හැම වෙලාවෙම ඔහු ඉදිරියේ නිහඬව ඉන්න පුරුදු උනා. ඒත් ඒ නිහඬ බව රැක ගෙන ඉන්න අපර්නාට වැඩි කාලයක් බැරි වුණා.
ඒ අපර්ණා ගේ උපන් දිනය දවසේ.
උපන්දිනය එළඹුණු වෙලාවෙ ඉඳලම අපර්ණා බලාගෙන හිටියේ ශාක්‍ය සුබ පතනකන්. විවාහ උනාට පස්සේ එළඹෙන පළවෙනි උපන්දිනය නිසා අපර්ණා ඇත්තටම හිතුවේ ශාක්‍ය උපන්දිනය අමතක වෙලා වගේ ඉදල හවසට හරි තමන්ව පුදුම කරයි කියලා. ඒත් ශාක්‍යට ඒ දවස තවත් එක සාමාන්‍ය දවසක්ම වුණා.
බලාපොරොත්තු සුන් වෙච්ච හිතෙන් තමන් වෙනුවෙන් මොන හරිම කරන්න ඕනේ කියලා හිතපු අපර්ණා විශේෂ රාත්‍රී කෑම වේලක් හදලා මේසයට සූදානම් කරා.
” මෙච්චර කෑම එක දවසෙ දෙන්නෙකුට හදන්න තමුසෙට පිස්සුද ? තමුසේ හිතන් ඉන්නේ සල්ලි ගස් වලින් කඩනවා කියලද ? ”
ශාක්‍යගේ කෑගැහිල්ල දිහා අපර්ණා බලාගෙන හිටියේ වේදනාවෙන්. මේ මොහොතේ දී වත් ශාක්‍යයට තමන් ගේ උපන් දිනය මතක් වෙයිද කියලා අපර්ණා බලාගෙන හිටියා.
” ඔයාට අද දවස මතකද ශාක්‍ය ? “
අපර්ණා එහෙම ඇහුවේ ශාක්‍ය කෝපයෙන් පුපුරමින් කෑම මේසයට වාඩිවෙන දිහා බලාගෙන.
” බ්‍රහස්පතින්දා ”
එහෙම උත්තරයක් දීපු ශාක්‍ය කෑම බෙදා ගන්න පටන් ගත්තා.
” බ්‍රහස්පතින්දා විතරද ? ”
අපර්ණා ආයෙම එහෙම අහනකොට ශාක්‍ය අතට ගත්ත පිඟාන පොළොවේ ගැහුවා. අපර්ණා තිගැස්සුනා.
” මොන මගුලක්ද ඕයි මේක ? ”
ශාක්‍ය කෝපයෙන් කෑගහන කොට මේ තාක් දවසක් ඉවසීමෙන් හැමදේම දරාගෙන හිටපු අපර්ණාගේ ඉවසීමේ සීමාව කෙළවර වුණා.
” මාත් අහන්නේ මේක මොන වගේ මගුලක්ද කියලා තමයි ශාක්‍ය. අඩුම ගානේ මගේ උපන්දිනේ කියලා වත් ඔයාට මතක් උනාද අද? හැමදාම මගේ වැරදියි අඩුපාඩුයි හෙව්වා මිසක් මට ඕන කරන්නේ මොනාද ,මං කෑවද බිව්වද කියලවත් ඔයාට හොයලා බලන්න උවමනාවක් තිබුනද ? office එකේ ප්‍රශ්නත් මේ ගේ ඇතුලට ගෙනල්ල ඒව මගේ පිටින් අරින කොටත් මම සද්ද නොකර හිටියා. එහෙම හිටිය තවදුරටත් මට මේ ජීවිතේ ඕන නිසා. මේ කසාදේ රැකගන්න ඕන නිසා. හැබැයි ඔයා හිතනවා නම් තවදුරටත් මං ඉවසයි කියලා ඒක එහෙම වෙන්නේ නැහැ ”
අපර්ණා දිහා ශාක්‍ය බලාගෙන හිටියේ පුදුමයෙන්.මාස ගණනාවක ඉවසීම අහවර කරලා තමන්ට කිසිම මූලිකත්වයක් නොදෙන ,අඩුම තරමේ තමන්ට වචනයකින් වත් සහනයක් නොවෙන සැමියෙක් එක්ක තිබුණ නීත්‍යානුකූල බැඳීම උසාවියකින් අවසන් කරන්න අපර්ණා අන්තිමට හිත හදා ගත්තා.
දික්කසාදයෙන් අවුරුදු දෙකකට පස්සේ නෑදෑයෙකුගෙන් ආපු යෝජනාවක් මතයි අපර්ණාට මාලකව මුණ ගැහුණේ.තරුණ බිරිඳ හදිසි අනතුරකින් මිය ගියාට පස්සේ සෑහෙන්න කාලයක් තනිකඩව හිටපු මාලක ජීවිතේ දුක් කන්දරා ගොඩකට මුහුණ දීලා හිටපු අපර්ණාව ආදරයෙන් පිළි ගත්තා.
ජීවිතයට දෙවැනි අවස්ථාවක් දිය යුතුයි කියලා අපර්ණා තීරණය කළේ මාලකගේ මුණගැහීමෙන් පස්සේ.
විවාහ ජීවිතය ඇතුළෙ කවදාවත් ගෞරවයක් නොලබපු අපර්ණා , තමන්ගේ නිදහස සීමා කරගෙන ශාක්‍යයට උවමනා විදිහට ජීවත් උන අපර්ණා නිදහසේ කිරිල්ලියක් වගේ තමන් ආස විදිහට ජීවත් වෙන්න පටන් ගත්තේ මාලක ගේ මුණගැහීමෙන් පස්සේ.
විවාහ ගිවිස ගැනීමක් වත් අවශ්‍ය නෑ කියලා අපර්ණා හිතුවට මාලකට වුවමනා වුණේ අපර්ණාගේ ජීවිතේ දෙවැනි අවස්ථාව ලස්සනට ආරම්භ කරන්න ඇයට ඉඩ දෙන්නයි.
දෙපැත්තේම ආශිර්වාදය මැද්දේ අපර්ණාත් මාලකත් අලුත් ජීවිතයක් ආරම්භ කළේ අපර්ණාගේ හිත සැනසීමෙන් පිරෙන අතරෙයි.
| ජීවිතයේ ඔබට එක අවස්ථාවකදී වරදින්නට පුළුවන්.ඔබ පරාජය වෙන්න පුළුවන්. නමුත් කවදාවත්, එයින් ඔබේ ජීවිතය නතර වෙන්නේ නැහැ |