*නාද්‍යා සොනාලි සල්වතුර*
“ඒ වුණාට මම එහෙම කිව්ව එක හොඳයි. තාරානාත් අහස්ට තියෙන ආදරේ හන්දා මාවයි අහස්වයි දෙන්නවම භාරගන්න ගියාට කවදාහරි දවසක් ඒවි එයාට මාවයි අහස්වයි දෙන්නවම එපා කියලා හිතෙනව. එහෙම එකේ දැන් මේ නියපොත්තෙන් කඩන්න පුළුවන්කම තියෙද්දි පස්සෙ ඕවා පොරොවෙන් කපන ලෙවල් එකකට අරගෙන එන්න ඕන නෑනෙ” කියලා මම කිව්වෙ කණ්ණාඩියෙන් පේන මගේම රූපෙ දිහා බලාගෙන. අනික ඔය දැන් ආදරේ කියලා රැවටිලා හිටියට තාරානාත් දන්නෙ නැතුව ඇති ඕක ආදරයක් නෙවෙයි මමයි මගෙ දරුවයි ගැන තියෙන අනුකම්පාවක් කියන එක. මොකටද මමවත් මගෙ දරුවවත් කාගෙවත් අනුකම්පාවක් දිනාගන්නෙ කියන තැන තමයි මම ඇත්තටම හිතුවෙ.
එදා හවස තාරානාත් කෙළින් කියන්නෙ නැතුව අරහෙම දෙයක් කියද්දි කට වහගෙන මෝඩයා වගේ ඉන්නෙ නැතුව කෙළින්ම කතා කරන්න පුළුවන් වෙච්ච එක හොඳයි කියන දේ සාධාරණීකරණය කරන්න මම සෑහෙන්න උත්සහ කරා.
“එයායි එයාගෙ බබයි කියන එකෙන්ම ඉතින් ඕක කවදාවත් වෙන්නෙ නැති දෙයක් කියන එක තේරෙන්න එපාය” කියන ගමන් තාරානාත්ගෙ අතේ උන්න අහස්ව මගෙ අතට ගන්න මම අහස් දිහාවට අත දික්කරාට කොල්ලා නෙවෙයි එහෙම ප්ලෑන් එකක උන්නේ. මගේ පැත්තට හරවගෙන උන්න මූණ අනිත් පැත්ත හරවගෙන “අම්මි අතට එන්න බෑ” කියන රියැක්ශන් එක දුන්න අහස්ව බලෙන් වඩාගන්න මම ගියේ නැත්තෙ එයා අඬන්න පටන් ගත්තොත් ආය එයාව නලවන්නයි මෙතන වැඩයි දෙකක් මට කරන්න බැරි හන්දා.
“ඒ කිව්වේ?” කියලා තාරානාත් ඇහුවෙ ආයෙ එයාගෙ ඇස් දෙකට මාව සම්පූර්ණයෙන්ම පේන විදියට හැරෙන ගමන්. ඒ උස ශරීරෙ ඉස්සරහ මට දැනුනෙ මාව කූඹියෙක් වගේ. අනික් අතට තාරානාත් දැන් කියන්න යෙදිච්ච කාරණාව අනුව මට කොහොමත් මම දැනුනෙ මාව හෙන පුංචියට තාරානාත් ඉස්සරහදි.
“ඔයා දැන් ඔය ඔය අකියන එයාවයි එයාගෙ බබාවයි භාරගන්නෙ යන්නෙ ආදරේ හන්දද?” කියලා මම කෙළින්ම ඇහුවට මට තාරානාත්ගෙ මූණ දිහා කෙළින් බලාගෙන ඒක අහන්න හයියෙක් තිබ්බෙ නෑ. අනික මොක උනත් එයාට තරහා යාවිද කියන බයක් මගෙ හිතේ තිබ්බා.
“ඔව්, නැතුව ඉතින්”
“ඔයා එයාලා දෙන්නට ආදරෙ නම් ඔයා කියන්නෝන එයයි එයාගෙ බබයි කියලා නෙවෙයි එයයි අපේ බබයි කියලනෙ. එතනින්ම පේනවා ඒක ආදරයක් නෙවෙයි ඔයාගෙ හිතේ තියෙන්නෙ අනුකම්පාවක් කියන එක. අනුකම්පාවයි ආදරෙයි කියන දේ අතරෙ සෑහෙන ලොකු ගැප් එකක් තියෙනවා ඉතින්. අනුකම්පාවෙන් පටන් ගන්න සම්බන්ධකම් කියන්නෙ පාර්ශ්ව දෙකටම කරගන්න ලොකුම ලොකු වැරැද්දක් අසාධාරණයක්. ඔයා එයාට අනුකම්පා කරනවා එයා ඔයාට ආදරේ කරනවා. දෙන්නටම් ලොකු අසාධාරණයක්, රැවටීමක් නෙ එතන වෙන්නෙ. ඒ නිසා කිසිම දවසක කිසිම සම්බන්ධයක් අනුකම්පාවෙන් පටන් ගන්න එපා. නිකන් අන්තිමේ ඔයාටම තමයි දුක”
“ඔයා හැමදේම ගැන හිතන්නෙ ඕනවට වඩා බරපතල තාලෙට”
“මට ඉතින් එහෙම බරපතල තාලෙට හිතන්න වෙලා තියෙනවා තමයි. මට දරුවෙක් ඉන්නවා. අඩු වයසෙන් අම්මා කෙනෙක් වෙනවා කියන්නෙ ඒක ලොකු වගකීමක් නෙ. බරපතලව හිතුවෙ නැති හන්දනෙ අන්තිමේ බරපතල දේවල් උනේ. ඒ හන්දා දැන් බරපතල විදියට හිතන්නෝන ඉස්සරහට මෝඩ වැඩක් කරගන්නෙ නැති වෙන්න” කියලා මම කතාව නතර කරලා එතනින් එළියට ආවට ඉන්පස්සෙ ගෙවිච්ච කිසිම දවසක මට පුළුවන්කමක් තිබ්බෙ නෑ තාරානාත් දිහා කලින් බැලුව ලෙවල් එකෙන් බලන්න. මට දැනුනෙ එයා මට අනුකම්පා කරන්න මං දිහාව බලනවා වගේ. කට වචනෙන් කොච්චර “ඕවා බොරු විතරයි” කියලා හිතුවත් හිත ඇතුලෙන් මම හීන දැක්කා අපි ගැන. ඒ හීනවල මමයි, තාරානාතුයි, අහසුයි හිනා වෙවී හිටියා. අහස් උන්නේ තාරානාත්ගෙ අත් දෙකේ එල්ලිලා හිනා වෙවී. අපි තුන්දෙනාම උන්නේ හිනාවෙවී පුදුමාකාර සන්තෝසෙකින්. හැම රෑකම අහස්ව එහා පැත්තෙන් තියන් නිදාගන්න යද්දි මම හිතට හීන් සැරේ කිව්වා “අනේ මට අද රෑට තාරානාත්ව හීනෙන් පෙන්නන්න” කියලා. මම ඇස් දෙක වහගත්ත හැම වෙලාවකම මෙතන මමයි එයයි උන්න නම් මොනවා කතා වේවිද කියන විදියෙ එක එක සිටුවේශන් ගැන හීන මැව්වා. ඒත් ඒ හැම හීනයක්ම, ඇත්තටම ඔෆිස් එකේදි තාරානාත්ව දකිද්දි දියවෙලා යන විත්තිය මතක් වෙන හන්දම මම හැම තිස්සෙම තාරානාත්ගෙ ඒ ආදරේ පිරිච්ච ගැඹුරු ඇස් මගාරින්න පුරුදු උනා.
ඒත් මට තාරානාත්ගෙ ආදරෙන් ගැලවෙන්න එච්චර ලේසියෙන් පුළුවන් උනේ නෑ.
“ඔයා කවදහරි දවසක මට ආදරේ වෙයි. ඒ වෙනකන් මම කොහොමහරි ඕන කට්ටක් කනවා” කියලා මගේ ලැප්ටොප් එක අස්සට කහ පාට ස්ටිකි නෝට් එකක් තාරානාත් දාලා තිබිච්ච දවසෙ මං මොන විදියට මේකෙන් මිදෙන්න හැදුවත් එයා කවදාවත් ඒකට ඉඩ දෙන්නෙ නෑ කියන එක මට තේරුම් ගියා.
“ඒක කවදාවත් වෙන දෙයක් නෙවෙයි” කියලා මම ඒ ස්ටිකි නෝට් එකේම අනිත් පැත්තෙ ලියලා එයා ඔෆිස් එකේ ඉඳියෙ නැති වෙලාවක එයාගෙ ලැප්ටොප් එක ඇතුලට දැම්මා. ස්ටිකි නෝට් සෙල්ලම එක්ක මෙච්චර දවසෙන් වචනෙන් අපි දෙන්නා එක්ක කතා කරගන්න අපිට හයියක් තිබ්බෙ නැති ගොඩක් දේවල් කතාකරන්න ඇත්තටම අපිට පුළුවන් උනා. මං වගේ වයසෙන් අඩු උනත් අම්මා කෙනෙක්ට වගේම වයසෙන් වැඩි තිස් ගණන්වල ඉන්න තාරානාත් වගේ කොල්ලෙක්ට මේ වගේ බොලඳ වැඩ කරන එක එච්චර සෙට් වෙන්නෙ නෑ කියලා තේරුණත් මේ තමයි ආදරේ, ආදරෙ කොයි වයසෙදි කරත් බොළඳයි කියන එක අපි දෙන්නගෙම හිත් පිළිඅරගෙන උන්න හන්දා ඒ සෙල්ලම නතර කරන්න අපි දෙන්නටම උවමනාවක් තිබ්බේ නෑ.
“අනේ මන්දන්නෙ නෑ මේ තාරානාත් මහත්තයා ඉස්ටිකි නෝට්ස් කනවද කියලා, මේ ගේනවා මේ ඉවරයි” කියලා ඔෆිස් එකට ඒ වෙද්දි ඔය පියන් වැඩේට උදව්වක් විදියට වගේ අරගෙන උන්න තාරානාත්ගෙ ඩ්‍රයිවර් අයියා වෙච්ච අමරසූරිය අයියා කියද්දි ඉස්සරහා මේස දෙකේ උන්න අපි දෙන්නා හංග ගන්න හදන හිනාවක් එක්ක හොර ඇස් බැල්මක් එහෙ මෙහෙ කරගත්තා. මං උන්නේ හයියෙන් එලියට පනින්න හදන හිනාව හංග ගන්න පුදුමාකාර උත්සහයක් දරන ගමන් උනාට මොකෝ තාරානාත් කිසි වෙනසක් නැතුව අමරසූරියගෙ කතන්දර වලට ලුණු ඇඹුල් එක්කහු කරගන්න බලාගෙනයි උන්නේ.
“මං ලියුම් ලියලා කෙල්ලන්ට දෙනවනෙ අමරසූරිය ඔය ස්ටිකි නෝට්ස් වල” කියද්දි අමරසූරිය කිණ්ඩියට වගේ “හෙහ්” ගෑවෙ තාරානාත්ගෙ හැටි දන්න හන්දා වෙන්නැති.
“එහෙමවත් දෙයක් වෙනවා නම් ඉස්ටිකි නෝට්ස් බන්ඩල් එකක්ම හරි මං මෙතන ගෙනත් තියනවනෙ. මේ ඇස් දෙකෙන් මේ කපේට එහෙම දෙයක් නම් දකින්න වෙන එකක් නෑ කියලා ලොකු මහත්තයත් හරියට කියනවා”
“මං නම් රෙඩි ඉතින් අනිත් පැත්තෙන් තමා මට කිසි සපෝට් එකක් නැත්තෙ”
“අනිත් පැත්තෙන් කිව්වේ?”
“මං ටෝක් කරන්න කෑල්ලගෙ පැත්තෙන්” කියලා කියන ගමන් ඉස්සරා ඉඳගෙන මං දිහා බලලා තාරානාත් ඇහැක් ගහද්දි මම කරේ අහක බලාගත්ත එක. තරහට නෙවෙයි මට හිනා යන්න එනවා අනේ!
“අර මොකෝ?”
“අනේ මන්දා ඉතින් මං වචනෙ දැම්මට එයා පොඩ්ඩක් ගණන් උස්සනවා”
“කෙල්ලො එහෙම තමයි මහත්තයා. නැද්ද නාද්‍යා නෝනා?” කියලා අමරසූරිය මාවත් කතාවට එක්කහු කරගනිද්දි මං කරේ “හ්ම් හ්ම්” කියලා ඒකට හූමිටි තියෙන එක විතරයි. නැත්තම් ඉතින් කැත හිනාවක් එලියට පනින්න බලාගෙන උන්නෙ කට අස්සට වෙලා.
“අනික ඉතින් ඔහොම ඔය සන්නාසියා වගේ රැවුල වවන් ඉඳලා ගෑනු ළමයි කැමති කරවගන්න බෑ. රැවුල එහෙම කපලා ලස්සනට ඉන්නෝන” කියාගෙනම අමරසූරිය කාමරෙන් යද්දිත් මං උන්නේ සද්දයක් එලියට පිටවෙන්නෙ නැති වෙන්න හිනාවෙන ගමන්.
“එහෙම කරන්නද එහෙනම්?” කියලා තාරානාත් ඇහුවෙ මගෙන්. වෙන කවුරුවත් ඉතින් උන්නෙ නෑනෙ ඔෆිස් කාමරේ.
“කොහොමද?”
“රැවුල කපන්නද?”
“ඒ මොකටද?”
“එතකොටවත් කැමති වෙයිද?”
“කවුද?”
“අර මං ටෝක් කරන කෑල්ල” කියලා තාරානත් කියද්දි මම මේසෙන් නැගිටලා එලියට යන්න හැදුවෙ ඇත්තටම මට හිනා යන්න එන හන්දා. ඒත් ඊට කලින් කියන්න දෙයක් එයාට තිබ්බා.
“හෙට වෙනදට වඩා ලස්සනට ඇඳගෙන එනවද?”
“මොකටද ඒ?”
“පොඩි ගමනක් තියෙනවා යන්න”












