ළතෙත් ආදර හැඟුම් ගංගා – 36

*නාද්‍යා සොනාලි සල්වතුර*

මං අහන්නෙ පිරිමි උනත් දැනගන්නෝන නේද කෙල්ලො ලඟදි හැසිරෙන විදියයි, අම්මා කෙනෙක් වෙච්ච කෙල්ලෙක් ළඟ හැසිරෙන විදියයි දෙකක් කියලා? අපිටත් තියෙන්නෙ හිත් නෙ කියලා මට හිතන්න හේතු උනේ තාරානාත්ගෙ ඔන්න ඔය වගේ පැණි තැවරිච්ච වචන.

එදා අපි දෙන්නට ඇඩ්වටයිසින් ඒජන්සි එකට යන්න උනේ තාරානාත්ගෙ වාහනේ. වෙනදා නම් එයා එන වාහනේ ඩ්‍රයිව් කරගෙන ආවේ අමරසූරිය උනාට මෙදා අමරසූරියගෙන් වාහනේ යතුර ඉල්ල ගත්ත තාරානාත්ම මට ඉස්සරහින් වාඩිවෙන්න දොරත් ඇරලා දුන්නා. එයාගේ උසම උස ජීප් එකට නගින එක මට අමාරු වෙයි කියලා හිතලා කණට ලංවෙලා “අල්ලගන්නද මං?” කියලා අහද්දි මට දැනුනා මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා. 

ඒ උනාට තාරානාත්ට ඒක පෙන්නන්නෙ නැතුව තමයි මං නිකන් කටහඬ හදාගෙන ඇහුවේ.

“අල්ලගන්න මොනවද?”

“මොනවත් නෙවෙයි ඔයාව අල්ලගන්නද කියලා ඇහුවෙ”

“නෑ ඕන නෑ. අනික ඔයා කතාකරන විදිය ඔය වයසෙ මනුස්සයෙක්ට ගැලපෙනවා කියලාද හිතන්නේ?”

“ඔය වයසෙ කිව්වේ? මං මොන වයසෙ කියලද හිතන්නේ?”

“වයසයිනෙ. තිස් ගානක් ඇතිනෙ”

“ඉතින්?”

“ඉතින් නිකන් මේ ඉස්කෝලේ යන කොල්ලො වගේ කතාකරලා හරියනවද?”

“අවුරුදු විසි තුනක විතර කෙල්ලෙක් එක්ක ඉතින් එහෙම කතා නොකර තාත්තා කෙනෙක් වගේ කතාකරන්නය නේද?” කියලා මං දිහාවම බලාගෙන දොර වහපු උසම උස තාරානාත් වාහනේ එයාගෙ පැත්තට නගින්න වටෙන් ඇවිදගෙන ආවෙ හීනි හිනාවක් එයාගේ ලිප්ස් අස්සෙ තියාගෙන. එයාගේ ලිප්ස් ලාවට වගේ දුඹුරු පාට වෙලා තිබ්බේ. බාගදා ඒ එයා සිගරට් බොන හන්දා වෙන්නැති කියලා හිතුවට මට ඒක එයාට කියන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ.

අනික ඉතින් සිගරට් බිව්වම ලිප්ස් කලු පාට වෙනවය කියන එක මම එයාට කියන්නෝන නෑනෙ. එයා එයා දැනගන්නෝනනෙ.

අපේ ක්ලව්ඩ් කිචන් එකේ ඉඳලා ඇඩ්වටයිසින් ඒහන්සි එකට යන්න අපිට පැය බාගයක් විතර දුර තිබ්බා. ගූගල් මැප් එකේ මට ඒ වෙලාව දැනුනෙ නිකන් පැය ගාණක් තාරානාත් එක්ක යන්න තියෙනවා වගේ. අනික මං බයේ උන්නේ තාරානාත් මං එක්ක මොන මොනවා කතා කරන්න හිතාගෙන ඉන්නවද කියන එක ගැන. ඒ බයට හේතු දෙකක් තිබ්බා. එකක් තමයි මම මෙතනට එන්න කලින් ඉඳියෙ කොහෙද කියන එක තාරානාත් දැනගෙන උන්න හන්දා අහස්ගෙ තාත්තා කවුද කියන ප්‍රශ්නෙ එයා අහවි කියන එක. අනික් එක මෑතක ඉඳලා තාරානාත් ආදරේ ගැන මාත් එක්ක කතා කරන්න එන හන්දා මං එයාට අකමැති වෙන්නෙ ඇයි කියන එක ගැන මොනාහරිම එයා අහවි කියලා. ඒ දෙක මගේ හිතට දැනෙන්නෙ දෙයාකාරයකට උනාම ඒ දෙයාකාරයටම පුලුවන්කම තිබ්බා මගේ හිත බය කරන්න.

“මං දෙයක් අහන්නද?” කියලා තාරානාත් කතාව පටන් ගත්තෙ අපි ගමන පටන් අරගෙන විනාඩි හත අටකට විතර ගියාට පස්සෙ. 

“මොකක්ද?”

“ඔයාගෙ ගෙදර අය දන්නවද ඔයා දැන් ඉන්න විදිය. කරන දේවල් එහෙම” කියලා තාරානාත් අහද්දි මං උන්නෙ ඇත්තටම ඒ ප්‍රශ්නෙට දෙන්නෝන උත්තරේ මොකද්ද කියලා හිතාගන්න බැරුව.

“මං කරගත්තෙ දුවෙක්ට අම්මා කෙනෙක්ට කියන්න පුළුවන් දෙයක් නෙවෙයි නේද?” කියලා මම කියද්දි ඇත්තටම මගේ කටහඬ තිබ්බේ අඬන්න බරවෙලා වගේ. අනික අම්මාව මතක් වෙච්ච එකට පුළුවන් වෙලා තිබ්බා හිත ඇතුලෙන් මාව අඬවන්න. ඒ ඇඬිල්ල මගේ ඇස්වලට කඳුලු එක්කහු කරලා තිබ්බා වගේම මගේ නාහේ බුරුල් කරලත් තිබ්බා.

“ඔයාට කවදහරි හිතුනෙ නැද්ද ඔයාගෙ ජීවිතේට වෙච්ච දේවල් කිව්වට වඩා වේදනාවක් ඔයාගෙ දෙමව්පියන්ට ලැබෙන්න ඇති කියලා ඔයා මේ විදියට කිසිම සයින් එකක් නැතුව හැංගිලා ගියාම කියලා?” අහන ගමන් තාරානාත් තප්පර කීපෙකට මං දිහාව බලද්දි මං එයාගෙ මූණෙ දැක්කෙ මෙච්චර කාලයක් දැක්කට වඩා සෑහෙන සීරියස් බවක්.

“සමහරවිට ඔයා හිතනවා ඇති ඔයාට තියෙන ප්‍රශ්න කාටවත් තේරෙන්නෙ නෑ කියලා, ඒක නිසා කට පියාගෙන ඉඳලා හැංගිලා ඉන්න එක ලේසියි කියලා. ඒත් එයාලට, ඔයාගෙ ඒ සයිලන්ස් එක ඔයාගෙ මේ හැංගිලා යන එක, ඔයා එයාලට ඔයාට වෙච්ච දේ කියනවට වඩා බරය්ක්, දුකක්. ඔයාට එයාලගෙ වේදනාව පේන්නෙ නැති හන්දා ඔයා හිතන්නෙ එයාලා දුකෙන් නෑ කියලා නම් ඒක වැරදි. අඩුම ඔයාට ඒ වේදනාව දකින්න පුළුවන් උනා නම් ඔයාට ඒ දුකෙන් පොඩ්ඩක් හරි අඩු කරන්න හරි තිබ්බා නේද?

ඔයාට එයාලගෙ දුක නොපෙනුනාට උදේ ඇහැරෙන වෙලාවෙ ඉඳන් ආයෙත් නිදාගන්න යනකම්ම එයාලා ඔයා ගැන කල්පනා කරනවා. ඔයා කෑවද, හොඳට නිදාගත්තද, කලින් වගේම තාමත් හිනාවෙනවද කියලා එයාලා හිතනවා. එයාලගෙ ෆෝන් එක රින්ග් වෙන හැම පාරක්ම, ඒ ඔයා වෙන්න ඇති කියලා එයාලා බලාපොරොත්තු වෙනවා. එහෙම හිතලා දුක් වෙනවා.

ඔයා හිතනවා ඇති මේ ප්‍රශ්න කිසිම දෙයල් එයාලට නොකිය ඉන්න එකෙන් ඔයා කරන්නෙ එයාලව ආරක්ෂා කරන එක කියලා. ඒ උනාට ඒක නෙවෙයි නාද්‍යා ඇත්ත. ඕනම අම්මා කෙනෙක්ට මේ ලෝකෙ දැනෙන්න පුළුවන් ලොකුම වේදනාව තමයි එයාලගෙ දරුවා හොඳින්ද කියලා නොදැන ඉන්න එක කියන එක ඔයා දැනටම සමහර විට ප්‍රැක්ටිකලි එක්ස්පීරියන්ස් කරලා ඇති. ඔයා අහස්ගෙ අම්මා විදියට දරන දරු දුක ඔයාගෙ අම්මට ඔයා හන්දා නොලැබෙනවා ඇති කියලා ඔයා හිතනවද?

ඔයාගෙන් මැසේජ් එකක්, කෝල් එකක්, එක වචනයක් අහන්න ලැබෙනකම් එයාලා බලාගෙන නෙවෙයි ඉන්නෙ කියලා ඔයා හිතනවද?”

“ඔයා ඔය හදන්නෙ මීටින් එකට කලින් මාව අඬවන්න තමයි” කියලා මම තාරානාත් කියපු දේට උත්තර නොදී කියද්දි තාරානාත් ඔලුව වැනුවේ සොරි කියන්න වගේ.

“දැන් අඬන්න එපා. පස්සෙ අඬන්න”

“ඇයි?”

“එතකොට මට පුළුවන් පැය ගාණක් හරි යනකම් ඔයාව තුරුල් කරගෙන, ඔයාට අඬන්න දීලා ඔලුව හෙමින් සැරේ අතගාන්න” කියලා තාරානාත් කියද්දි තමයි මෙච්චර වෙලා මම ඇස් අස්සෙ හිරකරගෙන උන්න කඳුළු හෝ ගාලා වැක්කෙරෙන්න ගත්තෙ.

මම කොච්චර තාරානාත්ව මගාරින්න හැදුවත් එයාව කවදාවත් මට මගාරින්න බැරි බවත්, එහෙම කරන්න මට උවමනාවක් නෑ කියන එකත් තේරෙන්න ගත්තෙ ඒ වෙලාවෙ. වාහනේ පදින ගමන් උන්න තාරානාත්ට වාහනේ මගක නතර කරන්න පූළුවන්කමක් එවෙලෙ තිබ්බේ නෑ. අනික එයා එහෙම වාහනේ නතර කරලා මට අඬන්න එපා කියලා කිව්ව නම් සමහර විට මම තව හයියෙන් අඬන්න තිබ්බා. ඒ නිසාමද මන්දා එක අතකින් වාහනේ ඩ්‍රයිව් කරන ගමන්ව තාරානාත් අනිත් අත දික්කරලා මගේ මූණෙ කම්මුල් උඩ තිබිච්ච කඳුලු කැට එයාගෙ අතෙන් පිහිදලා දැම්මා.

එයාලෙ ලඟින් ආවෙ පෙපර්මින්ට් සුවඳක්.

මට ඕන උනා ඒ අත අල්ලගෙන මගේ නාහෙට තියලා ලොකු හුස්මක් අරගෙන ඒ පෙපර්මින්ට් සුවඳ පපුව පුරා විඳින්න.

ඒ උනාට මට ඒක කරන්න හයියක් තිබ්බේ නෑ. 

“දැන් මගේ කඳුළු පිහිදලා තාරානාත් අත ආපහු ගනීවි” කියලා හිතෙද්දි මගේ හිත හීනියට රිදුණට, දුක් උනාට ඒ දුකට වැවෙන්න තාරානාත් ඉඩ තිබ්බේ නෑ. මොකද කඳුළු පිහිදලා දාලා ඉවර වෙලා උකුල උඩට වැටිලා තිබිච්ච මගෙ අත එයාගෙ අතේ ඇඟිලි අස්සෙ පටලවගත්තා.

එතන ඉඳලා මීටින් එක තියෙන තැනට යනකම්ම තාරානාත් උන්නේ මගේ අත අල්ලගෙන. මගේ ඇඟිලි එයාගෙ ඇඟිලි අස්සෙ පටලවගෙන. තාරානාත්ගෙ ආදරණීය වචන වලට බය නැතුව අනිත් පැත්තට එක එක ඒවා කිය කිය උන්න හිත හයිය නාද්‍යා ඒ වෙලාවෙ උන්නෙ එයාගෙ ආදරේ ඉස්සරහා ඒ දරදඬු හිත දියකරගෙන.

සමහරවිට හිත් එහෙම දියවෙන එක වෙන්නැති ආදරේ කියන්නේ කියලා හිතන ගමන් මං උන්නේ තාරානාත් දිහා බලාගෙන.

එයා උන්නෙත් මං දිහා බලාගෙන.

වචනෙන් නොකිව්ව අපි දෙන්නගෙ ආදරේ පටන් ගත්තෙ අන්න ඒ විදියට.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles