දරුවන්ට මෙහෙම අපරාධ කරන්න පුළුවන්ද?

මේක සිද්ධ වෙන්නේ 2021 අවුරුද්දේ මැයි මාසේ 9 වෙනිදා උදේ පාන්දර. ඒ කියන්නේ Mother’s Day එක දවසේ. 

ෆ්ලොරිඩාවේ St. Johns County වල ජීවත් වුණ Bailey පවුල ඒ දවස ගැන හිතුවෙත් අනික් හැම දවසක්ම වගේ කියලා. ඉර එළිය හෙමින් සැරේ බිමට වැක්කෙරෙනවා, කෑම සුවඳ ගෙදර හැම තැනම පැතිරෙනවා උනත් මේ දවසෙ ගෙදර තිබ්බෙ ලොකු නිශ්ශබ්ධතාවයක්. සාමාන්‍යයෙන් නම් මේ වෙලාවට ගෙදර හිනා සද්දෙන් පිරිලා යන්න ඕනේ. මොකද පවුලේ බාලම දරුවා වන Tristyn Bailey කියන්නෙ නිතරම හිනා වෙලා හරි සන්තෝසෙන් උන්න කෙල්ලෙක්.

එයාගේ අක්කා, Tristyn ට කෑම කන්න එන්න කියලා කතා කරන්න කියලා කාමරේට යනකොට අක්කා දකින්නෙ මහ අමුතු දෙයක්. Tristyn ගෙ ඇඳ හිස්. ෆෝන් එකත් නෑ, සපත්තු දෙකත් නෑ. මෙච්චර උදෙන් එහෙම දෙයක් වෙන්න විදියකුත් නෑ කියලා කල්පනා කරන අක්කා ටක් ගාලා ගිහින් මේක අම්මලට කියනවා.

මුලින් හැමෝම හිතුවේ මොකක් හරි පුංචි දෙයක් වෙන්න ඇති කියලා. සමහරවිට පාන්දර ඇවිදින්න යන්න ඇති, නැත්නම් යාළුවෙක්ව බලන්න යන්න ඇති කියලා. ඒත් විනාඩියෙන් විනාඩිය පැය ගණන් ගෙවීගෙන යනකොට, ඒ නොසන්සුන්කම ලොකු බයක් බවට හැරෙනවා. බලාගෙන ඉඳලා බැරිම තැන තමයි  උදේ 10 වෙද්දී එයාගේ අම්මා, Stacy Bailey, 911 ට කතා කරන්නේ.

 Mother’s Day එක සැමරීම වෙනුවට, අවුරුදු 13ක අතුරුදහන් වෙච්ච ගෑනු දරුවෙක් හොයාගෙන යන මිශන් එකක් ආරම්භ වෙන්නෙ අන්න ඒ කෝල් එකෙන් පස්සේ.

Tristyn Patriot Oaks Academy එකේ චියර්ලීඩර් කෙනෙක්. මුළු කණ්ඩායමේම උද්යෝගය වැඩි කරන්න එයාට පුළුවන්. යාළුවෝ කිව්වේ එයා හරිම නිර්භීත, ජවයෙන් පිරිච්ච කෙල්ලෙක් කියලා. ගුරුවරු කිව්වේ එයා හරිම උනන්දුවෙන් වැඩ කරන ළමයෙක් කියලා. එයාගේ අම්මා පවා අඬ අඬ කිව්වේ “එයා ගොඩක් අයට උදව් කරන හරි හොඳ දරුවෙක්” කියලා.

මිශන් එක කරගෙන යන අතරවාරෙ පොලිසියට පුළුවන් වෙනවා පොඩි හෝඩුවාවක් හොයාගන්න. ඒ පාන්දර 1:45ට, Saddlestone Drive එකේ තිබුණ ආරක්ෂක කැමරාවක සටහන් වෙච්ච දර්ශනයකින්. ඒකේ හිටියා Tristyn. ඒ විතරක් නෙවෙයි එයා ළඟින්ම ගියා තවත් උස කොල්ලෙක්. ඒ උස කොල්ලාගෙ නම Aiden Fucci, අවුරුදු 14ක් වයස Aiden කියන්නේ Tristyn එක්කම ඉස්කෝලේ යන එයා අඳුරන අයගෙන් කෙනෙක්. මේ කැමරා රෙකෝඩින් එකේ එයාලගේ කටහඬ ඇහුණේ නැති උනාට හැබැයි දෙන්නා ළඟින් ළඟින් ඇවිදගෙන යනවා කියන එක නම් හොඳටම පේන්න තිබුණා.

ඊට විනාඩි හතකට පස්සේ, ඒ එකම කැමරාවෙ ආයෙමත් Fucci ව රෙකෝඩ් වෙලා තිබ්බා.ඒත් මේ පාර එයා හිටියේ තනියම, කලින් ගිය පැත්තට විරුද්ධ පැත්තට දුවන ගමන්. එයා සුදු සපත්තු දෙකක් තදට අල්ලාගෙන හිටියා කියන එක මේ වීඩියෝ එකේ පේනවා. මේ කැමරා දර්ශනය එක්ක පොලිසිය වගේම අනිත් හැමෝම තේරුම්ගන්නවා ඒ කැමරාවෙ සටහන් වෙලා තිබුනෙ Tristyn ගෙ අවසන් දර්ශන කියලා.

ඒ දවසේ හවස 6ට විතර, Saddlestone Drive එකේ කෙළවරේ තිබුණ වනාන්තරයක් ළඟ ඇවිදින්න ගිය මනුස්සයෙක් කොළ අතු අතර තිබුණ සුදුමැලි දෙයක් දකිනවා. ඒ දැකපු දේ නිසා ඒ මනුස්සයා හිටපු තැනම නතර වෙලා කිට්ටු වෙලා බලනවා තමන් මේ බලාගෙන ඉන්නෙ මොකක් දිහාද කියන එක.

ඔව් ඒ වෙන කවුරුවත් නෙවෙයි වතුර පොකුණක් කිට්ටුව වැටිලා හිටියා මිය ගිය Tristyn ගෙ ප්‍රාණය සුන් වෙච්ච ශරීරෙ.

පොලිසිය ඇවිත් ඒක Tristyn Bailey කියලා හඳුනාගන්නවා. හරිම තරුණ ලස්සන කෙල්ලෙක් වුණ Tristyn ගෙ මල සිරුර දකින ඕන කෙනෙක්ට ඇඬෙන විදියෙ තුවාල තමයි එයාට සිදුවෙලා තියෙන්නේ. එයාට පිහි පාරවල් 114ක් ඇනලා තිබුණා. ඒ පිහි පාරවල්වලින් 49ක්ම ඩිෆෙන්සිව් වූන්ඩ්ස්, ඒ කියන්නේ එයා තමන්ගේ ජීවිතේ වෙනුවෙන් බරපතළ විදිහට සටන් කරලා තිබුණා.

මරණ පරීක්ෂණයේදී ඊටත් වඩා භයානක දෙයක් හොයාගන්න පුළුවන් වෙනවා. ඒ තමයි එයාගේ හිස්කබලේ පිහි තුඩක කැබැල්ලක් තිබුණා කියන එක. කිට්ටුව තිබුණ පොකුණෙන් පොලිස් පරීක්ෂකවරු පිහි තුඩ කැඩිලා තිබුණ Buck වර්ගයේ පිහියක් සොයාගන්නවා.

ඒ අනුව හැම පරීක්ෂණයක්ම පටන් ගන්නෝන Fucci ගෙ ගෙදරින් කියන එක පොලිසියට තේරෙනවා.

මධ්‍යම රාත්‍රිය වෙද්දී, රහස් පරීක්ෂකයන්ට Fucci ගේ ගෙදරට ඇතුල් වෙන්න වරෙන්තුවක් ලැබෙනවා. එයාගේ කාමරේදී එයාලා ලේ පැල්ලම් තැවරිලා තිබුණ ඇඳුම් සොයාගන්නවා බාත්රූම් සිංක් එකේ තවත් ලේ සලකුණු තිබුණා. ඊට අමතරව ලොකුම සාක්කිය තමයි එයාගේ ඇඳ ළඟම තිබිච්ච පිහි කොපුව. ඒ කොපුවෙ තියෙන්නෝන පිහියෙ තුඩ තමයි Tristyn ගෙ හිස් කබල ඇතුළෙ තිබුණේ. 

මේ සාක්කි ඔක්කොම මුල් කරගෙන පාන්දර 3ට, Aiden Fucci දෙවන මට්ටමේ මිනීමැරුම් චෝදනාවට අත්අඩංගුවට ගන්න පොලිසියට පුළුවන් වෙනවා.

ඒත් පොලිස් කාර් එකේ පිටිපස්සෙ ඉඳගෙන ඉද්දී පවා, Fucci උන්නෙ කිසිම දෙයක් ගැන කිසිම ගාණක් නෑ වගේ. පොලිසිය Fucci ගෙ ෆෝන් එක චෙක් කරද්දි දකිනවා එයා ස්නැප් චැට් එකේ එහෙම මේ කිසිම දෙයක් ගැන දන්නෙ නෑ වගේ දාපු මැසේජස්. එයා සෙල්ෆි එකක් ගහලා, ඒක Snapchat එකට දාන්නේ “හේයි යාලුවනේ, කවුරු හරි Tristyn ව දැක්කද මේ ළඟදි?” කියලා. ඒ පින්තුරේ එක්ක එයා යාලුවන්ගෙන් අහනවා Tristyn ට මොකද කියලා. හරියට නිකන් මේ Tristyn ව හොයන පොලිස් පරීක්ෂණේට එයත් සපෝට් කරනවා වගේ.

ඒ වගේම පොලිසියට පුළුවන් වෙනවා  තව වීඩියෝ ක්ලිප් එකක් හොයාගන්න එයාගෙ ෆෝන් එකේ තිබිලා. ඒ වීඩියෝ එකේ හිනාවෙවී මේ අවුරුදු 14 කොල්ලා කියන්නෙ Tristyn නිකන් හැංගිලා ඉන්නවා, පොලිසිය එයාව හොයාගන්නකම් වගේ කියලා. මේ හැමදේම වෙන්නෙ පොලිසිය, අසල්වාසියො, Tristyn ගෙ දෙමව්පියො එහෙම එක්කහු වෙලා Tristynව හැමතැනම හොයද්දි. 

මේක දැකපු හැම කෙනෙක්ගේම හිතේ ඒ සිද්දිය සෑහෙන කාලයක් යනකම් ලොකු කම්පනයක් ඇති කරලා තියෙනවා. මිනීමරුවෙක් කොහොමද එහෙම හැසිරෙන්නේ කියන ප්‍රශ්නෙ එයාලව කම්පනයට පත් කරනවා. අනික මේ මිනීමරුවට වයස අවුරුදු 14 යි.

ඊළඟ සති කීපයේදී, පොලිසිය තවත් භයානක තොරතුරු සොයාගන්නවා. Fucci යාළුවෝ කීප දෙනෙකුට එයා කියලා තිබුණා එයාට කෙනෙක්ව මරන්න ඕන කියලා. එයා කියලා තියෙනවා එයා ප්ලෑන් කරන්නේ “එයාලව කැලේට එක්ක ගිහින් පිහියෙන් ඇනලා මරන්න” කියලා. ඒක ඉක්මනින්ම සිද්ධ වෙයි කියලා පවා Fucci යාලුවන්ට කියලා තියෙනවා.

වෛද්‍ය වාර්තාවෙන් පිහි පාරවල් 114ක් Trystin ගෙ ඇඟේ තිබුනා කියලා තහවුරු වුණාට පස්සේ, නීතිඥයෝ එයාගේ චෝදනාව පළමු මට්ටමේ කලින් සැලසුම් කළ මිනීමැරුමක් කියන එක දක්වා වැඩි කළා.

එයාගේ අම්මා, Crystal Smith පවා අත්අඩංගුවට ගත්තා. මොකද, CCTV දර්ශනවලින් පෙනුණා එයා Aiden ගේ ජීන්ස්වල තිබුණ ලේ, බාත්රූම් සිංක් එකේ හෝදනවා කියලා. ඒ අම්මව පස්සේ සාක්ෂි වසන් කිරීමේ චෝදනාවට මාසයක සිර දඬුවමකට යටත් කරනවා

2023 පෙබරවාරි 6 වෙනිදා, ජූරි සභිකයන් තෝරන්න කලින්, අවුරුදු 14ක් වුණ Fucci තමන් පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනාවට වැරදිකරු බව පිළිගන්නවා.

නඩු තීන්දුව දෙන වෙලාවේ, Tristyn ගේ පවුලේ අය මුළු උසාවි ශාලාවම පිරෙව්වේ එයාගේ ලස්සන ෆොටෝවලින්. 

Tristyn Bailey ගේ ඛේදවාචකය ඒ පුංචි ෆ්ලොරිඩා නගරය විතරක් නෙවෙයි, මුළු රටම කම්පනයට පත් කරනවා. කොහොමද මේ තරුණ ළමයි තව තරුණ ළමයෙක්ගෙ ජීවිතේ විනාස කරලා දාන සාපකාරී තැනකට ඇද වැටෙන්නෙ කියන එක හැමෝම අහන ප්‍රශ්නයක් බවට පත්වෙනවා.

එයාගේ අවසාන මොහොතේදී පවා, Tristyn සටන් කරලා තියෙනවා.  ආරක්ෂක තුවාල 49කින් ඔප්පු වුණා Tristyn ලේසියෙන් ජීවත්වෙන සටන අත ඇරලා නෑ කියන එක. එයාගෙ පවුලෙ අය  තවමත් “The Tristyn Bailey Memorial Fund” එක හරහා ඇයට ගෞරව කරනවා. ඒක හදලා තියෙන්නේ එයා වැඩිපුරම ආදරේ කරපු දේවල් වෙන තරුණ වැඩසටහන් සහ චියර් කණ්ඩායම් වලට උදව් කරන්න.

“Tristyn ළඟ කාමරයක් පුරවන්න පුළුවන් එළියක් තිබුණා. එයා නැති වුණත්, ඒ එළිය තවමත් අපි තුළින් බැබළෙන්න මාර්ගයක් හොයාගන්නවා.” කියලා Tristyn ගෙ අම්මා එයාව ආදරෙන් මතක් කරන ගමන් අදටත් කියනවා.

Related Articles

Don't Miss


Latest Articles