දෑත දරා – 62


පවුලක් ලෙසින් දවස ඇරඹීමේ උත්කර්ශය මනුජ සහ මනුර්‍යාව නැවුම් හැඟීමක පටලා තිබුනි.  මනුජ සූදානම් වි කඳවුර බලා පිටත්ව ගියේ හැකි ඉක්මනින් කටයුතු හමාර කර එන බව පවසමිනි. විශ්වට කොළඹ යෑම අපහසු නම් , ඔහු ට ආරෝග්‍යා රෝහලේ දින දෙකක්  විවේකයෙන් සිටින්නට අවශ්‍ය කටයුතු සලසා දෙන්නම්‍ යැයි සින්දූපා කිහිපවරක්ම පැවසූවද, විශ්වගෙන් එයට ධනාත්මක ප්‍රතිචාරයක් වූයේ නැත. එනිසාම සින්දූපා ඒ පිළිබඳව විමසීම නැවැත්වූවාය. විශ්ව තමා සමඟ අමනාපයෙන් සිටින බව වැටහෙද්දී වුවද, සින්දූපා කල හැකි අන් යමක් නොවූ නිසාම නිහඬව උන්නාය.

සාරතී කොළඹ ගමනට සූදානම් වූයේ යම් විචිකිච්ඡාවක්ද එක්කය.

” මං අවුරුදු ගානකින් කන්දෙන් පහල පැත්තට බැහැලා නෑ නෝනේ..”

ඕ ගමනට ආහාර සකසන්නට මනුර්‍යාට උදව් කරමින් කීවාය.

” ඒක නේන්නම් මේ එක්ක යන්නේ… “

” කාත් කවුරුත් නැති මට… මේ දෙන සැලකිලි ඉහට උඩින්…”

“ඔය කතාව අපේ අය්යට ඇහෙන්නම් නම් කියන්නෙපා… එයා ඔයාට හරි ආදරෙයි… අපි එහෙ මෙහෙ වෙනකොට නැන්දාව ඒ තැනකට එක්ක යන්න විදියක් නැති වෙනවා නම්, එක්කෝ නැන්දා රට යන්න අකමැතිත් නම්… අපේ අම්මලා එක්ක නැන්දාට හැමදාම ඉන්න කියනවා කියලා තමා අපේ අය්යා කියලා තියෙන්නේ… එතකොට ඉතින් කොළඹ තමා ඉන්න වෙන්නේ…”

සාරතී කඳුලු පිස ගත්තාය. මියදුණු ස්වාමිපුරුෂයාත්, දරුවන් දෙදෙනාත් තමා තනි නොකරන බව ඕ හැම දිනකම විශ්වාස කලාය. මේ ඒ විශ්වාසයය.

” මට මේ වචනත් මහ මෙරක් නෝනේ…”

“මෙව්වා නිකම්ම වචන නෙවි නැන්දේ … කොළඹ ගියාම ඔයාට අපේ අම්මයි, අප්පච්චීයි ටක්කෙටම සෙට් වේවි.. එතකොට ඉතින්, ඔයාට ඔයාගෙම අය අතර ඉන්නවා කියන එක තව දැනේවි….”

සාරතී නිහඬවම සුසුම් හෙලුවාය. ජීවිතේ ගැන ඇයට නොදැනුන බලාපොරොත්තු අහුරක් දැන් දැන් මෝදු වෙන බව සාරතී අත් වින්දාය.

මනුජ  නිවෙසට පැමිණියේ  දිවා ආහාරය කඳවුරෙන්ම ගෙනය.  ඔහු පැමිණ විනාඩි කිහිපයක් ගත වෙද්දී ඩොල්ෆින් වර්ගයේ වෑන් රියද, පැමිණියේය.

පිරිස සූදානම් වී වෑන් රියට නැග ගන්නා විට සවස පහට ආසන්නව තිබුණි. දියණිය සාරතී ගේ උකුලේ නින්දකට වැටී උන්නාය. සින්දූපා සහ මනුජ  රියැදුරු අසුනට පිටුපස අසුන් දෙකේද, සාරතී සහ දියණිය ඊට පිටුපස අසුනේද, අනෙක් සිව් දෙනා පසුපසම අසුනේද වන සේ හිඳ උන් හ.

සින්දූපා, සිටින්නේ  සඟවාගත්  යමකින් පීඩා විඳිමින් බව මනුජට වැටහුණේ ගමන පිටත් වී වැඩි වේලාවක් යන්නට ප්‍රථමය.

” ඇයි සින්දූ …?”

මනුජ ඇගේ අතකින් අල්ලා විමසුවේය. සින්දූපා තිගැස්සුණාය. එහෙත්, ඒ වගක් නොපෙන්වා සිටින්නට මෙන් උත්සාහ කලාය. 

” ම්ම්..?”

“මොනවාද කල්පනා කරන්නේ ?”

“ම්හ්.. මුකුත් නෑ…”

“බොරු..”

“නෑ..ඇත්ත…එහෙම අවුලක් නෑ..”

” අපි එකඟ වුනා නේද , දෙයක් හිතේ තියන් වද විඳලා, හිතලු හදාගෙන කතන්දර වෙන්න දෙන්නේ නෑ කියලා…”

මනුජ ඉතා සියුම් තුරුම්පුවකින්  ගසා දැමුවේය.

සින්දූපා ඔහු දෙස බැලුවාය.

” විශ්ව අය්යා මාත් එක්ක තරහෙන් ඉන්නේ… කතා කරන්නෙත්, මූණ හරවගෙන.. එයා හිතනවා ඇති, මම ආත්මාර්තකාමී විදියට හැසිරෙන්නේ කියලා… එයාව බිල්ලට තියලා මගේ දේවල් කරගන්නවා කියලා…. “

එලෙස පවසද්දි සින්දූපා ගේ හඬ බිදුණාය. ඕ බුරුල් වූ නාසය ඉහලට ඇද හැඬෙන්නට නොදී සිටින්නට උත්සාහ කලාය.

මනුජ අසුනේ මදක් ආපස්සට හැරුණේය.

“විශ්ව… විශ්ව…”

සින්දූපා ඔහු නවතාගන්නට උත්සාහ කලද, මනුජ ඇයට කලබල නොවන්නට පැවසුවේය

“, ඉන්නකෝ ඉන්නකෝ.. “

“ඇයි බං ?..”

විශ්ව විමසුවේම නොරිස්සුමක් එක්කය

” උඹ මොකෝ මගේ ගෑණිට මූණ හරවන්නේ ??..”

මනුජ අවස්ථාව සාමකාමි සහ සැහැල්ලු කරන ස්වරයකින් විමසුවේය. සියල්ලෝ සිනහ ගඟුලක වූහ.

” කට වහගෙන යමංකෝ බං… “

“නෑ නෑ එහෙම බෑනේ.. මගේ ගෑණි කියනවානේ විශ්ව අය්යා  මූණ හරවනවය… කතා කරන්නේ නෑය..  නිකන්.. ඒක මේක…”

“අනේ මනුජ මේ.. මගෙන් වඳුරු කූණුහරුප අහගන්නේ නැතුව සද්දේ වහලා යමං… පුදුම කරුමයක් උනානේ මේක..”

” හා හා..  දොස්තර මහත්තයා.. සද්දේ ..සද්දේ…ඈ…”

මනුජ සින්දූපා ට ඇසින් ඉඟිවරා පිටුපස අසුන වෙත මාරු වෙන්නට ආපස්සට ගියේය. විශ්ව උස් හඬින් කෑ ගැසුවේ, කිසිවෙකු සමඟ අමනාපයක් නොමැති බව  පවසමිනි.

මනුජ යලි සින්දූපා වෙත පැමිණියේය.

” ඌ අවුලක් නෑ.. තවම සයිකෝ පිටනේ ඉන්නේ… ඔයා එව්වා හිතන්න එපා… තේරුනාද ?? “

රියැදරෙකු උන් නිසා පිරිස යම් නිදහසකින් ගමන් කලහ. දියණිය නින්දෙන් ඇහැරී මනුර්‍යාගේ උකුලේ යලි නින්දකට වැටුනාය

” දෝණි වෙහිකල් වල යනකොට නින්දෙමද අය්යා ?”

“ඒ වගේ තමා…”

“චුට්ටක් ඇලර්ට් එකේ ඉඳලා හුරු කරගන්න වෙයි ඇහැරිලා යන්න..”

“හරි හරි.. ඒක මායි, මගේ ගෑණියි බලාගන්නම්..”

මනුජ සරදමින් මෙන් කීවේ සියල්ලන්ම සිනහ ගස්වමිනි.

” මූ සෑහෙන්නම් උඩින් අහසේ මාලිගා හදන්නේ නංගී.. කෝකටත් අල්ලගන්න බලන් ඉන්න වෙයි.. මට නම් බෑ ආයේ වමනෙ ගොඩවල් අදින්න…”

විශ්ව හදවතේ නොසන්සුන්කම අනෙක් අයට දැනෙන්නට හැරියේය.

” ආහ් ආහ් .. අන්න ඉරිසියාව.. … දොස්තරයාට ඉරිසියාව… අනෙක ඉතින්, අහසේ මාලිගා උඩ නොහදා බිම හදන්නද ??..”

සින්දූපා මුව අතින් වසා හිනැහුණාය.

සියල්ලන්ම සැහැල්ලුව පෙන්වමින් උන්නද, හදවත් තුළ  ඇවිලෙන ගිනි වල උණුහුම තනි තනිව දරා ගනිමින් උන් හ. අම්මා අසනීපෙන් සිටිද්දී මේ කාරණා මෙලෙසින් සිදු වීම ගැන මනුර්‍යාගේ හිත  නොසන්සුන්ව නැතැයි කිව නොහැක. එහෙත්, …….

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles