“මේක ටිකක් කියවන්නකෝ.”
ගුරු පැහැ ලිපි කවරයක් තුළ තිබූ ලිපියක් ඉන් පිටතට ගෙන ජයවර්ධන තම බිරිඳ අත තැබුවේ කාමරයේදීය.
“ජයවර්ධන සර් වෙත..” යනුවෙන් පටන් ගෙන තිබූ ලිපිය පුරාව වූයේ බිනරගේ හැසිරීම ගැනය. ලිපියේ තිබූ පිළිවෙල අනුව ඔහු හංසිකා සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යයි. එය හුදෙක් ශාරීරික අවශ්‍යතා මත පමණක් පවත්වන ප්‍රේම සම්බන්ධතාවයක් යැයි එහි පැහැදිලිවම සඳහන් කර තිබිණ. ඉන් ජයවර්ධන නාමයට හා ව්‍යාපාරයට මහත් කැළලක් වී ඇතැයිද සටහන් කර තිබිණ.
“දෙයියනේ මහත්තයා මොන සහගහන කතාවක්ද මේ…?”
“ඉතුරු ටිකත් කියවන්නකෝ…”
ජයවර්ධන තම බිරිඳ දෙස බැලුවේ කණ්ණාඩියෙන්ය. ඒ මුවෙහි වූයේ අවඥයා සහගත සිනහවකි.
ඔහු ගිණුම් අංශයේ සිටින ඉසුරි නම් වූ තරුණියක සමගත් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන බව එහි ලියැවී තිබිණ. එසේම කාර්යාලයේ අනෙකුත් යුවතියන්ට සේම විවාහ පත් වූ තරුණියන්ටද ගැලවිල්ලක් නැතැයි යනුවෙන් සඳහන් කර තිබුනේ ජුගුස්සා ජනක වචන කිහිපයක් ද ඇතුළත් කරමින්ය.
“මේ තරං තරහකාරයෙක්…”
“මං ඔය ලියුම ගැන සතුටු වෙනවා නයනා.”
“කොහොමද මහත්තයා සතුටු වෙන්නේ අපිට සතුටු වෙන්න පුළුවන් දෙයක් මේ ලියුමේ ලියලා තියෙනවද?”
“බිනර සාර්ථකයි. එච්චරයි මම දන්නේ.”
“ඒ කිව්වේ…”
“බිනර මගේ හැම ටෙස්ට් එකකින්ම පාස් නයනා. වැඩි කාලයක් යන්න කලින් මට මේ බිස්නස් වලින් නිදහස් වෙලා ඔයා ගාවට වෙලා ඉන්න පුළුවන් වෙයි. මේ ලියුම ගැන හංසිකාවත් දැනගන්න ඕන නෑ. මේ වගේ ලියුමක් නිර්නාමිකව කෙනෙක් මට එවනවා කියලා කියන්නේ එයාගේ සාර්ථකත්වය දැකලා ඒක දිරව ගන්න බැරි කෙනෙක් හෝ පිරිසක් මේක ඇතුලේ ඉන්නවා කියන එක.”
“ඔය කියන ඉසුරි කියන ළමයා එක්ක…”
“මං හිතන්නෙ නෑ. එහෙම තිබුණත් ඒක අරුමයක් නෙමෙයි. බිනර කියන්නේ හොඳ නරක තෝරගන්න පුළුවන් කෙනෙක්. ඒ ළමයා හරි අහිංසක ගෑනු ළමයෙක්. එහෙම දෙයක් තිබුණත් බිනර කාගේ කවුද කියල දැනගත්තට පස්සේ ඒ දේවල් නතර වෙයි..”
“ඒවා එහෙම නතර වෙනවානම් අද අපි දෙන්න මෙතන නෑ මහත්තයා..”
එවර ජයවර්ධන සිනහසුනේ උස් හඬින්ය. ඒ සිනහවෙන්ම ඔහු ගොස් තම බිරිඳ අසලින් අසුන් ගත්තේ ඇගේ කර වටා අතක් යවමින්ය. ඇගේ අසනීප තත්ත්වය හැරෙන්නට මේ ජීවිතයේ දුක් වන්නට තරම් දෙයක් ජයවර්ධනට වූයේ නැත. සැබවින්ම ඔහුට වූයේ සතුටින් සැහැල්ලුවෙන් ගතව ගිය ජීවිතයකි. ඒ සතුටත් සැහැල්ලුවත් තමාට ලබා දුන්නේ ඇයය. ඇය බිරිඳක වූවා පමණක් නොව මෙම නිවසෙහි අම්මා නැති අඩුව පුරවාලූයේය.
හංසිකා සුලක්ෂාට දුරකථන ඇමතුමක් ලබා ගත්තේ මින් හෝරාවකට පමණ පෙරය. දෙදෙනා අතර මාතෘකාව වී තිබුණේ බිනරය.
“මම දන්නෙ නෑ හංසි…ඔයාලගේ කම්පැනි රූල්ස් වලට යටත් වෙලා ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වෙයිද කියලා. අපි ඉසුරිට මේ වෙලාවේ උදව් කරනවා විතරක් නෙමෙයි පුළුවන් තරම් උත්සහ කරන්න ඕනේ මින් ඉදිරියට එයාගේ ජීවිතේට ප්‍රශ්න ඇති නොවී ඉන්න ක්‍රමයක් හදන්න. ඔයයි මමයි පෙර කරපු පිනකට හරි රුපියල් සත ගැන තැවෙන්න ඕනෙ නැති පවුලක ඉපදුණාට ගොඩක් මිනිස්සු ජීවිතයේ හැල හැප්පීම් වලට මුහුණ දෙන්නේ සල්ලි නිසා. මෙතනදි ඇත්තටම මානුෂික වශයෙන් ගත්තහම ඉසුරිගේ අම්මට මුකුත් කියන්න බැහැ. හැබැයි අම්මා කෙනෙක්ගෙ භූමිකාවේදී අපිට කැප කරන්න සිද්ධ වෙන දේවල් ගොඩයි. මොකද දරුවන්ගේ අනාගතය තීරණය වෙන්නේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ගන්න තීන්දු තීරණ මත. සමහරවිට හැසිරීම මත. ඇත්තටම මම මේ වෙලාවේ පුදුම වෙනවා හංසී ඒ වගේ පවුලකින් ඉසුරි වගේ ධෛර්යයවන්ත, ගුණගරුක, ඉවසීමක් ඇති ළමයෙක් මේ සමාජයට ආපු එක ගැන. ගොඩක් වෙලාවට දරුවො පොඩි වයසකදී අම්මා තාත්තා දෙපැත්තකට උනහම, කවුන්සලින් වලදි අපිට හම්බවෙන්නේ සමාජයට වෛර කරන දරුවෝ. සමාජයට බරක් වෙච්ච දරුවෝ. ඔය කියන විදිහට හංසි අවුරුදු විසි අටකදි තනි වෙච්ච ඉසුරිගේ අම්මා උනත් ඔය දරුවෝ තුන්දෙනා උස්මහත් කරන්න ලොකු සටනක් කරන්න ඇති. එයා කසාද බැඳපු ගෑනියෙක්. එහෙම කෙනෙක් තමන්ගේ හැඟීම් දරා ගන්නවා කියන එක සෙල්ලමක් නෙමෙයි.”
“ඔව් මටත් ආපස්සට හැරුණහම ඒ ගැන හිතා ගන්නවත් බෑ සුලක්ෂි. හැමදේටම වඩා අර ඔයා කියන්න වගේ ඒ වගේ ප්‍රශ්න මත ගැටුම් තියෙන තැනකින් ඉසුරි ඉස්සරහට ආවා කියන එක පුදුමයි. මට හිතෙන්නෙ එක දෙයයි. ඒවගේ කෙනෙක් හරි ලස්සනට කවද හරි ජීවත් වෙයි. මල්ලි කියන විදිහට ඉසුරිට අපි කාටවත් ළං වෙන්නවත් බෑ.”
“ඒක හරි…ඔයාටයි මටයි මේ ලැබුණු සැපවත් ජීවිතය දවසක නැති උනානම්. අපේ ගෙවල් වල හැමදාම රණ්ඩු සරුවල් තිබුණනම්. ඉන්නෙ සාමාජිකයෝ පස් දෙනයිද පස්දෙනා පස් අතක ගියානම් අපි ඉසුරි වගේ ඉවසීමෙන් ජීවිතයට මුහුණ දෙයිද..මට වුණත් තියෙන්නේ මගේ වෘත්තියෙන් අධ්‍යාපනයෙන් ලැබුණු ඉවසීමක්. ඇත්තටම මේ ජීවිතයේ අපිට ඒ තරම් තදින් ඉවසන්න තරම් හේතු කාරණා ලැබිලා නෑ හංසි. අන්කල් එක්ක කතා කරලා කම්පැනි එකෙන් කරන්න පුළුවන් දෙයක් බලන්න. ඒකට මදි වෙන ගාන මම දෙන්නම්. අඩු ගණනේ ඒ මනුස්සයා මිඩ්ල්ඊස්ට් රටකට යන්න ට්‍රයි කරන එක හරි එතනින් නවතියි. ඒ වගේ තනි වෙච්ච අය තවත් තනි වෙනවා ඒ තැන් වලදී. අපි ඊට පස්සේ බලමු එයාට හොඳ ජොබ් එකක් හොයලා දෙන්න. මිනිස්සු රැවටෙනවා. ඉසුරිගේ අම්මා කියන්නේ ආදරය කරුණාව අවමයෙන් ලැබුණු ගෑනු කෙනෙක්. එහෙම අය හරි ඉක්මනට රැවටෙනවා හංසි. හැම මනුස්සයෙක්ම කැමතියි තමන්ට නොලැබුණු තමන් ආස කරන ජීවිතය ඇස් පනාපිට දකින්න.”
“මේ හැම ප්‍රශ්නයක්ම කෙළවරක තවත් ප්‍රශ්නයක් පටන් ගනියි කියලා තමයි මට බය. මං දන්නවා අපේ එකා දැන් කීයටවත් ඉසුරිගෙන් ඈත් කරගන්න බෑ. එකක් තමයි ඔය ඉසුරිට ප්‍රපෝස් වෙලා ඉන්නව කියන කොල්ලා. අනිත් එක අපේ තාත්තයි, සීය තාත්තයි. බිනර කියන්නේ ජයවර්ධන පරම්පරාවේ අනාගතය. මං ඔයාට සීය තාත්තා ගැන කියලා තියනවනේ. එයාට ආඩම්බරයෙන් උදම් අනන්න පරම්පරාවක් නැතිවුණාට එයා කැමතියි එයාගෙන් පස්සේ ඉන්න පරම්පරාව එයාගේ නම ඉස්සරහට අරගෙන යනවට. මං හිතන්නෙ නෑ අපිට එතනට ඉසුරිව තියලා සසඳන්න පුළුවන් වෙයි කියලා. සුලක්ෂි අපේ එකා හිතුවක්කාර කමක්ක් කළොත් ඒක තව අවුරුදු ගානකට බලපායි.”
“ඔය ප්‍රශ්නෙම තමයි ඔතනදි මටත් තියෙන්නේ. අපිට සිද්ධ වෙනවා ටිකක් කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්න. සමහරවිට මේ අපි හිතන දේ වෙනස් වෙන්න පුළුවන්. මොනව උනත් මේ අවස්ථාවේ මින් ඉස්සරහට වෙන දේ ගැන ඔයා ගෙස් කරන්න එපා. එහෙම කරලා කොල්ලව මානසිකව වට්ටන්නත් එපා.”
හංසි එසේ නොකරන්නට තීරණය කලේ අද ඊයේක නොවේ. බිනර ගැන ඒ සිතෙහි වූයේ පුදුමාකාර ආදරයකි. සොහොයුරා මනුස්සකමින් අන් සියල්ලෝම පරදමින් උන්නේය.
****************
ඉසුරි ගෙඋයනෙහි වූ ලෑලි බංකුවක් මතින් වාඩි වූයේ ඉඳලත් අල්ලා ගෙනමය. අන් කවරදාවත් නොදැණුන අයුරේ කලකිරීමක් ඇයට පාරින්ද ගැන දැනෙමින් තිබිණ. ඔහු හොඳින් උන්නානම් වේලෙහි ශක්තියක් වනු නියතය. එහෙත් කාලයක සිට ඔහු උත්සහ දරමින් උන්නේ වැරදුනු තැනක් ගැන සොයන්නටය. හිනැහෙන්නටය. ආඩපාලි කියන්නටය. අම්මා තවමත් කාමරයේය. එනිසාම ලොකු අයියා පැමිණ ගිය බවක් ඇය නොදනී. එසේ වූයේනම් ඇය තවත් සිත රිදවා ගන්නවා නියතය. මේ සියල්ල මැදම පාරින්ද ගැන තීරණයක් ගත යුතු යැයි ඇගේ සිත බල කරන්නට විය. ඔහුගේ සිතෙහි වන්නේ කෝපයත්, පළිගැන්මත් පමණි. ඒ මැදට සිරවී තවත් කොපමණ කාලයක් විඳවන්නදැයි ඈ සිතුවාය.
“කාල හිටියනං. ඊයේ රෑටත් හරියට කෑමක් නෑනේ……”
කිරි අම්මා කෑ ගැසුවේ ආලින්දයේ සිටය. මිදුල මැද වූ කුණුගොඩ අඹ ගස අයිනට තල්ලු කළ යුවතිය අසල වූ කරාමයෙන් දෑත් සෝදා ගත්තේ බඩගිනි වූ නිසාම නොවේ. අම්මා නිරහාරව කාමරයට වී සිටින බව සිහි වූ නිසාය. දෙවන තුන්වන වරටත් දරුවන් ඉදිරියේ තමා අවමානයට ලක් වූවාය යන වේදනාවෙන් ඈ පෙළෙමින් උන් බව ඉසුරි වටහා ගත්තේ ඊයේ රාත්‍රියේය. හඬ හඬාත්, නොහඩාත් ඇය පැවසූයේ නංගීත් මල්ලිත් ඇයට වෛර කරමින් සිටිනා බවය.
“අක්කේ අපි යමුද අයියා ඉන්න දිහා…..”
නැගණිය එසේ පැවසූයේ ඉසුරි මුළු තැන් ගෙය දෙසට ඇවිද යද්දීය. රතු කැකුළු බතත් පරිප්පු හොද්දත් හාල් මැස්සන් බැදුමත් පිඟානට බෙදා ගන්නා තුරුම ඉසුරි කිසිත් නොකිව්වාය. ඇය මේ බත් පත බෙදා ගත්තේ අම්මාට බලෙන් හෝ කවන්නට සිතාගෙනය. වේලාව උදෑසන දහයට ආසන්නය. ඉසුරිගේ මිතුරාගේ පියා නීතිඥයෙකි. මව ගුරුවරියක වූවාය. මින් පෙරත් කිහිප වතාවක්ම පාසලේදී ඇයට ඔවුන්ව හමුවී තිබිණ. එම නිවස ඔහුට සුරක්ෂිත බව විශ්වාසය. එහෙත් නැගණිය පැවසූ පරිදි දහවලේ ගොස් ඔහුව නිවසට කැඳවාගෙන එන්නට ඉසුරි සිතා සිටියාය.
“ගෙදර කවුද..ඉසුරි…”
ඒ ඇසුණු හඬ හඳුනා ගන්නට ඉසුරිට අපහසු වූයේ නැත. ඒ තරම් ලෙන්ගතුකමකින්, ආදරයකින් තමාව අමතන්නට දන්නේ ඔහු පමණි. බත් පිඟාන මේසය මත තැබූ ඈ ආලින්දය දෙසට දිවගියේ අඩියට දෙකටය.
“බිනර ඔයා……”
ඔහුගේ උරහිසට උඩින් ඈ පාර දෙස බැලුවේ මාලිංගත් ඔහුගේ පෙම්වතියත් සොයන්නටය.
“අද මම විතරයි ආවෙ…..”
බිනර පිළිතුරු දුන්නේ තම හිතුවක්කාරී සිතුවිල්ලට ඉඩක් ලබා දුන්නේ ඇයිදැයි සිතමින්ය.
“ඉඳගන්න බිනර…..”
“මං ආවේ ඔයාගේ ප්‍රශ්නෙට උත්තර අරගෙන. ගොඩක් වෙලා ඉන්නෙ නෑ. ඔයාට ප්‍රශ්නයක් ඇතිවෙන්න දෙන්නෙත් නෑ.”
ඔහු එසේ පැවසූයේ ඇය බියෙන් සැකයෙන් වටපිට බලද්දීය.
“අනේ කමක් නෑ බිනර. මාලිංග අයියාගේ කාර් එක තියෙන හින්දා මම හිතුවේ එයාලත් ආව කියලා.”
මෙම මෝටර් රථය මාලිංගගේ නොව තමාගේයැයි පවසන්නට ඔහු ඉස්සර වූයේ නැත.
“අපි මොනවා හරි බීලා ඉමු.”
“එපා ඉසුරි එච්චර වෙලාවක් මම මෙහෙ රැඳෙන එක හරි නෑ. මට ඔයාට කියන්න ඕන වුණේ මම මේ ප්‍රශ්නේ ගැන හංසිකා මිස් එක්ක කතා කළා කියලා.”
“හංසිකා මිස් එක්ක..ඔයා මොනවද කතා කළේ. එහෙම දෙයක් කතා කරන්න තරම්..”
“හංසිකා මිස් කියන්නේ මගේ අම්මගේ රිලේෂන් කෙනෙක්. මං දන්නවා මේ වෙලාවේ ඔෆිස් එක ඇතුළෙ වැරදි කතාවක් පැතිරෙනවා කියලා. අපි ඒවා නිවැරදි කරන්න ඉක්මන් වෙන්න ඕනෙ නෑ. හංසිකා මිස් කිව්වා ඔයාට පුළුවන් තරම් ඉක්මනට මිස්ට කෝල් එකක් දෙන්න කියලා. මං හිතන්නේ කම්පැනි එකෙන් ඔයාට ලෝන් එකක් දෙයි. ඒ වෙනුවට ඔයාට ටික කාලයක් වැඩ කරලා ඒ ලෝන් එක ගෙවන්න වෙයි.”
“ඔයා මේ ඇත්තමද කියන්නේ බිනර..ජීවිත කාලෙම හරි එයාලා ලඟ වැඩ කරන්න මං ලෑස්තියි.”
“ඔව් මං ඔයාට පොරොන්දු උනානේ ඒ ප්‍රශ්නෙ විසඳනවා කියලා.”
“මට මේ දේවල් ගැන හිතා ගන්නවත් බෑ. නංගි ඉක්මනට අම්මට කතා කරන්න..”
සොයුරිය අසලටම වී උන් යුවතිය ගෙතුලට දිව ගියේ ඉසුරි එසේ පැවසුවාට පසුවය.
“අර ඔයා එදා පාරෙදි ඇහිදලා මට දීපු සල්ලි. ඒකත් මම ගාව එහෙමම තියෙනවා බිනර. ඒක මට අයිති එකක් කියලා මට හිතුනෙ නෑ. ඇත්තටම ඔයාට ඕන උන වෙලාවක ඔයාට ඒක දෙන්නයි මම තියාගෙනන හිටියේ.”
“ඒකත් මේ වෙලාවේ ඔයාගේ වැඩකට ප්‍රයෝජනයට ගන්න. ඔයා හංසිකා මිස්ව හම්බවෙලා කතා කලත් කමක් නෑ. කෝල් එකක් දීලා එපොයිමන්ට් එකක් ගන්න.”
ඉසුරි එවර හිස වැනුවේ “හා..” යැයි පවසන්නටය.
( යළිත් හමුවෙමු ආදරයෙන්)












